English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


‘ශක්තිකට තියෙන එකම ශක්තිය, එයාගේ නිදහස වෙනුවෙන් නැගෙන හඬයි”‍ - යනූෂා ලක්මාලි

 ‘ශක්තිකට තියෙන එකම ශක්තිය, එයාගේ නිදහස වෙනුවෙන් නැගෙන හඬයි”‍ - යනූෂා ලක්මාලි

මනෝ ව්‍යාධියෙන් පෙළෙන්නන් හා කලා වාරකයන්ගේ ගැටළුව එකක් යැයි කීවේ සිනමාවේදී ඬේවිඞ් ක්‍රොනන්බර්ග් ය. ‘ඔවුන් දෙපිරිසම යථාර්ථය සහ මායාව පටලවා ගනිති‘යි ඔහු කීවේය.

නමුත් ක්‍රොනන්බර්ග්ගේ ඒ අදහස, නිර්මාණ වාරණය ගැන ය. කලා නිර්මාපකයන් බන්ධනාගාරවලට ගාල් කිරීම ගැන නොවේ.

දෙදරු පියකු වන ශක්තික සත්කුමාර පොල්ගහවෙල පොලිසිය විසින් අතු අඩංගුවට ගනු ලැබුවේ 2019 අපේ‍්‍රල් 1 වැනිදා ය. ඒ ඔහු විසින් ලියන ලද කෙටි සාහිත්‍යමය ප‍්‍රබන්ධයකින් කුපිත වූ බෞද්ධ භික්ෂුන්ගේ පැමිණිල්ලක් මත පදනම්ව ය. පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව කෑගල්ල බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු ශක්තික, දැන් දින 100කට වැඩි කාලයක් සිරගතව හිඳියි.

ප‍්‍රබන්ධ සාහිත්‍යකරණය සාපරාධී ක‍්‍රියාවක් සේ සළකා ලංකාවේදී සිර දඬුවම් විඳින පළමු ලේඛකයා ශක්තික සත්කුමාර ය.

ඔහුට නඩු පවරනු ලැබ ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් තෝරාගත් සීමිත ප‍්‍රතිපාදන පදනම් කොටගෙන 2007 අවුරුද්දේ ගෙන ආ අයි.සී.පී.පී.ආර්. පනත යටතේ ය. ඒ අනුව, ඔහු කළ කෙටි ප‍්‍රබන්ධය මගින් එකී පනතේ 3 (1* වගන්තිය යටතේ දැක්වෙන, ”‍යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප‍්‍රචණ්ඩක‍්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්”‍ කිරීම ගැන ශක්තිකට චේදනා එල්ල වී තිබේ.

නමුත් ශක්තික සිරගත කළ බන්ධනාගාරයෙන් එපිට ලෝකයේ, මුස්ලිම් හා දෙමළ විරෝධී භික්ෂු සේනා හා අතවැසි මැරයෝ රණකාමයෙන් වීදි සරති.

දශකයකට ආසන්න කාලයක් සාහිත්‍ය නිර්මාණකරණයේ නියැලී සිටින තරුණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලි, ශක්තිකගේ බිරිඳ ය. ශක්තික සහ ඔහුගේ සාහිත්‍යමය භාවිතාවත්, ඔහු නිදහස් කර ගැනීම පිණිස ගෙනයනු ලබන බලපෑම් ව්‍යාපාරයත් පිළිබඳ ඇය ජේඞීඑස් හා කතා කළාය.



ක්තික සහ ඔබ දෙදෙනාම ලේඛන කාර්යයේ නියැලී සිටින්නන්. ඔබ දෙදෙනාම නිර්මාණකරණයට යොමු වෙන්නෙත් එකට. ඒකට පසුබිම හැදෙන්නෙ කොහොමද?

යනූෂා ලක්මාලි: මට ශක්තිකව හමුවෙන්නෙ විශ්වවිද්‍යාලයෙදි. පෙම්වතුන් බවට පත් වෙන්න කලින් අපි හොඳ මිතුරන් බවට පත් වුණා. ශක්තික ඒ දවස්වල ඉඳලම වෙනස් අදහස් තිබුණ කෙනෙක්. සම්ප‍්‍රදායට අභියෝග කරපු කෙනෙක්. උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලයේ තිබුණු නවක වධ සංස්කෘතියට අපි හැමෝම අකමැත්තෙන් වුණත් නතු වෙද්දි එයා ඒකට විරුද්ධ වුණා. එයා රැුග් වුණෙත් නෑ - ඊ ළඟ අවුරුද්දෙ නවකයන්ට රැුග් කළෙත් නෑ.

මුල් දවස්වල යාලූ‍වො හය හත් දෙනෙක්ගෙ කණ්ඩායමක් විදිහට අපි එකටයි හිටියෙ. කලා උපාධිය කරන්න සරසවියට ඇතුළු වුණු අපට වඩා ශක්තික ඒ වෙනකොටත් පොතපත කියවලා තිබුණ. ජනමාධ්‍ය ගැනත් යම් දැනුමක් තිබුණ. එයා අපට නිතරම දොස් කිව්ව අපි පොත් කියවනව මදි, පත්තර කියවනව මදි කියලා. උදාහරණයක් විදියට කොළඹ කේන්ද්‍රීයව තිබුණු කලා සංස්කෘතික වැඩ ගැන මට එච්චර දැනුමක් තිබ්බෙ නැහැ ඒ කාලෙ. ඒත් විශ්වවිද්‍යාලයට එන්න කලින්, ශක්තික කොළඹින් දුරබැහැරව ඉඳලා වුණත් ඒ වගේ කටයුතුවලට ඇවිත් ගිහින් තිබුණා. ඒ නිසා එයා තමයි අපිවත් උනන්දු කරලා ඒවට එක්ක ගියේ. මගේ කලා සංස්කෘතික දැනුම, වපසරිය පුළුල් වෙන්න එයාගේ මැදිහත්වීමත් උපකාරී වුණා.

ඔය කාලේ වෙනකොට මමත් කවි ලියනවා. ඒත් ඒවා ලිය ලියා ළග තියාගෙන හිටියට කිසි තැනක පළ කරල තිබුණෙ නෑ. ශක්තික තමයි මගෙ කවියක් මුලින්ම ඉල්ලගෙන ගිහින් පත්තරේකට යැව්වෙ. ඉස්සරවෙලාම ඒක ‘රාවය‘ පත්තරේ පළ වුණා. මට තවම මතකයි ශක්තික ඒ පත්තරේ අරන් ඇවිත් මට පෙන්නපු දවස. එයාගෙ තිබුණු ඒ නිදහස් අදහස්වලට මං හුගක් කැමති වුණා. ඒ නිසාම අපි ටික දවසකින් පෙම්වතුන් බවට පත් වුණා. සිංහල විශේෂවේදී උපාධිය කරන්නත් දෙන්නම තේරුණා. විශේෂවේදී උපාධිය කළත් සමහරු පොත් පත් කියෙව්වෙ විභාග පාස් වෙන්න විතරයි. ඒත් ශක්තික එහෙම කෙනෙක් නෙමෙයි. එයා විශාල වශයෙන් අමතර පොත් පත් කියෙව්වා වගේම අපිවත් එහෙම කියවන්න උනන්දු කළා.

ඔය අතරෙ මං නවකතාවක් ලිව්වා. ඒකටත් මාව උනන්දු කළේ ශක්තික. ”‍පාර”‍ කියන ඒ නවකතාවට 2010 ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම නවකතාව සඳහා සම්මානය ලැබුණා.

සාමාන්‍යයෙන්, ලංකාවෙ විවාහයට කලින් ලියපු ගැහැනු ගොඩාක් දෙනා විවාහයට පස්සෙ පවුල් සංස්ථාවෙ බැඳීම් ඇතුළෙ හිරවෙලා ලිවීම අත්හරිනවා. ඒත් ඔබ එහෙම වෙන්නෙ නැහැ....,

යනූෂා: එහෙම වෙන්නෙත් ශක්තික නිසා. විවාහයට පෙර හිටපු කෙනාමයි ඉන්පස්සෙත් හිටියෙ. විවාහ වෙලා දරුවො ලැබුණට පස්සෙත් එයා මාව දිගටම ලියන්න උනන්දු කළා. මට ලියන්න  ඕනෑ වෙනකොට එයා ගෙදර වැඩ සහ දරුවන්ගෙ වැඩ කරමින් මට ලියන්න නිදහස හදලා දුන්නා. අපි දෙන්නා වැඩ බෙදාගෙන තමයි ගෙදරදි කළේ. එයාත් ලිව්වා. මමත් ලිව්වා. විවාහයෙන් පස්සෙ මගෙ කෘති කිහිපයක් නිකුත් වුණා. මම ඒවා ලියල ශක්තිකට දෙනව විතරයි. එයා ඒව ටයිප්සෙටින් කරවලා, සෝදුපත් බලලා, ප‍්‍රකාශකයට ගිහින් දීලා, සමහර විට පොත ගෙනත් මගෙ අතට දෙනකල් මං දන්නෙත් නෑ. එයා එහෙම කෙනෙක්!

මේ සිදුවීම් වෙන්න කලින් ශක්තික ලියපු ආන්දෝලනාත්මක යැයි දැන් සැළකෙන කෙටිකතාව ඔබ කියවලා තිබුණද?

යනූෂා: ඔව්. ශක්තික එයා ලියන දේවල් මට පෙන්නනවා. ඔය කෙටිකතාවත් මට පෙන්නුවා. ඒත් මට ඒකෙ ඔය කියන තරම් ප‍්‍රශ්නයක් පෙනුණෙ නෑ. ඊට පස්සෙ එයා දවසක් කිව්ව, එයා ඒක ෆෙස්බුක් එකේ පළ කරල, ඒක අයින් කරගත්තා කියල. සාමාන්‍යයෙන් අපි දෙන්න හුගක් අදහස් බෙදා හදාගන්නවා. ඒත් ශක්තික කෙටිකතාව නිසා එයාට මුල් දවස්වල වෙච්ච කරදර ගැන මට කිව්වෙ නැහැ. දරුවන්ගෙ වැඩයි, කාර්යාලයේ වැඩයි එක්ක මං හිරවෙලා හිටපු නිසාත්, මම කලබල වෙයි කියලාත් එහෙම කියන්න නැතිව ඇති.

නමුත් දවසක්දා එයා උදේ මට කිව්ව කට උත්තරයක් දෙන්න නීතිඥයෙක් එක්ක පොලිසියට ගිහින් හවස ගෙදර එනවා කියලා. මං පුරුදු විදිහට කාර්යාලයට ගියා. ඒත් දවල් වෙද්දි අපේ හිතවතෙක් කතා කරල කිව්ව කට උත්තරේ දෙන්න ගිය ශක්තිකව අත්අඩංගුවට අරන් රිමාන්ඞ් කරල කියල. මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. ලෝකෙ කඩාගෙන වැටුණ වගේ වුණා. ශක්තික කිසිම වැරැුද්දක් කරපු කෙනෙක් නෙවෙයි. අපරාධයක් කරපු කෙනෙක් නෙවෙයි. කෙටිකතාවක් ලිව්ව නිසා විතරක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා මට හිතා ගන්නවත් බැරි වුණා. ඒ කෙටිකතාව ලිවීමෙන් එයා වරදක් කළා කියන එක මං කිසිසේත් පිළිගන්නෙ නෑ.

ඒ අනපේක්ෂිත කම්පනයට මුහුණ දීමත්, ඊට පසු සිදුවීම් මාලාවනුත් ඔබේ ජිවිතයට කළ බලපෑම මොන වගේද?

යනූෂා: ශක්තිකයි මායි අපේ දරුවො දෙන්න එක්ක ජීවත් වුණේ තනියම. ශක්තික අත්අඩංගුවට පත් වුණාට පස්සෙ මං දරුවො දෙන්නත් එක්ක තනිවෙලා විඳින දුක කියන්න බැරි තරම් විශාලයි. මගේ අම්ම තාත්ත වරින් වර ඇවිත් බලනවා. ඒත් ශක්තික ළඟ නැති අඩුව මට දරා ගන්න බැරි තරම්. එයා දරුවන්ට හුගක් ආදරේ තාත්තා කෙනෙක්. ඒ නිසා එයා නැති අඩුව දරුවන්ට තදින්ම දැනෙනව ඇති. දුවට අවුරුදු එකහමාරක් නිසා එයාට තේරෙන්නේ නෑ. ඒත් පුතාට අවුරුදු හතරයි. එයාට තේරෙනව තාත්තා ගෙදර එන්නෙ නෑ කියල. එයා තදබල විදිහට මානසික පීඩාවට පත් වුණා. මුල දවස්වලදි තාත්තා කෝ කියලවත් ඇහුවෙ නැහැ. දුක හිතේ තද කරගෙන ඉන්න ඇති. එයා දුක පිට කළේ ගෙදරදි හුඟක් දඟ වැඩ කරලා. ටික දවසක් යනකොට දරුවො දෙන්නම සාංකාව හින්දම අසනීප වෙන්න පටන් ගත්තා. පුතා තාත්තා ගැන කතා කරන්න පටන් ගත්තෙ එතකොටයි. මම කිව්වා තාත්තා පිටරට ගිහින් කියලා. ඒත් ළමයින්ට දිගටම බොරු කරන්න බැහැනෙ. එයා අහන්න පටන් ගත්ත පිටරට ගියා නම් ඇයි තාත්තා මට ෆෝන් එකෙන් කතා නොකරන්නේ කියලා. ඊයෙ පෙරේදා මං ශක්තික බලන්න බන්ධනාගාරෙට ගිහින් ඇවිත් එයාගෙ කිළුටු ඇඳුම් වගයක් හෝදලා වැලේ දැම්මා. ඊළගට මම දැක්කා පුතා නිහඬව ඒ ඇඳුම් දිහා හුගක් වෙලා බලාගෙන ඉන්නවා. මගෙ පපුව පිච්චිලා ගියා ඒක දැකලා.

සැමියා බන්ධනාගාර ගත වුණාම ස්ත‍්‍රියක් විදිහට ඔබට මුහුණ දෙන්න සිදු වෙන කටුක අත්දැකීම් ගැන යමක් කියන්න යනූෂා කැමතිද?

යනූෂා: මට දරා ගන්න අමාරුම දේ ශක්තිකට ඇප දෙන්නෙ නැත්තෙ ඇයි කියලා මිනිස්සු අහන එක. ඒ හුගක් අයට අයි.සී.සී.පී ආර් පනත ගැන අවබෝධයක් නෑ. ශක්තික ඇප දෙන්නවත් බැරි තරම් විශාල අපරාධයක් කරලා වගේ තමයි හිතන්නේ. සමහර අය හිතනව එයා ආගමට අපහාස කරපු එක වැරදියි කියල. ඒත් මං ඒක පිළිගන්නෙ නෑ. ශක්තිකට තමන්ගේ ආගමට එහෙම අපහාස කරන්න කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ. එයා කළේ ප‍්‍රබන්ධයක්.

මුලදි එයා බන්ධනාගාරයේදි, සම්පූර්ණයෙන් කඩා වැටිල හිටිය. මං එයාව බලන්න ගියාම දරු දෙන්න ගැන නිතර අහනවා. එයාව බලන්න අපි දරුවන්ව අරන් යන්නේ නෑනෙ. දරුවන්ට තදින්ම ආදරේ කරපු තාත්ත කෙනෙක් විදිහට දරුවො දකින්නෙ නැතිව එහෙම ඉන්න වෙන එක කොච්චර කටුක වේදනාවක් ද කියලා මට තේරෙනව.

රිමාන්ඞ් බන්ධනගාරයේ එයාව හමු වෙන එකත් පුදුම දුකක්. දරුණු ගණයේ අපරාධයක් කළ කෙනෙක් වගේ, එයාට විනාඩි පහයි - දහයයි කතා කරන්න පුළුවන්. එහා පැත්තෙ ඉන්න කෙනාව වෙන් වෙන්නේ දැලකින්. ඒකෙන් හරියට පේන්නෙත් නෑ. ඒකම කොච්චර දුකක්ද? මුලින්ම ශක්තික එහෙම දැකපු දවසෙ මට ඒක දරන්න බැරිව ගියා. ශක්තික ගැන විතරක් නෙමෙයි. ඒ වගේ ඉරණමකට පත් වෙන හැමෝම ගැන මට ඇති වෙන්නෙ වේදනාවක්.

සාහිත්‍ය නිර්මාණකරණය හේතුවෙන් සිරගත කරපු පළමු ලේඛකයා ශක්තික. ඒ නිසාම, ප‍්‍රකාශනයේ නිදහස ගැන සැලකිය යුතු කතිකාවක් ශක්තිකගේ ප‍්‍රශ්නය මුල්කොටගෙන ඇති වුණා. ඔබ ඒක දකින්නෙ කොහොමද?

යනූෂා: මගෙ පුද්ගලික කතාව පැත්තක තිබ්බොත් මම ලේඛිකාවක් විදිහට මේ තත්ත්වයේ බරපතළකම දකිනවා. ඊයෙ මේක ශක්තිකට වුණා. හෙට මටත් මේක වෙන්න පුළුවන්. ලංකාවේ වෙන ලේඛකයෙකුට වෙන්නත් පුළුවන්. ඉස්සර ඉඳලා ආන්දෝලනාත්මක දේවල් ලංකාවෙ ලේඛකයො අතින් ලියැවුණා. ඒ සමහර නිර්මාණ වාරණය වුණා මිසක් මේ විදිහට නිර්මාණකරුවා සිරගත කරන තරම් බලපෑමක් එල්ල වුණේ නෑ. ඒ නිසා ලේඛකයෙකු මේ විදිහට අත්අඩංගුවට ගැනීමත්, දින සීයකට ආසන්න කාලයක් ඇප නොදී බන්ධනාගාරගත කිරීමත් අයුක්තිසහගතයි.

අපි කොළඹ කේන්ද්‍රීයව ජීවත්වෙන හෝ සාහිත්‍යකරණයේ යෙදෙන අය නෙමෙයි. ගමේ ඉඳලා ලියපු අය. මේ වෙලාවෙ ශක්තික නිදහස් කරගැනීම වෙනුවෙන් දේශීයවත්, ජාත්‍යන්තර වශයෙනුත් විවිධ සංවිධාන, ලේඛකයන්, කලාකරුවන් එක් වෙලා ඉන්න එක දැක්කම මට හිතෙනව මං තනිවෙලා නැහැ කියලා. එහෙම නොවුණ නම් මම මීට වඩා හුඟක් අසරණ වෙලා. ශක්තික බලන්න ගියාම එයත් කිව්වා, මාස තුනක් තිස්සේ ඒ විඳින දරුණු දුක අතර එයාට තියන ලොකුම ශක්තිය සහ සැනසීම එයා වෙනුවෙන් හඬ නගන මිනිස්සු එළියෙ ඉන්න එක කියලා. ඒ මනුස්සකම හඳුනන මිනිස්සුන්ට ස්තුති කරන්න අපි දෙන්නටම වචන නැති තරම්.☐



2019-07-13
Advertisement

Find us on Facebook