English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හොංකොං නුවරින් උගතහැකි පාඩම්


 හොංකොං නුවරින් උගතහැකි පාඩම්

හොංකොං විශේෂ පරිපාලන බල ප‍්‍රදේශය තුළ අලූත් පනතක් ගෙනඒමට එහි බලධාරීන් විසින් කරන ලද ප‍්‍රයත්නය පරාජය කිරීම සඳහා මහා පරිමාණ ජනතා මැදිහත්වීම් ගණනාවක් මේ වසරේ ජූනි හා ජූලි මුල් කාලය තුළ ප‍්‍රදර්ශනය විය. අලූතින් ගෙනඒමට උත්සාහ කළ පනතේ හරය වූයේ යම් අපරාධයක් කොට හොංකොං බලප‍්‍රදේශය තුළ රැඳී ඉන්නා අයෙකු සුවිශේෂ ගිිවිසුම් තවත් රටක නොපවතින තත්වයක වුවත් එම රටට බලයෙන් යැවීම සඳහා ගෙන එන ලද නීතියකි. එම නීතිය පරාජය කිරීම සඳහා ජුනි 09 වනදා මිලියනයක පමණ ජනතාවකුත්, ඊට සතියක් ඇතුළතදී මිලියන 2ක් පමන ජනතාවකුත් සහභාගී වී බොහෝ දුරට සාමකාමී වූ පෙළපාලි හා පාගමන් පැවැත් වූහ.
 
එහි ප‍්‍රතිඵලය වශයෙන් මෙම නීතිය කෙසේවත් අයින් කර ගැනීමට තමන් එකඟ නැති බව ප‍්‍රකාශ කළ ප‍්‍රධාන විධායකතුමිය අද (ජුලි 09 වන දින) ප‍්‍රකාශයට පත් කළේ එම නීතිය මළ නීතියක් වශයෙන් සලකනු ලබන බවය. මෙය ඉතා විශාල පසුබැසීමක් වන නමුත් හොංකොං ප‍්‍රදේශයේ විශේෂයෙන් තරැණ ජනතාව තියා සිටින්නේ පනත මළ කීමෙන් තවම එම පනත මුළුමනින්ම ඉවත් කර ගන්නා බවට ප‍්‍රකාශයක් ප‍්‍රධාන විධායකතුමිය මගින් ප‍්‍රකාශයට පත් වී නැති බවය.

හොංකොං නගරය සාමාන්‍යයෙන් අතිශයින් සාමකාමී වූ ප‍්‍රදේශයකි. එම සාමකාමීත්වයේ මූලික පදනම පිහිටා ඇත්තේ මෙම බල ප‍්‍රදේශය තුළ ඉතාමත් සාර්ථක අන්දමින් ක‍්‍රියාත්මක වන නීතිය මත පාලනය කිරීමේ සම්ප‍්‍රදායය. එම සම්ප‍්‍රදාය 1841 පමණ සිට මේ ප‍්‍රදේශය කෙරෙහි විශාල බලපෑමක් තිබූ බි‍්‍රතාන්‍යයන් විසින් ඇති කරන ලද සම්ප‍්‍රදායකි. මෙම කාලයට පෙර හොංකොං නගරයේ ඉතා අතලොස්සක පමන ජනතාවක් ජීවත් වූ අතර එය ඇත්තෙන්ම බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තුව තුළත් සඳහන් කරන ලද්දේ නිකම්ම හිස් ගලක් වශයෙනි.
හොංකොං නගරයේ වර්ධනය පසුකාලීනව සිදුවූ අතර විශේෂයෙන්ම චීන සමාජවාදී විප්ලවයත් සමඟ විශාල චීන ජනතාවක් හොංකොං නගරයට පැමිණියේ සරණාගතයින් වශයෙනි. මේ කාලය හොංකොං නගරය තුළ අතිශයින් දුගීභාවයත් එමෙන්ම විශාල අපරාධ සිදුවීමත් වාර්තා වී ඇත. පාතාල කල්ලි විශාල වශයෙන්ඩ මෙම ප‍්‍රදේශය තුළ බලවත්ව සිටි අතර අනිත් අතින් විශාල ප‍්‍රමාණයේ අල්ලස් හා දුෂණය ද රජයේ පරිපාලන ක්ෂේත‍්‍රය තුළ සිදුවන තත්වයක් පැවතිණි. එමෙන්ම කාන්තාවන්ට රැකියා විරහිත භාවයක් පැවතුන හෙයින් මේ ප‍්‍රදේශයේ විශාල වශයෙන් ගණිකා වෘත්තීය පැවතුන බවද වාර්තා වී ඇත. මේ සියල්ලටම වඩා දෙවන ලෝක යුද්ධ පසුබිම යටතේ ජපන් අධිරාජ්‍යය විසින් හොංකොං නගරය අල්ලා ගෙන එම ප‍්‍රදේශය තුළ විශාල වශයෙන් දේපල සොරකම් කිරීම මෙන්ම ඉතා බලවත් ලෙස දුප්පත් කම හා ආහාර හිඟය ඇති වන තරමට ඔවුන්ගේ බලය පාවිච්චි කරන ලදි.
 
මේ සියල්ල අභිබවා නීතිය මත පාලනය මතක පිහිටවූ බල ප‍්‍රදේශයක් බවට හොංකොං නගරය පත් වීම කෙරෙහි බලපෑ හේතූන් ගණනාවක් ඇත. ඉන් පළමු වැන්න නම් බි‍්‍රතාන්‍යය පාලන කාලය තුළ නීතිය මත පාලනය හා පරිපාලනය මූලික වශයෙන් ගොඩනගා තිබීමය. විවිධ ගැටලූ පවතින තත්වයකදී වුවත් මූලික වශයෙන් පරිපාලනය තදින්ම නීතිය මත පිහිටුවීමටත් විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය බලවත්ව පවත්වා ගෙන යාමටත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු වගබලා ගත්හ. මෙම පරිවර්තනය සම්බන්ධයෙන් දෙවනි වැදගත් සාධකය වූයේ 1974 වර්ෂයේදී හොංකොං නගරය තුළ පිහිටවූ ස්වාධීන දුෂණ මැඩලීමේ කොමිසමයි. මීට ඉහත දී දුෂණ මැඩලීමේ කොමිසමක් පැවතනු නමුත් එය බොහෝ දුරට අද ලංකාව හා ඊට සමානව අතීතයේදී බි‍්‍රතාන්‍යය යටත් විජිත රාජ්‍යයන් පැවති රටවල පැවති විදිහේ කොමිසම් සභා විය. එහෙත් 1974 දී ගොඩනගන ලද ස්වාධීන දුෂණ මැඩලීමේ කොමිසම ඉතා සුවිශේෂ බලධාරිත්වයක් ඇති කොමිසමක් ලෙස ඇති කරන ලදි. එම කොමිසම කි‍්‍රයාකරන්නේ කොමිසමේම රාජකාරි සඳහා බඳවා ගත් නිළධාරී කණ්ඩායම් විසිනි. එනම් පොලිසියේ නිළධාරීන් යම් කාලයකට දුෂණ කොමිසමට බද්ධ වී වැඩ කිරීම මුළුමනින්ම බැහැර කරන ලද ප‍්‍රතිපත්තියක් විය.
 
විශේෂයෙන්ම පොලිස් නිළධාරීන්ට විරැද්ධව ලැබෙන දුෂණ පැමිණිලි වලදී ඒවා පිළිබඳ තොරතුරැ සැකයට පත් පුද්ගලයන් දැන ගැනීමට නොතබා රහසිගතව තබා ගැනීමට නම් පොලිස් නිලධාරීන් මෙම සේවයට නොකැඳවිය යුතුය යන ප‍්‍රතිපත්තිමය තීරණය මේ පිළිබඳව වාර්තාවක් නිකුත් කළ  විශේෂ තනි පුද්ගල කොමිසමක් විසින් යෝජනා කරන ලදි. එම යෝජනාව මුළුමනින්ම පිළිගෙන ක‍්‍රියාත්මක වීම අද දක්වාම දකින්නට හැකිය. මෙම තීරණයට විරුද්ධව මුල් අවුරුදු දෙක ඇතුළත්දී පොලිස් නිළධාරීන් පාරේ පෙළපාලි යාමට පටන් ගත්හ. ඊට හේතුව මෙම පොලිස් නිළධාරීන් බොහෝ දෙනෙකුම දුෂණ චෝදනා වලට ලක් වී පරීක්ෂණ පටන් ගත් නිසාය. එකල සිටි බි‍්‍රතාන්‍යය ආණ්ඩුකාරයා මෙම පොලිස් නිළධාරීන්ගේ නියෝජිතයන් කැඳවා ඔවුන් සමග සාකච්ඡාවක ප‍්‍රතිඵලය වූයේ එතෙක් සිදු වූ බරපතල නොවන අපරාධ සම්බන්ධයෙන් සමාවක් ප‍්‍රකාශයට පත් කරන නමුත් එදින සිට නීතිය අකුරටම කි‍්‍රයාත්මක වන තත්ත්වයක් එම ප‍්‍රදේශය තුළ සිදුවනු ඇති බවත්ය. එය එසේම සිදු විය. හොංකොං නගරයේ ස්ථාවරත්වයට විශාල වශයෙන් බලපාන්නේ දුෂණය ඉතා ප‍්‍රබලව මර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ සාර්ථකත්වයයි. අද රාජකාරියක් කරවා ගැනීම සදහා රාජ්‍ය ආයතනයකට යන කිසිවෙකුත් අල්ලසක් නොදෙනවා පමනක් නොව ඒ පිළිබඳව බලාපොරොත්තුවකුත් රජයේ නිළධාරීන් තුළ නැති වන මට්ටමට මෙම වෙනස සිදු වී ඇත. ඉඳහිට හෝ මෙවැනි චෝදනාවකට ඉතා බලවත් නිළධාරියෙකු මුහුණ දුන්නද මේ පිළිබඳව අන් අයට මෙන්ම පරීක්ෂණ පවත්වා අධිකරණයකට යොමු කොට දඩුවම් කිරීමද විටින් විට දකින්නට හැකිය.

මේ සියල්ලේම ප‍්‍රතිඵලය වූයේ නීතියට විශාල වශයෙන් ගරැ කරන ජනතාවක් බිහි වීමය. නීතිය කැඞීම නිෂ්ඵල කි‍්‍රයාවක් බවත් එය අනිවාර්යයෙන්ම දඩුවමකට යටත් වීමට සිදු වන දෙයක් බවත් එමෙන්ම නීතිය රැකීම තුළින් ජනතා සුභසිද්ධිය ළඟා කර ගත හැකිය යන මූලික පිළිගැනීම් දැන් මෙම ප‍්‍රදේශයේ ජනතාවගේ මානසික තත්වය තුළ ඉතා ගැඹුරින් පැළපදියම් වී ඇත. 1997 දී බි‍්‍රතාන්‍යය අධිරා්‍යය යටතේ පැවති හොංකොං ප‍්‍රදේශය චීන බල ප‍්‍රදේශයක් වශයෙන් වෙනස් විය. බි‍්‍රතාන්‍යය ආණ්ඩුකාරයා හොංකොං ප‍්‍රදේශයෙන් සමුගත් අතර චීන බලධාරීන් මෙම ප‍්‍රදේශයේ බලධාරීන් බවට පත් වී හොංකොං විශේෂ පරිපාලන බල ප‍්‍රදේශයේ චීනයේ කොටසක් ලෙස එකතු විය.

එසේ වුවත් බි‍්‍රතාන්‍යයන් පිටව යන දශක දෙකක පමන කාලයකට පෙර මෙම ප‍්‍රදේශයේ අනාගත පරිපාලනය පිළිබඳව බි‍්‍රතාන්‍යය හා චීනය අතර දීර්ඝ සාකච්ඡා පැවතිනි. මෙම බි‍්‍රතාන්‍යය චීන සාකච්ඡා වල ප‍්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශවය විසින් හොංකොං බල ප‍්‍රදේශය කෙරෙහි බලපාන මූලික නීතිය නමැති ලේඛනයට අත්සන් තබන ලදි. මෙම ලේඛනයට අනුව බි‍්‍රතාන්‍යයත් චීනයත් අතර තිබෙන සම්බන්ධය එකම රටක් තුළ ක‍්‍රම වේද දෙකක් යන මූලධර්මය මත පදනම් වී ඇත. (One Country - Two Systems) මේ අනුව හොංකොං බලප‍්‍රදේශය තුළ ධනවාදී ආර්ථික ක‍්‍රමයත් එම ප‍්‍රදේශය තුළ පැළපදියම් වී ඇති නීති ක‍්‍රමය තව අවුරුදු පනහක් යනතෙක් අඛන්ඩව පවත්වා ගෙන යන බවට චීනය අත්සන් තබා ඇත.

මෙම මූලික නීතිය නමැති ලේඛනය හොංකොං බල ප‍්‍රදේශයේ ව්‍යවස්ථාව ලෙස සලකනු ලබයි. එම ව්‍යවස්ථාව අනුව සියලූම රට වැසියන්ගේ අයිතිවාසිකම් පිළිගෙන එම අයිතිවාසිකම් වලට බැඳීමක්ද චීනය විසින් ප‍්‍රකාශයට පත් කොට ඇත. මෙසේ බලය මාරු වීමත් සමඟම හොංකොං ජනතාව තුළ එක්තරා චකිතයක්ද පැවතුනේය. හොංකොං නගරයේ ජීවත් වන බොහෝ දෙනා චීනයේ සිට පැමිණි මුතුන් මිත්තන්ගේ දරුවෝ වෙති. චීන විප්ලවයෙන් පසු චීනය පුරා පැවතුන මර්දනකාරි තත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔවුන්ට ඇත. හොංකොං බලප‍්‍රදේශය තුළ පවතින නීතිය මත පාලනය යන සංකල්පය චීනයේ පවතින්නේ නැත. යම් ආකාරයක නීතියක් චීනයේ ඇති කිරීමට උත්සාහයක් 1980 සිට දශක දෙකක පමන කාලයක් තිස්සේ පැවතුනු නමුත් පසුව මේ පිළිබඳව විශාල පසුබෑමක් ලබා ඇත. අලූතින් ගෙන එන නීතිය පිළිබඳව හොංකොං ජනතාවගේ බිය වූයේ හොංකොං බලප‍්‍රදේශය තුළ දේශපාලන අදහස් ප‍්‍රකාශයට පත් කරන හෝ විවිධාකාර මතවාදයන් හා දේශපාලන විරුද්ධ ප‍්‍රතිපත්ති දරන පුද්ගලයන් චීනයට පිටුවහල් කොට එහි පවතින නීතිකරණය යටතේ දඩුවම් පමුණුවාවිය කියන බය. හොංකොං නගරයේ මුල් වතාවට නීතිඥයෝ මහා පරිමානව කරුණු දැක්වීම් කළා පමනක් නොව අලූතින් ගෙන එන පනතට විරුද්ධව පෙළපාලි ද ගියහ. නීතිඥයින් පෙන්වා දුන්නේ වරදක් කළ අයෙකු ඔවුන්ගේ රටට යැවීම පිළිබඳව නීති සම්ප‍්‍රදායක් ලෝකයේ පවතින බවත් එම නීති සංග‍්‍රහයට අනුව හොංකොං නගරයේ මේ නීති සකස් වෙනවා මිස ඊට පටහැනි ආකාරයකින් එසේ කිරීමට යාමෙන් ඉතා බරපතල ප‍්‍රශ්න හොංකොං ජනතාවට ඇති විය හැකි බවත්ය. විශේෂයෙන්ම චීනය තුළ ස්වාධීන නඩු විභාගයක් යන සංකල්පය ඇත්තේ නැත. ස්වාධීන නඩු විභාග වල ලක්ෂණ නම් වැරැුද්දක් කළාය කියන පුද්ගලයා එම වරද ඔප්පු කරන තුරු අහිංසකයෙකු ලෙස සැලකීමත් , ඔහුට විරුද්ධව නඩුව ඔප්පු කිරීම රජය වෙත පැවරෙන වගකීමක් වීමත්ය. එහෙත් චීනයේ සිදුවන්නේ ඒ ආකාරයට නොව, මුළුමනින්ම චෝදනා ලබන්නා වැරදිකාරයකු වශයෙන් මුලසිටම සලකන තත්ත්වයකි. එමෙන්ම එහි පවතින සිරභාරයන් පිළිබඳවද හොංකොං ජනතාවගේ මතය වන්නේ වරක් එහි ගිය පසු එසේ ගිය අය නැවත කිසිවෙකුට දැකගන්නට වත් නොලැබෙන බවය.
 
හොංකොං නගරයේ මීට විරුද්ධව පැවති විරෝධතා වල මූලිකම ලක්ෂනය වූයේ එය කිසියම් දේශපාලන පක්ෂයක මෙහෙයවීමෙන් ඇති වූ දෙයක් නොවන බවය. මෙම පෙළපාලි හඳුන්වනු ලබන්නේ නායකත්වයෙන් තොර පෙළපාලි ලෙසය. මින් අදහස් වන්නේ කිසියම් දේශපාලන හෝ වෘත්තීය සමිති වල මගපෙන්වීම යටතෙ නොපැවැත්වෙන බවය. පෙළපාලි වල ප‍්‍රධාන ගාමක බලය වී ඇත්තේ හොංකොං බලප‍්‍රදේශයේ තරුණයන්ය. ඔවුන් ඉතා දක්ෂ ආකාරයකින් තම පෙළපාලි ජනතාවට අවහිරයක් නොවන ආකාරයෙන්  කරගෙන යාම සඳහා විශාල අවබෝධයකින් සිටිති. උදාහරණයක් වශයෙන් ඔවුන් පෙළපාලි යන අතර කිසියම් හෝ අපද්‍රව්‍යයක් විසි කිරීමක් සිදු වේ නම් ඒවා ඒ අවස්ථාවේම ඉවත් කොට මාර්ග පිරිසිදු කර තබා ගැනීමට විශාල ප‍්‍රයත්නයක් දරති. ඔවුන්ට ලැබෙන ජනතා සහයෝගයද අතිවිශාලය. පෙළපාලි යන අවස්ථා වල හොංකොං නගරයේ ජනතාව තමන්ගේ වාහන වලින් පැමිණ වතුර කෑම යනාදිය ලබා දේ. මේ ආකාරයෙන් විශාල ජනතා සහයෝගයක් මැද මෙම පෙළපාලි පවත්වා ගෙන යති. මෙම පනත මුළුමනින්ම ඉවත් කර ගන්නා තුරු මෙම පෙළපාලි සතිපතා පවත්වන බව ඔවුන් ප‍්‍රකාශයට පත් කොට ඇත. මේ සති අන්තයේදී ලක්ෂ දෙකකට වැඩි තරුණ තරුණියන් පිරිසක් සහභාගි විය. පෙළපාලි අවසන් වන අවස්ථා වලදී ගැටුම් සිදු වී ඇති අතර ඒවාට වගකිව යුත්තේ ඇත්තෙන්ම කවුද යන්න පිලිබඳව විශාල සාකච්ඡුාවක් දැන් පවතී.

හොංකොං නගරයේ හිටපු අග‍්‍රවිනිශ්චයකාර වරයෙකු එහි සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පතට ලිපියක් ලියමින් පොලිසියත් පොලිසියේ කි‍්‍රයාමාර්ගත් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම පරීක්ෂණය විනිශ්චයකාරවරයෙකුගේ මූලිකත්වය යටතේ සිදු කළ යුතු බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත. සාමකාමීව පෙළපාලි යාමේ අයිතිය තහවුරු කිරීම හා එම පෙළපාලි ආරක්ෂා කිරීමේ වගකීම පොලිසිය සතු බවත් එමෙන්ම අවශ්‍ය අවම ප‍්‍රමාණයේ බලය යෙදීමකින් පිට බලය යෙදීමක් නොකළ යුතුය යන්නත් එම ජාතික සාකච්ඡාවේ මූලික අංග බවට පරිවර්තනය වී ඇත. කෙසේ වුවත් දැන් දකින්නට හැක්කේ අතිශයින්ම සාමකාමී වන අතර තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට ඉදිරිපත් වීමට මැලි නොවන තරුණ ජනතාවකි. එම තරුණයන් තමන්ගේ අනාගතය ආරක්ෂා කර ගැනීමට එම ව්‍යාපාරයේ යෙදෙති. මෑත කාලයේ ලෝකයේ ඇති වුනු විශාල පෙළපාලි අතර හොංකොං නගරයේ පසුගිය මාසයේ ඇති වූ පෙළපාලි සුවිශේෂි තැනක් ගනී.



බැසිල් ප‍්‍රනාන්දු




2019-07-12
Advertisement

Find us on Facebook