English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලත් තැනම ලොප් වන ජනාධිපතිවරයාගේ මීළග දේශපාලන ගේම් එක - නීතිඥ දුලාන් දසනායක.


ලත් තැනම ලොප් වන ජනාධිපතිවරයාගේ මීළග දේශපාලන ගේම් එක - නීතිඥ දුලාන් දසනායක

පාර්ලිමේන්තුවේ සිටින ජනධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂපාත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ජනාධිපතිවරයාගේ දේශපාලන කණ්ඩායම මේ දිනවල අලුත්ම නාටකයක් ආරම්භ කර ඇති බව පෙනේ. ඔවුන්ට එක්වරම පළාත් සභා මැතිවරණය මතක් වී ඇත. පළාත් සභා මැතිවරණය  ඉක්මන් කිරීමේ අවශ්‍යත්වය මේ මොහොතේ ඇත්තේ ජනාධිපතිවරයාට බව සිදුවීම් දේශපාලනිකව බැලූ කල පෙනී යන අතර දැන් මේ මාධ්‍ය සාක්ච්ඡා තබා ගෙන ඉදිරියෙන් එන්නේ ජනාධිපතිවරයාගේ මීළග දේශපාලන පෙරහැරේ කසකරුවන්ය.

දෙවරක් විධායක ජනාධිපතිධූරයට පත් වීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව සිය මැතිවරණ ව්‍යාපාරයේදී ජනතාවට සපථ කල වර්තමාන ජනාධිපතිවරයා නැවත වරක් විධායක ජනාධීපතිධූරයට පත් වීම උදෙසා නොයෙක් දේශපාලන ගේම් ගැසූ බව අද වන විට මුලු රටම දනී. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින්ද එකී ගේම් ගසන්නට තරම් ජනාධිපතිවරයාගේ බලයේ අපේක්ෂාව උග්‍ර විය. මේ හේතුවෙන් දැනට ලංකාවේ සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිවිහිමියෙන් රකින බවට දිව්රුම් දී ධුරයේ වැඩ භාරගත් එනමුත් දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කල ජනාධිපතිවරයෙකි. මෙම බලය උදෙසා කරන ලද දේශපාලන ක්‍රීඩා නිසා ජනාධීපතිවරයා ජනතාව අතර බලවත් සේ අප්‍රසාදයට ලක් විය.

මේ දක්වා පළාත් සභා මැතිවරණය කල් යාමට රජයේ පාර්ශව දෙකම වගකිව යුතු වුවත් මුල සිටම එසේ කල් දැමීමට අදාළ බොහෝ කටයුතු සිදු කළේ ජනාධීපතිවරයාගේ කණ්ඩායම බව සිදුවීම් දේශපාලනිකව නිරීක්ෂණය කරන්නකුට දැක ගත හැකිය. මෙම කරුණට අදාළ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ ෆයිසර් මුස්තාෆාය.

ඔහුගේ අලුත්ම දේශපාලන ගේම් එක පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර ලබා ගැනීම බව පෙනේ. ඒ සඳහා ඔහුගේ සගයන් මුට්ටිය දමා බැලීම ආරම්භ වී ඇත. ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයෙන්ද අපේක්ෂකත්වය ලැබීම අවධානමකට ලක් වී ඇති වටපිටාවක ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය ගෙනැවිත් එ.ජා.ප කඳවුර අවුලකට ලක් කිරීමත්, එමෙන්ම ජනාධීපතිවරණය යම් පමණකට කල් දමා ගැනීමත් අපේක්ෂා කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කලේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇත්තේ ක්‍රම දෙකක් බවයි. ඉන් එකක් සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවයි. ඒ දැනට සම්මත වී ඇති පළාත් සභා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන එමින් එකී නව පනත බලාත්මක වීම වර්ෂ 2021 දක්වා කල් තැබීමයි. එවිට පැරණි පනත යටතේ මැතිවරණය පැවැත්වීමට අවස්ථාව ලැබෙනු ඇත. එසේත් නැත්නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පැරණි ක්‍රමයට  මැතිවරණය පවත්වන ලෙසට නියෝගයක් මැතිවරණ කොමිසමට ලබා දිය යුතුය. මැතිවරණ කොමිසමේ සභාපති වරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ එකී කුමන කරුණක් හෝ අගෝස්තු මස 15 වන දිනට පෙර සිදු වී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පසුබිම සැකසිය යුතු බවයි. එසේ අගෝස්තු 15 දින පසු වී විසඳුම් ලැබුණද ඔවුන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන බව ඔහු අවධාරණය කරන ලදී.

මේ අනුව පෙනී යන්නේ ජනාධීපතිවරයා සිය බලයේ පැවැත්ම උදෙසා සිදු කිරීමට නියමිත මේ දේශපාලන ගේම් එක ආරම්භ කිරීමට පෙරම පරාජය වී ඇති බව නොවේද.

        

-නීතිඥ දුලාන් දසනායක-




2019-08-02
Advertisement

Find us on Facebook