English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවේ පළාත් සභා ක්‍රමයේ දුර්වලතා!


ලංකාවේ පළාත් සභා ක්‍රමයේ දුර්වලතා!

1987 ජුලි මස 29 වන දින ජේ.ආර්.ජයවර්ධන හා රජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීමෙහිලා මූලික විය. මේ නිසා ලංකාවේ පළාත් සභා ඉන්දියානු මොඩලයට නිර්මාණය කරන ලද්දක් බව විචාරකයන්ගේ මතයයි. මේ අනුව ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හදුන්වාදුන් අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඩ) දක්වා අලුතින් පරිච්ඡේදයක් ඇතුළත් විය. එපමණක් නොව 1987 අංක 42 දරණ පළාත් සභා පනත ද හදුන්වා දෙන ලදි. මේ අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා 9ක් ඇති කරන ලද අතර උතුරු හා නැගෙනහිර එක් පළාත් සභාවක් ලෙසත් අනෙක් පළාත් එක් එක් පළාත් සභා ලෙසත් පිහිටුවා තිබුණි. (වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත් සභා වෙන් වෙන්ව පාලන කටයුතු සිදු කරයි.) එක් එක් පළාත් සභාව සඳහා ආණ්ඩුකාරවරයෙක්, මැති ඇමතිවරු, කැබිනට් මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක්, රාජ්‍ය සේවා කොමිසමක්, පොලිස් කොමිසමක්, මහාධිකරණයක්, යනාදිය ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන යොදා තිබේ. එසේම පළාත් සභා විසින් ක්‍රියාත්මක කළ යුතු ආයිතමයන්ද දක්වා තිබේ. පළාත් සභා ලැයිස්තුව හා සමගාමි ලැයිස්තුව ඒ අතර වේ.

පළාත් සභාවේ මූලිකාංග දෙසට අවදානය යොමු කිරීමේදි සමානුපාතික නියෝජනය යටතේ මැතිවරණයකින් තෝරා පත්කර ගනු ලබන පාර්ලිමේන්තුවක් පළාත් සභා සතු වේ. ඔවුන් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගත යුතු අතර ආණ්ඩුකාරවරයා විසින් පළතේ විධායකය රජයයි. 154(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාව පත් කරනු ලබයි. පළාත් සභා සතුව මහ ඇමතිවරයෙක් වන අතර ඔහු පත්කිරීම ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබයි. පළාත් සභා කැබිනට් මණ්ඩලය පත් කිරීම මහා ඇමතිවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබන අතර එය ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළුව සාමාජිකයන් 04කට නොවැඩි විය යුතුයි. එසේම මහජන ආරක්‍ෂාවට පොලිස් කොමිසමක් වන අතර යුක්තිය පසිදලීම සඳහා පළාත්බඳ මහාධිකරණයක් ද වන්නේය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛණය යටතේ පළාත් සභා, සංවෘත හා සමගාමි වශයෙන් ලැයිස්තු 03ක් යටතේ බලතල බෙදා හැරීමක් කර තිබේ. මේ අනුව පළාත්සභා ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් ස්වාධීන බලයක් පළාත්සභා සතු වන අතර සමගාමී ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් අභිමතයක්ද වේ.

මේ ආකාරයට ප්‍රතිපාදන තිබුණද පළාත් සභා අසාර්ථක යයි චෝදනා එල්ල වේ. එසේ වීමට හේතු වී ඇත්තේ ඉන් අපේක්‍ෂා කළ අරමුණු ඉටු නොවීමයි. විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් නොලැබීම ඒ අතර ප්‍රධාන වේ. පළාත් සභා හදුන්වා දීමේ මූලික අරමුණ වූයේ උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලබා දීමයි. නමුත් එතී පළාත් සභාව(උතුරු-නැගෙනහිර) වසරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ බිඳ වැටුණි. මේ ආකාරයට පළාත්සභා අසාර්ථක වීමේ ප්‍රබල හේතුකාරකය වූයේ නිසි බලතල පළාත්සභාවන්ට ලබා නොදීමයි. එම නිසා තරුණ නායකයන්ට රිසිසේ ක්‍රියා කරන්නට අවස්තාවක් නොලැබුණි. ඔවුන්ට තවදුරටත් මධ්‍යම ආණ්ඩුවේ බලයට නතුව දාසයන් සේ කටයුතු කිරීමට සිදු විය. මේ නිසා සමහර නායකයන් අරගල කරන්නටද විය. නිදසුනක් ලෙස 1988දී උතුරු-නැගෙනහිර මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඉඩම් බලතල ලබා ගැනීමට උත්සහ දැරූ අතර 1993දී චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාතේ පොලිස් බලතල ලබා ගැනීමට වෙහෙසුණි. මේ අනුව බලතල බෙදීමේ දෝෂය නිසා ජනතාව තුළ කළකිරීමක් ඇති විය. නැගෙනහිර පළාත් සභා ඡන්දයෙන් පසු ඉඩම්, පොලිස් හා අධිකරණ බලතල ලබා දෙන බව පැවසුවද ඒවා ලබා දෙන තුරු විශ්වාසය තැබීමේ නොහැකියාවක් ජනතාව තුළ ඇති වී තිබෙන්නේ නිරායාසයෙනි.

පළාත් සභාවේ විධායකය රජයන්නා වූ ආණ්ඩුකාරවරයා පක්‍ෂග්‍රාහී වීම පළාත් සභා අසාර්ථකවීමෙහිලා ප්‍රබල ලෙස බලපා තිබේ. ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මෙහිදී ජනාධිපතිවරයා ස්වාධීන අයෙකු පත් කරනු ලැබුවත් එකී පත් කරන්නා තමාට පක්‍ෂග්‍රාහී කෙනෙකු බව කවුරුත් දන්නා රහසකි. ඒ අනුව පත් කරනු ලබන ආණ්ඩුකාරවරයා නිතැතින්ම ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයාගේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට මිස පළාත සංවර්ධනය කිරීමට හෝ පළාතේ ජනතාවගේ අරමුණු ඉටු කිරීමට යැයි අපේක්‍ෂා කළ නොහැක. පළාත් සභා වෙත ලැබෙන බදු මුදල් දෙසට අවදානය යොමු කිරීමේදී ආදායම් බදු හා සුරා බදු එකතු කිරීමට පළාත් සභාවන්ට අවස්ථාව දී නොමැත. එම බදු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලැබේ. එනිසා පළාත් සභාවලට බදු මුදල් වලින් ලැබෙන ආදායම් අල්පය. පළාත් සභාවලට විමධ්‍යගත කොට ඇති බලතල සලකා බලන විට ඒවා ක්‍රියාත්මක කිරීමට සරිලන ආදායමක් පළාත් සභාවලට ලැබිය යුතුය. එම බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ආදායම් නොලබන්නේ නම් එකී බලතල විමධ්‍යගත කිරීමේ ඵලක් නැත.

පළාත් සභා අසාර්ථක වීමෙහිලා බලපෑ සාධක සාරාංශයක් වශයෙන් ගත් කල මූලික වශයෙන් පළාත් සභාවලට නිසි බලතල ලබා නොදීම, විධායකය හා ව්‍යවස්ථාදායකය නිරන්තරයෙන් පළාත් සභා කටයුතුවලට ඇගිලි ගැසීම සිදු කිරීම, පළාත් සභාවල ආණ්ඩුකාරවරයා නිරන්තරයෙන් මධ්‍යම ආණ්ඩුවේ ඉත්තෙකු බවට පත්වීම, පළාත් සභාවන් මහජනතාව සමග බද්ද නොවීම, පළාත් සභාවන්ගේ ආදායම් ඌණතාවය, පළාත් සභාවන්හි සම්පත් අසම ව්‍යාප්තිය යනාදි හේතූන් දැක්විය හැකිය. එකී කාරණා නිසා පළාත් සභා ක්‍රමය කෙරෙහි ජනතාව තුළ උදාසීනත්වයක් ඇතිවී තිබේ. පළාත් සභා පවත්නා තත්වයෙන් ගොඩ ගැනීමට නම් එක් එක් පළාත් සභාවන්ට නිසි බලතල නිසි බලතල ලබා දී පළාත් සභාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකිවන සේ පත් කිරීම් සිදු කිරීම හා ප්‍රමාණවත් ආදායම් ලබා ගැනීමට හැකිවන සේ මධ්‍යම ආණ්ඩුව විසින් කටයුතු සම්පාදනය කිරීම යුගයේ අවශ්‍යතාවයකි. මෙය තමන්ගේ වාසියට යොදා නොගෙන සමස්ත ජනතාවගේම සහ රටේම අභිවෘද්ධිය උදෙසා ක්‍රියාවට නැංවීම කළ යුතුය.

-හිරෝශාන් ලක්ෂාන්-




2019-07-22
Advertisement

Find us on Facebook