English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හිංසාව ඔබේ උරුමයක් නොවේ!


හිංසාව ඔබේ උරුමයක් නොවේ!

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අනුග්‍රාහකත්වය මත වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ .හිංසනය. ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදය පිටු දකිමු. යන තේමාව යටතේ පවත්වනු ලැබූ දෙවන මහජන සම්මන්ත්‍රණය පසුගිය 13 වනදා දෙණියාය, කොටපොල ප්‍රාදේශීය සභා ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී සම්මන්ත්‍රණය සඳහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවෙහි කැඳවුම්කරු හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයෙහි විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා, නීතීඥ දුලාන් දසනායක මහතා, නීතීඥ ධම්මික අඹේවෙල මහතා, හිටපු නගරාධිපති උපුල් නිශාන්ත මහතා, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් මහතා දේශකයින් ලෙස සහභාගී වන ලදී.

අනතුරුව අදහස් දැක්වූ නීතීඥ දුලාන් දසනායක මහතා විසින් අධිකරණයේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථාල ස්වාධීන කොමිෂන් සභාවන්, රාජ්‍ය කොමිෂන් සභාවන් වැනි ආයතන හරහා අප තුළ පවතින ප්‍රශ්න විසඳා ගැනීමට මැදිහත් විය යුතු බව පෙන්වා දෙන ලදී. තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස දැනුවත් විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ දුලාන් දසනායක මහතා විසින්, අයිතිවාසිකම් අරගලයට වටිනාකමක් ලැබීමට නම් තොරතුරු දැන ගැනීමේ පනත අනුව ක්‍රියාත්මක විය යුතු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය බලවතුන්ගේ තීරණ වලට එරෙහිව කටයුතු කරමින් ස්වාධීනත්වය ඇති වී තියෙන නිසා රටේ නීතිය, සාමය ස්ථාපිත කරගැනීමට අවශ්‍ය වෙනවා. පුරවැසියන්ගේ භූමිකාව නියමාකාරයෙන් නියෝජනය වෙන්නෙ නැහැ. නීතිය බලාත්මක කරන නිලධාරීන් පුරවැසියන් සම්බන්ධව මානව ගරුත්වය රකිමින් කටයුතු කළ යුතු ආකාරය, මානව හිමිකම් වලට ගරුකිරීම හා සම්බන්ධව අධිකරණය විසින් මාර්ගෝපදේශයන් ලබා දී තිබීම අප ලැබූ ජයග්‍රහණයන්. අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට 75% ක් පමණ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙතනදී පුරවැසියන්ගේ මැදිහත්වීමේ අඩුව දකින්න තියෙනවා. ඒ නිසා ඔවුන් ක්‍රියාත්මක විය යුතුයිග ඒ සඳහා මානව හිමිකම් මධ්‍යස්ථාන තියෙනවා. හිංසාවට එරෙහිව මැදිහත් වීම අවශ්‍ය වෙනවාග ඉන් අයිතිවාසිකම් දිනා ගැනීමට හැකි වෙනවා.. බව ප්‍රකාශ කරන ලදී.

පළමුව ඇන්තනී ජේසුදාසන් මහතා සභාව අමතමින් වතුකරයේ ජනතාව තුළ පවතින ගැටළු පිළිබඳව අදහස් දක්වන ලදී. වතුකරයේ විශාල පිරිසක් ආර්ථික හා සමාජයීය වශයෙන් ගැටළු වලට මුහුණදෙන බව ඒ මහතා පෙන්වා දෙන ලදී. බලයට පත් වූ රජයන් යම් යම් ප්‍රශ්න සඳහා විසඳුමක් ලබා දුන්නද එම ජනතාවට ඉඩම් අයිතිය නැති බවත්, ඔවුන් තවමත් අඩි 12X12 ලැයිම් කාමර වල දිවි ගෙවන බවත් ඔහු ප්‍රකාශ ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්තනී ජේසුදාසන් මහතා කියා සිටින ලද්දේ, ..වතුකරයේ ජනතාව තුළ ජලය, වැසිකිළි පද්ධති වැනි මූලික පහසුකම් පවා තවම අවම මට්ටමක පවතිනවා. ඒ ජනතාවට උප්පැන්න සහතික හෝ ජාතික හැඳුනුම්පතක් හෝ නොමැති වීමෙන් අර්ථසාධකය ගන්න ගියහම අපහසුතාවයටන් පත් වීමට සිදු වෙනවා. ඒ වගේ දේවල් වලට රජය අවධානය යොමු කරන්න ඕනේ. කම්කරු වැටුප, කාන්තා රැකවරණය, ආරක්ෂාව හා විවේකය සම්බන්ධ ගැටළු ඔවුන්ට තියෙනවා. නිවාස ලබා දුන්නත් ස්ථීර ඔප්පුව ලබා ගැනීමේ අයිතිය සම්බන්ධ ගැටළු විසඳා ගන්න වෙනවා. රාජ්‍ය ආයතන වලින් සපයන සේවාවන් ලබාගත යුතු ආකාරය පිළිබඳව ඒ ජනතාව දැනුවත් කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. පොඩි ළමයි නගරයට ගිහිල්ලා හෝටල් වල වැඩකරන එක නතර කරන්න ඕනේ. ගෘහස්ථ හිංසනය හා විදේශ රටවල රැකියාවල නිරත වීම නිසා ඇතිවන ගැටළු විසඳා ගත යුතුව පවතිනවා...

පසුවල මාතර මහනගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත මහතා විසින් සභාව ඇමතු අතර, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ලබා ගැනීමට හැකිවන්නේ සටන් කිරීම, අරගල කිරීම තුළින් පමණක් බවත්, සමාජයක දියුණුව ගොඩනැංවීමට නම් හිංසනය, ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය පිටුදැක විශ්වාසනීය පරිසරයක් ගොඩනගා ගැනීමට ක්‍රියාත්මක විය යුතු බව හා ගෞරවනීය පුරවැසියෙකු වීමට නම් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට නැගී සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කරන ලදී.

අනතුරුවල රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවෙහි කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා විසින් සම්මන්ත්‍රණ සභාව අමතන ලදී.

පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකය මඟ හරවා ගැනීමට නොහැකි වුවත්, ආර්ථික හා දේශපලනික වශයෙන් විශාල පාඩුවක් සිදුවුවත්, ආරක්ෂක අංශයන් මැදිහත් වීමෙන් සිදුවීම සිදු වී පැය ගණනකින් ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමට හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙන ලදී. කතෝලික පියතුමන් හා කතෝලික ජනතාවගේ ඉවසීමේ ගුණය හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගත හැකි වුවද, යම් යම් ප්‍රදේශවල දේශපාලන වාසි තකා සැලසුම් සහගතව දියත් කරන ලද ප්‍රචණ්ඩත්වයන් හා හිංසනයන් සිදු වූ බවද ඔහු පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දක්වමින් පිලිප් දිසානායක මහතා, “..හානි පූරණ කාර්යාලය මේ වනවිට ස්ථාපිත කරලා තියෙනවා. අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධව මාසිකව රුපියල් හයදහසක දීමනාවක් ලබා දීමට රජය විසින් නව ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා. මානව හිමිකම් ප්‍රවර්ධනය කරන්න පස් අවුරුදු සැලැස්මක් වත්මන් රජය සකස් කරලා තියෙනවා. GSP+ කියලා කියන්නෙ අපි යුරෝපයට භාණ්ඩ අලෙවි කරනකොට ලබා දෙන තීරුබදු සහනය. භාණ්ඩ අපනයනය කරනකොට බදු ගහනවා. යුරෝපයට යවනකොටත් එහෙමයි. අපට ඒකත් එක්ක තරඟ කරන්න අමාරුයි. ඒ නිසා යුරෝපා සංගමයෙන් ලබා දුන්න බදු සහනය තමයි GSP+ කියලා කියන්නෙ. අපේ රටෙන් යුරෝපයට අපනයනය කරන භාණ්ඩ 7200ක් සඳහා තීරුබදු සහනය ලබා දුන්නා. දැන් ඒ බදු සහනය ගිය ආණ්ඩුව කාලයේ 2011 ඉදලා පටන් ගත්තත් 2013 වෙද්දි ඒ සහනය අත්හිටෙව්වා. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත නැහැ කියලා. ඒ නිසා අපනයනකරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රපාතයට වැටුණා. 2015 පසුව නැවතත් අපට කෙටි කාලයට ඒ තීරුබදු සහනය ලැබුණා. ඒකෙදි එයාලා බලනවා නිර්ණායක තුනක්. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, වධහිංසාවට එරෙහි ප්‍රඥප්තිය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යන ප්‍රඥප්ති තුන කොයිතරම් දුරකටතම රටේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවද යන කාරණය සලකා බලලා තමයි ඉදිරියට GSP+ සහනය ලබා දෙනවද කියලා තීරණය කරන්නෙ. ඒ නිසා දැන් ව්‍යාපර කරනකොට කම්කරු නීතිය, පරිසර නීතිය විතරක් නෙමයි මානව හිමිකම් නීතිත් ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ... යනුවෙන් ප්‍රකාශ කරන ලදී.


මෙම මහජන සම්මන්ත්‍රණය සඳහා දෙනියාය අවට ප්‍රාදේශීය සභාවන් හි සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන්, මන්ත්‍රීන්වරුන් හා මන්ත්‍රීවරියන් ද ප්‍රදේශය අවට ජනතාව විශාල පිරිසක්ද එක්ව සිටියහ.




2019-07-17
Advertisement

Find us on Facebook