English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජෙරාඩ්ගේ නඩුව අනාගතය පිළිබඳව එළිදරව් කිරීමක්!


ජෙරාඩ්ගේ නඩුව අනාගතය පිළිබඳව එළිදරව් කිරීමක්!

වත්තල පොලිසිය විසින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන කෲර වද හිංසනයට ලක් කර පසුව වෙඩි තබා ඝාතනය කෙරුණු වත්තල පදිංචිව සිටි ජෙරාඩ් මර්වින් පෙරේරා මහතාගේ ඝාතන සිද්ධියට ප්‍රමාද වී ලැබුනු යුක්තිය හා අධිකරණයෙහි පවතින නඩු ප්‍රමාදය පිලිබඳ සාකච්ඡා කිරිමේ මහජන මන්ත්‍රණ සභාව කොලඹ 07 පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ ලයිට් හවුස් ශ්‍රවණාගාරයේදි ඊයේ 07 සවස පැවැත්වුණි. මෙය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි.

එහිදී, අදහස් දැක්වූ ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නිතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා,

“2002 ජුනි මස 03 වෙනි දින වත්තල පොලිසිය මගින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන එල්ලා දවසක් පුරා පහර දෙමින් කෲර වදහිංසනයට ලක් කල ඩොක්යාඩ් නැව් තටාංගනයේ සේවය කල වත්තල පදිංචි ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා 2003 වසරේදි මේ සම්බන්ධයෙන් වත්තල පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඇතුලු වද හිංසාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක නීති ආධාර ඇසුරෙන් පැමිණිලි කර සිටියේය. මෙහිදි වත්තල පොලිසියේ එකි සිද්ධියට අදාල උප පොලිස් පරික්ෂකවරයාට හා පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂ 14 ක මුදලක් ජෙරාඩ් වෙනුවෙන් ගෙවීමට නියම වු අවස්ථාවේ 2004 නොවැම්බර් 21 වෙනි දින බසයක ගමන් කරමින් සිටියදි ජෙරාඩ් වෙඩි පහරකට ලක්ව ජිවිතක්ෂයට පත් විය.

මෙම සිදුවිම් මාලාව වසර දාසයක්-දාහතක් පුරාවට අධිකරණයේ පැවති අතර ඉකුත් ජුනි මස 28 වෙනිදා තින්දුව ප්‍රකාශයට පත් විය. එකි තීන්දුවට අනුව උප පොලිස් පරික්ෂක සුරේෂ් ගුණසේන හා නලින් චන්දිමාල් යන පොලිස් කොස්තාපල්වරයාට වසර 10 ක බරපතල වැඩ සහිතව සිරදඬුවම් හා රුපියල් 50000 බැගින් වු දඩයකට යටත් කරන ලදි.

ප්‍රමාද වී ලැබුණු යුක්තිය පිලිබඳ පැවති මහජන මන්ත්‍රණ සභාවේදි ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නිතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

ජෙරාඩ් පෙරේරා සිද්ධිය ගැන කථා කිරිමේදි අපිට පළමුව ඇසෙන ප්‍රශ්නය වන්නේ මේ සිදුවිම වලක්වා ගැනිමට තිබුණේ නැද්ද? යන්නය. ඇත්තටම මේක ඉතා ලෙහෙසියෙන්ම වලක්වා ගැනිමට තිබු දෙයක්. කිසිම ආකාරයක පරික්ෂණයකට ගොදුරු නොවු කාරණාවකට ඔහු අත්අඩංගුවට පත් වුණා. මුලින්ම වැලැක්විය යුතුව තිබුණේ එම අත්අඩංගුවට ගැනිමය. අත්අඩංගුවට ගැනිම යනු ඉතා භාරදූර කටයුත්තක්. එක්දහස් අටසිය ගණන් වල අත්අඩංගුවට ගැනිම අපරාධයක් ලෙස සැලකුවේ. මෙම සම්ප්‍රදාය මත නිදහස රැකේ. නිදහස රැකිම මත ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලු අනෙක් දේ රැකෙන්නේ. නමුත් අද එහෙම සම්ප්‍රදායක් නැහැ. ඕනෑම වෙලාවක ඕනෑම දෙයකට හොයා බලන්නේ නැතුව අත්අඩංගුවට ගන්නවා. මේ තත්ත්වය තියෙනතුරා නිතිය පිලිබඳ නිතියේ මතවාද පිලිබඳ කථා කිරිම බොරුවක්. අත්අඩංගුවට ගැනිම පාලනය කර ගත නොහැකි රටක නිතියේ ආධිපත්‍ය තියෙන රටක් නෙමේ. මේ අත්අඩංගුවට ගැනිම් නිසියාකාරව කෙරෙනවා හැර අනික් ආකාර වලින් කරන්න බැහැ කියන එක ගැන මේ රටේ තවමත් බරපතල ලෙස මතවාදයක් ගොඩනැගී නැහැ. කවුරුත් බලන්නේ අද ප්‍රශ්නයක් තියෙනවානම් ඒ මිනිහව පොලිස් අත්අඩංගුවට අරගෙන ඇප නැතුව හරි තියා ගන්න. ඇප ප්‍රතික්ෂේප වීම දඬුවමක් නෙමේ. සදාචාර අයිතියක් නැහැ වසර දහ අටක් දාහතක් දිගට නඩු දිග් ගස්සන රටක මිනිසුන්නට ඇප නොදි තියා ගන්න. මේ තත්වය මඳක් හෝ මෙරට තිබුණානම් එදා ජෙරාඩ් අත්අඩංගුවට ගන්නේ නැහැ. අත්අඩංගුවට ගන්න හේතුවක් තිබුණේ නැහැ. මෙය වලක්වාගන්න තිබු පළමු අවධියයි. මෙය දෙවැනි අවධියේදි කොහොමහරි අත්අඩංගුවට ගත්තා නම් ඊළඟට වෙන දේවල් වලක්වාගන්න තිබුණා. වැරදිකරුවෙකු ප්‍රශ්න ඇසුවාට මොකුත් කියන්නේ නෑ. ඒ නිසා ප්‍රශ්න අහන්න කලින් සුදානම් කරනවා. සුදානම් කරන්නේ කොහොමද? ගහලා,ගහලා ඇහුවහම ඕනේ දෙයක් කියනවා කියන මිලේච්ඡ මතවාදය මුල්බැසගත්ත විදිහට තමා මේ රටේ පොලිසිය දැන් හැඩගැහිලා තියෙන්නේ. මේක මිලේච්ඡ අදහසක්. නමුත් ඉහළ මිනිස්සු අත්අඩංගුවට ගත්තහම මෙය බලපාන්නේ නැහැ. මේක බලපාන්නේ පොඩි මිනිහට. ජෙරාඩ්ට වුනෙත් මේක. එදා ඔහුගෙන් විනාඩි 10 ක්වත් ප්‍රශ්න කරලා, අහලා තිබුණා නම් මෙය වලක්වා ගන්න තිබුණා. නමුත් මේ අවස්ථා දෙකම ඔහුගෙන් ගිලිහිලා යනවිට ඛේදවාචකයක් පටන් අරන් ඉවරයි. වසර දාහතක් ගෙවිලා ගියත් පොලිසිය අද වෙනකම් පිලිගත්තේ නැහැ මේ කෙරුණු වැඩේ වැරදි වැඩක්ය කියලා. වෙන රටක නම් මොවුන්ට ඒකේ තියෙන බරපතලම දඬුවම දෙන්නේ යුක්තියට ඇගිලි ගැසිමට විරුද්ධව. ජනාධිපතිවරයාට පවා එය පොදුයි. මේක තමා යුක්තිය ආරක්ෂා කිරිමට ඇති පිලිවෙල. යුක්තියට ඇගිලි ගැසිමට ඉඩ දි යුක්ති ක්‍රමයක් පවත්වාගෙන යනවා කියන්නේ මහා පරිමාණ විහිලුවක්, බොරුවක් ඛේදවාචකයක්.

නිතිපතිවරයා ජෙරාඩ්ගේ සිදුවිමට වගකිව යුතුයි. ඔහු කලේ උප පොලිස් පරික්ෂකට දඬුවම් දිම පමණයි. නමුත් කවුද මේක පිටිපස්සේ හිටියේ? සහකාර පොලිස් අධිකාරිවරයෙක්. උප පොලිස් පරික්ෂකයා ඇතුලු කණ්ඩායම හිටියේ ඔහුගේ යටතේ. ඔහුගේ විශේෂ වැටලිම් ඒකකයක් විදිහට. ඔවුන් තමා මෙහිදි ජෙරාඩ් අත්අඩංගුවට ගන්නේ. මේකට අණදුන්නේ ASP වරයාගේ මාර්ගයෙන්. ඒත් මෙතනැදි ඔහු පිලිබඳ කිසිදු හෙලිදරව්වක් වෙන්නෙත් නැහැ. අධිකරණයකට ඉදිරිපත් කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා මෙම නඩුවට යුක්තිය ඉෂ්ඨ වුණා යැයි කියන්නෙත් අර්ධ බොරුවක්. නිතිපති දන්නවා මේක. ඔහු මුලින් දැම්මා මෙහි පලමු විත්තිකරු විදිහට හිටපු OIC නමුත්, ඊළඟ දිනේදී ඒ නම ඉල්ලා අස් කර ගත්තා. ඒකේම බොරු කරන තත්ත්වයක් තිබුණහම මිනිස්සු ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ සෙල්ලම් කරන්නේ රට වැසියාගේ ජිවිත සමගින්. මේ තත්ත්වය තමා පාස්කු ඉරිදා සිදුවිමට පසුබිමත්. එදා ජෙරාඩ්ගේ සිද්ධිය වලක්වන්න අපරාද නීති ක්‍රමය ක්‍රියාත්මක වෙමින් තිබුණානම් මෙදා සිදුවෙච්ච සිද්ධිය සිදු වන්නේ නැහැ. ආරක්ෂාව පිලිබඳ යම් වාතාවරණයක් හැදෙනවා. අපි යුක්තිය සඳහා සටන් කිරිම නෙමෙයි මේ රටේ මුලිකවම වෙන්න ඕනේ. යුක්තිය පිලිබඳ සටන් කල හැකි වාතාවරණයක් සාදා ගැනිමයි කල යුත්තේ. රිසානා නෆික්ගේ සිද්ධියේදිත් සිදුවුනේ මෙයමයි. එක්තරා අයුරකින් ජෙරාඩ්ගේ නඩු තීන්දුව රටේ අනාගතය පිලිබඳ හෙලිදරව් කිරිමක්. මේ නඩු  තීන්දුව එන්නේ වසර දා හතකට පසුව. එතකොට මෙහි මුල් සිද්ධිය රට්ටුන්ගේ හිත් වලින් මැකිලා. මේ මතකය නැති වෙනවා කියන්නේ රටකට වෙන්න පුලුවන් ලොකුම විපත්තිය. මන්ද මතකයෙන් උනන්දුව  ගෙන දෙන නිසා. එහෙම මතකයක් නැති රටක් බවට දැන් මේක පත් වෙලා. මේ මතක තත්වය පවත්වන්න නම් විශේෂයෙන්ම අපරාධ නිතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් ඒක කරන්න බැහැ මෙහෙම විහිලුවක් කරන ව්‍යවස්ථාවක් තියෙනකම්. නීතිය මුලික වශයෙන් නැති රටකට කිසිම දෙයක් රකින්න බැහැ.”

මෙහිදි අදහස් දැක්වු මානව හිමිකම් ක්‍රියාකාරිනි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය,

“යුක්තිය පසඳිලිම කියන කාරණාවේදි අවසානයේ යුක්තිය සොයන පුද්ගලයා සමගයි අපේ මේ අරගලය බද්ධ වෙලා තියෙන්නේ. නිතිය පෝෂණය කරමින් යාවත්කාලින කරමින් අනාගතය, වර්තමානය සහ අතිතය සමගින් ගැට ගහන්නේ ඒ පුද්ගලයා. ජෙරාඩ්ගේ සිදුවිම පැමිණියේ නැතිනම් මේ ආකාරයට වදහිංසනය ගැන කථා කිරිම අමතක වී යන කාරණාවක් විදිහට මම දකිනවා. නීතියේ ආධිපත්‍ය ගැන මා කුමක් සඳහන් කලද, එය ඔබේ අරගලයේ කොටසක්.

අද අප සමාජයේ තරුණ කොටස් 89 යුගයක් තිබුණු බවට අමතක කරමින් සිටිනවා. මේක ඉතාම කණගාටුවට කරුණක්. ආපිට සිදුනොවුනු කාරණාවකට අප අවතිර්ණ වෙනවා. නීතිය ආධිපත්‍ය කියන කාරණාවේදිත්, මම දකින්නේ මේ නිතිය, මැදිහත්විම, පරික්ෂණ පැවැත්විම, පොලිසියේ අත්අඩංගුවට ගැනිම කියන දේවල් වලදි මුලික දේවල් හිතනවා. නමුත් මේවා අමතක වෙනවා. එහෙම වෙන්නේ ඇයි ?,  ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි?. මෙහිදි නීතියේ ආධිපත්‍ය සහ නීතියේ බලය  පිලිබඳ විශාල ගැටුමක් තිබෙන බව මම හිතනවා. මේ දෙක අතර ඇත්තේ විසංවාදයක්. නීතියේ ආධිපත්‍ය නීතිඥවරුන්ට විතරක් අයත් දෙයක් නොවේ. එය සිවිල් සමාජයේ න්‍යාය පත්‍රයට අයත් විතරක් නෙමේ, සිවිල් සමාජ ඔබව දැනුවත් කරමින් සමාජය සංවිධානය කරනවා. නිතියේ ආධිපත්‍ය බිඳ වැටිම යනු අපගේ ආත්මයම බිඳ වැටිමය.”

මෙහිදි මන්ත්‍රණ සභාව ඇමතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය මහතා

“අපේ සමාජයේ පහුගිය කාලේ නැගිටලා තියෙන්නේ අනිකාට විරුද්ධව පමණයි. අනෙකාට විරුද්ධව නැගිටිම ලේසියි. ලංකාවේ ලොකුම ස්වේච්ඡා ජනතා නැගිටිම ඉන්දු -ලංකා ගිවිසුමට විරුද්ධව නැගිටිම. ඒක ඇති වුනේ දෙමල මිනිසුන්ට විරුද්ධව. අපට බැහැ අසාධාරණයෙන් මිනිසුන් නැගිටුවන්න. අයිතිවාසිකම් පිලිබඳ මුලිකවම සටන් කරන්න බැරි දේ තමා අප රටේ ජනවාර්ගික සාමයක් නැතිකම. මෙහි සාමයක් නැති තැන අපට අයිතිවාසිකම් පිලිබඳ කථා කරන්න බැහැ. අපි මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.

රටේ දේශපාලන පංතියට අයිතියක් තියෙනවා. ඕනෑම ජරා වැඩක් කරන්න. අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැත්නම් අපිට අනිත් අයිතිවාසිකම් පිලිබඳ කථා කරන්න බැහැ. දරුණු ප්‍රචණ්ඩත්වයක් මේ සමාජයේ තියෙන්නේ. පල්ලේවෙල කසිප්පු බිලා මිනිස්සු මැරෙද්දි ජනාධිපතිතුමා කිව්වේ ඔය මිනිස්සු මැරෙන එක හොඳයි කියලා. මිනිහෙක් මැරෙන එක හොඳයි කියන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඒ කිමට අත්පුඩි ගහන්න දහ දාහක් ඉන්නවනම් ඒකෙන් පේන්නේ අපේ සමාජයේ ප්‍රචණ්ඩත්වයට මොනතරම් කැමතිද කියලා. මේ ප්‍රචණ්ඩත්වය 1971 සිට මම දැක තිබේ. අපේ සමාජයේ තියෙන ප්‍රචණ්ඩත්වය තමා අපේ පොලීසිය තුල තියෙන්නේ.

මම දන්න විදිහට විජේතුංග ජනාධිපතිගෙන් පසුව මේ රටේ ජනාධිපති පුටුවට ආපු හැම කෙනෙක්ම  කුණු හරුපෙන් විරුද්ධවාදින්ට බැනලා තියෙනවා. ජනාධිපති කුණු හරුපෙන් බනින රටක අපි කොහොමද පොලිසය හදන්නේ? මේ ප්‍රශ්න අපි සමාජයේ සාකච්ඡාවට ගත යුතුයි. මේ ප්‍රශ්න දෙක දේශපාලන වශයෙන් අපට විසඳන්න බැරිනම් අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නය විසඳිම අමාරුයි.”

මෙහිදි අදහස් දැක් වු රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා,

“අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තත්වය ඉතාම ශෝචනියයි. අද මාස දෙකෙන් ඉවර කරන්න ඕනේ කියලා ව්‍යවස්ථාවේ සඳහන් වුණාට අවුරුදු 12 තියෙන මුලික අයිතිවාසිකම් නඩු අපි ළඟ තියෙනවා. මේ විදිහට අවුරුදු 12 ක් 15ක් යුක්තිය ඉෂ්ඨ වෙන්න යනවනම් අපිට මොකටද එවැනි අධිකරණ? මිනිස්සු එතකොට යුක්තිය හොයන්න වෙන ක්‍රම වලට පෙළඹෙනවා. ඒ නිසා තමා අපේ සමාජයේ මෙච්චර අපරාධ වැඩි වෙලා තියෙන්නේ. අධිකරණය කඩා වැටිමට ලක් වෙනවා. අපරාධ පරික්ෂණ නියැලෙන පොලිස් නිලධාරින්ගේ මානසික මට්ටම, එයාලා කටයුතු කරන ආකාරය, මේ වගේ සිද්ධියකදි ඒ අදාල සාක්ෂිකාරයා මරා දමන්න තිරණය කරනවා කියන්නේ මේ සමාජයේ බරපතල ප්‍රශ්නයක්. අපරාධ වැලැක්විම සඳහා කටයුතු කරන අපිව ආරක්ෂා කරන්න කටයුතු කරන ඒ අපරාධ පරික්ෂණ නිලධාරින්ම අපිට අභියෝගයක් වෙනවා. මේ ජෙරාඩ්ගේ සිදුවිමෙන් අප රටේ නිතිය හා අධිකරණය පිලිබඳ ලෝකේම අවධානයට යොමු වෙනවා. තාමත් ආණ්ඩුවට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න බෑ. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් තාම මේ පිලිබඳ විමසනවා. මේ රටේ තත්ත්වය අපේ රටේ ජනතාවට බලපාලා තියෙනවා.”


මෙම අවස්ථාවේ නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර මහත්මිය විසින් රචිත “ප්‍රමාද වී ලැබුණු යුක්තිය” නැමැති කෘතියේ දෙවන මුද්‍රණය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ප්‍රකාශනයට පත් කර එළි දක්වන ලදි.

මෙම මහජන මන්ත්‍රණ සභාව නිතිඥ දුලාන් දසනායක මහතා විසින් මෙහෙයවනු ලැබු අතර මෙම අවස්ථාවට විද්වත් සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගි වි සිටියහ.

 

-ශානිකා මාධවී-




2019-08-08
Advertisement

Find us on Facebook