English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


HSG පරික්ෂණයෙන් කිසිඳු කාන්තාවකට සංකූලතාවයක් නෑ : සාෆි නඩුව


HSG පරික්ෂණයෙන් කිසිඳු කාන්තාවකට සංකූලතාවයක් නෑ : සාෆි නඩුව

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසන පරිදි මෙතෙක් HSG පරික්ෂණයෙන් කිසිදු කාන්තාවකට සංකූලතාවයක් වාර්තා වී නොමැති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයාගේම රෝහලේදි වෛද්‍ය සාෆි නිසා වඳ භාවයට පත් වු කියන කාන්තාවක් මෙකි පරික්ෂණයට මුහුණ දී තිබෙන බවද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09) වෛද්‍ය සාෆිගේ නඩුව අවස්ථාවේ කුරුණෑගල අධිකරණය වෙත දන්වා තිබේ.

වෛද්‍ය සාෆි නිසා වඳ භාවයට පත් වුවා යැයි කියන කාන්තාවන් පිරිසක් අතරින් 147 කුගේ ප‍්‍රකාශ වෙත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු කරමින් එම කාන්තාවන් සඳහා HSG පරික්ෂාව කිරිම සඳහා කුරුණෑගල අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබුණි. ඒ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ නිර්දේශ මතය, ඉකුත් ජුනි 26 වෙනි දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ පිලිබඳ අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙකි පරික්ෂාවට ලක් කෙරෙන කතුන් මිය යාමට හෝ පිළිකා වැනි දරුණු ප‍්‍රතිවිපාක වලට ගොදුරු විය හැකි බවයි.

මේ නිසා මෙම පරික්ෂාව අත්හිටුවිමට අධිකරණය නියෝග කර තිබුණි.

නමුත් මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු අනාවරණය කරගෙන ඇත්තේ රෝහල් අධ්‍යක්ෂකවරයා මෙකි ප‍්‍රකාශය කිරිමට දින කිහිපයකට පෙර ඔහුගේ රෝහලේදි ඉහත කී කතුන් 147 නා අතරින් එක් කාන්තාවක් ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු හා විකිරණශිලි වෛද්‍යවරයෙකු හමුවි මෙම පරික්ෂාවට භාජනය වි ඇති බවය.

එමෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබා ගත් නියෝග මත දිවයිනේ ශික්ෂණ රෝහල් 9 කින් හා පුද්ගලික රෝහල් 03 කින් මෙම පරික්ෂණය පිලිබඳ වාර්තා කැඳවා තිබේ. එහිදි හෙලි වී ඇත්තේ ඉකුත් වසර පහ තුල මෙම රෝහල් 12 තුල පරික්ෂණ 9188 ක් සිදු කර ඇති බවත් ඉන් කිසිදු මවකට සංකූලතාවයක් ඇති වී නොමැති බවත්ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිලිබඳ සියලු කරුණු ඊයේ අධිකරණය වෙත කරුණු වාර්තා කලේය. එමෙන්ම මෙම පරික්ෂණය පිලිබඳ කුරුනෑගල රෝහලේ වාර්තාවක් කැඳවා තිබුණද මෙතෙක් එය ලබා දි නොමැති බවද අධිකරණයේ අවධානයට යොමු කරවන ලදි.

එමෙන්ම වෛද්‍ය සාෆි ගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශය විසින් බැංකු ගිණුම් 06 ක් පිලිබඳ තොරතුරු වාර්තා කර ඇති බවද මෙහිදි අධිකරණය වෙත දන්වා සිටියේය.

නැවත දෙසැම්බර් 12 වෙනි දින මෙම නඩුව කැඳවිමට නියමිතය.

 

-ශානිකා මාධවී-




2019-08-10
Advertisement

Find us on Facebook