English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නීති දැනුම සමාජ ගත නොකරන්නේ ඇයි?


නීති දැනුම සමාජ ගත නොකරන්නේ ඇයි?

නීතිය යනු කුමක්ද? යන්නට ලබාදිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත. එබැවින් නීතිය යන්නට ලබාදිය හැකි අර්ථ නිරූපණ රාශියකි. එය අතීතයේ සිට අද දක්වා කාලාන්තරයක් තිස්සේ නීතිවේදීන් හට හමුවූ ප්‍රධානතම ගැටලු ව වේ. නීතිය යන්නට දියහැකි අර්ථ කථනයන්ගේ ප්‍රමාණය ලෝකයේ ජීවත් වූ නීති විද්‍යාඥයන්ගේ ගණනට සමාන යැයි කිව හැක.  නීතිය මිනිසාගේ දෛනික ජීවිතයේ සුමට යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. මේ අනුව නීතිය යනු කුමක්ද යන ගැටලුවට විවධ ආකාරයේ දෘෂ්ඨිකෝණයන්ගෙන් විවිධ අර්ථනිරූපණයන් ඉදිරිපත් වී ඇත. මේ අනුව නීතිය යනු පොදු සමාජ සහපත උදෙසා මෙන්න මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීම උදෙසාල යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීම උදෙසා  සමාජයේ ගැටෙන අයිතිවාසිකම් තුලනය කිරීම උදෙසා සමාජය තුළින්ම බිහිවූ කාර්යක්ෂම උපකරණයක් ලෙස සැලකිය හැක.

යුක්තිය හා සාධාරණත්වය සමාජය තුළ සංස්ථාපනය වීමට නම් අනිවාර්යයෙන් ම නීතියේ යහපැවැත්ම තහවුරු විය යුතුය. නීතියක් නොමැති සමාජයක් තුළ යුක්තියක් හෝ සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. මන්දයත් නීතිය නොමැතිවීම සමාජය අස්ථාවර  කිරීමට හේතු සාධක වේ. අරාජික රාජ්‍යයක් තුළ යුක්තියක් හෝ සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. ඒ අනුව නීතිය තුළ අවශෝෂිත යුක්තිය හා සාධාරණත්වය යන සංකල්පයන් සිවිල් සමාජයක යහපැවැත්ම තහවුරු කිරීමට අනිවාර්ය අංගයන් ය. යුක්තිය හා සාධාරණත්වය යනු නීතිය තුළ හඳුනාගත හැකි ප්‍රභල සංකල්ප ද්විත්වයකි. මෙම සංකල්පයන්ට ලබාදිය හැකි අර්ථකථනයන් නිශ්චිත නොවන අතර ඒවා පුද්ගලානුබද්ධ වේ. අයෙක් යුක්තිය යනු නඩුවකදී අගතියට පත් පාර්ශවයන්ට සාධාරණ තීන්දුවක් ලබාදීම වේ’ යනුවෙන් අර්ථ ගැනිවිය හැකි අතර තවකෙක් එය සමස්ත සමාජයට ම පොදු ආර්ථික, දේශපාලන සාධාරණත්වය ලෙස අර්ථ ගැන්වීමට ද හැක.

නීතිය මඟින් සමාජය ශිෂ්ඨ සම්පන්න කිරීම සිදු කරන තවත් එක් ආකාරයක් වන්නේ ගැටෙන සමාජ අයිතිවාසිකම් තුලනය කිරීමට කටයුතු කිරීමයි. එනම් එකිකනෙකට වෙනස් අයිතීන් බලාපොරොත්තු වන්නා වූ විවිධත්වයකින් යුතු ජන සමාජයකට යුක්තිය හා සාධාරණත්වය උපරිමයෙන් ඉටුවන පරිදි කටයුතු කිරීමයි. නීතිය මඟින් අයිතීන් හිමිකර දීම තුළින් අයිතීන් දිනාගැනීමට සමාජයේ එකිනෙකා අතර ඇති වන ගැටුම් පාලනයකට ලක්වේ. මේ සඳහා වන හොඳම උදාහරණය වන්නේ  1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිඡේදයයි.  මෙම පරිච්ඡෙදයේ ලාංකික පුරවැසියකුට හිමිවිය යුතු මූලික අයිතීන් දක්වා ඇත. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති එම අයිතීන් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් හෝ ඛණ්ඩනය වීමකදී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගොනු කිරීමට එම පරිඡේදයේම 17 ව්‍යවස්ථාව තුළින් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව තුළින් ඉඩකඩ සපයා ඇත.  මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ අයිතීන් තහවුරු කිරීම හා ඒවා අතර සිදුවන ගැටීම් තුලනය කිරීම මඟින් ජන සමාජය ශිෂ්ඨසම්පන්න කිරීමට නීතිය ප්‍රභල දායකත්වයක් සපයන බවයි.

කෙසේ වුවද ලංකාව වැනි තෙවන ලෝකයේ රටවල් වල නීතිය පිළිබඳව ජනතාව තුළ පවතින දැනුම ඉතා අල්ප මට්ටමක පැවතීම සෝචනීය තත්වයකි. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේය යන්න නෛතිකව බලාත්මකව පවතින ප්‍රකාශයක් වුවද සත්‍ය වශයෙන් බැලූ කල දිනකට උසාවි වල තම නඩු වාරය වෙනුවෙන් පෙනී සිටීමට පැමිණෙන පුරවැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තම නඩු කටයුත්ත පිළිබඳව අවබෝධයක් නොමැත. මෙයට දිගුකාලීනව වැදගත් වන අනාගත විසදුමක් වශයෙන් නීතිය යන්න විෂයයක් වශයෙන් පාසල් පෙළ පොතට එක් කළ යුතුය යන මතය සමාජයේ විද්වතුන්ගෙන් දැඩි ලෙස ප්‍රකාශ වුවද රටේ දේශපාලනඥයින්ට  ඒ පිළිබඳව කිසිදු හැගීමක් නොමැති බව පෙනී යයි.

- හිරෝශාන් ලක්ෂාන් -




2019-07-24
Advertisement

Find us on Facebook