English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“සිදු වන්නේ කුමක්ද?” : සාෆි නඩුව - දුලාන් දසනායක


සිදු වන්නේ කුමක්ද?” : සාෆි නඩුව - නීතිඥ දුලාන් දසනායක

සිංහල මව්වරුන් වන්ධ්‍යාකරණයකට ලක් කළේ යැයි චෝදනාවට ලක්වූ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සාෆි සහබ්ධීන් පසුගිය ජූලි 27 වනදා කරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් ඇප මත මුදා හරිනු ලැබීය. මෙම ඇප ලබා දීමෙන් පසු විවිධ පාර්ශවයන් ඇප ලබා දීමට එරෙහිව මාධ්‍ය මගින් කරුණු දක්වනු ලබන ආකාරය පෙනෙන අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් ඉතා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ආකාරයද පෙනේ. වඩාත් අපූරු ප්‍රකාශ නිකුත් කරන්නේ අගතියට පත් වූවායැයි කියන මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ය. ඔවුන් ඇප දීම රීතිය ඇප නොදීම ව්‍යතිරේකය යන නෛතික සිද්ධාන්තය හොදින්ම දැන දැනත් ජනමාධ්‍ය ඉදිරියට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අතර ඒ මගින් රජයට එරෙහිව මහජන මතයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බව නිරවුල් මනසක් ඇති ඕනෑම අයකුට පෙනී යයි. ඔවුන් ඇප දීමට එරෙහිව ගෙන ආ තර්ක පසුගිය අවස්ථාවල ගරු අධිකරණය පිළිගත්තද මේ අවස්ථාවේදී ගරු අධිකරණය එය නොපිළිගෙන ඇත. මේ තත්වය අධිකරණ ක්‍රමවේදය දන්නා ඕනෑම අයකු හොදින්ම දන්නා දෙයකි.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රට තුළ උද්ගත වූ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ඉදිරියට ආ වෛරී වටපිටාව තුළ මෙම වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම එකී වෛරය තවදුරටත් වර්ධනය කිරීමටත් එය නිදන්ගත වෛරයක් බවට පත් කිරීමටත් පිටු බලය සපයනු ලැබීය.

මෙම වටපිටාව තුළ මේ සිදුවීම පෙළගැසුනු ආකාරය පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය.

ප්‍රථමයෙන්ම මැයි 23වන දා දිවයින පුවත්පත තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා. සාක්ෂි සහිතව තොරතුරැ හෙළි වේ යනුවෙන් පුවතක් පළ කරන ලදී. සමාජයක් ඇවිස්සීමට තරම් මේ පුවත ප්‍රභල විය. එදිනම සවස රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් යොදමින් මෙම ප්‍රමාණය 8000 ක් බවත් සිදු කල වෛද්‍යවරයා සාෆි බවටත් ඇගවෙන පරිදි තොරතුරු වාර්තා කරන ලදී.

මේ පිළිබඳව කරන ලද විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මව්වරුන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක් පොලීසියේ කිසිදු අංශයකට පැමිණිල්ලක් ලැබී නොමැති බවත් අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.

මැයි 25වන දින වෛද්‍ය සාෆි කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනුනි. ඒ මෙම වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන් වඳභාවයට පත් කිරීම පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොමැති වටපිටාවක් තුළය.

කඩිමුඩියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට රෝහල් පාලනාධිකාරිය සූදානම් බවත් පැමිණිලි කිරීමට මව්වරුන්ට රෝහලට පැමිණෙන ලෙසත් දන්වන ලදී.

අත්අඩංගුවට ගැනීම සිදු වූයේ කුමන හේතුවක් මත වුවත් රට පුරාම සිංහල මව්වරුන් වඳභාවයට පත් කල දොස්තර ලෙස මෙම වෛද්‍යවරයාව ප්‍රචලිත වී තිබුණි. වත්කම් ඉපයීමේ චෝදනාව කෙසේ වුවද පොලීසියේ පරීක්ෂණද අධිකරණයේද සාකච්ඡාවට ලක් වූයේ මෙම වන්ධ්‍යාකරණය ගැනය. මේ වන විට සාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් සිදු කල මව් වරුන් කුරුණෑගල රෝහල වෙත  පැමිණෙමින් තිබුණි. එසේ පැමිණෙන මව්වරුන් පිලිබඳ පුළුල් ප්‍රචාරයක් මේ වන විට මාධ්‍ය මගින් ලබා දෙමින් තිබුණි.

මෙම පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණි.

වෛද්‍ය ෂාෆිට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය ද විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කල අතර, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යු. ඩී. පී. රත්නසිරි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එල්.. බස්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී එස්. අයි. ගුණවර්ධන කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. බැලූ බැල්මටම මෙම පරීක්ෂණ මන්ඩලය අදාළ ක්ෂේත්‍රයන් නියෝජනය වූ ඉහළ මට්ටමේ එකක් විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සිදුවීමේදී වෛද්‍ය වෘත්තිය උගසට තබා කටයුතු කරන ලදී. ඔවුන් සෞඛ්‍ය ඇමතිවරයා සමග ඇති දේශපාලන කෝන්තරය පිරිමසා ගැනීමට මෙම තත්වය පාවිච්චි කිරීමට උත්සහ කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරීක්ෂණ මණ්ඩලයට කුරුණෑගල රෝහලේ පාලනාධිකාරිය විසින් බාධා එල්ල කරන ලද බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ තත්වය තුළ පරීක්ෂණ සිදු කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට අදාළව ප්‍රකාශ 758ක් ලබා ගෙන ඇත. සිසේරියන් සැත්කම්වලට භාජනය වූ කාන්තාවන් 601, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්  07, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්: 01, නොමේරු ළදරුවන් පිළිබඳ වෛද්‍යවරුන්: 06, සිසේරියන් සැත්කම්වලට සහය වන වෛද්‍යවරුන්: 11. නිර්වින්දන වෛද්‍යවරුන්: 10, හෙද නිලධාරිනියන්: 70, ප්‍රධාන හෙද නිලධාරිනියන්: 01, උපස්ථායක සේවකයින්: 18, මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරුන්: 01, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා, චෝදනාවට ලක්වූ වෛද්‍ය ෂාෆි යන අයගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මේ ප්‍රකාශ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිටු දෙසිය ගණනකින් යුත් වාර්තාවක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන් අතර ඒ අනුව ඔවුන් ප්‍රකාශ කලේ වෛද්‍ය ෂාෆි මව්වරුන් වන්ධ්‍යාකරණයට ලක් කලේ යැයි තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මෙම තත්වය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එච්.සී.ජී පරීක්ෂණය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත් තෝරාගත් මව්වරුන් සඳහා සිදු කිරීමට යෝජනා කර තිබුණු අතර ඒ සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරයද ඉල්ලා සිටින ලදී. මේ සම්බන්ධයෙන් මව් වරුන් දැනුවත් කිරීම සඳහා විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩමුලුවක් 30 වන දින සිදු කිරීමට සූදානම් කර තිබුණද කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය. මෙලෙස මෙම කටයුතු තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කලේ අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙම පරීක්ෂණයෙන් මව්වරුන්ට බරපතළ හානි සිදු වන බවට කරන ලද කරුනු දැක්වීම සලකා බලාය. එය තහවුරු කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා දන්ත වෛද්‍ය වරයෙකු වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකගෙන් විවෘත අධීකරණයේදී ප්‍රකාශයක්ද ලබා ගත්තේය. ඔහුද පැවසුවේ මෙම පරීක්ෂණය මව්වරුන්ගේ සෞඛ්‍යයට බරපතළ හානි ගෙන දෙන බවයි. වඩා සැක මතුවන කාරණයක් නම් මෙම රෝහල් අධ්‍යක්ෂකගේ ප්‍රකාශය නඩු වාර්තාවෙන් ඉවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබීමය. එකී ප්‍රකාශය මත තීරණ ගෙන එම ප්‍රකාශ නඩු වාර්තාවෙන් ඉවත් කිරීමට ලඝු ලේඛිකාවන්ට උපදෙස් දීම බරපතළ තත්වයකි.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ මෙම හැසිරීම පිළිබඳව අධිකරණ සේවා කොමිසමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු තවත් පිරිස් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

කුරුණෑගල ඇත්කඳ විහාරයේදී පැමිණිලි කරන ලද මව් වරුන්ට සම්මන්ත්‍රණයක් පවත්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර ඇති පරීක්ෂණයට සම්බන්ධ නොවන ලෙසත් එකී පරීක්ෂණය හරහා පිළිකා ඇතුලු මාරාන්තික අබාධ ඇති විය හැකි බවටත් දැන්වූ බවට වාර්තා වී ඇත.
නමුත් එකී පරීක්ෂණය ඕනෑ තරම් ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදු කෙරෙන අතර ඉන් කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර එමෙන්ම වෙනත් අතුරු ආබාධද විශේෂ වශයෙන් වාර්තා වී නොමැත. 

වන්ධ්‍යාකරණයට ලක් වූවා යැයි චෝදනා කරන මව්වරුන් ඉහත කී පරීක්ෂණයෙන් පරීක්ෂා කිරීමට කොළඹ කාසල් රෝහලේ හා සොයිසා කාන්තා රෝහලේ අවස්ථාව සලසා දී තිබුණද කිසිදු මවක් ඒ සම්බන්ධයෙන් පැමිණ නොතිබුණි.

මේ සියලු සිදුවීම් අවසානයේ වෛද්‍ය සාෆි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කොට තැබීමට නොහැකි වන බව හොඳින්ම පැහැදිලි වී තිබුණි. ඒ අනුව ඔවුන් ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති වනු ඇත යන සුප්‍රසිද්ධ අවිය භාවිතා කිරීමට හිත හදාගත්තේය. නඩුව කැඳවන දින පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවයක් අධිකරණය ඉදිරිපිටදී පවත්වන ලදී. අවසානයේ ඇප ලබා නොදීමට හේතු ලෙස වන්ධ්‍යාකරන චෝදනා පසෙකලා අයතා වත්කම් ඉපයීමේ චෝදනාව ඉදිරියට ගන්නා අයුරුද දැකිය හැකි විය.

මෙම අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පවසමින් වෛද්‍ය ෂාෆි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේ වන විටත් ගොනු කර ඇත.
 
පසු සටහන් -

1.      වෛද් ෂාෆි අත්අඩංගුවට ගැනීමට නියෝග දුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍ය වරියක් බවට වාර්තා පළ වී ඇත.
2.      කුරුණෑගල මහේස්ත්රාත්වරයාගේ බිරිඳ කුරුණෑගල රෝහලේ වෛද්‍ය බවට වාර්තා පළ වී ඇත.
3.      කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක හා ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ අතර දේශපාලන සම්බන්ධතා තිබූ බවට වාර්තා පළ වී ඇත.
4.      වෛද්‍ය ෂාෆි කුරුණෑගල නගරයේ පිහිටි බොහෝ දෙනා මිලදී ගැනීමට ඉල්ලුම් කල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමද සිදු කර ඇති බවට වාර්තා පළ වී ඇත.



දුලාන් දසනායක
 



2019-07-30
Advertisement

Find us on Facebook