English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ හදිසි නීතිය” අදාළ නීති රාමුව තුල ක්‍රියාත්මක කරනවානම් ගැටළුවක් නෑ! - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු


“ හදිසි නීතිය” අදාළ නීති රාමුව තුල ක්‍රියාත්මක කරනවානම් ගැටළුවක් නෑ! - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු (මානව හිමිකම් ජනගත කරමු)

“මේ  මොහොතේ මතු වී තිබෙන කාරණාවක් තමයි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ කාරණාව තුළදී හදිසි නීතිය ක්‍රියාත්මක වීම හරහා වියහැකි තත්වයන් පිළිබඳව විමර්ශනය කරන්න විශේෂයෙන් පසුගිය වකවානුව තුළත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හරහා ඒ ඒ නීති ක්‍රියාත්මක කිරීමේදී ඇති වන තත්වයන් තුළ පුද්ගලයන් අතුරැදහන් වූ බවට ඥාතීන් අපට පැමිනිලි කරලා තියෙනවා. ඒ වගේම ඉතා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම තුළත් දෙමාපියන්ට ඒ පිළිබඳව නොදැන්වීම නිසාම මතු වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අපි බලධාරීන්ට දන්වා තිබෙනවා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින සමහර වගන්ති ක්‍රියාවට නැගීමේ කාරණාවේදී නිසි නෛතික ක්‍රියාදාමයන් අනුගමනය කිරීම සුදුසුයි කියලා. පවතින තත්වය තුළ මේ හදිසි නීති ක්‍රියාත්මක වීමේ කාරණාව අපට තේරැම් ගන්න පුළුවන්. නමුත් ඒවා ක්‍රියාවට නැංවීමේ කාරණාවේදී යම් විධිවිධානයන් තියෙනවා. දෙමාපියන්ට දැන්වීම, කී දෙනෙක් අත්අඩංගුවේ රඳවා ගෙන ඉන්නවාද? කී දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාශයේ තබා ගෙන ප්‍රශ්න කිරීම් වලට යොමු කරනවාද? කියන කාරණාව පොදුවේ සියලු දෙනාම දන්නවා නම් එය නීතිමය වශයෙන් ඉතා සුදුසු කාලෝචිත ක්‍රියාදාමයක් හැටියට අපි සලකනවා. ඒ හරහා අපිට මානව හිමිකම් ප්‍රවර්ධනය කියන කතන්දරයත් නිරීක්ෂණය වෙන්නේ. දැන් මානව හිමිකම් කියලා කියන්නේ නීති රාමුවෙන් පිට අනිසි ලෙස ක්‍රියා කිරීම නෙවෙයි. පවතින නීතිය නිසි පරිදි දැනුවත් භාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම ගැන. මේ අවස්ථාවේ මතු වී තිබෙනවා මානව හිමිකම් ක්‍රියාධරයන් හදිසි නීතියට විරැද්ධයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරැද්ධයි, ඒ අය නිසා තමයි බුද්ධි අංශ දුර්වල වුනේ ආදිය. ඒ තත්වයන් නිසි පරිදි තේරැම් නොගැනීම හෝ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය ඉවත් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් හැටියට තමයි මම පෞද්ගලිකව කල්පනා කරන්නේ. මානව හිමිකම් ක්‍රියාධරයන් හැටියට අප හැමදාම කියලා තියෙන්නේ ව්‍යවස්ථාව තුළ අපට ලබා දී ඇති ප්‍රතිපාදනයන් තුළ කටයුතු කරන්න. හදිසි නීති තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය පවා සීමාවන්ට ලක් කිරීමට රජයට අවසර ලැබෙනවා. නමුත් හදිසි නීතිය තුළම යම් රෙගුලාසි තියෙනවා කෙනෙක් අත්අඩංගුවට ගන්නා විට කෙසේද එය කළ යුතු කියලා. පොලිසියේ ක්‍රියාකාරිත්වය තුළ විධිවිධාන තියෙනවා. දෙමාපියන්ට දැන්වීම, නීතිඥවරයෙක්ට පසු අවස්ථාවකදී හෝ සාකච්ඡා කිරීමට අවසර දීම, ඔහුගේ සෞඛ්‍යය මහේස්ත්‍රාත්වරයෙක් ලවා විමර්ශනය කිරීම ආදි කරැණු සම්බන්ධයෙන් තමයි නිරන්තරයෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. අවශ්‍ය විමර්ශනයක් කරන්න ඕන. විමර්ශනයක් කිරීමේදී නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීනව මේ කටයුතු වලට මැදිහත් වීම හරහා තමයි ඕනෑම රටක මානව හිමිකම් සුපෝෂණය වෙන්නේ. නීතිය කැළෑ නීතිය නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ගැසට් කළ විධිවිධාන තුළ තිබෙන නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි අපි හැමදාම ජනතාව දැනුවත් කරන්නේත්, බලධාරීන්ට බලපෑම් කරන්නේත්.”

දැන් පවතින තත්ත්වය තුළ අලුතින් පැමිනිලි හෝ තොරතුරු ඇවිත් තියෙනවාද ?              

මේ වන විට එවැනි නීතිමය රාමුවෙන් ක්‍රියාකිරීමක් පිළිබඳව මානව හිමිකම් කොමිසමට හෝ අපිට හෝ පැමිනිලි ලැබිලා නෑ. මම හිතන්නේ ඒක හොඳ තත්ත්වයක්. මොකද අපි අවුරැදු ගණනාවක් තිස්සේ කරපු අරගලයේ ප්‍රතිඵලයක්. දැන් විශාල විමර්ශනයන් සිද්ධ වෙනවා. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙනවා. නමුත් ඒ ක්‍රියාකාරිත්වය තුළ හමුදාව පොලිසිය ඇවිල්ලා ඒ ජනතාවට ප්‍රකාශ කරනවා රඳවා තබා ගෙන කොපමන ඉන්නවද, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට තවදුරටත් රඳවා ගන්නා බව අධිකරණය දන්වනවා, ඒ ආකාරයේ සංවාදයක් ඒ නිළධාරීන් හරහා සිදුවීම මහජනයා ඉදිරියේ විය හැකි අනතුරුදායක තත්වයන් මානව හිමිකම් කඩවීම් ඇති නොවීමට එය හේතුවක් වෙනවා.

මින් පෙර ඔබ තුමිය කිව්වා ජනාධිපතිතුමා ඇතුළු රජය දැනුවත් කළා කියලා මේ සම්බන්ධව....

අප විසින් කොමිසම හැටියට ඔවුන්ට වරින් වර කොමිසමේ සභාපතිතුමා හරහා යම් යම් තත්ත්වයන් සම්බන්ධයෙන් ලිපි යොමු කරනවා හදිසි නීති රෙගුලාසි වල තිබෙන්නා වූ යම් කාරණා සම්බන්ධව. පසුගිය වකවානුව තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම තුළ අතුරැදහන්වීම් සිදු වූ බවට අධ්‍යනය කරලා තියෙනවා. අපේ කාර්යභාරය තමයි එවැනි දේවල් නැවත ඇති නොවීම වැළැක්වීම. අපි යම් යම් රෙගුලාසි බලලා ඒවායේ ඇති පරිදි මේවා නිසි පරිදි ක්‍රියාත්මක වීම සුදුසුයි. නමුත් සුදුසු වුනත් පහත සඳහන් වගන්ති සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වී ඇති බවත් ඔබතුමා ඒ සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වන්න කියලා අපි දන්වලා තියෙනවා.

ප්‍රතිත්‍රස්ත පනතේ හොඳ දේවල් තියෙනවා. දත්ත ගබඩාවක් හදන්න වගේ දේවල්. ඒ පිළිබඳ සාකච්ඡා වෙනවද ?

ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මේ මොහොතේ ලොකු සංවාදයක් තියෙනවා. එකක් තමයි පවතින ජාත්‍යන්තර තත්ත්වයන්, ත්‍රස්තවාදය වැනි කරැණු කාරණා උඩ අපට ප්‍රතිත්‍රස්ත පනතක් අවශ්‍යයි. ඒ කියන්නේ Counter Terrorism, එකක්. ඒ මෙම ප්‍රතිත්‍රස්ත පනතද කියන කාරණාව නෙවෙයි. ප්‍රති ත්‍රස්තවාදය කියන සංවාදය අවශ්‍යයි මොකද එය දැන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන නිසා. ප්‍රතිත්‍රස්ත පනතේ යම් අයිතිහාසික නිර්මාණයක් තියෙනවා. ඒක ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවා මතු වුනේ මීට වසර ගණනාවකට පෙර. ඒ සාකච්ඡාව තුළත් අපි හිටියා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළම ඉන්නවා විශේෂ නියෝජිතයෙක්. ඔහු ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Human Rights Countering Mandate Holder for Human Rights while countering Counter Terrorism කියලා. මම ලබපු අත්දැකීමක් තමයි මම මානව හිමිකම් කොමිසමේ ඉන්න කොට එතුමා ඔහුගේ වාර්තාව එළිදැක්වුවා Counter Terrorism තියෙන්න ඕන හැබැයි මානව හිමිකම් රාමුව මොකද්ද කියලා. ලංකාව මේ Counter Terrorism නීතිය  සම්පාදනය කරන කොට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ සම්බන්ධව උපදෙස් ලබා ගත්තා. විදේශ අමාත්‍යාංශය මීට කලකට ඉහතදී ඔවුන් කෙටුම්පතක් නිර්මාණය කෙරුවා. ඒ කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට ගියාම යම් වෙනස්වීම් සිද්ධ වුනා. ඒ පිළිබඳව අපේ විවේචනයක් එල්ල වුනා. අපේ මුල්  කෙටුම්පතයි ඉන්පසුව සමාජගත වුනු කෙටුම්පතයි අතර අපි දකිනවා පරස්පරතාවයක්. ඉතින් අපේ යෝජනාව වෙන්නේ ප්‍රතිත්‍රස්ත පනතක් අවශ්‍ය නම් ජාත්‍යන්තරව අධ්‍යනය කරලා ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන් තුළ ප්‍රතිත්‍රස්ත පනත ස්ථානගත කිරීම සුදුසුයි. අපි හිතනවා නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය වන්න ඕනය කියලා එය සංශෝධනය කළ යුත්තේ ද ජාත්‍යන්තර ප්‍රමිතීන් සැලකිල්ලට ගනිමින්. ඒ මොහොතේ සිදු වුනු දේ අනුව අපිට විමර්ශනයේ යෙදීම, අන්තවාදය වැළැක්වීම, වෛරීසහගත ප්‍රකාශ නැවැත්වීම අපිට අතිශයින් වැදගත් වෙනවා. අද වෙනකොට මම සංතෝෂ වෙනවා සිවිල් සමාජ ක්‍රියාධරයෙක් වශයෙන් අපි විසින් අන්තර් ආගමික සහජීවනය, ප්‍රකෝපකාරී වචන යෙදවීම , ප්‍රචන්ඩත්වය භාවිතා කිරීමට එරෙහිව කටයුතු කරපු දේවල් වල මුල් තිබුනා තැන් තැන් වල. මීගමුව වැනි ප්‍රදේශ වල ආගමික පුජකවරුන්, කන්‍යා සොහොයුරියන්, සිවිල් සමාජය කටයුතු කෙරුවා යම් ආකාරයක ප්‍රචන්ඩත්වය වැළැක්වීමට. අපිටත් පුළුවන් සෑම අවස්ථාවකම රජය සමඟ කටයුතු කළා. ඒ ප්‍රදේශ වල ගැටුම්කාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒවා වැළැක්වීමට පියවර ගත යුතුයි. හමුදාව ඉදිරිපත් විය යුතුයි. පොලිසිය සාමය රැකිය යුතුයි. ඒවා භාර දෙන්න ඕන ඒ ආයතන වලට. සිවිල් පුද්ගලයන්ට ආරක්ෂාව අතට ගන්න බෑ. බුර බුරා නැගෙන ගිනි ජාලාව නවත්වන්න අපිත් සමඟ වැඩ කළ පුජක උතුමන්ලා සිවිල් සමජය ඒ ප්‍රදේශ වලට ගියා සංහිඳියාව වෙනුවෙන්. මට මතක් වෙනවා අවුරැදු 20 ට පෙර අපේ බර්ත් සංවිධානය අපි කිව්ව දේවල්. මෙහෙම වෙන්න දෙන්න බෑ ලංකාවට. දැන් අපි අත්දකිනවා මේවා ඇත්ත සම්බන්ධතා බවට පත් කරන්න ඕන. ගැටුමක් වුනාම නිතරම පෝෂනය කරමින් සමාජීය වශයෙන් ප්‍රතිපලයක් ගන්න අපි කටයුතු කරන්න ඕන. මගේ සමාජ මාධ්‍ය ගිණුම් වල මම මධ්‍යස්ථ මතවාදයක් පල කරන්න ඕන. අනෙක් තැනැත්තාගේ ආගම, ජාතිය, කුලය ගැන වෛරී භාෂාව අනුගමනය කරනවා නම් එයට විරුද්ධව අපි ඉදිරිපත් වෙන්න ඕන.

මේ ආකාරයෙන් අපට මානුෂීය සම්බන්ධතා හා සමාජය පෝෂනය කරන්න පුළුවන් . මේවා නීතිරීති වලින් පමනක් කරන්න බැහැ. නමුත් නෛතිකව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම බොහෝ අවස්ථාවන් වලදී අපෙන් පැහැර හැරිලා තියෙනවා. තිබෙන නීති වත් ක්‍රියාත්මක නොවී තියෙනවා. යම් යම් බලපෑම් මත ඒ නීති ක්‍රියාත්මක නොවී තිබීමේ ප්‍රතිපලයක් හැටියට තමයි අද අපි මේ ව්‍යවසනය අත් දකින්නේ. නිසි පරිදි පරීක්ෂණ සිද්ධ වුනා නම් ප්‍රචන්ඩත්වයන් සිදු වන අවස්ථා වලදි නිසි පරිදි මැදහත් වුනා නම් කලුතර, දිගන, ගිංතොට සහ මීට පෙර මෑතදී වුන සිද්ධියක් වන ක්‍රිස්තියානි පල්ලි වලට පහර දෙන කොට, කෝවිල් වලට පහර දෙන කොට මුස්ලිම් පූජක ප්‍රජාවට වෛරී ප්‍රකාශ සිදු කරන විට ඒවා කළ පුද්ගලයන් නිසි පරිදි අත්අඩංගුවට ගෙන නීතියේ ආධිපත්‍යය තුළ යුක්තිය ඉටු නොවීම නිසා වරදකරුවන්, වරදකරුවන් නොවීම නිසා වරදක් කර නිදැල්ලේ ඉන්න පුළුවන්ය කියන මතය (Ifunity Culture) මතුවුණා. මේ තුළ තමයි මානව හිමිකම් ප්‍රවර්ධනය කියන අවස්ථාවේදි අපි මුලින්ම ඉදිරිපත් වුනේ. මේ නීතිරීති ක්‍රියාත්මක වීම හරහා Ifunity Culture නැවත නීතියට පරිබාහිරව වරදට දඬුවම් දෙන සංස්කෘතියක් ඇති වෙන්න දෙන්න බැහැ. එහෙම වුනොත් අපි ආපස්සට ගමන් කරනවා. 2015 දී අපි ඇති කර ගත්තා වූ තත්ත්වය නැවත ආපස්සට කැරකැවීමක් සිදු වෙනවා. මොන නීතිය ක්‍රියාත්මක වුණත්. එවැනි සංස්කෘතියක් ඇති වීමට මගසැලැස්වීමක් නම් සිදු නොවිය යුතුයි. කවුරු වුණත් තරාතිරම නොබලා දඬුවම් නම් ලැබිය යුතුයි. මේ මොහොතේ මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ අපේ රටේ තිබෙන විවිධත්වය පෝෂණය කරමින් එකිනෙකාට අන්තර් ආගමික, සියලු ජාතීන්ගේ සංහිඳියාවෙන් සාමයෙන් ඉවත් විය හැකි සුන්දර ලංකාවක් බවට මේ රට පත් කිරීම සඳහා ගත හැකි සියලු කටයුතු වලට මැදිහත් වෙන්න. විශේෂයෙන්ම අපේ අසල්වැසියන් සමඟ අන්තර් සහයෝගී ක්‍රියාදාමයන් වල යෙදෙමින් ආගමික උත්සව අවස්ථාවන් වලදි එකිනෙකාට ශක්තියක් වෙමින් සතුට පතුරවමින් මේ රට යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාදාමයට එක් වන්න.





2019-07-15
Advertisement

Find us on Facebook