English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති නීතිඥවරු පත් කර වාර්තා තැබීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!


ජනාධිපති නීතිඥවරු පත් කර වාර්තා තැබීමට එරෙහිව

මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

ජනාධිපති නීතිඥවරු පත් කර වාර්තාවක් තැබීමේ ජනාධිපතිගේ උත්සහයට එරෙහිව නීතිඥවරයකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්.  පෙත්සම සලකා බැලීම අද දින (ජූලි 31)

මෑත යුගයේ අඩුම කාලයක් තුළ පෙර කිසි කලක නොවූ ප්‍රමාණයක නිතීඥවරුන් පිරිසක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ලදී. එක් වරකදී වැඩිම ජනාධිපති නීතිඥවරුන් පිරිසක් පත් කිරීමේ වාර්තාවට පෙර හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. හිටපු ජනාධිපතිවරයා විවේචනය කරමින් පැමිණි වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ වාර්තාව ඉතා ඉක්මනින් අභිබවා යමින් සිය ධූර කාලය තුළදී ඉතා විශාල ප්‍රමාණයක් නීතිඥවරුන්ට ජනාධිපති නීතිඥ පත් වීම් ප්‍රදානය කරන ලදී. ජනාධිපති නීතිඥවරුන් ලෙස අතීතයේදී පත් කරන ලද්දේ නීතිඥ වෘත්තිවේ ජ්‍යෙෂ්ඨත්වයට හා වෘත්තීය නිපුණත්වයට පත් වූ සෙසු නීතිඥවරුන්ගේ ගෞරවයට පාත්‍රවූ නීතිඥවරුන්ය. නමුත් පසුගිය දශකයක පමණ කාලයක සිට එලෙස පත් කරන ඇතැම් අය එම ගෞරවනීය තනතුරට සුදුස්සන්ද යන්න මතභේදාත්මක විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වර්තමානයේදී මේ ප්‍රශ්නයට අවශ්‍ය පරිදි මැදිහත් වීමක් කර ඇති අතර ඉදිරියටත් මැදිහත්වීමක් සිදු කරනු ඇත. එලෙස කටයුතු කිරීමට ඉදිරියට පැමිණීම ගැන නීතිඥ සංගමයට ප්‍රණාමය හිමි විය යුතුය. මෙම තත්වය තුළ මෙලෙස අවිධිමත් පරිදි ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම වැළැක්වීමට නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා තීරණාත්මක මැදිහත්වීමක් සිදු කර ඇත. ඒ පසුගිය කාලය පුරාවට නිසි ක්‍රමවේදයෙන් බැහැරව ජනාධිපති නීතිඥවරුන් පත් කර ඇතැයි කියමින් හා ඒ හේතුකොට ගෙන නීතිඥවරයකු ලෙස තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කිරීම මගිනි.

පසුගිය වසර තුනක කාලය තුළදී පමණක් ජනාධිපති නීතිඥවරුන් 75 දෙනෙක් පත් කර ඇති බවත් ඒ සඳහා පිළිගත් නිර්ණායකයන් අනුගමනය කර නොමැති බවත් පෙත්සම මගින් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කියා සිටී.

මෙම පත් කිරීම් මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් එපමණක් නොව ජනාධීපති නීතිඥවරුන් පත් කිරීමේ නිර්ණායකයන් හඳුන්වා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීම විශේෂත්වයක් මෙන්ම වැදගත් මැදිහත්වීමක්.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධීපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටි අතර මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය හා ප්‍රීති පද්මන් සූරසේන යන ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ පසුගිය 26 වනදා කැඳවනු ලැබීය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා උපදෙස් ලබා ගැනීම සඳහා කල් ඉල්ලීම හේතු කොට ගෙන පෙත්සම සලකා බැලීම ජූලි 31 දින එනම් අද දින සිදු කිරීමට නියම කරන ලදී.

-නීතිඥ දුලාන් දසනායක-




2019-07-31
Advertisement

Find us on Facebook