English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් නඩු පමාව නතර කළ හැකිද?


අධිකරණයේ නඩු පමාව වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 94.55 වැය කරන්නට යන බව මාධ්‍ය වාර්තා වලින් ප‍්‍රකිශයට පත් වී ඇත. මෙහිදී මතු වන ප‍්‍රශ්නය නම් මෙම ඩොලර් මිලියන 94 වැඩි ප‍්‍රමාණය කුමන ආකාරයට වියදම් කිරීමට බලාපොරොත්තු වනවාද ? හා එම මුදලින් අනිසි ප‍්‍රයෝජන නොගන්නා බව සහතික කිරීමට ඇති වැඩපිළිවෙලක් පවතීද යන ප‍්‍රශ්නයයි.

වාර්තා වලට අනුව මෙම මුදල් ප‍්‍රමාණය මූලිකව වැය කිරීමට බලාපොරොත්තු වන්නේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහායි. අධිකරණ සඳහා ගොඩනැගිලි හා විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම සඳහා ගොඩනැගිල්ලක් මේ අතරට අයත් වන බව මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.  

ගොඩනැගිලි වල එක්තරා පළල් වීමක් සිදු විය යුතු බව නොරහසකි. 2017 දී පලකළ පාර්ලිමේන්තු කමිටු වාර්තාවක ද මෙම යෝජනා ඉදිරිපත් කොට ඇත. එහෙත් දැනට කොළඹ පවතින අධිකරණ ගොඩනැගිල්ල සාදන වෙලාවේදී එක් එක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට කරන ලද ප‍්‍රකාශයක් එස්.එල්. ගුණසේකර මහතා විසින් රචිත පොතක සටහන්ව ඇත. එය මෙසේය. අපි අලූත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් හැදුවා. ඒකත් එක්කම අපිට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති වුණා. දැන් අලූත් අධිකරණ ගොඩනැගිල්ලක් සාදා ගෙන යනවා. එය හදා අවසන් වන විට අපිට තිබුණු ස්වාධීන අධිකරණයත් නැති වෙලා තියෙන්න පුළුවන්.

නඩු පමාවට ගොඩනැගිලි පිළිබඳ ප‍්‍රශ්නය එක්තරා සම්බන්ධයක් ඇති බව ඇත්තය. එහෙත් නඩු පමාව වැළැක්වීම සඳහා මූලික ප‍්‍රශ්නය හුදෙක්ම ගොඩනැගිලි පිළිබඳ ප‍්‍රශ්නය නොවේ. ඊට වඩා සමාජීය වූත් මානසික වූත් ගැටලූ රාශියක් ඇත. එම ගැටලූ නිරාකරණය කර ගැනීමේ ප‍්‍රයත්නයකින් තොරව හුදෙක් තවත් ගොඩනැගිලි සෑදූ පමනකින්ම නඩු පමාවේ වෙනසක් ඇති වේ යැයි සිතීම අමාරුය.

සමාජීය වශයෙන් පවතින මූලික ගැටලූ ගණනාවකි. එයින් පළමු වැන්න නම් නූතන තාක්ෂණයට පුරුදු වීමට කිසියම් වූ සැලකිය යුතු ප‍්‍රයත්නයක් දරා නොමැතිකමය. සරත් නන්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් සිටි කාලයේද ලෝක බැංකුවෙන් අධිකරණ ක‍්‍රමය නවීකරණය කිරීම සඳහා විශාල ආධාරයක් ලැබුනේය. මෙහිදී මතුවුනු ප‍්‍රධාන ගැටලූවක් නම් සියලූම අධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව නූතන තාක්ෂණය යටතේ පවත්වා ගෙන යාමට ගත යුතු පියවර ගැනීමය. මෙහි ප‍්‍රධාන පියවර වූයේ නඩු විභාග වල වාර්තා තබා ගැනීම, තාක්ෂණික වාර්තාකරණය මගින් කිරීමය. සියලූම අධිකරණ කටයුතු පටන්ගත් වේලාවේ සිට අවසානය දක්වා සිදුවන සියල්ල වාර්තා වන ආකාරයෙන් තාක්ෂණය භාවිතා කිරීම එහි අරමුණ විය. ඒ අතර නඩු විභාග වන අවස්ථා වලදී අදාල ලිපිකරුවන් නැතිවීම නිසා නඩු කල්යාම වළක්වා ගැනීම පිණිස සාක්ෂි  සටහන් කිරීම ටේප් රෙකෝඩර් මාර්ගයෙන් කිරීමටත් ඒවා කම්පියුටර්යෙන් නැවත ටයිප් කිරිම, අධිකරණ කටයුතු වලින් පසු කිරීමටත් විධිිවිධාන සකසා ගැනීමය. එහෙත් මෙම කි‍්‍රයාමාර්ගයට එකඟතාවයක් නොමැති වූ හෙයින් දැන් ලෝකයේ බොහෝ රටවල කෙරෙන ආකාරයට නඩු වාර්තා කර ගැනීමේ විධික‍්‍රමය ලංකාවට අහිමි විය.

මේ නිසා නඩු පමාව නැති කිරීම සඳහා ගත යුතු ප‍්‍රධානම කි‍්‍රයාමාර්ගය වන්නේ තාක්ෂණය අධිකරණ තුලට ගෙනයාම සඳහා සැලසුම් සකස් කිරීමත් එම සැලසුම් කි‍්‍රයාත්මක කිරීම ස`දහා මුදල් වෙන් කිරීමත්ය. මේ නිසා වැය කරන්න යනවා යැයි කියන ඩොලර් මිලියන 94 ට වැඩි මුදල් ප‍්‍රමානයෙන් එක්තරා ප‍්‍රමාණයක් සෑම උසාවියකම තාක්ෂණය යොදා ගැනීම සඳහා ගන්නා පියවර සඳහා වෙන් කළ යුතුය. මෙය නොකළහොත් කොපමණ ගොඩනැගිලි හැදුවත් නඩු පමාව ද ගොඩනැගිලි  වාගේම උස යනවා මිස පහළට පැමිණෙන්නේ නැත.

නඩු පමාව නැති කිරීමේ දෙවන විධික‍්‍රමය නම් සියලූම මහාධිකරණ වල අසනු ලබන නඩු මුල සිට අග දක්වා අඛන්ඩව පවත්වා ගෙන යාමය. මෙම විධික‍්‍රමය අතීතයේදී පැවතිනි. එසේ පැවතියේ ජූරි සභාව පවතින කාලය තුළදීය. එහෙත් ජූරි සභා සහභාගි නොවන තත්වය උදා වූ කාලයේ සිට එක් නඩු දිනයක සිට තවත් නඩු දිනයක් සඳහා මාස ගණනක් ගත වන අතර මේ ආකාරයෙන් නඩුවක් මුල සිට අසන කාලය අවුරුදු 15 හා 20 දක්වාත් ඇදී ගොස් ඇත. මේ ආකාරයට නඩුවක් මුල සිට අග දක්වා අසන තත්වය ඇති කළහොත් නඩු පමාව බොහෝ සෙයින් ඉතා කෙටි කාලයක් තුළ අඩු වී යනු දකින්නට හැකිය. මෙහි අතුරු ප‍්‍රතිඵලය වන්නේ ඇත්තෙන්ම වැරැුද්දක් කළ බවට සාක්ෂි ඇති සැකකරුවන් වරද පිළිගැනීමට ඇති ඉඩකඩය. දැන් සිදුවන්නේ දීර්ඝ කාලයක් තුළදී සාක්ෂි කරුවන්ගේ නොපැමිනීම හා සාක්ෂි කරුවන්ට හිරිහැර කිරීම වැනි නොයෙක් දේ පිළිබඳව ඇති බලාපොරොත්තුව මත බරපතල ආකාරයක සාක්ෂි ඇති නඩු වලදී පවා අපරාධකරුවන් වරද පිළිගැනීම ප‍්‍රතික්ෂේප කිරීමය. ඔවුන් මෙසේ කරන්නේ නඩු පමාවෙන් ලැබෙන යම් සහනයක් නිසා ඔවුන්ට ගැලවීමේ මාර්ගයක් ඇතිවේය යන බලාපොරොත්තුව උඩය. මෙම ක‍්‍රියාමාර්ගයට සමහර නීතිඥයන්ගෙන්ද විශාල සහයෝගයක් ලැබේ. ඔවුන් නඩු පමා කිරීම තුළින් මුදල් උපයා ගනී.

තෙවනුව නඩු පමාව සඳහා කළ යුතු කාර්යය වන්නේ නඩු වල කල් තැබීම් වලක්වා ලීම සඳහා නීති පැනවීමය. බොහෝ විට නීතිඥවරුන්ගේ පුද්ගලික හේතු නිසා හෝ විනිශ්චයකාරවරුන්ගේ පුද්ගලික හේතු නිසා හෝ යතුරුලේඛිකාවන් අධිකරණයට නොපැමිනීමේ හේතු නිසා හෝ ආදී කරුණු මත නඩු පමා වීම සිදුවේ. මෙයට අදාළව නීති පැනවීම මගින් හා පවතින නීතියේ ඇති අඩුපාඩුකම් නැති කර දැමීම තුළින් නඩු කල් දැමීමට ඇති ඉඩ නැති කර දැමීම තුළින් නඩු සඳහා එන ජනතාවට විශාල සහනයක් සැලසෙනු ඇත.

මේ සියලූ කරුණු පිටුපස ඇත්තේ යම් යල්පැන ගිය මානසික තත්වයන් නැති කිරීමේ කාර්යය. තාක්ෂණයට නුපුරුදුකම අතීතයේ පළපුරැුදු වලින් පැන නැගෙන්නෙකි. එහෙත් නූතන ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාසාම තාක්ෂණය කි‍්‍රයාත්මක වීම සිදු වේ. නව පන්නයට අනුව නීතිඥයන්ගේත් විනිශ්චයකාරවරුන්ගේත් අධිකරණ සේවකයන්ගේත් මානසික තත්ත්වය හැඩගැස්වීම සඳහා ඔවුන්ට මේ පිළිබඳව උපදෙස් දෙන ක‍්‍රියාමාර්ගයන් ගොඩනැගිය යුතුය. එමෙන්ම හුදෙක් උපදෙස් පමනක් නොව මේවාට අනුව නීති හා රෙගුලාසි ඇති කිරීම මගින් නව තත්ත්වයට හැඩ ගැසීමට බල කෙරෙන තත්වයක් උදා කිරීම අපහසු කාර්යයක් නොවේ. නීති විද්‍යාල වල හෝ විශ්ව විද්‍යාලයේ නීති පීඨ තුලත් විනිශ්චයකාරවරුන් පුහුණු කරන මධ්‍යස්ථාන තුළත් නඩු පමාව පිළිබඳ ගැටලූව තරයේ ඉස්මත්තට ගෙන ඒ සඳහා ඇති කර ගත යුතු මානසික තත්වය ඇති කර ගැනීමට ඔවුන් උනන්දු කිරීම බරපතල වෙනසක් ඇති කර ගැනිමේ වුවමනාවක් ඇත්නම් එය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.

දැන් ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාල තුළ අධ්‍යන කටයුතු කෙරෙන්නේ තාක්ෂණයට බද්ධ කොටය. මේ නිසා බොහෝ කටයුතු ඉක්මන් වනවා පමනක් නොව අන්තර්ජාලය තුළින් ගෙන එන මහාපරිමාණ දැනුම් සම්භාරයක ප‍්‍රයෝජනය ගැනීමටද ශිෂ්‍යාට හැකි වේ. මෙසේ ලෝකයේ වෙනත් තැන් වල වැඩ කෙරෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇති වුවහොත් නඩු පමා වීම පිළිබඳ ලජ්ජා සහගත තත්ත්වයක් සියලූම අදාල පුද්ගලයන් තුළ ඇති වනු ඇත. බරකරත්තයකින් රැුකියාවට ඒම දැන් සැලකෙන්නේ ලජ්ජාසහගත වියයුතු කරුණක් ලෙසය. මේ නිසා ඉතා කාර්යක්ෂමව ගමන් බිමන් යාමට යාන්ත‍්‍රික පහසුකම් පාවිච්චි කිරීම ස්වාභාවික දෙයක් බවට පත් වී ඇත. අධිකරණය තුළ ද බරකරත්ත ගමන් වේගයෙන් යාම නැති කළ යුත්තේ මෙවැනි ලජ්ජාවක් අදාල සියලූම පුද්ගලයන් තුළ ඇති කිරීම මගිනි.

ලෝකයේ බොහෝ රටවල් වල කාලය ඉතිරි කර ගැනීමට කෙරෙන තවත් ක‍්‍රමයක් නම් නඩු වලට අදාල දේශන හා කරුණු දැක්වීම් බොහෝ දුරට ලිඛිතව කිරීම සඳහා නීති හා රෙගුලාසි පැනවීමය. මෙහිදී වැදගත් යැයි කියන නඩුවක අදාල කරුණු මුලින්ම ඉදිරිපත් කොට ඉන්පසු එයින් පැන නැගෙන යම් ප‍්‍රශ්න පමනක් අධිකරණය විසින් නීතිඥ මහතුන් වෙත යොමු කරයි. එසේ යොමු කළ විට ඒවාට උත්තර දී අදාල පැහැදිළි කිරීම් කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබේ. මෙසේ ලිඛිතව සියලූම කරුණු ඉදිරිපත් කිරීමත් එම ලිඛිත කරුණු පිළිබඳව කියා බලා ඒවා පිළිබඳව සැලකිල්ල දැක්වීමේ උනන්දුවක් අධිකරණ නිළධාරීන් තුළ ඇති කිරීමත් ඒවා පිළිබඳ සියලූම තීන්දු ලිඛිතව දෙන තත්ත්වයක් ඇති කිරීමත් මගින් විවිධ අනිසි හේතූන් නිසා නඩු පමා වීමද නැති කර ගත හැකිය.

නඩු පමාව නැති කර ගැනීම සඳහා වැඩිම වශයෙන් උපදෙස් එවිය යුතු වන්නේ අවුරුදු ගණන් නඩු කීම නිසා ගත කිරීමට සිදු වූ රටවැසියන්ගෙන්මය. යම් කරුණක් සඳහා අවුරුදු ගණන් උසාවි යාම ඒම කළ ඔවුහු මෙම යාන්ත‍්‍රනයේ ඇති සියලූම අඩුපාඩුකම් පිළිබඳව ඉතා ගැඹුරු දැනීමක් ඇත්තෝ වෙති. මේ නිසා නඩු පමාව නැති කර ගැනීමේ පළමුවැනි පියවර විය යුත්තේ ගොඩනැගිලි සෑදීම නොව රට තුළම විශාල කතිකාවක් නඩු පමාව පිළිබඳව ඇති කිරීම තුළිනි. ඉතා කෙටි කාලයක් තුළ මාධ්‍යත්  දැන් ඇති විද්‍යුත් මාධ්‍ය ක‍්‍රමත් වෙනත් ආකාර සාකච්ඡා මාර්ගයෙනුත් නඩු පමාව නැති කරන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නය ජනතාව ඉදිරියේ තැබුවහොත් මීට ඇති විසඳුම් ඔවුන් කෙටි කාලයකින්ම පැහැදිළි කර දෙනු ඇත.

ඩොලර් මිලියන 94 ට වැඩි ප‍්‍රමාණයක් වියදම් වන අධිකරණ වල නඩු පමාව නැති කිරීම පිළිබඳ ප‍්‍රයත්නය අධීක්ෂණය කිරීම විනිශ්චයකාරවරුන් කණ්ඩායමක් වෙතම භාර කළ යුතු වේ. මේ මගින් විටින් විට කරනු ලබන අධීක්ෂණය යටතේ මෙම කි‍්‍රයාවන් ඉක්මනින් කරවා ගැනීමට පමනක් නොව එහි මුදල් නිසි ලෙස භාවිතා වෙනවාද යන පශ්නය පිළිබඳ කිසියම් වගකීමක් ද ඇති කළ හැකිය. බොහෝ රටවල සෑම අවුරුද්දකම අධිකරණයේ කටයුතු පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ විනිශ්චයකරුවෙකු පත් කරනු ලබයි. ඔහුගෙන් සිදුවන කාර්යය වන්නේ අධිකරණයේ ඇති විවිධ ප‍්‍රශ්න හඳුනා ගෙන ඒවා නැති කරගැනීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කොට ඒ්වා රජය සහ ජනතාව ඉදිරියේ තැබීමය. මේ මාර්ගයෙන් නඩු පමාව නැති කර ගැනීමට ගන්නා උත්සාහය සැබෑ ප‍්‍රයත්නයක් බවත් එය නැවත වරක් රජය වෙනුවෙන් වෙන් කළ දේපල තවත් නිළධාරීන් හෝ දේශපාලනඥයින් විසින් ගසා කන තත්වයක් ඇති නොවන බවට ජනතාවට ඒත්තු ගැන්විය හැකිය.  



බැසිල් ප‍්‍රන්නාදු




2019-07-29
Advertisement

Find us on Facebook