English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම්වලට ගරු කරමින් මරණ දඩුවම ලංකාවෙන් සහමුලින්ම ඉවත් කළ යුතුයි!


මානව හිමිකම්වලට ගරු කරමින් මරණ දඩුවම ලංකාවෙන් සහමුලින්ම ඉවත් කළ යුතුයි!

එල්ලා මැරීම ම්ලේච්ඡ දඩුවම් ක්‍රමයක් ලෙස ලෝකයේ බොහෝ රාජ්‍යයන් පිළිගෙන එය අත්හිටුවා තිබෙන තත්ත්වය හමුවේ මානව හිමිකම්වලට ගරු කරමින්  මරණ දඩුවම ලංකාවෙන්ද සහමුලින්ම ඉවත් කළ යුතු බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුව ප්‍රකාශ කරයි .

යල් පැන ගොස් ඇති මෙරට සමස්ථ නීති පද්ධතිය අලුතින් සකස් කිරීමෙන් විනා චුදිතයන් එල්ලා මැරීමට තීන්දු කිරීමෙන් මෙරටින් අපරාධ තුරන් කළ නොහැකි බවත්  වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුවේ නියෝජිතයෝ  පුස්තකාල හා ප්‍රලේකණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී  ඊයේ (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවසුහ.

මෙම මාධ්‍ය සාකච්ඡාව නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්, නීති විරෝධී ඝාතන හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිටුදකිමු යන මැයෙන් පැවති අතර ඊට සහභාගි වූ මානව හිමිකම් ක්‍රියාදරයන් සහ සිවිල් සංවිධාන රැසක සාමාජික සාමාජිකාවෝ අදහස් පළකර සිටියහ.  

චුදිතයන් එල්ලා  මැරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහිදී අදහස් පල කල නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා මෙසේ පැවසීය.

"මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට වරදකරුවන් වූ චුදිතයන් හතරදෙනෙකු එල්ලා මැරීමට ජනාධිපතිවරයා අත්සන් කරතිබීම ගැන ලොකු සංවාදයක් සමාජ ජාල තුල සහ විවිධ මාධ්‍යන් තුල දක්වා තිබූ අදහස් කීපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්න මම කැමතියි. එහිදී බොහෝදෙනෙක් බැන  තිබුනේ නීතිඥවරුන්ට. ඔවුන්ට අනුව නීතිඥවරුන් යනු සල්ලිවලට ඕනෑම දෙයක් කරන අයයි. දුප්පතුන්ට කුමක් උවත් මුදල් ඇති අය‍ට ප්‍රසිද්ධ, දක්ෂ නීතිඥවරුන් හරහා කුමන වරදක් කලත් නිදහස් විය හැකියි. නීතිඥවරුන්ට වාසි මිනිසුන් එල්ලා මරණ එකෙන්ද නැති එකෙන්ද වගේ දේවල් ඒ සංවාදවල තිබුණා. චුදිතයන් එල්ලා මරණ එකට විරුද්ධ වෙන්නේ කුඩු මුදලාලිලාගෙන් සල්ලි ගත්ත නීතිඥවරුන් බවත් ඔවුන් කියා තිබුණා. එල්ලා මැරීම සම්බන්ධයෙන් තිබුනේ මේ වගේ එකකට එකක් පරස්පර නිශේධනීය අදහස් ගොන්නක්.

වධහිංසාවන්ට ලක්වූවන්ට සහය පලකිරීමේ ජාත්‍යන්තර දිනය යෙදිලා තිබුණ පසුගිය 26 වැනිදා ජනාධිපතිවරයා විසින්  මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට චුදිතයන්වී මරණ දඩුවම නියම වී සිටින 457 දෙනා අතරින් 4දෙනෙකුව එල්ලා මරන්න අත්සන් කළා. ජනාධිපතිවරයකු මෙලෙස අත්සන් කර තිබෙන්නේ 1976න් පසුවයි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය මගින් වධහින්සවට ලක්කිරිම හා කෲර ලෙස සැලකීම වලක්වා තිබෙනවා.  ජනාධිපතිවරයා මෙවැනි තීන්දුවක් ගෙන තිබෙන්නේ එවැනි පසුබිමකයි. එල්ලා මැරීම සාධාරණීකරණය කිරීමට කරුණු කිහිපයක් ඉදිරිපත්වී තිබෙනවා. විශාල අපරාධ රැල්ලක්   ඇතිවී තිබෙන නිසා එය වැලැක්විමට මරණ දඩුවම අවශ්‍ය බව සදහන්. එහෙත් මරණ දණ්ඩනය නිසා අපරාධ අඩුවෙන තත්ත්වයක් මරණ දඩුවම ක්‍රියාත්මක කිසිම රටක ඇතිවී නැහැ. ඒ නිසා අපරාධ අඩුවීම සහ මරණ දඩුවම අතර කිසිම සම්බන්ධයක් නැහැ. මත් උවදුර පාලනය කිරීමට මරණ දඩුවම අවශ්‍ය බව තවත් එක් මතයක්.ඒකත් මිත්‍යාවක්.

එල්ලා මරන්න නම් කල 4දෙනා මත්ද්‍රව්‍ය වෙළදාම්  ජාලයේ ඉහළම පුරුක් බවට ඔප්පු කළ හැකි සාධක මොනවාද?  ඒ වගේම මේ ජාලයේ ප්‍රධාන පුරුක් නීතියේ හස්තයට හසුවන්නේ නැති බව අපි කවුරුත් දන්නා දෙයක්.

හදිසියේ මරණ දණ්ඩනය කරලියට පැමිණ තිබෙන්නේ පසුගිය කාලයේ සිට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇතිවී තිබෙන දේශපාලන  අර්බුදය වළක්වාගන්න අවශ්‍ය නිසයී. ඒ නිසා එම තීරණයේ කිසිම  පදනමක් නැහැ.

2016 ජනවාරි 1වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්  අප රට විසින් ඇයි මරණ දඩුවම ක්‍රියාත්මක නොකළ යුත්තේ කියලා ජනාධිපතිවරයාට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මරණ දඩුවම අප රට තුළ ක්‍රියාත්මක නොකළ යුතු බව 1950 වැනි කාලයකදිත් කතිකා කර තිබෙනවා.

රටක අපරාධ වලක්වන්න යුක්ත ක්‍රමවේදයක් තිබෙනවා. ඊට අනුව අවසානයේ දණ්ඩනයට ලක්විය යුත්තේ සැබෑම ලෙසින් ඒ අපරාධය කළ තැනත්තයි. අපරාධය හදුනා ගැනීම, විමර්ශනය කිරීම, ඉක්මණින් නඩුවලට යෑම, සාර්ථකව නඩු මෙහෙයවීම සහ දණ්ඩනයට ලක් කිරීම නිවැරදිව අප රට තුල සිදුවෙනවා නම් තමයි අපරාධ යුක්ති ක්‍රියාදාමය හරියට සිදුවන්නේ.ඒත් අපේ යුක්ති ක්‍රමවේදයේ විශාල අඩුපාඩු තිබෙනවා.

මේ වන විට මරණ දණ්ඩනය පැනවීම මගින් අපරාධ අඩු නොවන බව හදුනාගෙන තිබෙන නිසා රාජ්‍යයයන් 80ක් පමණ මරණ දඩුවම එම රටවලින් ඉවත්කරගෙන තිබෙනවා. ඒ නිසා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විදිහට අපිත් කියන්නේ අපේ රටෙනුත් මරණ දඩුවම සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතු බවයි."

ඉන් පසු අදහස් දැක්වූ අර්මිසා ටිගොල් නීතිඥවරිය මෙසේ කියා සිටියාය.

"යුක්ති ක්‍රියාවලියේ පවතින අඩුපාඩු නිසා බොහෝවිට අසරණ අහිංසක පිරිස් අසත්‍ය චෝදනාවන්ට ලක්වෙලා සාධාරණ නඩු විභාගයන් ලබා ගැනීමට නොහැකිව සිටිනවා. නීතිවේදීන් ලෙස අපට ඒ ගැන ඕනෑ තරම් අත්දැකීම් හිබෙනවා. ඒ නිසා පවතින අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය ගැන අපට සැක මතුවෙනවා. අපි සාර්ථක ක්‍රමවේදයකට ඉක්මණින් ඇතුලත් විය යුතුයි.

යම් අයෙක් එල්ලා මැරූ විට ඒ පුද්ගලයාගේ පවුල්වල අය සමාජයට මුහුණදෙන අකාරය ගැන කිසිම අදහසක් රජයට නැහැ. ඒ අය මානසිකව හිංසාවට ලක් වෙනවා.ඒ වගේ දේවල් සමග අපේ සමස්ථ නීති පද්ධතියම වෙනස් විය යුතුයි. මෙම වෙනස කිරීමට සියලු දෙනාගේ සහය ඉල්ලා සිටිනවා."        

එහිදී අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේ කීය.

 "මෙරට අපරාධ විමර්ශන ක්‍රියාවලිය සහ අධිකරණ ක්‍රියාවලිය සකස් වී තිබෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි ආඥා පනත සහ කලින් කලට එකතු වූ වෙනත් විශේෂ අණ පනත් මගිණි. ඒවාට මූල කෘත්‍ය වී ඇත්තේ ඉංග්‍රීසි නීතියයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110/4 උප වගන්තිය අනුව යම් සැකකරුවෙකුගෙන් පොලිසිය ලබාගන්නා ප්‍රකාශයක්, එකී සැකකරුට විරුද්ධව සාක්ෂියක් ලෙස භාවිතා කළ නොහැකියි.සැකකරුවකුගේ ප්‍රකාශවල පරස්පරතා ඇත්නම් පමණක් පොලිසියට අධිකරණය ඉදිරියේ ඔහු ලබා දුන් ප්‍රකාශයේ ඇති පරස්පරතා පමණක් පෙන්වා දිය හැකියි. අප භාවිතා කරන මෙම නීතිය අපට අවේ එංගලන්තයෙන්. මෙම නීතියෙහි ඇති අඩුලුහුඩුකම් නිසා එංගලන්තය එය වර්තමානය වනවිට වෙනස් කර තිබෙනවා.110 වගන්තිය නිසා විමර්ශන ක්‍රියාවලියේදී සැකකරුට පිඩාවක් විය හැකි බව අපේ ව්‍යවස්ථාදායකය 1979දී පිළිඅරගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන එක්‌ කළා.

අධිකරණ ක්‍රියාවලිය ගැන අවධානය යොමුකරන විට උසාවිවලට යොමුවන නඩුවලින් 10%ක් පමණයි නඩුව අසා ඉවරවන විට සැකකරු චුදිතයා බවට පත්වන්නේ. ඉතිරි 90%ක නඩුවලදී සිදුවී තිබෙන්නේ නඩු අසා අවසන් වනවිට සැකකරුවන් නිවරදිකරුවන් බව ඔප්පුවීමයි. මේ දත්තවලින් පෙනී යන්නේ අපේ අපරාධ විමර්ශන ක්‍රියාවලිය ඉතා දුර්වල බවයි. විශේෂ පොලිස් විමර්ශන ඒකක ඇරුනුවිට බහුතරයක් පොලිසිවල නිලධාරීන්ට විමර්ශන ක්‍රියාවලිය  කිරීමට අවශ්‍ය දැනුම නැහැ. එහි ප්‍රතිපලයක් ලෙස නීති විරෝධිව අත්අඩංගුවට ගැනීම් සහ සැකකරුවන්ට වධ හිංසා පැමිණවීමට පොලිසිය පෙළබිලා තිබෙනවා. ඒ විතරක් නොව කෘතිමව සාක්ෂි ඇති කිරීමට සහ නැති කිරීමට ද පොලිසිය ක්‍රියා කරනවා. මේවගෙන් පොලිසිය අපේක්ෂා කරන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ලවුවා වරද පිළිගැන්නවිම සහ පපොච්චරණයන් කරවා ගැනීමයි.

බෝම්බ සහ ගිණිඅවි දාලා විවිධ පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම් පසුගිය කාලවල අපි දැක්කා. අත්අඩංගුවට පත් වූ පුද්ගලයන්ව දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ තැබීම ඒවායේ අපේක්ෂාව බව පෙනී යනවා. අභියාචනාධිකරණයෙන් හැර වෙනත් කිසිදු උසාවියකින් එම පුද්ගලයන්ට ඇප ලබාගත නොහැකියි. ඒ සදහා ද විශාල වියදමක් සහ කාලයක් වැය වෙනවා. එහෙත් මේ වනවිට එම නීතිය සංශෝධනය කර පළාත්බද මහාධිකරණවලට ඇප ලබාදීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඉහතින් දැක්වූයේ කාලයේ අවශ්‍යතාව මත සංශෝධනය වූ අණ පනත් කිහිපයක් පමණයි.දැන් අපි ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මකවන ආකාරය ගැන දැනුම්වත් වෙමු. ඊට අදාළ මුළික නඩු විභාග කරන්නේ මහාධිකරණවලයි. යම් පුද්ගලයකුට මරණ දණ්ඩනය නියමකල පසු තීන්දුව ලබා දුන් විනිසුරුවරයා එහි නිර්දේශ අගවිනිසුරුවරයාට යොමු කරනවා. රජය වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා විසින් නීතිපතිවරයාට ඒ සම්බන්ධයෙන් නිර්දේශ යොමුකරනවා. ඉන්පසු නීතිපතිවරයා විසින් අධිකරණ විෂය භාර ඇමතිවරයා වෙත එම තීන්දුවේ නිර්දේශ යොමුකළ පසු ඇමතිවරයා එම නිර්දේශ ජනාධිපතිවරයාට යවනවා. ජනාධිපතිවරයා  එම නිර්දේශ සලකා  බලා ඔහුගේ අත්සන යෙදූ පසුව තමයි චූදිතයාට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න එතරම් විධිමත් විනයාණුකුල ක්‍රියාවලියක් තමයි ඒ විදිහට අතීතයේ ක්‍රියාත්මක වුනේ.

එහෙම තත්ත්වයක් තිබෙද්දී වර්තමාන ජනාධිපතිවරයට හදිසියේ මිනිසුන් එල්ලා මරන්න නියම කරන්න පුළුවන්කමක් තිබෙනවද?

විමර්ශන ක්‍රියාවලියේ තිබෙන අඩුපාඩුවක් නිසා චුදිතයකු වූ යම් පුද්ගලයෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් ඇතිවන තත්ත්වය කෙබදුද? ඔහුගේ ජීවිතය රජයට නැවත ලබා දිය හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තහවුරු කර ඇති නිසයි මේ තරම් සංකීර්ණ  ක්‍රියාවලියක් හරහා ඇවිත් යම්තැනක කුමන හෝ වරදක් ඇති වී තිබේ නම් එය  නිවැරදි වීම මගින් පුද්ගලයාව ආරක්ෂා වන ලෙස තත්ත්වයක් ඇතිකර තිබුනේ. 

අපේ රටේ තිබෙන බොහෝ නීති යල්පැනගිය ඒවාය. ඒ නිසා සමස්ත නීති ක්‍රියාවලියම වෙනස් විය යුතුයි. ඒ වගේම අපරාධ හා දේශපාලනය අතර ලොකු සම්බන්ධයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය අපේ රටින් තුරන් කරන්න සුදුසුම ක්‍රමය චුදිතයන් එල්ලා මැරීම  නෙවෙයි. මරණ දඩුවම යල්පැනගිය ම්ලේච්ඡ නීතියක්. ඒ බව තේරුම් ගත්ත  දියුණු රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊට වඩා දියුණු ක්‍රම මත් උවදුර තුරන් කරන්න හොයාගෙන තිබෙනවා. ජනමාධ්‍ය මේ තත්ත්වය ගැන රට තුළ මතයක් නිර්මාණය කල යුතුයි." 




2019-07-11
Advertisement

Find us on Facebook