English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සෙල්ලන් පිස්තොලෙන්... මහ උළු ගෙදරට...!


සෙල්ලන් පිස්තොලෙන්... මහ උළු ගෙදරට...!

මත්තල ගුවන් තොටුපල නැරඹිමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් පිරිසකට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මරණිය තර්ජනය කර පහර දිමේ සිද්ධියට අදාලව හම්බන්තොට නගරාධිපති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දුට හා ඔහුගේ ආධාරකරුවෙකු වු ප්‍රේමසිරි පරණමාන යන දෙදෙනාට වසර පහක් බරපතල වැඩ සහිත සිර දඬුවම් අද 02 හම්බන්තොට මහධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කර තිබුණි.

එමෙන්ම විත්තිකරුවන්ට රුපියල් දෙලක්ෂ හැට දහසක දඩ මුදලක් සහ පැමිණිලිකරුවන්ට රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ගෙවිමටද නියෝග කෙරුණි.

2014 වසරේ සිදු වු මෙම සෙල්ලම් පිස්තෝල නඩුවට අවසන් තින්දුව ලැබුනේ අදය. ඒ වසර 05 ගත විමෙන් පසුවය. මෙහිදි චෝදනා 29 ක් යටතේ නගරාධිපතිවරයාට එරෙහිව නඩුව ගොනු කර තිබුණි. නඩුවේ සෙසු සැකකරුවන් තිදෙනා නිදහස් කෙරුණි.

නගරාධිපතිවරයාට මෙලෙස මහ උලු ගෙදර තපින්නට සිදු වුයේ මැර බලය ,දේශපාලන හයිය ප‍්‍රදර්ශනය කිරිමට යාමෙනි.

රාජපක්ෂ දේශපාලන සමයෙහි හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ආදි සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් පිරිසක් වන අජිත් පී පෙරේරා, එරාන් වික‍්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, ආර්.යෝගරාන් හා නලින් බණ්ඩාර ඇතුලු පිරිසක් හම්බන්තොට සංචාරයක යෙදුනේ 2014 අප්‍රේ‍ල් 17 දාය. එකල හම්බන්තොට කෙරුම්කරුවෙකු වි සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයට හම්බන්තොට සිරි නරඹන්නට දෙන්න මැලි විය. එහෙයින් ඔහුගේ ආධාරකරුවන් යොදවා මන්ත‍්‍රිවරුන්ට ගල් මුල් වලින් පහර දෙමින් එලවන්නට විය. ඒ අතර නගරාධිපතිවරයාද පිස්තෝලයක් ගෙනවිත් ප‍්‍රදර්ශනය කර තර්ජන එල්ල කරන්නට විය. මෙහිදි එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිවරු තුවාල ලැබු අතර මේ සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සි.ඩි.වික‍්‍රමරත්න මහතාගේ උපදෙසින් පොලිස් විමර්ශන ආර්ම්භ කෙරුණි. එහිදි හෙලි වුයේ නගරාධිපතිවරයා අත තිබු පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයක් බවය. එමෙන්ම මෙහිදි ඔහු කියා සිටියේ සිදු වෙමින් තිබු ගැටුමක් වලක්වන්න ඔහු මැදිහත් වු බව ය.

කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත් වුවද පසුව ඇප මත මුදා හැර තිබුණි. නමුදු මෙහි නඩුව හම්බන්තොට අධිකරණයේ පැවතුණි. මෙම සිද්ධියෙන් පසුව රට්ටු ඔහුව හැඳින්වුයේ සෙල්ලම් පිස්තෝල මන්ත‍්‍රි යනුවෙනි.

මේ අතර, “වියරුවට එරෙහි වීදියේ විරෝධය” දිවයින පුරා නගර වලට ගොස් විදී නාට්‍ය පෙන්වමින් අත්පත‍්‍රිකා බෙදිමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණේ රජයේ පැවති ඒකාධිපති ගමනට එරෙහිවය.

මෙහි පුරෝගාමින් වුයේ කලා ශිල්පි ජයතිලක බණ්ඩාර ප‍්‍රමුඛ පිරිසකි. මොවුන් හම්බන්තොට නගරය සඳහාද පැමිණියේ 2014-12-21 දාය. එහිදි අත් පත‍්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කරමින් සිටි වීදියේ විරෝදය කණ්ඩායමට පහර දිමට පැමිණියේද හම්බන්තොට නගාරධිපති එරාජ්ගේ ආධාරකරුවන්ය.

මෙහිදි කලා ශිල්පි ජයතිලක බණ්ඩාර, හම්බන්තොට නගර සභා විපක්ෂ නායක එම්. අයුබ්ඛාන්, මාධ්‍යවේදී සම්පත් සමරකෝන් ඇතුලු පිරිසක් තුවාල ලබා හම්බන්තොට මුලික රෝහලට ඇතුලත් කෙරුණි.මෙම සිද්ධියටද අදාලව හම්බන්තොට නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගැනුනත් පසුව ඇප මත මුදා හැරුණි. මේ සම්බන්ධ නඩුවක් මේ වනවිටද හම්බන්තොට අධිකරණයේ විභාග වෙන්නේය.

2015 න් පසු සිදු වු ආණ්ඩු පෙරළියත් සමග යහපාලන රජය දුන් එක් පෙරොන්දුවක් වුයේ ප‍්‍රමාද වි ඇති නඩු කඩිනමින් විසඳන බවත් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන බවත්ය. එකි කියමන සනාථ කරමින් එදා දේශපාලන බලයෙන් වියරුවෙන් දැඟලුවන්ට නිතිය ක‍්‍රියාත්මක වි දඬුවම් ලැබෙමින් පවතින්නේය. සෙල්ලම් පිස්තෝල නඩුවද ඉන් එකකි.

-ශානිකා මාධවී-




2019-08-02
Advertisement

Find us on Facebook