English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපි පුරවැසියන්ද? යටත්වැසියන්ද?


අපි පුරවැසියන්ද? යටත්වැසියන්ද?

 ”පුරවැසියා” සහ “පුරවැසිභාවය” යනු අපේ එදිනෙදා දේශපාලන ව්‍යවහාරයේ මෙන්ම දේශපාලන විද්‍යාවේත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතියේත් කේන්ද්‍රීය ලෙස මතුවන සහ එකිනෙකට බැඳුනු සංකල්ප දෙකකි. “පුරවැසියා” යන්නෙන් අප සාමාන්‍යයෙන් අදහස් කරන්නේ “රාජ්‍යයක සාමාජිකයෙක”ය යන්නයි. ලෝකයේ සිටින සෑම කෙනෙකුම පාහේ කිසියම් රාජ්‍යයක සාමාජිකයෙකි. “පුරවැසිභාවය” යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ රාජ්‍යයක සාමාජිකයෙකු වීම නිසා කෙනෙකුට ලැබෙන නෛතික-දේශපාලන තත්වයයි. 1948 දේශපාලන නිදහසින් පසු ලංකාවේ හටගත් දේශපාලන විවාදය තුල මහත් පල විපාක ඇති කරවන සුළු කරුණක් වූයේ මෑතකාලීන ඉන්දියානු සම්භවයක් ඇති ජනයාගේ පුරවැසිභාවය පිලිබද ගැටළුවයි. 1948 පුරවැසි පනත මඟින් එම ජනයාගෙන් එක්තරා කොටසකට ලංකාවේ පුරවැසිභාවය ලැබුනු අතර තවත් කොටසකට පුරවැසිභාවය නොලැබුණි. එපරිදි මෑතකාලීන ඉන්දියානු සම්භවයක් සහිත ජනයාගෙන් විශාල කොටසකට පුරවැසිභාවය නොලැබීම “ජනවාර්ගික ගැටුම” යනුවෙන් පසුකාලයේදී හැඳින්වීමට ලක්වුණු විශාල දේශපාලන ප‍්‍රශ්ණයේ ආරම්භයට තුඩු දුන්නේය. මෙම “පුරවැසිභාවය” පිලිබඳ කරුණ 1980 ගනන් දක්වා ලංකා සහ ඉන්දියානු ආණ්ඩු අතර අන්තර්-රාජ්‍ය සම්බන්ධයේ මූලික තේමාවක්ද විය.

අපේ රටේ සෑම පුරවැසියෙකුටම අප සලකන්නේ එක සමානවයැ’යි කීමට රාජ්‍ය නායකයින් සාමාන්‍යයෙන් කැමතිය. එහෙත් තමන්ට ආණ්ඩුව සලකන්නේ “දෙවන පෙළේ පුරවැසියන්” හැටියටයැයි සමහර ජනකොටස් දුක්ගැනවිලි පල කරති. බොහෝවිට එසේ කරන්නේ ජනවාර්ගික වශයෙන් සුළුතර කන්ඩායම් වලට සහ ආර්ථික වශයෙන් දුගී ස්ථර වලට අයත් පුරවැසියන්ය. රාජ්‍යය සෑම පුරවැසියෙකුටම එක සමානව සාධාරණව සැලකිය යුතුය යන අපේක්ෂාව එම දුක්ගැනවිල්ලේ තිබේ. එය වනාහි පුරවැසිභාවය සම්බන්ධ සමානත්වය, සාධාරණත්වය සහ වෙනස්කම් වලට භාජනය නොකිරීම යන දේශපාලන සහ නීති න්‍යායයේ එන මූලික සංකල්ප සමග සෘජුවම සම්බන්ධ වන දුක් ගැනවිල්ලකි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් වන දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිලිබඳ විවාදයක් ලංකාවේ දක්නට ලැබේ. එම විවාදය සිදුවන්නේ ජනවාර්ගික ගැටුම පසුබිම් කරගෙනය. මේ පිලිබඳ ප‍්‍රධාන ප‍්‍රවේශ දෙකක් තිබේ. පලමුවැන්නෙන් කියන්නේ ලංකාවේ පවත්නා රාජ්‍ය, බලය විමධ්‍යගත කිරීම පිලිබඳ රාමුවක් ඇතුලත ප‍්‍රතිසංස්කරණය කල යුතු බවයි. අනෙක් ප‍්‍රවේශයෙන් කියන්නේ රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කල යුත්තේ ජනවාර්ගිකත්වය පදනම් කරගෙන නොව ග‍්‍රාමීය මට්ටමේ දේශපාලන සහභාගීත්වය ශක්තිමත් කරන ආකාරයටය බවයි. මේ ප‍්‍රවේශ දෙක අතර ඇති ප‍්‍රතිවිරෝධතාවය තුල දේශපාලන ප‍්‍රතිසංස්කරණ විවාදය අද හිරවී තිබේ.  එසේම රට තුළ වරින් වර ඉස්මතු වන ජාතිවාදී, ආගම්වාදී මත ගැටුම් වලට සාර්ථක විසඳුමක් ලබා දීමටත් එවැනි කාරණා පිළිබඳව සමාජය තුළ සාර්ථක ආමන්ත්‍රණයක්, විධිමත් කතිකාවතක් ගොඩ නැගීම තුළින් සමාජයේ වැරදි මත යටපත් කිරීම කෙරෙහි සාර්ථක ක්‍රියාමාර්ගයක් හඳුන්වා දීමට මේ දක්වා පැවති එකදු ආණ්ඩුවකට හෝ හැකිවුනිද යන්න විවාදයට ලක් කළ යුතු කරුණකි. සමාජ සංහිඳියාව ගොඩ නැංවීම පිණිස රාජ්‍ය ආයතන පිහිටුවනු ලැබූවද ඒවායින් සමාජ සංහිඳියාව ගොඩනැගීම පිණිස ජනතාව ආමන්ත්‍රණය කිරීමක්, සමාජ කතිකාවතක් ගොඩනැගීමක් පුරවැසියන්ට දැනෙන අයුරින් සිදු කර තිබේද යන්න රජය විසින්ම පරික්ෂණයට ලක් කළ යුතු කරුණකි.

කරුණු කෙසේ වුවද දේශපාලනය පිළිබඳව සහ රටේ බලපවත්වන නීතිය පිළිබඳව නිසි අවබෝධයක් රටේ බහුතර පුරවැසියන් සතුව නොමැති බව අවධාරණය කර ගත යුතු කරුණකි. මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට මෙම ක්ෂේත්‍රයන් ඇතුළත් කොට නොතිබීමයි. අතීතයේ සිදු වූ එම දෝෂය හේතුවෙන් වර්තමාන සමාජය දරුණු ලෙස බැට කමින් සිටී. මේ තත්වය අනාගත සමාජයටත් උරුම කරමින් නිහඩව බලා සිටිය යුතුද?  නීතිය හා දේශපාලනය පිළිබඳව පුරවැසියාගේ අවබෝධය නොමැති තත්වයක් යටතේ ඉන් වාසිය ලබන්නේ දේශපාලකයින්ය. පුරවැසියන් තමන්ගේ ඉත්තන් කර ගනිමින් ඔවුන්ට හිතුමතේ ක්‍රියාකාරකම් සිදු කර ගැනීමේ වාතාවරණයක් ඉන් නිර්මාණය වේ.

- හිරෝශාන් ලක්ෂාන් -




2019-07-29
Advertisement

Find us on Facebook