English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතිවාදී සංකල්පයෙන් බැහැරවෙමු!


ජාතිවාදී සංකල්පයෙන් බැහැරවෙමු!

එදිනෙදා භාෂාවේදී ජාතිය, රාජ්‍යය, රට සහ වර්ගය යන වචන  එකිනෙක වෙනුවෙන් යෙදිය හැකි වචන ලෙස වරදවා වටහා ගනු ලබයි. නිදසුනක් ලෙස ජාතීන්ගේ සංවිධානයක් නොව රාජ්‍යයන්ගේ සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම පවා පැහැදිලිවම වැරදි ලෙස යොදා ඇත. ජාත්‍යන්තර දේශපාලනය තුළ කිසියම් ජනතාවක්,  පාලන තන්ත‍්‍රයක් හෝ රාජ්‍යයක් සිදු කළ කි‍්‍රයාවක් හැඳින්වීමේදී නිතරම පාහේ ඇමරිකානුවන්, චීනුන් හෝ රුසියානුවන් ආදී ලෙස හැඳින්වීම පොදුවේ ඇසිය හැකි වුවද, ඇත්ත වශයෙන්ම එහිදී සාකච්ඡා කරනු ලබන්නේ එම ජනතාව, පාලන තන්ත‍්‍රය හෝ රාජ්‍යය විසින් සිදු කරන ලද කි‍්‍රයාවක් පිළිබඳවය.  එක්සත් රාජධානිය පිළිබඳව සලකා බලන කල, එය ඉංග‍්‍රීසි, වේල්ස්, ස්කොට් සහ උතුරු අයර්ලන්ත ලෙස වෙනස් ජාතීන්ගෙන් සමන්විත රාජ්‍යයක්ද, නැතිනම් එකම ජාතියකින් සමන්විත රාජ්‍යයක්ද යන ව්‍යාකූලතාවය පවතී. උතුරු අපි‍්‍රකාවේ සහ මැද පෙරදිග කලාපයේ ජීවත්වන අරාබි ජනතාව මතු කරන ගැටළුවද මෙයටම සමානය. නිදසුනක් ලෙස ඊජිප්තුව, ලිබියාව, ඉරාකය සහ සිරියාව සැලකිය යුත්තේ වෙනස් ජාතීන් ලෙසද, නැතිනම් පොදු අරාබි භාෂාවක්, පොදු ඉස්ලාම් දහමක් සහ පොදු බෙඩුයින් ගෝති‍්‍රක අතීත සම්භවයක් මත පාදක වූ ඒකීය අරාබි ජාතියක හුදු කොටස් ලෙසද යන්න ගැටළු සහගතය.

භාෂාව නිතරම සලකනු ලබන්නේ ජාතිකත්වයේ පැහැදිලිම සංකේතය ලෙසය. භාෂාව මඟින් මූර්තිමත් කරනුයේ කණ්ඩායමකට අයත් වීම සහ එහි සම්ප‍්‍රදායන්ට ඇති හුරුපුරුදු බව පිළිබඳව හැඟීමක් ඇති කරනු ලබන ආකල්ප, වටිනාකම් සහ ප‍්‍රකාශන ආකෘතීන්ය. නිදසුනක් ලෙස ජර්මන් ජාතිකවාදය සම්ප‍්‍රදායිකවම පදනම් වී ඇත්තේ ජර්මන් භාෂාවේ නොනැසී පැවැත්ම සහ පරිශුද්ධත්වය ඔස්සේ පිළිබිඹු වන සංස්කෘතික ඒකත්වය මතය. තම භාෂාවට එරෙහිව මතු වන  ඕනෑම දියාරුකරනයක් හෝ තර්ජනයක් පිළිබඳව ජාතියක් අතිශයින්ම සංවේදීය. නිදසුනක් ලෙස ප‍්‍රංශ බස වහරන ක්විබෙක් ජනතාව ඉංගී‍්‍රසි බස වහරන කැනඩාවේ අනෙක් ජනතාවගෙන් වෙන් කරනු ලබන්නේ අවශ්‍යයෙන්ම භාෂාව වන අතර වේල්ස් භාෂාව සංරක්ෂණය කරගැනීමට සහ පුනර්ජීවනය කරගැනීමට වේල්ස් ජාතිකත්වය නිරන්තරයෙන්ම උත්සාහ දරයි. මේ සමගම පොදු ජාතික අනන්‍යතාවයක් පිළිබඳ සංකල්පයකින් තොරවම පොදු භාෂාවක් වහරනු ලබන ජන කණ්ඩායම්ද වෙසේ. ඇමරිකානුවන්, ඔස්ට්‍රේලියානුවන් සහ නවසීලන්ත ජාතිකයන් තම පළමු බස ලෙස ඉංග‍්‍රීසි භාවිතා කළද, ඔවුන් ඇත්ත වශයෙන්ම තමන් ඉංගී‍්‍රසි ජාතියේ සාමාජිකයින් ලෙස නොසිතයි. ස්විට්සර්ලන්ත භාෂාවක් නොමැති බැවින් ප‍්‍රංශ ජර්මන් සහ ඉතාලි භාෂා වහරනු ලබන ස්විට්සර්ලන්තය වැනි වෙනත් ජාතීන් ජාතික භාෂාවක් නොමැතිවම වුවද සැලකිය යුතු ප‍්‍රමාණයක ජාතික ඒකාග‍්‍රතාවයක් භුක්ති විඳී.

ජාතීන් තැනෙනුයේ විෂය මූලික සහ මනෝ මූලික සාධක වල සංකලනයකින්ය යන කරුණ හේතුවෙන් වැදගත් ප‍්‍රතිඵල දෙකක් ජනනය වේ. පළමුව ජාතිකත්වයක් පිළිබඳව විවාද කළ යුතු ප‍්‍රමාණය එමඟින් ඉස්මතු කර දක්වයි. ලෝකයේ බොහෝ චිරස්ථායී දේශපාලන ගැටුම් වනාහී ඇත්ත වශයෙන්ම අදාළ ජනතාව ජාතියක් ලෙස වර්ගීකරණය කළ හැකිද, නොහැකිද, යන්න පිළිබඳව ආරවුල්ය. ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාව බහුතර සිංහල ජනතාවගෙන් වෙන් වූ ජාතියක්ද, ඒ අනුව ඔවුන් තමන්ගේම වාසභූමියක් සහ රාජ්‍යයක් ලැබීමට සුදුසුද, ස්පාඤ්ඤයේ බාස්ක්වරුන් සහ කැනඩාවේ ක්විබෙක්වරුන් ජාතීන්ද නැතිනම් සරලවම වාර්ගික හෝ භාෂාමය කණ්ඩායම්ද, උතුරු අයර්ලන්තයේ ජනතාව අයත් වන්නේ බි‍්‍රතාන්‍ය ජාතියටද, අයර්ලන්ත ජාතියටද, නැතිනම් ඇත්ත වශයෙන්ම ඔවුන් වෙන් වූ අල්ස්ටර් නැමැති ජාතියක් ස්ථාපනය කරයිද යන්න ප්‍රශ්න ගතව පවතී.  ජාතීන් සාමාන්‍යයෙන් පොදු ඉතිහාසයක් සහ සම්ප‍්‍රදායක් බෙදාහදා ගනියි. ජාතික අනන්‍යතාවය නිතරම පාහේ සංරක්ෂණය කරගනු ලබන්නේ අතීත ශ්‍රී විභූතීන්, ජාතික නිදහස, ජාතික නායකයන්ගේ උපන් දින හෝ වැදගත් යුද ජයග‍්‍රහන සැමරීම ඔස්සේය. එක්සත් ජනපදය නිදහස් දිනය සහ ස්තුති කිරීමේ දිනය සමරනු ලබන අතර ප‍්‍රංශය බැස්ටීල් දිනය සමරයි. එසේම ලංකාව තුළ ද ජාතික නිදහස් දිනය, මහවිරු දින සැමරුම යනාදිය පැවැත්වුනු ආකාරයන් අපට දැකිය හැකි විය.

ජාතිකවාදීන්ට නම් ජාතික රාජ්‍යය යනු උසස්ම සහ වඩාත්ම අභිමත දේශපාලන සංවිධානය වේ. ජාතික රාජ්‍යයේ විශාලතම ශක්තිය වන්නේ එමඟින් ඉදිරිපත් කරනු ලබන සංස්කෘතික ඒකාබද්ධතාවය සහ දේශපාලන එක්සත් බව පිළිබඳ අපේක්ෂාවය. පොදු සංස්කෘතික හෝ වාර්ගික අනන්‍යතාවයක් බෙදාහදාගන්නා ජනතාවක්  ස්වයං පාලන අයිතිය දිනාගත් පසු එහි ප‍්‍රජාව සහ පුරවැසිභාවය සමපාත වේ. තවදුරටත් ජාතිකවාදය විසින් ආණ්ඩුවේ අධිකාරීත්වය සුජාතකරණය කරනු ලබයි. ජාතික රාජ්‍යයක දේශපාලන ස්වාධිපත්‍යය ජනතාව හෝ ජාතිය මත රැඳී පවතී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජාතිකවාදය ජනතාව විසින් හෝ ජනතාවගේ ජාතික අභිලාෂය අනුව ජනතාව සඳහා හෝ පාලනය ගෙන යා යුතුය යන අදහස දරන ජනපි‍්‍රය ස්වයංපාලන සංකල්පය නියෝජනය කරයි. ස්වාධීන ජාතික රාජ්‍යයන්ගෙන් සමන්විත ලෝකයක් ගොඩනන්වන ලද බලවේග ස්වභාවික හා මැඩිය නොහැකි බවත්, වෙනත් කිසිදු සමාජ කණ්ඩායමකට අර්ථපූර්ණ දේශපාලන ප‍්‍රජාවක් ස්ථාපිත කළ නොහැකි බවත් ජාතිකවාදීන් විශ්වාස කරන්නේ මේ නිසාය.  එබැවින් මේ ජාතිකවාදී සංකල්පය තුළ හිර නොවී ඉන් බැහැර වී සිතන චින්තන ක්‍රියාදාමයකට සමාජය යොමුවීමේ අවශ්‍යතාවය මේ වන විට මතුවෙමින් පවතී.

-හිරෝෂන් ලක්ෂාන්-

              




2019-07-21
Advertisement

Find us on Facebook