English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඩුවම අහෝසි කිිරීම පිළිබඳ නීති කෙටුම්පත


මරණීය දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳව නීති කෙටුම්පතක් ගැසට් කරන බවට ඇති අනාවරණය සතුටට කරුණකි. එය ලෝකයේ බොහෝ රටවල් අශිෂ්ඨ යැයි පිළිගන්නා ක‍්‍රමවේදයක් ලංකාව තුළද පිළිගැනෙන බවට ප‍්‍රකාශයකි. ඒ නිසා මෙය ලංකාවේ නීති ක‍්‍රමය සම්බන්ධයෙන් තීරණාත්මක වෙනසක් ඇති කළ හැකි අවස්ථාවකි.

එහෙත් මෙම අවස්ථාවේදී සලකා බලා පිළියම් යෙදිය යුතු තවත් බරපතල ප‍්‍රශ්නයක් ඇත. එනම් අපරාධ කිරීම පිළිබඳව සමාජය තුළ බියක් හා අකමැත්තක් වර්ධනය කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. මරණීය දණ්ඩනයට පක්ෂව ගෙන ගිය වංක සිතුවිලි ධාරාව පදනම් වී තිබුනේ එය බරපතල අපරාධ සම්බන්ධයෙන් බියක් ඇති කළ හැකිය යන මතයයි. එහෙත් එම මතය පදනම් විරහිත බව දැන් ලෝකයේ බොහෝ රටවල පිළිගෙන හමාරය. එහෙත් මේ රටවල් හා ලංකාව අතර ඇති ප‍්‍රධාන වෙනස නම් අපරාධය පිළිබඳව බයක් ඇති කරන හා අකමැත්තක් ඇති කරන නෛතික විධික‍්‍රමයක් රටතුළ තවම පැළපදියම් කර නොමැති බවය. මේ නිසා මහා අපරාධ කිරීම කෙරෙහි පවා බොහෝ දෙනා යොමු වන්නේ ඒවායින් අනිසි ප‍්‍රතිපලයක් නොලැබෙන්නේය යන පූර්ව නිගමනය මතය. මෙසේ මහා අපරාධ ගණයට ඉතා පළල්ව පැතිරුනු කුඩු වෙළදාම ද, දරුණු ත‍්‍රස්තවාදය ද, එම ත‍්‍රස්තවාදයන් මර්දනය කිරීමේදී ඊටත් වඩා දරුණු ආකාරයෙන් හැසිරීම ද, රාජ්‍ය නිළධාරීන්ගේ සිරිත් විරිත් ද, වංචාව සහ දුෂණය යන දෙකේදී දේශපාලනඥයන් පවා කිසිදු පැකිලීමකින් තොරව කිරීමද ආදී සියල්ල බැඳී පවතී.

අපරාධ නීතිය මගින් අපරාධ කිරීම පිළිබඳව බියක් හා අකමැත්තක් ඇති කිරීම මූලික සමාජ ප‍්‍රතිපත්තියකි. අපරාධ නීතියත් එය කි‍්‍රයාත්මක කරන විධික‍්‍රමයත් යන සියල්ල සැලසුම් කර ඇත්තේ මෙම අවසාන අරමුණ ඉටු කර ගැනීම සඳහාය. මේ නිසා මෙම අවසාන අරමුණ වෙනුවට එයට හාත්පසින්ම වෙනස් තත්වයක් නිර්මාණය වී තිබේ නම් ඒ පිළිබඳව වහාම සොයා බලා එය නැති කර දැමීමට කි‍්‍රයා කිරීම සමාජයේ පැවැත්ම පිළිබඳව බලපාන ප‍්‍රධාන කරුණකි. අපරාධය පිළිබඳව බිය හා අකමැත්ත නැති සමාජය තුළ  ඕනෑම වර්ගයක කුරිරු හා දුෂිත ක‍්‍රියාමාර්ගයක් ඇති වීමට පමනක් නොව ඒ මගින් සකල සමාජයම විශාල විනාශයකට භාජනය කළ හැකිය. බොහෝ දුරට දැනටමත් එය සිදු වී හමාරය. මේ නිසා අපරාධ නීතියේ දී හා එය ක‍්‍රියාත්මක කිරීමේදී වෙනස් කර ගත යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සමාජ කතිකාවක්ද පාලකයන් අතර එකඟත්වයක් ද අත්‍යාවශ්‍ය වේ. එම වෙනස ඇති කර ගතහොත් එය සමාජයේ ආරක්ෂාව, සුභසාධනය පමනක් නොව ආර්ථික දියුණුව කෙරෙහිද විශාල වශයෙන් බලපාන සාධකයක් වනු ඇත.

අපරාධය පිළිබඳව බියක් හා අකමැත්තක් ඇති කිරීම පිළිබඳව සාකච්ඡුාව අතිශයින්ම දීර්ඝ වුවකි. ඒ පිළිබඳව සාකච්ඡුා කළ යුතු කරුණු විශාල ප‍්‍රමානයක් පවතී. නීති ක‍්‍රමය තුළම පැතිරී පවතින විශාල අඩුපාඩුකම් පිළිබඳ සාකච්ඡාවක් මේ සඳහා අවශ්‍ය වේ.

එවැනි ගමනක මූලාරම්භය සඳහා පූර්වාදර්ශනයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. මෙම පුර්වාදර්ශ ක‍්‍රියාමාර්ගයේ ප‍්‍රධානම කටයුත්ත විය යුතු වන්නේ ඉතා බරපතල සමාජ විනාශයක් ඇති කරන නඩු පමාව පිළිබඳ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමය. මේ ප‍්‍රශ්නය නිරාකරණය වුවහොත් නීතිය කඩන්නන්ට අනිවාර්යෙන්ම දඩුවම් පැමිණවීම ඉතා කෙටි කාලයක් තුළ කෙරෙන බව පිළිබඳ විශ්වාසයක් සමාජය තුළ ධාරණය වනු ඇත.

මේ පිළිබඳව විශාල දාර්ශනික සාකච්ඡාවක් යුරෝපය පුරා 18 වන ශත වර්ෂයේ පැතිර ගොස් තිබුණි. එයට පදනම සැලසුනේ විද්‍යාවේ දියුණුවත්, විද්‍යාවේ දියුණුව මත සමාජයේ බොහෝ කරුණු නැවත සලකා බලා ඒවා වෙනස් කර ගැනීමට තිබුණු වාතාවරණයකදීය. මෙහිදී විචාරකයන් පෙන්වා දුන්නේ සමාජය පුරාම බුද්ධිය පදනම් වී හා විද්‍යාව පදනම් වී සියලූ කටයුතු සිදු වන නමුත් අධිකරණ කි‍්‍රයාවලිය තුළ ඒ වනවිටත් පැවතියේ ඉතා පසුගාමී වූ දර්ශනවාදයක් හා කි‍්‍රයාකාරිත්වයක් බවය.

එම සාකච්ඡුා වූ කරුණු අතර ප‍්‍රබලව පැන නැගුණු මතයක් නම් අපරාධ මර්දනයට හේතු වන්නේ දඩුවම් වල බරපතලකම නොව අනිවාර්යයෙන්ම කරන සෑම වැරැුද්දකටම,  අනිවාර්ය දඩුවමක් කෙටි කාලයක් තුළ ලැබෙන බව පිළිබඳව මහජන මතයක් ඇති වීම මගින් බවය. මහජන මත හුදු කතා වලින් ඇති නොවේ. එය ඇති වන්නේ ප‍්‍රායෝගිකව සමාජය තුළ කෙරෙන දේවල් බලා එම අත්දැකීම් තුළ කොපමන සාර්ථකව අපරාධකරුවන් හඳුනාගැනීම හා ඔවුන්ට දඩුවම් දීම කාර්්‍යක්ෂම ආකාරයකින් කෙරෙනවාද යන්න පිළිබඳව ඇති අත්දැකීම් මතය. අත්දැකීම් තුළින් ඇති වන මානසික තත්ත්වය තුළින් අපරාධය පිළිබඳව බියක් හා අකමැත්තක් ඇති වුවහොත් එය පරම්පරාවෙන් පරම්පරාවට එම සමාජය තුළ වඩ වඩාත් මුල් බැස ගනී.

දැනට සිදු වන්නේ අපරාධයට දඩුවම් දීම සිදු නොවන්නට බොහෝ දුරට ඉඩ ඇති බව, එසේ දඩුවම් දෙන අවස්ථාවක් ඇති වුවත් එසේ සිදු වන්නේ අපරාධය සිදු වී දශකයන් දෙකකට ආසන්න කාලයක් තුළ බවත්ය යන අත්දැකීමෙනි. නඩුවක් නඩුවක් පාසා මෙම පණිවිඩය සමාජ ගත වෙයි. හෙට අනිද්දාට වරදට දඩුවමක් බලාපොරොත්තු නොවිය යුතුය යන අදහස වඩාත් ජනතාවගේ සිත් වලට කිඳා බසී. යම් අපරාධයක් පිළිබඳව අධිකරණයට යාම ඔහු දන්නා අය අතර ඉතා ඉක්මනින් පතලව යයි. එසේ ඔවුන් දන්නා අය අතර ඇති වන දැනගැනීම තව විශාල කණ්ඩායම් අතරට යයි. මේ ආකාරයෙන් සමස්ථ සමාජය පුරාම පැතිර පවතින මූලික අදහස වී ඇත්තේ අපරාධයට දඩුවම අනිවාර්යයෙන්ම සිදු නොවිය හැකි බවත් හා එසේ දඩුවමක් පැමිණ වෙන්නේ නම් එය කලකට පසුව පමනක් සිදුවන බවත්ය. ඒ වන විට එසේ අපරාධය පිළිබඳව පවතින මතය පවා බොහෝ අවස්ථා වලදී අමතක වී ගොස්ය. මේ නිසා අපරාධයට දෙන ද`ඩුවම මගින් ඇතිකළ හැකි මානසික බලපෑම අතිශයින් අල්පය.
 
මෙයම දැනට ප‍්‍රකාශයට පත් කර ඇති තවත් නීති කෙටුම්පතක් නම් නඩු ඉක්මන් කිරීමට පනතක් යැයි රජයේ ප‍්‍රකාශකයන් ප‍්‍රකාශ කර ඇතත් එම පනතේ අඩංගු වී ඇත්තේ මොනවාද, මෙසේ නඩු ඉක්මනින් අසා අවසන් කිරීමට ගෙන ඇති පියවරයන් මොනවාද යන්න මහජනතාව විසින් ඉතා  ඕනෑකමින් අසා දැන ගත යුතුව ඇත. එසේ අසා දැන ගැනීම තුළින් යෝජිත කි‍්‍රයාමාර්ගයන් යෝජිත අරමුණු සමඟ ගැලපෙනවාද නැද්ද යන්න පිළිබඳව මහජන මතය ප‍්‍රකාශයට පත් කිරීමට මෙය අවස්ථාවක් කර ගත හැකිය. නඩු පමාව නැති කිරීම විසඳන්නට යන්නේ හුදෙක්ම පරිපාලන බලපෑම් ඔස්සේ නම් එය සාර්ථක කි‍්‍රයාමාර්ගයක් නොවනු ඇත. පනතක් නැති වුවත් මේ ආකාරයෙන් නඩු ඉක්මන් කිරීම පිළිබඳ විශාල බලපෑම් දැන් කාලයක් පුරාම පවතී. එහෙත් ඒවායින් ලැබී ඇති ප‍්‍රතිඵල තිබුණු තත්ත්වයටත් වඩා නරක ඒවා මිස ඇති සැබෑ ගැටලූ විසඳීම කරා යොමු වී නැත. උදාහරණයක් වශයෙන් පරිපාලන බලපෑම් ඔස්සේ නඩු ඉක්මන් කිරීම පිළිබඳ ප‍්‍රශ්නය නිසා බොහෝ විට අපරාධයකට දිය යුතු දඩුවම වෙනුවට ඊට වඩා අඩු දඩුවමක් හෝ දඩුවමක් නැති ආකාරයකින් නඩුවක් අවසාන කිරීම සම්බන්ධව පළපුරුදු ගණනාවක් දැන් නීති පද්ධතියට ඇතුල් වී ඇත. බරපතල මිනිමැරීම් නඩු වලදී පවා වරද පිළිගැනීම යන ප‍්‍රශ්නය සලකා අතිශයින් අඩු දඩුවම් පැමිණවීමේ පොරොන්දු දීම සිදුවන්නේ් අල්ප වශයෙන් නොවේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ වංචාකාරයාට එයින් ගැලවීමට මාවතක් සාදා දීමය.

තමන් කරන ලද අපරාධයේ බරපතලකම අනුව උපරිම දඩුවමක් ලැබේය යන බියෙන් අධිකරණයට පැමිණෙන අපරාධ කරුවෙක් එම තත්වයෙන් ගැලවීම සඳහා ඔහුට අත්හිටවූ දඩුවමක් හෝ සුළු දඩුවමක් දීමේ පොරොන්දුව මත නඩුවට වැරදි කරුවෙකු වීමට හෝ වෙනත් ආකාරයකින් සමථයකට පත් වීමට යෝජනා කළ විට ඔහු එය දකින්නේ තමුන්ට ලැබුනු මහඟු තෑග්ගක් ලෙසය. ඉන්පසු අවස්ථාවකදී ඔහු එවැනිම අපරාධයක් කිරීමට පෙළඹීම නතර වන්නේ නැත. මන්දයත් එසේ කිරීමෙන් පසු ඒවායෙන් ගැලවීම සඳහා ඇති මාවත් ඔහු හොඳින් හඳුනාගන්නා නිසාය.

මේ නිසා හුදු පරිපාලනමය බලපෑම් කිරීමේ ක‍්‍රමය වෙනුවට නඩු පමාවට හේතු වන ප‍්‍රධාන කරුණු රාශියක් විසඳිය යුතුව ඇත. මේ අතර ඉතා ප‍්‍රධානම තැනක් ගත යුතු වන්නේ සෑම අධිකරණයක් තුළම අද පවතින තාක්ෂණික පහසුකම් උපරිම මට්ටමින් පවත්වා ගෙන යාමට දැරිය යුතු වියදම් දරා ඒ තුළ ඇති කරන ක‍්‍රමයකිනි. එවැනි ක‍්‍රමයක් පිළිගැනීම මුලින් ප‍්‍රතික්ෂේප විය හැකි නමුත් නීතියක් මගින් එය කි‍්‍රයාත්මක කරවන්නේ නම් එම අලූත් අත්දැකීමට ඊට අදාළ සියල්ලෝම පුරුදු වනු ඇත. මෙම කරුණට අතනොගසා වෙනත් ආකාර වලින් නඩු පමාව නැති කරන්නේය යන මතයක් ඇති කළහොත් එය බොරුවකි.

අලූත් පනත් මගින් ඒ පනතේ ඇති තේමාව වෙනුවට ඊට හාත්පසින්ම වෙනස් තේමාවන් ඉදිරිපත් කිරීමද ලංකාවේ පුරුද්දක් බවට පත් වී ඇත. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත එනම් ICCPR යනුවෙන් හඳුන්වනු ලබන පනත මෙයට ඉතා කදිම උදාහරණයකි. එම පනත මගින් ICCPR ජාත්‍යන්තර සම්මුතියේ අදාළ ප‍්‍රධානම කරුණු අපරාධ වශයෙන් ප‍්‍රකාශයට පත් කොට ලංකාවේ නීතියට ඇතුල් කිරීමක් සිදු නොවේ. ඒ වෙනුවට කර ඇත්තේ හුදෙක්ම යම් ප‍්‍රකාශන ආගමකට හෝ ජාතියකට විරුද්ධව කෙරුනා යැයි නිගමනය කොට මිනිසුන් අත්අඩංගුවට ගෙන බොහෝ කාලයක් රඳවා තැබීම සඳහා මාවත සකස් කර ගැනීම පමණි.

අපරාධය ඔප්පු කිරීමෙන් පසු දඩුවම් කිරීම වෙනුවට දැන් ලංකාවේ බොහෝ දුරට සිදුවන්නේ අපරාධයට සැක කළ පමණින් මිනිස්සුන්ට දඩුවම් කිරීමය. මෙය සිදුවන්නේ දීර්ඝ කාලීනව ඇප දීම පමා කිරීම තුළය. එසේ ඇප දීම පමා වූ විට මෙම සැක කරුවන්ට දීර්ඝ කාලීනව රිමාන්ඞ් භාරයේ සිටීමට සිදුවේ. ඔවුන්ගේ ජීවන රටාව මුලූමනින්ම නැති කරනවා පමනක් නොව ඔවුන්ගේ පවුල් සම්බන්ධකම් ආදී සියල්ල නැති කරනු ලබන්නේ අපරාධයකට ඔවුන් වැරදිකරුවන් වෙන්නට ප‍්‍රථමය. මේ ආකාරයෙන් අපරාධ වැළැක්විය නොහැකි බව අතීත කාලය පුරාම දීර්ඝ කාලීනව ඇප නැතිව පුද්ගලයන් රඳවා ගැනීම තුළින් එවැනි ප‍්‍රතිඵලයක් ඇති නොවීමෙන්ම ඔප්පු වේ.



 
  බැසිල් ප‍්‍රනාන්දු




2019-07-17
Advertisement

Find us on Facebook