English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කන්දකැටිය ඝාතනය ගැන පරීීක්‍ෂණයක් පැවැත්වීීමට නියෝග!
කන්දකැටිය පොලිසියේ  වධහිංසාවන්ට ලක්ව මිය ගිය දාහත් හැවිරිදි සඳුන්  මාලිංග තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුකරය 2014 සැප්තැම්බර් 09 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග කරනු  ලැබු අතර,  ඔහුගේ මරණය සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග  කළේය. 

මේ් අතර මිය ගිය  සඳුන්  මාලිංගගේ  පහරදීීම  සම්බන්ධ  සියලූ වෛද්‍ය වාර්තා ද  අධිකරණය  වෙත  ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින් බදුල්ල රජයේ රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරියාට නියම කරන ලදී. 

2014 මැයි 07 වන දින ත‍්‍රී රෝද රථයක් මිලට ගැනීමට ගිය සඳුන් සහ ඔහුගේ ඥති පිරිසක් නිධන් හෑරු බවට සැක කරමින් කන්දකැටිය පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර අත් අඩංගුවේ සිටියදී පොලිස් නිලධාරින් විසින් සඳුන්ට දරුණු ලෙස පහර දී ඇත. අසාධ්‍ය තත්වයේ පසු වූ සඳුන් නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමක් පොලිස් නිලධාරින් විසින් සිදු නොකළ අතර පස්සර මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරිය වෙත ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව දැනුම් දී තිබියදීත් එ් බව නොතකමින් මහේස්ත‍්‍රාත්වරිය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. සඳන්ගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ දෙමාපියන්  විසින්  බන්ධනාගාර නිලධාරින් වෙත ද දැනුම් දුන්නත් ඔවුන් ද ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීම අතපසු කළ අතර අවසානයේ සඳුන්ට බන්ධනාගාරය තුළඳීම අවසන් ගමන් යාමට සිදු විය.

ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය ලෙස සළකන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡ්දයේ 11 ව්‍යවස්ථාව  දක්වන ආකාරයට ”කිසිම තැනැත්තෙකු වධහිංසාවලට හෝ කෲර, අමානුශික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය”  ,තවද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13(5) පරිච්ඡ්දය මඟින්ද පැහැදිලිවම ප‍්‍රකාශ කොට ඇත්තේ වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂි යැයි පූර්වානුමානය කළ යුතු බවයි. 1994 අංක 22 දරණ වධ හිංසාවට සහ අනෙකුත් කෲර, අමානුශික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුති පනත මඟින් සැකකරුවන්ට එබඳු වධහිංසාවන් සිදු කිරීම අපරාධ ගණයේ වරදක් ලෙසින්ද නීතිගත කොට ඇත.

එහෙත්  කන්දකැටිය පොලිසිය විසින් ක‍්‍රියා කොට ඇත්තේ එකී ව්‍යවස්ථාවන් උල්ලංඝනය වන ආකාරයෙනි. පොලිසිය පමණක් නොව පස්සර අධිකරණයේ ගරු මහේස්ත‍්‍රාත්වරිය, බදුල්ල බන්ධනාගාර නිලධාරින් යන සියලූම නෛතික ආයතනයන් ක‍්‍රියා කොට ඇත්තේ නීතියෙන් පවරා ඇති ක‍්‍රියා පටිපාටියට  පටහැනිවය.

- නීතිඥ  උපේන්ද්‍ර‍්‍රා  ගුණසේකර
-MMP



2014-09-26
Advertisement

Find us on Facebook