English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


UN සමඟ සාකච්ඡා කිරීමට අධිකරණයට මුකවාඩම් දැමීම ලෝකයේම අපහාසයට ලංකාව පත්කරන කි‍්‍රයාවක් - AHRC


UN සමඟ සාකච්ඡා කිරීමට අධිකරණයට මුකවාඩම් දැමීම ලෝකයේම අපහාසයට ලංකාව පත්කරන කි‍්‍රයාවක් - AHRC

එ.ජා. නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අධිකරණයට මුකවාඩම් දැමීමට කරන උත්සාහය ලෝකයේම අපහාසයට ලංකාව පත්කරන කි‍්‍රයාවක් බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒම සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනය
අධිකරණය හා එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවෙකු සමග සාකච්ඡාවට තහනම් නියෝග පැනවීම

ජූලි 12 දා ඬේලි මිරර් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවකු හා අධිකරණයේ සමහර විනිශ්චකාරවරුන් අතර, කිරීමට සංවිධානකර තිබූ සාකච්ඡා නතර කරන ලෙසට කතානායක තුමා විසින් නියෝගයක් පනවා ඇත. මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුනේ  සංවිධානය වීමේ නිදහස පිළිබඳව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වාර්තාකරු හා ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරු හා වෙනත් විනිශ්චයකාරවරුන් සමගය.

මෙම කතිකාවන් පැවැත්වීමට විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා තවත් විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරු දෙදෙනෙක් හා හිටපු යුක්තිය පිළිබඳ ඇමතිවරයෙකු විසිනි. මෙසේ සාකච්ඡුා කිරීමට නියමිතව තිබුනු කරුණු මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප‍්‍රකාශය අනුව එසේ සාකච්ඡුා කිරීමට නියමිතව තිබුනේ 2011 සිදුවුනු රොෂේන් චානකගේ ඝාතනය, 2012  දී සිදු වුනු වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනය හා රතුපස්වල සිද්ධීන් සම්බන්ධයෙනි.

අග‍්‍රවිනිශ්චයකාරතුමාත් වෙනත් විනිශ්චයකාර වරුත් කා සමඟ කතා කළ යුතුද යන්න තීරණය කළ යුත්තේ එම අධිකරණ නිළධාරීන් විසින්ම පමනි. පාර්ලිමේන්තුවට අධිකරණයේ නිළධාරීන් නිල වශයෙන් කරනු ලබන සාකච්ඡුා පාලනය කිරීමේ කිසිදු අයිතියක් පවතින්නේ නැත. කතානායකතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දී ඇති මේ නියෝගය, එසේ ඇත්තෙන්ම දී ඇත්නම්, එය බලය බෙදීම පිළිබඳව ඇති මූලික ව්‍යවස්ථාමය සම්ප‍්‍රදාය මුළුමනින්ම කඩා දැමීමක් වේ.

එසේ කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට පවතින්නේ නැත. කෙසේ වුවත් කතානායකවරයාගේ නියෝගයකින් එසේ කළ නොහැක. පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වාර්තාකරුවන් හෝ වෙනත් නියෝජිතයන් සමඟ සාකච්ඡුා නොපවැත්විය යුතු බවට අධිකරණයට බල කළ හැක්කේ එකම මාර්ගයකිනි. එනම් ඒ පිළිබඳව පනතක් පාර්ලිමේන්තුව තුළින් සම්මත කර ගැනීම තුළිනි. පාර්ලිමේන්තුව තුළ එවැනි බිල්පතක් ඉදිරිපත් කොට එම බිල්පත අධිකරණයේ පරීක්ෂණයකට භාජනය කොට මහජනතාවටද අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් දී ඉන්පසුව අධිකරණය විසින් එම නීතිය නිවැරදි යැයි පිළිගත හොත් පමනක් මෙවැනි කි‍්‍රයාවක් කිරීමට නීත්‍යානුකූල බලයක් ඇති කර ගනී. එම නීත්‍යානුකූල බලය වුවද සමස්ථ ව්‍යවස්ථානුකූල නීතිමය සම්ප‍්‍රදායටම විරුද්ධ එකක් සේ සලකා ඊට විරුද්ධව පියවර ගැනීමට අධිකරණයට අනිවාර්යයෙන්ම සිදු වේ. එමෙන්ම එවැනි ප‍්‍රධානම ව්‍යවස්ථා පිළිබඳ සම්ප‍්‍රදායක් බිඳ හෙලීමක් කිරීමට පාර්ලිමේන්තු පනතකට හැකියාවක් නැත. පාර්ලිමේන්තුවට පනත් පැනවීමට ඉඩ ඇත්තේ රටක ව්‍යවස්ථාදායක නීතියේ මූලික සම්ප‍්‍රදායන් ඇතුළත මිස එම මූලික සම්ප‍්‍රදායන්ට විරුද්ධව නොවේ. බලය බෙදීමේ මූලික සම්ප‍්‍රදායට විරුද්ධව නීතියක් වුවත් පැනවීමේ අයිතිය පාර්ලිමේන්තුවට පවතින්නේ නැත. එය විධායකයටද පවතින්නේ නැත. එමනිසා කතානායකතුමා මේ පිළිබඳව දී ඇති නියෝගය ලෝකයේ බල බෙදීම පිළිබඳ සම්ප‍්‍රදාය ඉතා මූලිකවම පහරට ලක් කිරීමකි.

අනෙත් අතට ලංකාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සමාජිකයෙකු වන අතර එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වාර්තාකරුවන් වශයෙන් කි‍්‍රයා කරන නිළධාරීන් එසේ කරන්නේ එම මණ්ඩලයෙන් ලැබෙන බලධාරිත්වය තුළිනි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ පවතින බලධාරිත්වය නොතකා හැරීමේ අයිතියක් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේම සාමාජිකයෙකු වන ශ‍්‍රී ලංකාවට ඇත්තේ නැත. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකයන් වන වෙනත් කිසිදු අයෙකු හටද එවැනි බලයක් ඇත්තේ නැත. එවැනි බලයක් පාවිච්චි කිරීම වනාහි එ.ජා. මණ්ඩලය හා ලංකාව අතර ඇති කර ගෙන ඇති ප‍්‍රධාන ජාත්‍යන්තර ගිවිසුම් කඩා දැමීමක් බවට පත් වේ. එසේ ජාත්‍යන්තර ගිවිසුම් කඩා දමන්නේ නම් එයින් ඇති වන ප‍්‍රතිඵල වලට ද ලංකාවට මුහුණ දීමට සිදු වනු ඇත. මෙයින් සිදු විය හැකි අවසාන ප‍්‍රතිඵලය නම් ලාංකීය ජනතාවට කරදර ඇති වන විිවිධ බාධක හා වෙනත් කි‍්‍රයාමාර්ග ගැනීමට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට සිදු වීමය.

විරුද්ධ පක්ෂයෙන් විරුද්ධ වන්නේ මිනිමැරුම් ගණනාවක් පිළිබඳව අධිකරණය හා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිල වාර්තාකරු අතර ඇති වන සාකච්ඡුාවක් වැළැක්වීමටය. එනම් මිනිමැරුම් පිළිබඳව සාකච්ඡුා කිරීම පවා එ.ජා. මණ්ඩලයට ලංකාව තුළදී තහනම් වන විෂයයක් වේ. ජනතා ස්වෛරීත්වය යන්න විරුද්ධ පක්ෂය අර්ථකථනය කරන්නේ මිනීමැරීමක් පිළිබඳව හෝ බරපතල ඝාතනයක් එනම් වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ඝාතනය වැනි සිදු වීම් පවා කතා කිරීම පිළිබඳව ඇති අයිතියට බාධා කිරීමකි. එ.ජා. මණ්ඩලයට පවා මෙවැනි තහංචි පැමිණවීමක් කෙරෙන්නේ නම් මෙම විෂයයන්  කතා කිරීම පිළිබඳව කොපමන ආකාරයේ මර්දනකාරී පිළිවෙතක් පවතින්නේද යන්න බරපතල සේ හෙළිදරව් කරයි. කතානායකතුමාට අධිකරණයේ පවතින සාකච්ඡුා පිළිබඳව තහනම් නියෝග පැනවීමට බලධාරිත්වයක් දී ඇත්තේ කුමන නීතියකින්ද ? කුමන ව්‍යවස්ථාදායක පදනමක් උඩද ? එවැනි නීතියක්වත් එවැනි ව්‍යවස්ථාදායක පදනමක් වත් නැත. මේ නිසා කතානායක තුමා ඉදිරියේ මෙවැනි යෝජනාවක් ගෙන ඇත්නම් ඔහු කළ යුතුව තිබුනේ එම ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ පිළිබඳව සාකච්ඡුාවක් ඇති කිරීමය.එසේ සාකච්ඡුාවක් ඇති කළා නම් රොෂේන් චානකගේ මරණය මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ මරණද රතුපස්වලදී සිදු වුනු මරණද පිළිබඳව නීතිය කි‍්‍රයාත්මක වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡුාවක් පාර්ලිමේන්තුව තුළම සිදු විය යුතුව ඇත. කතානායකතුමා කර ඇත්තේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මතය නොවිමසා තමන්ගේ මතය මත පමනක් නියෝගයක් පැනවීමය. එය බලධාරිත්වයෙන් තොරව කර ඇති නියෝගයකි.  ජනතාවගේ ස්වෛරීත්වය යනුවෙන් රට ඇතුලේ කෙරෙන මිනිමැරුම් පිළිබඳව එ.ජා. මණ්ඩලය තුළ සිදු වන සාකච්ඡා නතර කිරීම සාධාරණය කිරීමට කිසිදු හේතුවක් පවතින්නේ නැත.

ඕනෑම රටක සිදුකරනු ලබන ඝාතන පිළිබඳව නීතිය නිසි ලෙස කි‍්‍රයාකර තිබේද යන්න ගැන අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා ඒ පිළිබඳව අදාළ නිළ දරන්නන් හා වෙනත් අය සමඟ සාකච්ඡුා කොට ඒ පිළිබඳව සැබෑ වාර්තාවක් ඉදිරිපත් කිරීම එ.ජා. මණ්ඩලයේ වාර්තාකරුවන් හැටියට සලකනු ලබන නිලය දරන අයගේ යුතුකමකි. ඔවුන් කරන්නේ ජාත්‍යන්තර නීතිය මත පදනම් වී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් දෙනු ලබන නිලය මත පදනම් වී අවශ්‍ය කරුණු එකතු කොට වාර්තාවක් නැවත වරක් එ.ජා. මණ්ඩලයට ලබා දීමය.

කතානායකතුමාගේ නියෝගයෙන් කෙරෙන්නේ එ.ජා. මණ්ඩලය තුළ සාකච්ඡා පවත්වන නිළ ක‍්‍රමයට බාධා කිරීමයි. මෙය එ.ජා. මණ්ඩලයේ සාමාජිකත්වය දරන කිසිදු රටකට වුවත් කිරීමට බැරි කාර්යයක් වනවා පමනක් නොව එසේ කිරීම සාධාරණ කිරීමටද කිසිදු ආකාරයකින් නුපුළුවන.

අපේ මිනිමැරුම් අපේම වැඩ යනුවෙන් ස්ථාවරයක් ගැනීම කිසිදු අයෙකුට අයිතියක් නැත. මිනිමැරීම සකල ජාත්‍යන්තර ප‍්‍රතිපත්ති වලටම මෙන්ම ලෝක සදාචාරයටද විරුද්ධ වූවකි. මේ පිළිබඳව අධිකරණයේ දරන මත ප‍්‍රකාශ කිරීම නතර කිරීම වනාහි මිනිමැරීම් පිළිබඳව පොදුවේ අධිකරණයට කතා කිරීමට ඇති අයිතිය නැති කර දැමීමකි. රටේ නීතිය රැුකීම හා සදාචාරය ආරක්ෂා කිරීම පිළිබඳව උත්තරීතරම ආයතනය අධිකරණයයි. මේ නිසා මෙම සිදුවීම් පිළිබ`දව හා ඒවාට කි‍්‍රයාකරීමේදී නීතියේ ඇති අඩුපාඩු පිළිබඳව සාකච්ඡුා කිරීමේ අයිතිය අධිකරණය සතු පරම අයිතියකි. අධිකරණය කතා කරන්නේ නොකරන්නේ මොනවාද යන්න තීන්දු කිරීම කළ යුත්තේ අධිකරණය විසින්ම පමණි.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනාව

හිටපු යුක්තිය පිළිබඳ ඇමතිවරයෙකු වූ විජේදාස රාජපක්ෂ මහතා උපුටා දක්වමින් ඬේලිමිරර් පුවත්පතේ ඇත්තේ ඔහුගේ මතයට අනුව අධිකරණයේ නිළධාරීන් හා එ.ජා. මණ්ඩලයේ නියෝජිතයෙකු  සමඟ සාකච්ඡා කිරීමට කටයුතු යොදන නිළධාරීන් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට සුදුස්සන් වන බවය. මෙය වනාහි අතිශයින්ම කණගාටුදායක එහෙත් අනෙක් අතින් හාස්‍යජනක කියමනකි. හිටපු යුක්තිය පිළිබඳ ඇමති වරයා අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පවතින නෛතික සංකල්පය ගැන අබමල් රේණුවක තරම්වත් වටහා ගැනීමක් නැති බව මෙම ප‍්‍රකාශනයෙන් හෙළිදරව් වේ.

අධිරණයට අපහස කිරීම පිළිබඳ ප‍්‍රශ්නය පැන නගින්නේ පහත සඳහන් අවස්ථා වලදී පමනි.

1. අධිකරණයක පැවැත්වෙන නඩු විභාගයකදී ඒ පිළිබඳව එහි යම් පාර්ශවයකට අගතියක් වන ප‍්‍රකාශයක් කිරීම හෝ වෙනත් කටයුත්තක් කිරීම අධිකරණයට අපහාස කිරීමක් සේ සලකනු ලබයි. මේ අනුව අධිකරණයට අපහාස කිරීම යනු අධිකරණය ඉදිරියේ ඇති නඩුවක් විසඳීමට බාධා වන ආකාරයකින් කි‍්‍රයාකිරීමකට සීමා වේ. හිටපු යුක්තිය පිළිබඳ ඇමතිවරයා උසාවියට අපහාස කිරීම යන අපරාධය  ඕනෑම දෙයක් පිළිබඳව සම්බන්ධ කොට එයින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නැවත නැවත උත්සාහ කරන ලද අයෙකි.

2. අධිකරණයට අපහාස කළ හැකි දෙවන මාර්ගය නම් අධිකරණය ඉදිරියේදීම එහි කටයුතු වලට බාධා වන ආකාරයෙන් කරනු ලබන හැසිරීම්, බාධා හෝ ප‍්‍රකාශන පදනම් කොට ගෙනය. මෙයින් අදහස් වන්නේ යම් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් අධිකරණය ඉදිරියේම එහි වැඩකටයුතු වලට බාධා කරමින් එක්කෝ විනිශ්චයකාරවරයෙකුට හෝ නිළධාරියෙකුට පහර දීම හෝ බැන වැදීම හෝ වෙනත් එවැනි ආකාරයක කටයුතු කරමින් අධිකරණ කටයුත්ත කරගෙනයාමට බැරි තත්වයක් ඇති කරයි නම් ඔහුට විරුද්ධව පියවර ගැනීමේ අයිතිය එම අධිකරණයටම ඇත.

එසේ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අධිකරණ කටයුතු සාමකාමීව හා පිළිගත් ආකාරයට කර ගෙන යාමට බාධා කිරීමේ අයිතියක් කිසිවෙකුට නැති බවය.

3. අධිකරණයට අපහාස කිරීම යනුවෙන් අදහස් වන්නේ විනිශ්චයකාරවරුනට, ජූරි සභිකයිනට හා අධිකරණයේ කටයුතු වලට සහාය වන නිළධාරීන්ට එම කටයුතු කරගෙන යාමට බාධා වන ආකාරයට කිසියම් කටයුත්තක හෝ ප‍්‍රකාශනයක යෙදීමයි.

මෙය ලෝකය පුරාම අධිකරණයේ අපහාස කිරීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති නෛතික තත්වය පිළිබඳව මූලික කරුණු සම්පින්ඩනය කිරීමකි. අධිකරණයක සංවිධානාත්මකව ඇති විවිධ ප‍්‍රශ්න සාකච්ඡුාවට භාජනය කිරීම වරදක් නොවනවා පමනක් නොව අධිකරණයේම දියුණුව හා සමාජයේ දියුණුව සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බව නීති විශාරදයන් හා ප‍්‍රබල විනිශ්චයකාර වරුන් විසින් නැවත නැවත ප‍්‍රකාශයට පත් කොට ඇත. උදාහරණයක් වශයෙන් ලංකාවේ අධිකරණ තුළ විශාල නඩු පමාවක් පවතින බවත් එම නිසා බොහෝ දෙනෙකුට යුක්තිය පසිඳවා ගැනීමට ඇති අයිතිය අහිමි වන බවත් මේ නිසා විවිධ ආකාර වලින් අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය පවා කඩා වැටෙන බවක් යමෙකු ප‍්‍රකාශ කරයි නම් ඔහු කරන්නේ පවතින තත්වය පිළිබඳව ගැඹුරු ප‍්‍රකාශනයකි. මෙවැනි ප‍්‍රකාශයන් සමාජ ගතවීම තුළින් සමාජය තුළින්ම මෙම ප‍්‍රශ්නය විසඳිය යුතු යැයි යන මතය ගොඩ නැගෙන විට එයට ප‍්‍රතිචාර කිරීමට බලයේ සිටින රාජ්‍යන්ට සිදුවන අතර මේ නිසා විවිධ ප‍්‍රගතිශීලී වෙනස්කම් ඇතිවිය. මේ වෙනස්කම් මගින් ජනතාවට ලැබෙන්නේ විශාල ශක්තියකි. ජනතාවගේ ස්වෛරීභාවය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට නම් අදහස් ප‍්‍රකාශ කිරීමේ හා සංවිධානය වීමේ ශක්තිය ඔවුන් තුළ තිබිය යුතුය. එම ශක්තිය නැති කිරීම වනාහී ජනතාවගේ ස්වෛරීභාවයට කරනු ලබන මහා පරිමාන ප‍්‍රහාරයකි. බෙලහීන ජනතාවක් නොමග යවමින් තමන්ගේ දේශපාලන කටයුතු ඉටු කර ගැනීම පිළිබඳ ඉතිහාසයක් ඇති රටවල් අතරට ලංකාවද වැටුනේ බොහෝ කාලයකට පෙර සිටය. අද පවතින්නේ මෙම බෙලහීනභාවය නැති කර ගැනීම සඳහා ජනතාව දරන උත්සාහයයි. මෙම උත්සාහයට විරුද්ධ වන්නේ ජනතාවගේ මෝඩකම් තුළින් හා බෙලහීනතාවයෙන් ප‍්‍රයෝජන ගනිමින් අයුතු ලෙස රජයේ දේපල තමන් සතු කර ගනිමින් හා වෙනත් ආකාර වලින් තමන්ගේ පුද්ගලික වුවමනාවන් සඳහා දේශපාලනය පාවිච්චි කරන අයවලූන් විසිනි.

අධිකරණය විසින් කිව යුත්තේ කුමක්ද ? නොකිව යුත්තේ කුමක්ද ? කියා තීරණය කිරීමේ බුද්ධිය අධිකරණයට ඇත. එයට කතානායකවරයාගේ බුද්ධිය ආදේශ කළ නොහැකිය. කතානායකතුමාට වඩා නීතියෙන් තමන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් අධිකරණයට තිබේය යන පූර්ව නිගමනය කිරීම සාධාරණ පූර්ව නිගමනයකි. එය නිළයට අවශ්‍ය වූ බුද්ධිය ලංකාවේ අධිකරණයක පවතිනවාය යන මුලික අදහස නැවත වරක් කියා පෑමක් පමනි. එවැනි බුද්ධියක් පැවතිය හැක්කේද එම නිල කාර්යයේ යෙදෙන්නන් තුළ පමනි.

එ.ජා. නිළ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අධිකරණයට මුකවාඩම් දැමීමට කරන උත්සාහය ලෝකයේම අපහාසයට ලංකාව පත් කරන කි‍්‍රයාවකි. එවැනි කි‍්‍රයාවක් කිරීම මගින් සිදු වන්නේ අගතියක් මිස ප‍්‍රගතියක් නොවේ. දැනටමත් නීතිය කි‍්‍රයාත්මක කරවා ගැනීමට නොහැකි වූ රාජ්‍යයක් ලෙස ලංකාව ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධියට පත් වී ඇත.

ආසියානු මානව හිමිකම් කොමිසම
25.07.2019





2019-07-26
Advertisement

Find us on Facebook