English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රජාතන්තවාදය හඳුනන්නේ නැති රටක “මැතිවරණ” - රෝහණ හෙට්ටිආරච්චි (විධායක අධ්‍යක්ෂ - පැෆරල් සංවිධානය)


ප‍්‍රජාතන්තවාදය හඳුනන්නේ නැති රටක “මැතිවරණ” - රෝහණ හෙට්ටිආරච්චි (විධායක අධ්‍යක්ෂ - පැෆරල් සංවිධානය)

පළාත් සභා මැතිවරණය කල් යාම

පළාත් සභා මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් තිබෙන වගකිමෙන් ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් කිසිසේත්ම ගැලවිය නොහැකිය. කවුරු පාලකයා වුවත් එකි පාලකයාගේ වගකිම වන්නේ නියමිත කාලයට මැතිවරණය තැබිමය.එබැවින් මේ අවස්ථාවේ මෙම පාලකයින් දෙදෙනාම වගකිව යුතු වේ. වේ පළාත් සභා මැතිවරණය කල් යාම සිදු වන්නේ දේශපාලන උවමනාවක් මත බව අපේ කියවිමය. පළාත් සභා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරිමට  මුලින්ම එකම දිනයක මැතිවරණය පැවැත්වනවා කියන කාරණය මත පනතක් ගෙන ආවේය. එහිදි අප මෙන්ම තවත් කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විට එම පනත පරාජයට පත් විය. දෙවැනි වතාවේ කාන්තා නියෝජනය කියන කාරණය එක පිටුවක සංශෝධනයකින් ගෙන ආවේය. ඊට කිසිවෙකුටත් විරුද්ධ විමට නොහැකි විය. මන්ද කාන්තා නියෝජනයට අප කවුරුත් කැමති බැවිනි. නමුත් එය පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවන අවස්ථාවේ සම්පුර්ණම අලුත් මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වලා දෙනු ලැබුණි. එය පිටු තිහකින් සමන්විත විය. එය ගැටලුවක් වුයේද නැත. දිගින් දිගටම මෙලෙස සංශෝධන ගෙන ආයේ මඳක් සද්භාවයෙන් විය යුතුය. මෙහිදි ආණ්ඩුවේ සද්භාවයක් තිබුණේම නැති බව මා හට ප‍්‍රකාශ කල නොහැකිය.නමුත් මෙහි එක් අරමුණක් වුයේ මැතිවරණය කල් දමා ගැනිමය. මේ වනවිට මතුව ඇති ගැටලුව වන්නේ පාර්ලිමේන්තුවේ නිතියක් සම්මත කර ඒක අතරමං කර තිබිමය. මීට විපක්ෂය ඇතුලු පාර්ලිමේන්තුවේ සියලු දෙනා වගකිව යුතුය.

සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායකය යනු නිති සම්පාදනය කරන පිරිසය. නමුත් මොවුන් නිතිය බාගෙට සම්පාදනය කර අතරමං කර තිබේ. මේ පනතට අනුව මැතිවරණය තැබිමට නම් සීමා නිර්ණය වාර්තාව අවසන් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කල යුතුව ඇත. නමුත් වර්තමාන ආණ්ඩුව සිමා නිර්ණය අවසන් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිමට අපොහොසත් වි ඇත.

මෙය මැතිවරණය කල් දැමිමේ උපක‍්‍රමයක් ඒ නිසා මෙය කිරිමෙන් වැලකි සිටින ලෙස අප මේ සම්බන්ධන අප දිගින් දිගටම අරගල කලහ. එහිදි වර්තමාන කථානායකතුමා පුද්ගලිකව ප‍්‍රකාශ කර සිටියේ මිට අප කාල රාමුවක් ඇතුලත් කරනවා. කාලරාමුව අනුව මැතිවරණය පවත්වන ක‍්‍රියා කරන බවය. එලෙසම ඊට කාලරාමුවක් ඇතුලත් කෙරුනි. අප එය අගය කරන්නේය. කාල රාමුව ඇතුලත් කිරිමෙන් පසු ප‍්‍රකාශ කරන ලද්දේ එය පාර්ලිමේන්තුවේ සම්මත වුයේ නැතිනම් මසක් ඇතුලත සමාලෝචන කමිටුවක් පත් කර සමාලෝචන කමිටුව මාස දෙකක් තුල එම වාර්තාව ඉදිරිපත් කර සම්මත කරන බවය. නමුත් මෙය සම්මත කිරිමටත්, සමාලෝචන කමිටුවක් නියමිත කාලය තුල පත් කිරිමටත් රජය අපොහොසත් විය. ප‍්‍රමාද වි පත් කෙරුණු සමාලෝචන කමිටුව මාස දෙකක් යාමට මත්තෙන් ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධිව පාර්ලිමේන්තුව විසිරුනු ලැබිය. එම නිසා මෙය අතරමංව තිබේ. එබැවින් මිට සාමුහිකව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව වගකිව යුතුව තිබේ. ඒ මෙවැනි තත්වයක් රටේ උදා විම පිලිබඳවය. මහජනතාව ලෙස අප ඔවුන්ව පත් කර යවා ඇති අතර අප වෙනුවෙන් අවශ්‍ය නිති සම්පාදනය කර අපේ ප‍්‍රජාත‍්‍රන්තවාදය ආරක්ෂා කල යුතුව ඇත. නමුත් ඔවුන් එය අසමත් වි තිබේ. මේ වන විට අවංකවම මෙය කරන්නට ඔවුන්ට උවමනාවක්  තිබේ නම් කල හැකි ක‍්‍රම දෙකක් ඇත. සිමා නිර්ණ මුල් වාර්තාව අභියෝගයක් ලෙස ගනිමින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කල හැකිය. එවිට එය කෙනෙකුට අභියෝගයට ලක් කල හැකිය. අග‍්‍රාමාත්‍යවරයා සිතනවා නම් මෙය කල යුතුයි කියලා ඔහුට පුලුවන් නැවත මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, කමිටුවක් පත් කිරිමේ හැකියාවක් තිබේ. මේ සම්බන්ධ අවංක උත්සහයක් තිබේ නම් මේ පනත ක‍්‍රියාත්මක වන දිනය 2020 හෝ 2021 ට කල් දැමිය හැකිය. එවිට මිට ඇතුලත් කල යුතු වන්නේ එක වගන්තියක් පමණි. ඊට කාටවත් විරුද්ධ විය නොහැකිය. එවිට කාන්තා නියෝජනයත්, අලුත් මැතිවරණ ක‍්‍රමයත් එලෙසම තිබේ. එහි එකම වෙනස වන්නේ එය ක‍්‍රියාත්මක වන්නේ ඉදිරි මැතිවරණයේදි නොව ඊළඟ මැතිවරණයේදි විමය. එහෙයින් කිසිවෙකුට විරුද්ධ නොවි ඉක්මනින් මාසයක් දෙකක් තුල පළාත් සභා මැතිවරණය තැබිමේ හැකියාව තිබේ. නමුත් මෙහි ගැටලුව වී ඇත්තේ මේ සඳහා දේශපාලන කැමැත්තක් නොමැති විමය. අවාසනාවකට මේ රටේ මැතිවරණ පවත්වනු ලබන්නේ පාලකයාට අවශ්‍ය විදිහකටය. ප‍්‍රජාතන්තවාදයේ මුලික වටිනාකම් මත මැතිවරණයක් පැවැත්වෙන්නේ නැත. මැතිවරණයකදි ඡන්දදායකයාට තම පාලකයා තොරා ගැනිමේ අයිතිය ගැන සිතා ඡන්ද පැවැත්වෙන්නේ නැත. ඡන්දයක් පවත්වද්දි මගේ කියවිම වන්නේ, පාලකයන් බලන්නේ ඒ පැමිණෙන මොන මැතිවරණයද තමන්ට වාසි සහගත යන්නය. දෙවැනි කරුණ වන්නේ මොන මැතිවරණයද මගේ පවුලේ අයට සහ යාලුවන්ට වාසි සහගතද යන්නය. තෙවැනි කරුණ වන්නේ මොන මැතිවරණයද මගේ පක්ෂයට වාසි සහගත යන්නය. අන්තිමට ප‍්‍රජාතන්තවාදය සහ රට ගැන සලකා බැලේ. මේ බව පහුගිය ආණ්ඩු සහ මේ ආණ්ඩු දෙස බැලු විට නිරික්ෂණය වන්නකි.

එහෙයින් ප‍්‍රජාතන්තවාදය හඳුනන්නේ නැති පාලකයන් සිටින රටක තත්වය මෙය වේ.

මැතිවරණ පැවැත්විය හැකි ආකාර

ජනාධිපතිවරයාට නිතිපති විමසලා පැරණි ක‍්‍රමයට යන්න පුලුවන්නද යන්න සොයා බැලිමේ හැකියාවක් තිබේ. එමෙන්ම සීමා නිර්ණය වගේ දෙයක් අවසන් වෙලා නැති අතරමැදි තත්ත්වයක පාර්ලිමේන්තුවේ සම්මත නොවුනු සීමා නිර්ණ වාර්තාව  ගැසට් කිරිමේ හැකියාවක් ඇද්දැයි සොයා බැලිමේ හැකියාවක් තිබේ. මේ සියලු දේ ක‍්‍රියාත්මක වන්නේ දේශපාලන කැමැත්ත මතය. නැතිනම් සිදුවන්නේ සමහර දේවල් නාමිකව මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ විම පමණි. මේ වර්තමාන ජනාධිපතිවරයත්, අග‍්‍රාමාත්‍යවරයත් පළාත් සභා මැතිවරණය පවත්වන දින ගැන අවස්ථා කිහිපයකම ප‍්‍රකාශ නිකුත් කර තිබේ. පහුගිය පළාත් සභා මැතිවරණය ගැන නම් කොතරම් ප‍්‍රකාශ කළාද? අවසානයේ අපට මැතිවරණය පවත්වාගෙන යාම සඳහා අධිකරණයට පවා යාමට සිදුවිය. ඒ නිසා මෙම විමසා බැලිම කාලෝචිතය.

මැතිවරණ කොමිසම මේ සඳහා සාධාරණ උත්සහයක් දරමින් තිබේ. නමුත් මැතිවරණ කොමිෂමේ සිමාවෙන් එහා මෙම තත්ත්වය පවතියි. නිතිය සම්මත වි තිබුණේ නම් මැතිවරණ කොමිසමට කිසිවෙකුගෙන්වත් විමසිමකින් තොරව මැතිවරණ පවත්වාගෙන යාමේ හැකියාව තිබුණි. සීමා නිර්ණය අවසන් විමෙන් පසු මැතිවරණය කැඳවිම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට  එක එක දිස්ත‍්‍රික්කයේ කොට්ඨාශ කියක් තිබේද යන්න තිබිය යුතුය. එය අවශ්‍ය වන්නේ නාම යෝජනා කැඳවිම සඳහාය.

පළාත් පාලන මැතිවරණයට හඳුන්වා දුන් අලුත් මැතිවරණ ක‍්‍රමය

මෙම ක‍්‍රමයේදිද ගැටලුව වුයේ සීමා නිර්ණයය. මෙහිදි ඉක්මන් මැතිවරණයක් ඉල්ලා  පැපරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියද අවාසනාවකට ඊට අවුරුද්දයි මාස තුනක් ගත විය. මෙකි මැතිවරණ ක‍්‍රමයේ සාධනිය ලක්ෂණ රැසක් තිබුණි. ඒ නිසා මෙය සාධනිය ආකාරයටම ක‍්‍රියාත්මක වෙනු ඇතැයි විශ්වාසයක් අප තුල පැවතුණි. එහි ප‍්‍රධාන සංශෝධනයක් වන්නේ කාන්තා නියෝජනය සියයට විසි පහක් ඊට ඇතුලත් කර තිබිමය. නමුත් ප‍්‍රායෝගිකව සියයට විසි දෙකයි දශම අටක් වැනි කාන්තා නියෝජනයක් ලැබුණි. අද ඒ කාන්තා නියෝජනය මොනතරම් ඵලදායි ලෙස ක‍්‍රියාත්මක වන්නේද යන්න අප වෙනමම සාකච්ඡා කළ යුත්තකි. ඒ පත් වෙච්ච කාන්තාවෝ ශක්තිමත් කරන්න මොන තරම් අද සංවිධාන කටයුතු කරන්නේද යන්නද විමසා බැලිය යුතුව ඇත.

අප රටේ සියයට පනස් දෙකක් කාන්තාවන් සිටියද ප‍්‍රමාණවත් තරමක් දේශපාලනයේ නියැලෙන්නේ නැත. නමුත් අන් හැම ක්ෂේත‍්‍රයකම කාන්තාවන් ප‍්‍රමාණාත්වක නියෝජනය වේ. එහෙයින් අවම වශයෙන් පළාත් පාලන මැතිවරණයෙන් කාන්තා නියෝජනය සාක්ෂාත් කරනු ලැබිය. මෙහිදි සමාජය මතු කරපු කරුණක් වන්නේ කොට්ඨාශයට වගකියන මන්ත‍්‍රිවරයෙකු සිටිය යුතු බවය. එවිට විශාල පාරාසයක මැතිවරණ ව්‍යාපාරය ගෙන යා යුතුය. විශාල මුදල් ප‍්‍රමාණයක් අවශ්‍ය වන බව කියවිණි. කොට්ඨාශ මන්ත‍්‍රිවරයෙකු සිටියහොත් ගමේ සංවර්ධනයක් සිදු වන බව පැවසුණි.

නමුත් මෙහිදි අප නැවත වරක් ආපස්සට හැරි බැලුවහොත් කොට්ඨාශයට මන්ත‍්‍රිවරයා පැමිණ ගම සංවර්ධනය වෙලා තියනවද කියලා නැවත සිතා බැලිය යුතුය. සමස්ථයක් ලෙස වැඩි වු පළාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමාණය ජනතාව බලාපොරොත්තු වු සේවයන් ඉෂ්ඨ කරන්නේ නැත. ලංකාවේ සෑම 2025 කටම දළ වශයෙන් මහජන නියෝජිතයෙකු සිටියි. ඒ අනුව බැලු කල රට සුරපුරයක් විය යුතුය. මොවුන් ජනතාවගෙන් නඩත්තු වන අය වේ. මාසිකව ජනතාවගෙන් දිමනා ලබන අය වේ. නමුත් මේ අය මොනතරම් ඵලදායි ලෙස කටයුතු කරන්නේද යන්න ගැටලුවකි.

එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මේ සභික සංඛ්‍යාව අනිවාර්යෙන්ම අඩු කල යුතුය. අවම වශයෙන් බාගයකටවත් අඩු කල යුතුය. නැතිනම් මෙය ජනතාවට බරක් වන්නේය.එමෙන්ම අපෙක්ෂා කරන ප‍්‍රතිඵලය ළඟා කර ගැනිමට හැකි වන්නේ නැත. එක කොට්ඨාශයක මන්ත‍්‍රිවරුන් රැසක් සිටිද්දි එකදු මන්ත‍්‍රිවරයෙකුවත් කොට්ඨාශයට වගකියන්නේ නැති තත්ත්වයට පත් වේ. මේ අනුව සාධනිය මැතිවරණ ක‍්‍රමයේ අප අපේක්ෂා කල තත්වයක් දක්නට ලැබෙන්නේ නැත.නමුත් මෙහි ප‍්‍රධාන ගැටලුව වන්නේ මහජන ඉල්ලුමක් නොමැති විමය.අපි පාලකයන් පත් කරනවා. ඊළඟ මැතිවරණය තෙක් සිටින්නේය. එහෙයින් අනිවාර්යෙන්ම මහජන ඉල්ලුමක් ඇති කල යුතුය. එකි ඉල්ලුම අනුව සැපයුම ලැබෙන්නේය. ජනතාව මේ දිහා බලන ආකාරයට දේශපාලඥයින්ද හැඩ ගැසෙන්නේය.එහෙයින් මෙකි මහජන ඉල්ලුම ඇති වන තැනට අප සියලු දෙනාවම හැඩ ගැස්විය යුතුය.

සැකසුම - ශානිකා මාධවී පීරිස්





2019-07-26
Advertisement

Find us on Facebook