English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ලෝක ජනග‍්‍රහනයෙන් මිලියන 820 ක් ආහාර හා පෝෂණ හිඟයෙන්..


2019 වර්ෂයේ ලෝකයේ ආහාර හා පෝෂණය සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මංඩලයේ සංවිධාන 6 ක් එකතුව ප‍්‍රකාශයට පත් කොට ඇත. එම වාර්තාවේ පෙන්නුම් කරන්නේ ලෝකයේ ආහාර හා පෝෂණ හිඟය පසුගිය අවුරුදු වලදී වැඩි වී ඇති බවය. මේ අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 820 ක් පමන ආහාර හා පෝෂණ හිඟයෙන් පෙළේ. ආසියාවේ රටවල් අතරින් පෝෂණ ප‍්‍රශ්නය වඩාත් කැපී පෙනෙන්නේ දකුණු ආසියාවේය. දකුණු ආසියාවේ රටවල් අතර ලංකාව ද පෝෂණ හිඟය සම්බන්ධයෙන් ඉතා කැපී පෙනෙන රටක් බවට පත් වී ඇත. මෙම වාර්තාව පෙන්නුම් කරන්නේ ලකංාව වර්ධනය අතින් මැද තත්ත්වයක පවතින නමුත් එසේ මැද තත්වයේ පවතින රටවල් අතරත් මන්දපෝෂණය හා ආහාර හිඟය පැතිරී පවතින බවය.

ආහාර හා පෝෂණ හිඟය ඇතිවීම කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධකයක් නම් ආර්ථික දියුණුවේ වේගය පසුබැසීමත් ආපස්සට යාමටත් ඇති ප‍්‍රවානතාවයන්ය. ලංකාව තුළ දැන් දැකිය හැක්කේ එවැනි තත්ත්වයකි. විශාල ආහාර හා පෝෂණ ගැටලූවක් මතුවීම වලක්වා ගත හැක්කේ ආර්ථිකයේ සංවර්ධන වේගය වැඩිකළ හැකි හා ආපස්සට යාමට හැකි ප‍්‍රවණතාවයන් පරාජය කළ හැකි ආර්ථික හා සමාජීය ප‍්‍රතිපත්තීන් මගිනි.

මේ කරුණු අනුව රටක දේශපාලන අස්ථාවරත්වයත් ආහාර පෝෂණ අතර ඇත්තේ කුමන සම්බන්ධයක් දැයි සොයා බැලීම වටී. ආර්ථිකයක ගමන් වේගය බොහෝ දුරට රැුඳී පවතින්නේ සමාජ ස්ථාවරත්වය තුළය. සමාජයක් අස්ථාවර වීමත් සමගම ආර්ථිකයේ විවිධ කොටස් දැඩි කම්පනයටත් බොහෝ විට ආපසු යාමටත් පටන් ගනී. මේ අනුව රටක ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට ගන්නා පියවර රටක ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය පදනමක් වන අතර ඒ මගින් රටක ආහාර හා පෝෂණ හිඟය වළක්වා ගැනීමේ මාධ්‍යක්ද බවට පත් වේ. ලෝකයේ දේශපාලන ස්ථාවරත්වය පහළට යන සෑම අවස්ථාවකම ඊට බොහෝ දුරට සමගාමීව ආහාර හා පෝෂණ හිඟයක් ඇති වීමද සමහර විට සාගත තත්වයක් දක්වාම එය පැතිරී යාමද දකින්නට හැකිය. මේ පිළිබඳව ඓතිහාසිකව ඇති ඉතා පැහැදිළි උදාහරණයක් නම් 1975 සහ 1979 අතර කාලය තුළ කාම්බෝජියාව තුළ ඇති වූ විශාල ආහාර හිඟයත් ඒ මගින් ඇති කරන ලද සාගත තත්වයත් නිසා මහා පරිමානව ජන විනාශයක් සිදුවීමය.  එසේ වීමට පසුබිම සලසන ලද්දේ විශාල අස්ථාවර තත්ත්වයක් රට තුළ නිර්මාණය වීමය. එසේ අස්ථාවර තත්වයක් ඇති වීමට මුල් හේතුව වූයේ වියට්නාමයේ පැවති යුද්ධයට කම්බෝජියාව සම්බන්ධ කර ගනිමින් ඇමරිකාවේ රිචඞ් නික්සන් ජනාධිපතිවරයා හා හෙන්රි කීසින්ගල් විසින් කම්බෝජියාවේ ගම් ප‍්‍රදේශ වලට විශාල වශයෙන් බෝම්බ හෙලීමය. මේ බෝම්බ හෙළන ලද ප‍්‍රමාණය දෙවන ලෝක යුද්ධයේදී හෙළන ලද බෝම්බ ප‍්‍රමාණයට සමාන යැයි සමහරු තර්ක කරති. කෙසේ වෙතත් මෙම බෝම්බ හෙළීමේ ප‍්‍රතිඵලය වූයේ විශාල ගැමි ජනගහනයක් ප‍්‍රධාන නගරය වූ නොම්පෙන් නුවර කරා ළඟාවීමය. නොම්පෙන් නගරය ඉතා කුඩා නගරයක්ව පැවති අතර එය වෙත පන් ලක්ෂයකට වැඩි ජනතාවක් කෙටි කාලයක් තුළදී ළඟා වෙන්නට පටන් ගත්තේය. නගරයේ තිබුණු මූලික සේවාවන් හා සංවිධාන රටාවට දරා ගන්නට බැරි අස්ථාවරත්වයක් මේ හරහා සිදු විය.

මේ පසුබිම යටතේ රටේ දේශපාලන තත්වයද ඉතා බරපතල ලෙස අස්ථාවර තත්ත්වයට පත් විය. මේ තත්ත්වය පසුබිම් කර ගෙක මේ වන විට කැළයේ සැඟවී සංවිධානය වෙමින් තිබූ කෙමරූජ් නමැති සංවිධානය බලය ලබා ගැනීම ස`දහා නොම්පෙන් නුවර කරා ගමන් කිරීමට පටන් ගත්තේය. විශාල අර්බුදයකට මුහුණ පා සිටි ජනතාව වැඩි දෙනෙක් කියා සිටියේ රතු කාම්බෝජය හෙවත් කෙමරූජ් යන සංවිධානය කාම්බෝජියානු ජාතිකයන්ගෙන් සමන්විත එකක් හෙයින් ඔවුන්ගෙන් තමන්ට හිරිහැරයක් නොවේය යන මතයය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ඉතා  ඕනෑකමින් ඔවුන්ව කෙමරූජ් සංවිධානයේ භටයන්ව ආදරයෙන් පිළිගැනීමය.

එහෙත් කෙමරූජ් සංවිධානය නොම්පෙන් නගරයට ආවේ විප්ලවය පිළිබඳව ඔවුන්ගේ තිබුණු සැලසුම් හා මතවාදයන් හිස ගන්වා ගෙනය. ඔවුන් නගරයට  පැමිණ පැය 24 ක් යාමටත් පෙර නගරයේ සියලූ දෙනාම එම නගරයෙන් පිටවී ගම් වලට ගමන් කරන ලෙස කෙමරූජ් සංවිධානය විසින් අණ දෙන ලදි. ඔවුන්ට කෙටි කාලයකින් නැවත එන්න ලැබේය යන මිත්‍යාව ද පතුරුවා හරින ලදි. ඔවුන් සතු සියලූම කෑම  හා වෙනත් භාණ්ඩ කෙමරූජ් සංවිධානයට භාර දෙන ලෙසට ද අණ කෙරිණි. එම අණට විරුද්ධ වූ කාට වුවද එතැනදීම වෙඩිතබා දැමීම මගින් ඇති කරන  ලද බිය නිසා සියලූ දෙනාම පාරට බැස කෙමරූජ් සංවිධානය විසින් කියන ලද ප‍්‍රදේශ වලට පාගමන් ආරම්භ කරන ලදි. මේ දීර්ඝ කතාවකි. එහෙත් මෙහිදී අදාළ වන්නේ මෙම අස්ථාවර තත්ත්වය ඉතා කෙටි කාලයක් තුළ විශාල ආහාර හා පෝෂණ හිඟයක් කරා ළඟා වී රටේ විශාල කොටසක් ඝාතනයට ලක් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙනි.

තමන්ගේ පුරුදු වාතාවරණයෙන් අයින් කරන ලද මිනිස්සු ගාල් කරන ලද්දේ විවිධ කඳවුරු වලටය. එම කඳවුරු වලදී ඔවුන්ගේ යුතුකම වූයේ රජය වෙනුවෙන් ඔවුන්ට පවරන  ඕනෑම යුතුකමක් ඉටු කිරීමය.  බොහෝ දුරට එම යුතුකම වූයේ ගංගා ප‍්‍රදේශයේ සිට වියලි ප‍්‍රදේශය දක්වා වතුර ගෙන්වා ගැනීම සඳහා කාණු කැපීමය. එය කරන ලද්දේ හුදෙක්ම ශාරීරික මහන්සියෙන් හා මීහරක් දමා පස් අයින් කිරීම ආදිය මගිනි. කිසියම් හෝ යාන්ත‍්‍රික පහසුකමක් කම්බෝජියාවට පැවතුනේ නැත.
මෙසේ කිරීම මගින් මිනිසුන්ගේ අනන්‍යතාවය හුදෙක්ම රජයට සම්බන්ධ වීමේ ප‍්‍රශ්නයක් ලෙස ගැනුනු අතර ඒ ඒ පුද්ගලයාට තිබූ අනන්‍යතාවය නැති කර දමන ලදි. කෑම පවා ලබා දුන්නේ පොදුවේ ගෙනගිය කුස්සි මගිනි. දරුවන් බලා ගැනීම සිදුවූයේ කුඩා දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කොට වෙනමම බාලයන්ගේ පාසල් පවත්වා ගෙන යාම තුළිනි. ඒවා හුදෙක් පාසල් නොව සම්පූර්ණයෙන්ම දෙමාපියන්ගෙන් වෙන් කොට රජයට ගැතිවන මානසික තත්වයක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ වුවමනාව විය.

මෙසේ ඇති වූ අස්ථාවර තත්ත්වය නිසා රටේ ආර්ථිකය එනම් කෘෂිකර්මය මුළුමනින්ම කඩා වැටුනි. කම්බෝජියාව සමතලා භූමියකි. එය අතීතයේදි විශාල වශයෙන් කෘෂිකාර්මික දියුණුවක් ලබා සිටි රටකි. ශතවර්ෂ ගණනකට පෙර නැගෙනහිර ආසියාවේ ප‍්‍රබලම රාජ්‍යය වූයේ ඇන්කෝ රාජ්‍යය වශයෙන් හ`දුන්වන ලද කම්බෝජියානු රාජ්‍යයයි. එසේ කෘෂිකාර්මික සම්පත් විශාල වශයෙන් තිබූ නමුත් ජනතාව කම්පනයට පත් කොට ඔවුන්ගේ අනන්‍යතාවය බිඳෙන ප‍්‍රමාණයට මානසික තත්ත්වයක් ඇති කිරීම තුළින් භෞතික නිෂ්පාදනය හා ජන ජීවිතය අතර මහා පරිමාන බිඳීමක් සිදුවිය. මෙම බිඳීම මගින් සමාජයක් පැවතීමට අත්‍යවශ්‍ය වන එකිනෙකා අතර පැවතිය යුතු මූලික සහයෝගීතාවය බිඳී ගියේය.

ආර්ථික වර්ධනයක් සිදු වන්නේ ජන කොටස් අතර පවතින ආර්ථික වශයෙන් එකමුතුව කටයුතු කළ යුතුය යන ගැඹුරු එකඟතාවය උඩය. මෙය ආර්ථිකය පවත්වා ගෙන යාම සඳහා ඇති වන සහයෝගීතාවයකි. එම සහයෝගීතාවය කිසියම් ම ප‍්‍රබල ප‍්‍රචන්ඩ වාතාවරණයක් විසින් බිඳ දමන විට ඒ සමඟ බිඳ වැටෙන්නේ රටේ මූලික ආර්ථිකයයි. එම මූලික ආර්ථිකය රටේ ජනතාවගේ ආහාර හා පෝෂණ ශක්තිය රැුඳී පවතී. ආහාර හා පෝෂණ තත්ත්වය පවත්වා ගෙන යාම සඳහා සමාජය තුළ මූලික සහයෝගීතාවයක් අත්‍යාවශ්‍ය වේ. විවිධ දේශපාලන බලපෑම් නිසා හා දේශපාලනය විසින් සියල්ලම පාලනය කරන උත්සාහය තුළින් සිදු වන්නේ රටක තිබිය යුතු ප‍්‍රධාන සහයෝගිතා අත්තිවාරම බිඳ වැටීමය.



එම අත්තිවාරමේ බිඳ වැටීම ආර්ථිකයෙන් මුලින් විවිධාකාරයෙන් ප‍්‍රකාශයට පත් වේ. උදාහරණයක් වශයෙන් මේ වන විට ලංකාවේ ආර්ථිකයට සම්බන්ධ සියලූම අංශයන් බිඳ වැටීමට පටන් ගෙන ඇත. රාජ්‍ය දේපල පුද්ගලිකකරණය කිරීම විශාල වශයෙන් සිදු වී ඇත. මේ පිළිබඳව පවතින නීති මුළුමනින්ම අතහැර දමා පුද්ගලික වාසිය සඳහා මෙසේ ඇති කරන දේපල අත්මාරු කර ගැනීම තුළින් බිඳ වැටෙන්නේ ආර්ථිකය තුළ සහයෝගීතාවය ගොඩනැගීමට අවශ්‍ය වන මානසික පදනමයි. මේ අතර ආර්ථිකයේ අන් සියලූ අංශයන්ගෙන්ද විශාල කඩා වැටීමක් පවතී. පාස්කු ඉරිදා සිදුවීම් පසුපස පැන නැගුනු විශාල ප‍්‍රශ්නයක් නම් සංචාරක කර්මාන්තයේ කඩා වැටීමය. මේ කඩා වැටීම නිසා රටට මුදල් ගලා ඒම විශාල ප‍්‍රශ්න ඇති වන අතර ඒත් සමඟම විශාල ජන කොටසකට රැකියා අහිමි වේ. මෙසේ රැුකියා අහිමි වන්නන්ගේ ප‍්‍රශ්නය විසඳීමට කළ හැක්කේ කුමක්ද ? ඇත්තෙන්ම මේ වන තෙක් බලා සිටින තත්වය තුළ එවැනි කිසිවක් සිදු නොවේ. එමෙන්ම ආර්ථිකයේ වේගය ලබන අවුරුද්ද වන විට විශාල පසුබෑමකට යටත් වන බවත් දැන් ප‍්‍රකාශයට පත් වී හමාරය. මෙය රටේ ආර්ථික විද්‍යාඥයන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන මගින්ද ප‍්‍රකාශයට පත් කොට ඇත.

මේ සියල්ලෙන්ම ප‍්‍රකාශයට පත් වන්නේ ලංකාව විශාල ආහාර හා පෝෂණ ගැටලූවකට මුහුණ දෙන තත්ත්වයකට ඉතා කිට්ටුවට පැමිණ තිබෙන බවය. ළඟදී එක් දැරුවෙකු සාගතය නිසා මිය ගොස් ඇති බව වාර්තා වූ අතර එය රට පුරාම ප‍්‍රසිද්ධ විය. නමුත් මේ වන විට කොපමන ප‍්‍රමාණයක් අර්ධ පෝෂණ තත්වයක පසුවන්නේ ද යන්න පිළිබඳව කිසියම්ම හෝ අනාවරණයක් රජය විසින් කර නැත. එසේ නොකිරීමටද බොහෝ දුරට ඉඩ ඇත. මන්ද යත් ඒ මගින් ඇති විය හැකි දේශපාලන හා සමාජීය ප‍්‍රතිඵල වලින් ඔවුන්ට වාසි නොවන නිසා විය හැකිය. කෙසේ වුවත් ලංකාවේ සිවිල් සමාජයත්  බුද්ධිමතුන්ද ලංකාවේ අනාගතය ගැන දන්නා කවුරු වුවත් රටේ ඇති විය හැකි විශාල ආහාර හා පෝෂණ හිඟයක් පිළිබඳව තමන්ගේ අවධානය යොමු කළ යුතුව ඇත. එසේ නොවුනහොත් සිදුවීමට පටන් ගත්තාට පසු ඒවා නතර කිරීම බොහෝ දුරට අමාරු කාර්යයක් වනු ඇත.





නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු




2019-07-25
Advertisement

Find us on Facebook