English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මිය ගොස් වසර තුනයි ! මරණ සහතිකයක් නැහැ !!

මීට වසර තුනකට පෙරාතුව කටුනායක ආයෝජන කලාපයේ කම්කරු උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි පහරින් මිය ගිය රෝෂේන් චානක නම් වු තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති 15994 නඩුව, අද එනම් 2014-09-26 වන දින විභාගයට ගැනුණි. එහෙත්, වසර තුනක සිට සාධාරණ හා අපක්ෂපාති නිමාවක් නොමැතිව කල් ඇදෙමින් පවතින මෙම නඩුව, අද දින දී ද නොවැම්බර් 24 වන දින (2014-11-24) නැවත විභාගයට ගැනීමට දින නියම විය.

මෙම නඩුව මීට පෙර විභාගයට ගැණුනේ 2014-08-01 වන දිනදී ය.

එදින නඩු විභාගයේදී ගරු මහේස්ත‍්‍රාත්වරිය විසින් රොෂේන් චානකගේ මරණ සහතිකය ඇයගේ සමීපතම ඥතියෙකුට නිකුත් කිරීමට නියෝග කළත් අධිකරණ කටයුතුවල ප‍්‍රමාදය හේතුවෙන් තවමත් එය රෝෂේන්ගේ මවට ලැබී නැත.

මීට පෙර තුන් වතාවක් රොෂේන්ගේ මව, ස්වර්ණකාන්ති මහත්මිය මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොස් මරණ සහතිකය ලබා ගැනීමට උත්සාහ කළද ආපසු හැරී එන්නට සිදු විය.

අධිකරණ කාර්යාලීය කටයුතුවල පවතින ප‍්‍රමාද දෝෂ හේතුවෙන් එසේ එම අවස්ථාවන් තුනම පැහැර හැරි ගොස් ඇති අතර, අද දින දී ද  එම මරණ සහතිකය අත්සන් කළ යුතු විනිසුරුවරයා පැමිණ නැති බැවින් මරණ සහතිකය ලබාගැනීමට නොහැකි විය. විනිසුරුවරයාගේ නොපැමිණිම ගැන පවසා රොෂෙන් චානකගේ මවට මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත පැමිණීමට තවත් දිනයක් ලබා දෙන ලදී.

2011 මැයි 30 වන දින නිදහස් වෙළඳ කලාපයේදී පැවති සේවා නියුක්තිකයින්ගේ විශ‍්‍රාම වැටුප් අරමුදල් පනත් කෙටුම්පතට එරෙහි සේවක උද්ඝෝෂණයකදී රොෂේන් චානක මිය ගිය අතර ඔහුගේත් ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට මහානාම තිලකරත්න කොමිසමට භාර දී ඇතත් තවමත් එකී වාර්තාව ද ලැබී නැත.

මහනාම තිලකරත්න කොමිසම් වාර්තාව සහ මරණ සහතිකය ඉල්ලා සිටිමින් හා එදින තුවාල ලත් අනෙක් කම්කරුවන් සඳහා සාධාරණයක් කරන ලෙසටත් බලකරමින් රොෂේන් චානකගේ පවුලේ සාමාජිකයින් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ද අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ ද ඩා බිඳු සාමුහිකයේ මෙන්ම අනෙකුත් සංවිධානවල ද සාමාජිකයින් සහ කිතුණු ආගමීක නායකයින්ද සෑම මසකම පළමුවෙනිදා පස්වරු 5.00 ට කටුණායක ඇවරිවත්ත පොලීසිය ඉදිරිපිට වටරවුමේ දි නිශ්ශබ්ද උද්ඝෝෂණයක් පවත්වමින් රොෂේන් ඝාතන සිද්ධියට අදාළ බළධාරින් හට සිහි ගන්වනු ලබයි.

ඔක්තොබර් මස පළමුවෙනිදා ද පස්වරු 5.00 ට එම නිශ්ශබ්ද උද්ඝෝෂණය එම ස්ථානයේදිම පවත්වනු ලබයි.

නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර
පින්තූර - මෙලනි මානෙල් පෙරේරා




2014-09-26
Advertisement

Find us on Facebook