English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති විධිමත් කරමු!


අධිකරණයට අපහාස කිරීම යනු කුමන ආකාරයක වරදක්ද යන්න ශ්‍රී ලංකාවේ දණ්ඩන නීතිය තුල නිශ්චිත ලෙස දක්වා නැත. දණ්ඩ නීති සංග්‍රහය හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය මෙම කරුණ පිලිබඳ නිහඬ වූවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන තුලින් අධිකරණයට අපහාස කිරීම පිලිබඳ නීති තත්ත්වය විග්‍රහ කරනු ලබයි.

අධිකරණය හෑල්ලුවට ලක්කරන හෝ එහි ගරුත්වය කෙලෙසන ඕනෑම ක්‍රියාවක් හෝ නොකරහැරීමක් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය. ඒ අනුවල ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම, අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ), අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම, සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම් ආදී ක්‍රියාවන් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව තුල අධිකරණය වෙත අපහාස කිරීම පිලිබඳ නීති තත්ත්වය විග්‍රහ කර ඇත. 1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය අනුව මහාධිකරණ වෙතද, 55(1) වගන්තිය අනුව දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ප්‍රාථමික අධිකරණ වෙත ඒ ඒ අධිකරණ වෙත සිදු කළ අපහාසයන් පිලිබඳ දඬුවම් නියම කිරීමේ බලය පවතී. පනතේ 18 වන වගන්තිය අනුව මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5000 කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහාධිකරණයට පවතී. 55(2) (අ) වගන්තිය අනුවල දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2500 කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. 55(2)(ආ) වගන්තිය අනුව මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කරන අපහාසයක් සම්බන්ධව මාස දහ අටක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 1500 නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයා වෙත පවතී.

55(2)(ඇ) වගන්තිය අනුව ප්‍රාථමික අධිකරණයකට සිදු කරන අපහාසයක් පිලිබඳව මාස තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 500 නොඉක්මවන දඩයකට හෝ යටත් කළ හැකිය.

මෙම අධිකරණයන් වෙත සිදු කරන ඕනෑම අපහාසයක් පිලිබඳ අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව අනුව දඬුවම් නියම කිරීමේ බලය පවතී. එහිදී මෙම අධිකරණ සංවිධාන පනතේ දක්වා ඇති සීමාවන්ට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ යටත් නොවේ.

අධිකරණයට අපහාස කිරීම පිලිබඳ නීති තත්ත්වය තුල කිසිඳු අවස්ථාවක දී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) ව්‍යවස්ථාව යටතේ තහවුරු කර දී ඇති භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස සීමා කරනු ලබන්නේ නැත. එහෙත් 15 වන ව්‍යවස්ථාව යටතේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් බුක්තිවිඳීමේ සීමාවන්ට යටත්ව අධිකරණය විවේචනය කිරීමේ නිදහස පුරවැසියන් වෙත පවතී. ඒ අනුවල අධිකරණ තීරණයක නෛතික කාරණා පිලිබඳ විවේචනය කිරීම හෝ අදහස් දැක්වීම, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිලිබඳ විවේචනය කිරීම, විනිසුරුවරයකුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම, අධිකරණයට අපහාස නොවන ආකරයට මූලික අයිතින් බුක්ති විඳීම, අධිකරණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට යෝජනා සිදුකිරීම වැනි කරුණු අධිරකණයට අපහාස කිරීම් ලෙස සලකන්නේ නැත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව හිටපු අමාත්‍ය S.B දිසානායක හට දෙවසරක සිර දඬුවමක් නියම කිරීම සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හට වසර 6 න් ගෙවී යන ලෙස වසර 19 සිරදඬුවමක් නියම කිරීම අධිකරණට අපහාස කිරීම පිලිබඳ දඬුවම් නියම කළ වැදගත් නඩු තීරණ ලෙස සැලකිය හැක.  අධිකරණයට අපහාස කිරීම පිලිබඳ නීතිය නිශ්චිතව අර්ථ දක්වා නොමැති බැවින් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 වසරේ දී මේ පිළිබඳ නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලදි. ඒහෙත් එය මේ දක්වා නීතියක් ලෙස සම්මත වී නොමැත. නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධිනතාවය ආරක්ෂා වීමට නම් අධිකරණයට අපහාස කිරීමට එරෙහි නීති තත්ත්වය වඩාත් විධිමත් ආකාරයෙන් ක්‍රියත්මක විය යුතු අතර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සර්වසාධාරණ වීමට එය වඩාත් උපකාරී වනු ඇත.

-හිරෝෂන් ලක්ෂාන්-




2019-08-12
Advertisement

Find us on Facebook