English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණයට අපහාස කිරීම පිළිබඳව වැරදි මත - බැසිල් ප‍්‍රනාන්දු


අධිකරණයට අපහාස කිරීම පිළිබඳව වැරදි මත - බැසිල් ප‍්‍රනාන්දු

අධිකරණයට අපහාස කිරීම (Contempt of court)  යන වචනය නීතිමය සුවිශේෂ අර්ථයක් ඇති වචනයකි. වෙන ආකාරයකින් කිවහොත් අධිකරණයට අපහාස කිරීම යන්න නෛතික වශයෙන් නීර්නය වී ඇති වචනයකි. මෙම වරද පිළිබඳව වටහා ගැනීමකින් තොරව අධිකරණයට අපහාස කිරීම යන්න ඉතාමත්ම කුහක ආකාරයකින් හා අර්ථ විරහිත ආකාරයකින් යොදා ගන්නට උත්සාහ කරන අවස්ථාවන් වාර්තා වී ඇත. මේ නිසා මෙම වරද සම්බන්ධයෙන් නිවැරදි නීතිමය තේරුම කුමක්ද යන්න පැහැදිළි කර ගැනීම අත්‍යවශ්‍යව ඇත.
 
පොදුනීතිය (Common Law) යන ජාත්‍යන්තර නෛතික සම්ප‍්‍රදාය තුළ හැදී වැඞී පවතින නීති ක‍්‍රමයකි. පොදු නීතිය යන්නෙන් අදහස් කළේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ එක්සත් රාජධානිය තුළ විනිශ්චයකාරවරුන් නඩු ඇසීමේදී අනුගමනය කළ ප‍්‍රතිපත්ති පිළිබඳව මූලික සම්පින්ඩනයකි. ලංකාවේ සකල නීති පද්ධතිය ගොඩනැගී ඇත්තේ මෙම සම්ප‍්‍රදාය තුළය. මේ අනුව එක්සත් රාජධානිය තුළ අධිකරණයට අපහාස කිරීම යන වරද සම්බන්ධයෙන් ඉතා පැහැදිළිව ප‍්‍රකාශයට පත් කළ පනතක් ඇත. එම පනතේ අඩංගු වන්නේ ඉහත කී ආකාරයට බොහෝ කාලයක් තුළ වර්ධනය වූ මූලික සිද්ධාන්තයන්ය. බි‍්‍රතාන්‍යය යටත් විජිතයක්ව පැවති හොංකොං නගරය තුළද අධිකරණයට අපහාස කිරීම යන වරද නීති ගත කිරීම සඳහා සුවිශේෂ කොමිසමක් පත් කරන ලදි. එම කොමිසමේ කාර්යය වූයේ Common Law සම්ප‍්‍රදාය යටතේ අධිකරණයට අපහාස කිරීම යන වරද පිළිබඳව සකල නීතිය සම්පින්ඩනය කොට දැක්වීමය. ඒ අනුව එම කොමිසන් සභාව විසින් වාර්තාවක් නිකුත් කරන ලදි.
 
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය තුළ බලපවත්වන නීතිය 1981 අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත යනුවෙන් නම් කර ඇත. එම නීතියත්  අනිත්  Common Law අනුගමනය කරන රටවල නීතිත් සම්පීඩනය කරමින් හොංකොං නීතිය සංශෝධනය කිරීමේ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති වාර්තාව නම් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ වාර්තාව යනුවෙනි. ඉහත කී මහා බි‍්‍රතාන්‍යයේ පනතත්, හොංකොං නීති සංශෝධන කොමිසම විසින් නිකුත් කරන ලද වාර්තාවත් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය ඉතා දීර්ඝව සඳහන් කොට ඇත.

මේ අනුව, අධිකරණයට අපහාස කිරීම යන වචනයෙන් කියැවෙන්නේ සුවිශේෂ නඩු කි‍්‍රයාදාමයක් යටතේදී අධිකරණයකට කටයුතු කිරීම යටපත් කරන හෝ අධිකරණය ඒ සහන ඉල්ලා සිටීමට රටවැසියන්ට බාධා කරවන කි‍්‍රයාකලාපයන්ය., මේ අනුව අධිකරණයට අපහාස කිරීම යනුවෙන් කියවෙන්නේ යම් සුවිශේෂ නඩුවකදී අදාල වන කරුණකි. යම් පාර්ශවයන් දෙකක් අතර ඇති වන නඩුවක් හෝ අපරාධ නීතිය සම්බන්ධයෙන් රජය හා රටවැසියෙකු අතර ඇති වන නඩුවක් ගෙනයෑම යටපත් කරමින් කරන කි‍්‍රයා හා එම නඩු වල දී අධිකරණය ඉදිරියට අවුත් මෙම ප‍්‍රශ්න විසඳා ගැනීමට බාධා කරන කි‍්‍රයා උසාවියට අපහාස කිරීම් ලෙස සලකයි. මේ නිසා මුලින්ම තේරුම් ගත යුතු කරුණ වන්නේ එනම් අධිකරණයට අපහාස කිරීම යන වරද පාර්ශවයන් අතර විශේෂ නඩුවක දී ඇති වන ප‍්‍රශ්න සම්බන්ධයෙන් පමනක් පැන නගින අතර එයින් පිටත අධිකරණයට අපහාස කිරීම යන කි‍්‍රයාදාමය සිදුවීමට නොහැක.

අධිකරණයට අපහාස කීරිම යන වචනයේ නෛතික කි‍්‍රයාදාමය වන්නේ එය සුවිශේෂ වූ නඩුවක් කෙරෙහි පමනක් බලපවත්වන බවය. පොදුවේ අධිකරණ ක‍්‍රමය පිළිබඳව හෝ අධිකරණ ක‍්‍රමය තුළ ඇති විවිධ අඩුපාඩු පෙන්වා දීම අධිකරණයට අපහාස කිරීම යන විෂයය යටතට වැටෙන්නේ නැත. මෑතක දී හිටපු යුක්තිය පිළිබඳ ඇමතිවරයෙකු විසින් ප‍්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිළ වාර්තාකරුවෙකු සමඟ අධිකරණය කරන සාකච්ඡුා නිල වශයෙන් සංවිධානය නිළධාරීන් අධිකරණයට අපහාස කිරීමක් කරන බවය.  මෙය අධිකරණයට අපහාස කිරීම යන වචනය නොදැනුවත්කමින් හෝ නැත්නම් දැනුවත්කමක් ඇත්නම් ඉතා කුහක ආකාරයකින් යොදා ගනිමින් යම් පාර්ශවයන් මන:කල්පිත අදහසක් ඔස්සේ ද`ඩුවමට පමුනුවා ඔවුන් බියපත් කිරීමට කරන උත්සාහයක් වශයෙන් පැහැදිළිව පෙනේ.

යම් වාර්තාවක් ප‍්‍රසිද්ධ කිරීම අධිකරණයට අපහාසයක් බවට පත් විය හැක්කේ එය අධිකරණයක් ඉදිරියේ ඇති සුවිශේෂ නඩු කි‍්‍රයාදාමයක් පිළිබඳව කරන ප‍්‍රකාශයක් වු අවස්ථාවකදී පමනි. අධිකරණයක් ඉදිරියේ පවතින නඩුවක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී එය නිසි ලෙසත් කිසියම්ම විකෘති කිරීමකින් තොරවත් එමෙන්ම යම් පාර්ශවයකට වාසි සිදුවන හෝ තවත් පාර්ශවයකට අවාසි සිදුවන ආකාරයට නොකිරීමත් යන කරුණු මෙම වාර්තාකරණය සම්බන්ධයෙන් බලපවත්වයි. මෙහිදී ද ඉතා පැහැදිළි කරුණ වන්නේ අධිකරණ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් පොදුවේ, අධිකරණ ක‍්‍රමය සම්බන්ධයෙන් පොදුවේ හා සුවිශේෂ නඩුවකට අසම්බන්ධිතව යම් වෙනස්කම් සිදුවීම පිළිබඳව කරනු ලබන කිසියම්ම හෝ වාර්තාවක් අධිකරණයට අපහාස කිරීමේ ඝනයේලා සැලකීමට නීතිමය පදනමක් නැත. ඉතා පැහැදිළිව 1981 එක්සත් රාජධානියේ පනතත් අධිකරණයට අපහාස කිරීම පිළිබඳව Common Law සාරාංශ ගත කර ඇති හොංකොං නීති ප‍්‍රතිසංස්කරණ කොමිසමේ වාර්තා දෙකේම ඉතා පැහැදිළිව ප‍්‍රකාශ කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම යන වරද භාෂනයේ නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට කොයි ආකාරයකින්වත් විරුද්ධව පාවිච්චි කළ නොහැකි බවය. එසේ පාවිච්චි කළ හැකි එකම අවස්ථාව ඉහත සඳහන් කළ ආකාරයට කිසියම් සුවිශේෂ නඩුවක් පිළිබඳව වැරදි වාර්තාවක් හෝ එක් පාර්ශවයකට වාසි වන වාර්තාවක් නිකුත් කිරීම මගින්ම පමනය.

මේ පිළිබඳව නීති විශාරදයන් හා ඉතා ප‍්‍රසිද්දියට පැමිණි විනිසුරු වරුන් ප‍්‍රකාශ කර ඇත්තේ අධිකරණ ක‍්‍රමය පිළිබඳ විවේචන නැතිව ගියහොත් එය අධිකරණයේ වෙනස්කම් ඇති කර ගැනීමට විශාලම බාධාව වන බවය. මෙහිදී සමාජයේ වෙනත් අංශයන් වල වෙනස් විය යුතු තැන් වෙනස් කර ගැනීමට විවේචනය අවශ්‍ය මෙන්ම අධීකරණය තුළද වෙනස්කම් ඇති කර ගැනීමට විවේචනාත්මක ප‍්‍රකාශන නිකත් කිරීම පිළිබඳව අධිකරණයට අපහාස කිරීම යන වරද පාවිච්චි කිරීමට කිසියම්ම හෝ පදනමක් නැත.

ඉහත සඳහන් වාර්තා වලට අනුව අධිකරණයට අපහාස කිරීම යන වරදට අදාළ වන කරුණ මේවාය.,
නඩුවක විනිශ්චය පිලිබඳව බලපෑම් කිරීමේ අරමුණෙන් විනිශ්චයකාරවරයෙකුට කරනු ලබන බලපෑම්, නඩුවක සාක්ෂි දෙන සාක්ෂි කරුවන් එසේ සාක්ෂි දීමෙන් වළක්වා ලීමට කරනු ලබන විවිධ බියගැන්වීම් හා වෙනත් කරුණු හෝ එම සාක්ෂියේ ස්වභාවය වෙනස් කිරීම සඳහා කරනු ලබන උත්සාහයන්, අධිකරණයක සාක්ෂි දීම සම්බන්ධයෙන් එම සාක්ෂිකරුවන්ට කරනු ලබන හිරිහැර, අධිකරණයේ නොතීසි ගෙනයන නිළධාරීන්ට බලපෑම් කිරීම, අධිකරණයේ නිළධාරීන්ට ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට බාධා කිරීම, අධිකරණයක දෙනු ලබන නියෝග අනුව කටයුතු කිරීමට ප‍්‍රතික්ෂේප කිරීම, හා මීට සමානව සුවිශේෂ නඩුවක් අසන අධිකරණයකට බලපෑම් කිරීමට කරන උත්සාහයන්.
 
ජූරි සභාවකට සම්බන්ධ වන ජූරි සභිකයන්ට කරන හිරිහැරද අධිකරණයට අපහාස කිරීමක් යටතට ගැනේ. නඩුවකට සහභාගි වන පාර්ශවයන්ට නොයෙක් ආකාරයේ බලපෑම් කිරීම් තර්ජන කිරීම් ආදියද එම ඝනයටම ගැනේ.

තවදුරටත් අධිකරණයට අපහාස  කිරීම යන්නෙන් හැඟවෙන්නේ අධිකරණය තුළදී විනිශ්චයකාරවරයාට හෝ අධිකරණ නිළධාරීන්ට හෝ ඔවුන්ගේ රාජකාරී කිරීමට බාධා වන සේ වාචිකව හෝ වෙනත් කි‍්‍රයා මගින් කරනු ලබන බාධා කිරීම්ය. මෙවැනි බාධා කිරීම් හා හිරිහැර කිරීම් පිළිබඳව දඩුවම් පැමිණවීමේ අයිතිය එම අධිකරණයටම ඇත.

මෙහි දී Contempt of court යන ඉංග‍්‍රීසි වචන සිංහලට පෙරලා ඇති ආකාරය තුළින්ද යම් ගැටලූ මතු වේ. අධිකරණය අපහාසයට ලක් කිරීම යන්නෙන් ඇත්තටම එම වචන වල නියම අර්ථය හැඟවෙන්නේ නැත. අපහාස කිරීම යන්න බොහෝ දුරට ගැනෙන්නේ deformation යන ඉංග‍්‍රීසි වචනයට අනුවය. එහෙත් මලලසේකරගේ ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝෂයට අනුව Contempt යන වචනයට පහත සඳහන් සිංහල වචන යොදා ඇත. පිළිකුල, අවඥාව, නිග‍්‍රහය, අගෞරවය, අපහාසය, පිළිකුලට භාජනය වීම ආදියයි. මෙයින් බොහෝ දුරට අධිකරණයට අගෞරව කිරීම යන වචන මෙම වරද පිළිබඳව වඩා නිවැරදි අර්ථකථනයක් යන්න මගේ මතයය. යම් සුවිශේෂ නඩු විභාගයකදී අධිකරණයට අගෞරව වන ආකාරයෙන් හා අධිකරණයේ කටයුතු වලට බාධා වන ආකාරයෙන් යමෙක් තම හැසිරීමෙන් හෝ කතාවෙන් කි‍්‍රයා කරයි නම් එම කටයුත්තට අගෞරව කරයි. එසේත් නැත්නම් අධිකරණයෙන් නියෝග පිළිනොපැද සිටීනම් එයද අධිකරණයට කරන අගෞරවයකි. එසේත් නැත්නම් අධිකරණ කි‍්‍රයාවලියේ යෙදී සිටින විනිශ්චය කරුවෙකුට හෝ අධිකරණ නිල නියෝජිතයෙකුට පහර දීම බැණවැදීම ආදී කි‍්‍රයාමගින් හෝ කතා මගින් එම අධිකරන කි‍්‍රයාමාර්ගයට බාධා වන ආකාරයට කටයුතු කරයි නම් එය ද අගෞරවයකි.

මේ අනුව  අධිකරණයට අපහාස කිරීම යන මෙම වරද නෛතික වශයෙන් සීමා සහිත පටු ක්ෂේත‍්‍රයක් තුළ පමනක් කි‍්‍රයා කළ හැකි වරදකි. වචන පටලවා මහජනතාව නොමග යැවීමේ සිරිත ලංකාවේ උගත් යැයි සලකන සමහර මිනිසුන් නොකඩවා මේ සමාජය තුළ කර ඇති බරපතල වරදකි. නීතිය කි‍්‍රයාත්මක කරන්නේ ඉහතා පැහැදිළි නිර්වචන හා ඉතා පැහැදිළිව වැරදි ප‍්‍රකාශයට පත් කිරීම තුළිනි. එම නිසා මේ ප‍්‍රශ්නය පිළිබඳව දැඩි අවධානයක් යොමු විය යුතු අතර මෙම විෂය පිළිබඳව අවබෝධයක් නීතිඥවරුන් තුළ මෙන්ම ජනතාව තුළද තිබිය යුතුය. අධිකරණයට අපහාස කිරීම යන වචන පාවිච්චි කරමින් සමාජයේ ප‍්‍රකාශන ශක්තියට බාධා කරයි නම් එය සමාජය අඩපන කරන හෝ මරා දමන ක‍්‍රියාමාර්ගයක් මිස සමාජයේ කටයුතු වඩා හොදින් කර ගෙන යාමට කරන උදව්වක් නොවේ. අධිකරණයට අපහාස කිරීම යන වරදෙන් බලාපොරොත්තු වන්නේ කිසිදු බාධා කිරීමකින් තොරව අධිකරණයේ නිළ කටයුතු නිසිආකාරයෙන් බුද්ධිමය ආකාරයෙන් පවත්වා ගෙනයාමට තියෙන ඉඩකඩය. ජනතාවට අදාළ නිරන්තර ප‍්‍රශ්නයන් අධිකරණය තුළ සාකච්ඡා වන හෙයින් එම සාකච්ඡා බැරුම්ව හා බාධාවෙන් තොරව කරගෙන යාමටත් ඉඩකඩ තිබිය යුතුය. එය අධිකරණයේ වුවමනාවක් පමනක් නොව එය සමාජයේ වුවමනාවකි. නමුත් එම වචන නොනිසි විදිහට පටලවා ජනතාව තුළ වැරදි මත ගොඩනැගීම ජනතාවටවත් රටටවත් සාධනීය ප‍්‍රතිඵල ගෙනදෙන කටයුත්තක් නොවේ.
 


නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු




2019-07-31
Advertisement

Find us on Facebook