English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කලු සල්ලි නිසා ආර්ථිකයට සිදු වන බලපෑම


භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේ දී මුදල් වැදගත්ම සාධකයයි. ලොව පුරා සමාජ ශරීරය පුරාම පැතිරි පවත්නා මුදල් රැස්කර ගැනීමේ දී මිනිසා විසින් ක‍්‍රමවේද රාශියක් භාවිතා කරයි. මේ සියල්ල ලඝුකොට දක්වන්නේ නම් යහපත් අයහපත් හා නීත්‍යානුකූල හා නීති විරෝධි ඉපයීම් ලෙස හදුන්වා දිය හැක. මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් ‘කළු සල්ලි’ ලෙස ප‍්‍රකට වී ඇත.

සමාජයේ වෙනස් වීමත් සමග මෙම නීති විරෝධි මුදල් ඉපයීම් ජාත්‍යන්තර තලය දක්වා විහිදුනු ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. බොහෝ විට මෙම ඉපයීම් සිදු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්, කුලියට මිනිමැරීම්, කැෂිනෝ වැනි සූදු, ආදායම් බදු හා පොදු දේපල වංචාවන් තුලිනි. මූල්‍ය හා ආරක්‍ෂක අංශ වලට හදුනාගත නොහැකි වුවත් තවත් විවිධ ආකාරයේ පාතාල ආර්ථික කටයුතු ඇත. කෙසේ වුවත් මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් හා අනෙකුත් දේපළ නීතිමය මාර්ග වලින් උපයාගත් ඒවා සේ ඒවාට නව මුහුණුවරක් ලබාදීම මුදල් විශුද්ධිකරණයය මගින් සිදු කරයි.

බොහෝමයක් රටවල් මුදල් විශුද්ධිකරණයට අදාළ අර්ථ දැක්වීම් වලදී ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ ‘1988 - නිද්‍රාකරණ මත්ද්‍රව්‍ය සහ සයිකොට්‍රොෆික් මත්ද්‍රව්‍ය නීති විරෝධි ලෙස ප‍්‍රවාහනයට එරෙහිව වියනා සම්මුතිය’ සහ පරදේශාන්තර සංවිධානාත්මක අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් ‘පැලටෝ සම්මුතියයි’ මේ අනුව මුදල් විශුද්ධිකරණයට අදාළ අර්ථ දැක්වීම පහත ආකාරයට පෙළගැස්විය හැක. එනම් ”කිසියම් වත්කමක් ඕනම ආකාරයක අපරාධයක් හෝ අපරාධයකට සහභාගි වීම තුළින් උත්පාදනය කළ බව දැන දැනම අදාළ වත්කමේ නීති විරෝධි ප‍්‍රභවය සැඟවීම පිණිස පරිවර්තනය හෝ පැවරීමේ ක‍්‍රියාවලියයි.” නැතහොත් එවැනි කටයුත්තක නිරත වන පුද්ගලයෙකු හට ඔහුගේ කටයුතු තුළින් ඇතිවන නීතිමය ප‍්‍රතිවිපාක මඟහැර යාමට සහය වීම ද මෙයට අයත් වේ.

මුදල් විශුද්ධිකරණයය මගින් ඒ ඒ රටවල් අභ්‍යන්තරයේත් ගෝලිය වශයෙනුත් විශාල බලපෑමක් එල්ල කරයි. විශේෂයෙන්ම මූල්‍යායතන දුර්වලවීම කෙරෙහි මෙය දැඩිලෙස බලපෑමක් එල්ල කරයි. මූල්‍යායතන වල ශක්තිමත් බව ස්ථායිතාවය බිඳ වැටීම පමණක් නොව රක්‍ෂණ සමාගම් මෙන්ම සුරැකුම් ආයතන ආයෝජන සමාගම් ද එයින් බලපෑමට ලක් වේ. එයට හේතු වන්නේ එම ක‍්‍රියාමාර්ග වල ප‍්‍රතිඵල ලෙස කීර්තිය අහිමිවීම, මෙහෙයුම් කටයුතු අඩාල වීම, නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදුවීම ආදි අවදානම් උද්ගතවීම සිදුවන අතර සමස්තයක් වශයෙන් ලාභදායී ව්‍යාපාර අවස්ථා අහිමි වීම, අරමුදල් පිටතට ගලායෑම තුළින් ද්‍රවශීලතා ගැටළු මතුවීම, ණය පැහැර හැරීම, කොටස් අගය පහළ වැටීම වැනි ප‍්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම ආර්ථිකයේ මුදල් විශුද්ධිකරණය ප‍්‍රචලිත වීමත් සමග විදේශීය මූල්‍යායතන සිය ගනුදෙනු සීමා කිරීමට ඉඩ ඇත.

එමෙන්ම අදාළ ගණුදෙනු වඩාත් ප‍්‍රවේශම් සහගත, පිරිවැය අධික විය හැක. ජාත්‍යන්තර වෙළඳ පොළට ඇතුළු වීමේදී නීත්‍යානුකූල ව්‍යවසායකයින්ට පවා ඉහළ ප‍්‍රමිතීන්ට අනුගත වීමටත් ඉහළ පිරිවැයක් දැරීමටත් සිදුවනු ඇත. එමෙන්ම මුදල් විශුද්ධිකරණය හා ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි ක‍්‍රියාමාර්ග අඩුවෙන් ඇති රටකට විදේශ  ආයෝජකයින් ඉතා අඩුවෙන් ආකර්ශනය වීමක් සිදුවේ.

අපරාධ ඉහළ යාමද, මුදල් විශුද්ධිකරණයය මගින් සිදුවේ. මුදල් විශුද්ධිකරණයය සාර්ථකව ක‍්‍රියාත්මක වන නිසා අපරාධ ක‍්‍රියාවල නිරත වීම බෙහෙවින් ලාභදායක වේ. අනෙක් අතට මුදල් විශුද්ධිකරණය කටයුතු සාර්ථක ලෙස පවත්වා ගැනීමට පහසුකම් සැපයෙන පරිදි මූල්‍යායතන නිලධාරීන් වෘත්තිකයන් නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්, නියාමකයන් මෙන්ම අධිකරණය ද අල්ලස් ආදී ක‍්‍රියාවලට නැඹුරු කරවීමට ඉඩ ඇති අතර අපරාධ  ඉහළ යාමට මුදල් විශුද්ධිකරණයය හොද උත්තේජනයක් සපයයි. සම්පත් වලින් උපරිම ප‍්‍රතිලාභ ලැබෙන ආකාරයට සම්පත් යෙදවීම සාමාන්‍ය නිදහස් වෙළඳපොල ප‍්‍රතිපත්තියක් වුවත් මුදල් විශුද්ධිකරුවන් වඩාත් සැලකිලිමත් වන්නේ වඩා හොද ප‍්‍රතිලාභ ලබා ගැනීමට වඩා ඔවුන්ගේ අරමුදල් ශුද්ධ කිරීමයි. මේ තුළින් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව අඩාල වීම, බදුකරණ ක‍්‍රියාවලිය බිද වැටීම, මුදලකට ඇති ඉල්ලූම මගින් ආර්ථික කටයුතු නිරූපණය නොවීම, පෞද්ගලික ප‍්‍රයන්ත අසාර්ථකවීම, වත්කම් මිළ ගණන් අධිතක්සේරුවීම, ආදායම් පුනර්ව්‍යාප්තිය වෙනස්වීම ආදී සාර්ව ආර්ථික බලපෑම් රැසක් මුදල් විශුද්ධිකරණයය මගින් ඇතිවේ. මෙම සියළු බලපෑම් වල ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකයක පදනම වන මිළ හා මූල්‍ය ස්ථායිතාවයට අහිතකර බලපෑම් ඇතිවිය හැක.

ශ්‍රී ලංකාව දෙස බැලීමේදී අපරාධ සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමග මුදල් විශුද්ධිකරණය ද ශ‍්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින අතර එයට විසදුමක් ලෙස රජය මූල්‍ය පද්ධතිය අධීක්‍ෂණ ක‍්‍රියාවලින් සම්පාදනය කොට ඇත. මුදල් විශුද්ධිකරණයයේ යෙදෙන්නන් මූල්‍ය ක‍්‍රමයේ ඇති යම් යම් නම්‍යශීලී තත්වයන් අනිසි ලෙස තමන්ට අවශ්‍ය ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇත. එමනිසා නීතිරීති සාවද්‍ය ලෙස භාවිතා කිරීමට එරෙහිව පියවර ගෙන තිබේ. ඒ අනුව ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම හා මුදල් විශුද්ධිකරණයයට එරෙහි 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත සහ 2005 අංක 25 දරණ ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළක්වීමේ සම්මුති පනත යනාදී  පනත් බලාත්මක කිරීමත් සමග ක‍්‍රමවත්ව ආරම්භ විය. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මූල්‍ය බුද්ධි ඒකකය ප‍්‍රධාන වශයෙන් මූල්‍ය ගණුදෙනු පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඒවා විශ්ලේෂණය කිරීම, සැක කටයුතු ගණුදෙනු පිළිබඳ තව දුරටත් පරීක්‍ෂා කිරීම හෝ සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා නියාමන ආයතන හෝ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතන වලට යොමු කිරීම සිදු කරයි.

මෙයට අමතරව සැක කටයුතු ගණුදෙනු පිළිබඳ මූලික පරීක්‍ෂණ පැවැත්වීම, අදාළ ආයතන හා පුද්ගලයින්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම,  මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම,  දේශීය හා විදේශීය ආයතන සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ ගිවිසුම් වලට එළැඹීම ආදිය මූල්‍ය බුද්ධි ඒකකයේ අනෙකුත් වගකීම් වේ. ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන් හා යහපාලන ක‍්‍රියාපටිපාටීන්ට අනුකූලව මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ ප‍්‍රතිපත්ති රාමුව ශ‍්‍රී ලංකාව තුළ කාර්යක්‍ෂමව ක‍්‍රියාත්මක කිරීමෙහිලා ඉහළ දායකත්වයක් මූල්‍ය බුද්ධි ඒකකය ස්ථාපිත කිරීම තුලින් ලැබී ඇත. මේ ආකාරයට ශ‍්‍රී ලංකාව තුළ මූල්‍ය විශුද්ධිකරණය වැළක්වීම සඳහා විවිධ ආකාරයේ ක‍්‍රියාමාර්ග අනුගමනය කර ඇත.

හිරෝෂන් ලක්ෂාන්



2019-07-16
Advertisement

Find us on Facebook