English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවේ අපරාධ මර්දන යන්ත‍්‍රය තුළින් පැන නැගෙන සංස්කෘතික ගැටළු


ලංකාවේ අපරාධ මර්දන යන්ත‍්‍රය තුළින් පැන නැගෙන සංස්කෘතික ගැටළු

අපරාධ හටගැනීම, ඒවා ව්‍යාප්තිය සහ අපරාධ වෙනුවෙන් ප‍්‍රතික‍්‍රියා දක්වන නීතිමය යන්ත‍්‍රනය, අපරාධ පාලන නිවාරණ ප‍්‍රවේශ යනාදී සංකල්ප සමාජ සංස්කෘතික මුහුණුවරකින් අධ්‍යයනයට බඳුන් කිරීම සංස්කෘතික අපරාධ විද්‍යාවේ විෂයය ක්ෂේත‍්‍රය වේ. මෙම විෂයය ක්ෂේත‍්‍රය තුළින් ලංකාවේ අපරාධ මර්දන යන්ත‍්‍රය පිළිබඳව සංස්කෘතික දෘෂ්ඨිකෝණයකින් බලන විට කැපී පෙනෙන කරුණු මොනවාද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

මෙම ප‍්‍රශ්නය සාකච්ඡා කිරීමේදී මතුවන ප‍්‍රධානම ගැටලූවක් නම් අපරාධය පිටු දැකීම පිළිබඳව මානසික තත්වය ප‍්‍රබල ආකාරයකින් ලාංකීය සමාජය තුළට ඇතුළු නොවූයේ ඇයි ? යන ප‍්‍රශ්නයයි. එනම් අපරාධය පිටුදැකීම සමාජය පුරා පැතිර ගිය සිරිතක් බවට පත් නොවූයේ ඇයි ?

සදාචාරය පිළිබඳ ගැටලූ පොදුවේ සමාජය තුළ පැලපදියම් වුනු සිරිත් බවට පත් කිරීම කෙරෙන්නේ යම් රටක සංස්කෘතිය තුළිනි. දැන් බොහෝ රටවල අපරාධය තදින් පිටුදැකීම එම සමාජයේ මුල්බැස ගත් සිරිතක් බවට පත් වී ඇත. එම නිසා අපරාධය නැති කිරීම හුදෙක්ම නෛතික පදනමකින් පමනක් කෙරෙන්නක් නොව සමාජය තුළ ම මුල් බැස ගත් සිරිත් නිසා සමාජ මැදහත්වීම් තුළින් කෙරේ. මේ ආකාරයෙන් අපරාධ මර්දන යාන්ත‍්‍රනයත්, අපරාධ මර්දන මානසිකත්වයක් ඇති කරන සිරිත් විරිත් යන දෙක එක් වූ තැනකදී අපරාධයට විරුද්ධව ඉතා බරපතල සමාජ ප‍්‍රතික‍්‍රියා ඇති වේ. අපරාධයට ප‍්‍රබලව ප‍්‍රතිකි‍්‍රයා නොකරන සමාජයක් වන්නේ හුදෙක්ම නීතිමය යන්ත‍්‍රනයේ අඩුපාඩු පවතින තත්වයක් පමනක් නොව එම සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ සිරිත් විරිත් තුළට අපරාධය පිටුදැකීමේ බලවත් වුවමනාව පැළපදියම් නොවූ තත්වයක් පැවතීමයි. මේ පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ලාංකීය සංස්කෘතියේ විකාශනය සම්බන්ධයෙන් දළ වශයෙන් සලකා බැලීමක් කළ යුතුය.

ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වුත්, ලංකාවේ පළමුවන නිදහස් ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ප‍්‍රබල කාර්යයක් ඉටු කළා වූත,්  ව්‍යවස්ථා නීතිය පිළිබඳව ජාත්‍යන්තර කීර්තියට පත් වී සිටියා වූත්, ආචාර්ය අයිවර් ජෙනින්ස් වරක් 1946 දී පත් කරන ලද පොලිස් කමිෂන් සභාවට ලියූ ලිපියක සඳහන් කරන්නේ ලංකාවේ ඔහු ආශ‍්‍රය කරන ඉංග‍්‍රීසි කතා කරන කණ්ඩායම් අතර අපරාධය පිටුදැකීම පිළිබඳව බලවත් වුවමනාවක් ඔහු නොදුටු බවය. උදාහරණයක් වශයෙන් ආදායම් බදු නොගෙවා සිටිම පිළිබඳව මෙම කණ්ඩායම ඉතා විවෘතව කතා කළහ. අයිවර් ජෙනින්ස් මේ තත්වය ඔහුගේ මව්රට වන එංගලන්තය තුළ ඇති තත්වයත් සමඟ සංසන්දනය කළේය. ඔහු කියා සිටියේ නීතියට බලවත්ව පිටුනොපාන අයවලූන් ඔහුගේ සමාජය තුළ සළකනු ලැබුවේ පරයන් වශයෙන් බවය. එනම් සමාජයට අයිති නැති හා සමාජ විරෝධී කොටසක් වශයෙන් සලකන බවය. එවැනි මානසික තත්වයක් හා සිරිත් රටාවක් නීතිය මත පාලනය ස්ථාවර වූ  රාජ්‍යයන් බොහෝ ගණනක පැලපදියම් වී පවතී.

මීට අදාලව ලංකාවේ සංස්කෘතිය දෙස බලන කල ඉතා සරල වශයෙන් අපට අවස්ථාවන් ගණනාවක් සාකච්ඡුා කළ හැකිය. මුලින්ම ලංකාවේ සංස්කෘතියට පදනම් වූ අනුරාධපුර යුගයේ සංස්කෘතිය දෙස බලන විට එය බොහෝ දුරට පදනම් වූයේ බෞද්ධ ආචාර ධර්ම පදනම් කොට ගෙනය. එම සදාචාරධර්ම තුළ මිනිමැරීම, කාමයෙහි අනිසි ලෙස හැසිරීම, බොරු කිීම ආදී දුර්ගුණයන් ගණනාවක් සමාජය තුළ පිළිකුලට භාජනය වූ කරුණු ලෙස ඒත්තු ගැන්වීමක් පැවතුනි. එයින් කියැවෙන්නේ ඊට අදාළ අපරාධ සිදු නොවුනාය යන්න නොව එම අපරාධ වලට සමාජයේ වැඩි පිරිසක් දැඩි ලෙස ඉතා ප‍්‍රබල විරුද්ධ වූ බවය. එම ශිෂ්ටාචාරයේ කඩා වැටීම ශතවර්ෂ ගණනාවක් පැවතුනු අතර ඉන්පසු ඇති වූ පොළොන්නරු යුගයත් දඹදෙණි යුගයත් ආදී වශයෙන් යටත් විජිතවාසීන් පැමිණෙන තෙක් පැවති මුල් යුගයේ පැවති ලාංකික අදහස් වලට වඩා වෙනස් අදහස් වර්ධනය වීමට පටන් ගත් බව පෙනෙන්නට ඇත. මේ අතර ප‍්‍රධාන වූයේ දුසිරිත පිළිබදව පෙර පැවති සංකල්පයන් බොහෝ දුරට බෙලහීන තත්වයකට පත් වීමත් ඒ වෙනුවෙන් සැකය හා අවිශ්වාසය පදනම් වූ දාර්ශනික මතවාදයන් ලාංකීය සමාජය තුළට ඇතුල් වීමත්ය. මෙයට මූලික වශයෙන් බලපාන ලද්දේ එම කාලය තුළ ඇති වූ ඉන්දියානු ආක‍්‍රමණයන්ය. එම ආක‍්‍රමණයන් හුදු දේශපාලන ආක‍්‍රමණ පමනක් නොව ඒවා පිටුපස ඉතා ප‍්‍රබල දාර්ශනික වෙනස්වීම් ද සිදු විය. මේ වෙනස්වීම් පසුපස වූයේ ඉන්දියාව තුළම ඇති වූ විශාල දාර්ශනික මතවාදයන් තුළ බ‍්‍රාහ්මණික මතවාදයන් නැවත වරක් හිස ඔසවා පාලක පන්තියේ මතවාදයන් බවට පත් වීමය.

එසේ පත් වූ සමාජයන් තුළ කැපී පෙනෙන  ප‍්‍රධාන ලක්ෂණය වූයේ ලංකාවේ සමාජ සංවිධාන රටාව කුළය මත පදනම් වූ එකක් බවට හැරීමය. මෙය ලංකාව තුළ මතවාදයෙනුත් මානසික වශයෙනුත් දර්ශනවාදී පදනමෙනුත් විශාල වශයෙන් වෙනස් කර දමන ලදි.

කුල ක‍්‍රමය තුළ පොදුවේ අපරාධ වශයෙන් එකසේ සැලකෙන අපරාධ නොපවතී. මේ බව ඉන්දියානු බුද්ධිමතුන් බොහෝ දෙනෙකු ඉතා පැහැදිළිව හා දීර්ඝව පෙන්වා ඇත. මේ අතර ප‍්‍රබලයන් වන්නේ ආචාර්ය අම්බෙඞ්කාර්, කේ. නටරාජා යන අයය. නටරාජා පෙන්වා දුන්නේ දඩුවම් කිරීම සම්බන්ධයෙන් කුල ක‍්‍රමය තුළ පවතින්නේ තරාතිරමට අනුව ද`ඩුවම් කිරීමේ සංකල්පය බවයි. එනම් මිනිමැරීම කියන අපරාධය කුල හීනයකු හෝ කුල ක‍්‍රමයෙනුත් පහළ සිටියා සේ සලකන ස්පර්ශයට නොසුදුස්සන් සේ සැලකූ දැන් දාලිත් කෙනෙකු හැටියට සලකන අයෙකු විසින් කළ හොත් ඔහුටත් ඔහුගේ පවුලටත් ඔහුගේ සංහතියටත් දඩුවම් කිරීම සමාජ සිරිතක්ව පැවතුන බවය. නමුත් එම අපරාධයම ඉහළ කුලයක කෙනෙකු විසින් කළහොත් එයට හුදු  ආගමික වතාවත් පැවැත්වීම වැනි දෙයකින් දඩුවම් කරනවා මිස ඊට වැඩි දඩුවමක් නොවීය. බොහෝ විට එම උඩ සිටින්නන් පහළ සිටින්නන්ට විරුද්ධව කරනු ලබන අපරාධ සොයා බැලීමටවත් වුවමනාවක් පැවතුනේ නැත.

ලංකාව තුළ ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැළපදියම් වී පැවති බුද්ධිමය සංකල්පයන් ලාංකීය ජනතාවගේ සිරිත් විරිත් තුළට කා වැදුනේය. ඉතා මෑත ඉතිහාසයක් වනතුරු සමාජය පිළිබඳව සියලූ කරුණු කුලය පිළිබඳ පදනම මත පිහිටුවා සිදු කරනු ලැබිණි. මෙහි අදහස වූයේ සමාජය පිළිබඳව සමානාත්මතාවය පිළිබඳ සංකල්පය පසුකාලීනව සිදු වූ ඉන්දීය ආක‍්‍රමණයන්ගේ බලපෑම ඉතා ප‍්‍රබලව ලාංකිකයාගේ මානසික තත්වය හා සිරිත් විරිත් නිර්මාණය කිරීම කෙරෙහි බලපෑ ආකාරයයි.

මින්පසු අප පැමිණෙන්නේ යටත් විජිතවාදී යුගය තුළටය. එම කාලයේ මුල් කොටස තුළ එනම් පෘතුගීසි ලන්දේසි සමය තුළ තරමක් දුරට අපරාධය පිළිබඳව හා ද`ඩුවම පිළිබදව යුරෝපයේ පැවති යම් සම්ප‍්‍රදායන් ලාංකීය සමාජය තුළට ගෙන ආ නමුත් ප‍්‍රබලව මේ පිළිබඳව ප‍්‍රයත්නයක් දරන ලද්දේ බි‍්‍රතාන්‍යය යටත් විජිතවාදය තුළය. ලංකාවට පොදුවේ බලපාන අධිකරණ ක‍්‍රමයකුත් නීති පද්ධතියකුත් එම නීති පරිපාලනය කිරීම සඳහා පරිපාලන ක‍්‍රමයකුත් ඇති කිරීම මෙම යටත් විජිත කාලයේදී සිදු විය. ලංකාවේ අපරාධ නීතිය හා අපාරාධ නඩු කි‍්‍රයා පටිපාටියේ මූලධර්ම සියල්ල නෛතිකව පැළපදියම් කරන ලද්දේ මේ කාලයේදීය.

එහෙත් යටත් විජිතයක ස්වභාවය වන්නේ එම යටපත් කරන ලද දේශය තුළ සාධනීය වෙනස්කම් ඇති කිරීමට විශාල උනන්දුවක් යටත් විජිත පාලකයාට නොතිබීමය. යටත් විජිත පාලකයා එම යටත් විජිතය පාලනය කළේ තමන්ගේ මව් රටේ වුවමනාවන් පිරිමසා ගැනීමට මිස තමන් යටපත් කර ගත් දේශයේ වුවමනාවන් පිරිමසා ලීම සඳහා නොවේ. ඔවුන්ගේ කර්මාන්ත පිළිබද ප‍්‍රශ්න වලට අදාළ ව රටේ මාර්ග දියුණු කිරීම, දුම්රිය ධාවනය ඇති කිරීම ආදී වශයෙන් යම් වෙනස්කම් ඔවුන් විසින් කරන ලද අතර ඒවා රටක අනාගතය සම්බන්ධයෙන් වැදගත් වෙනස්කම් වේ. එසේම ඔවුන් කි‍්‍රයාත්මක කළ නීතිය රටට ඉදිරිපත් කිරීම මෙන්ම එය පරිපාලනය කිරීම ද සිදුවූයේ ඔවුන්ගේ වුවමනාවන් සපුරා ගැනීමේ ප‍්‍රමාණයට පමනක් වුවත් එසේ ඉදිරිපත් කරන ලද එම යාන්ත‍්‍රනය රටේ අනාගතය කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධකයක් බවට පත්විය.

අපට මෙහිදී වැදගත් වන්නේ රටේ පුරවැසියන් අසමානය යන ගැඹුරු මානසික තත්වයකුත් ඒ මත පවතින සිරිත් විරිත් එක පැත්තකිනුත් අනෙක් අතින් සියලූ දෙනාම සමානය යන පදනම මත ඇති කරන ලද නීති ක‍්‍රමයක් අතර පවතින විශාල ගැටලූවය. මානසික තත්වය හා සිරිත් විරිත් වලින් එක විදිහක් වන මිනිසුන් නෛතික කරුණු සම්බන්ධයෙන් ගත් කල වෙනස් ආකාරවල හැසිරීම් වලට භාජනය කරනු ලබති. එහෙත් නීතියත්, නීතිය කි‍්‍රයාත්මක කරන යන්ත‍්‍රයත් පදනම් වී පවතින ප‍්‍රධානම මුලධර්මය වන අපරාධය හා දඩුවම සම්බන්ධයෙන් සියල්ලන්ටම එකසේ සැලකිය යුතුය යන සංකල්පය සමාජය තුළ පැළපදියම් වී නැත. සමාජය මුල් බැස ගෙන ඇත්තේ කීම එහෙමයි කිරීම මෙහෙමයි යන මානසික තත්වයයි. නීතියෙන් මෙසේ කියන නමුත් ඇත්තටම කෙරෙන්නේ වෙන විදිහකටය යන්න මානසික තත්වය ඉතා ගැඹුරින්ම ජන මනස තුළ පැලපදියම් වී ඇත. රටක නීතිය හා දේශපාලන ක‍්‍රමය පදනම් වී ඇති සාධනීය මතවාදයන් හා දර්ශනය හා ජන ජීවිතය ගොඩනැගී ඇති මානසික තත්වයන් හා දර්ශනයන් එකිනෙකට වෙනස්ය. මේ නිසා මානසික තත්වයෙන් හා සිරිත් විරිත් වලින් එක් ආකාරයක හැසිරීමකුත් නීතිය පිළිබඳව තවත් ආකාරයක හැසිරීමකුත් පවතින්නට පටන් ගනී. මෙහිදී වැඩි ජයග‍්‍රහණය ලබන්නේ  මනස තුළ පැළපදියම් වී ඇති හා සමාජ සිරිත් බවට පත් වී ඇති දේ මිස බාහිර වශයෙන් පවතින නීතිය හෝ එම නීතිය ක‍්‍රියාත්මක කරන යන්ත‍්‍රනය නොවේ.

නීතිය ක‍්‍රියාත්මක කරන යන්ත‍්‍රනයද ක‍්‍රියාත්මක කරනු ලබන්නේ රටේම ජීවත් වන මිනිසුන් විසිනි. එසේ කි‍්‍රයාකරවන අයගේ සිත් තුළ පවා නීති ක‍්‍රමයේ මූළධර්ම හා ඒවායේ ඇති වටිනාකම් හා දර්ශනය ගැඹුරින් පැළපදියම් වී නැත. මේ නිසා කරත්තයෙන් ගමන් කරන මිනිසුන් සිටි කාලයකදී තිබුනු මානසික තත්වයෙන්ම සිට වර්තමාන ලෝකයේ වෙනස්කම් ග‍්‍රහනය කර ගැනීමට උත්සාහ කරන තත්වයක් පෙනෙන්නට ඇත.

මේ අනුව දැන් පොදු මතයක් බවට පත්වී ඇති ලංකාව තුළ නීතිය ක‍්‍රියාත්මක වීම කඩා වැටී ඇති බවත් ඒ මතින් ලංකාවට විශාල අනාරක්ෂිත තත්වයක් ඇති වී ඇති බවත් යන අවබෝධය වැඩි දියුණු කළ යුත්තේ එම අනාරක්ෂාවට පදනම් වන මානසික තත්වයන් නැති කිරිමට ගන්නා උත්සාහයන් තුළ පමනකි. හුදු බාහිර තර්ජන හෝ ද`ඩුවම් කිරීම් මත පමනක් මෙම වෙනස සිදු කිරීමට බැරිය.
දෙබඩි මානසික තත්වයන් පවතින වාතාවරණයක අපරාධය මර්දනය කිරීමේ යන්ත‍්‍රනයන් කි‍්‍රයාත්මක කිරීමද සිදු වන්නේ මෙම දෙබඩි මානසික තත්වයේම කොටසක් ලෙසය. මේ නිසා අපරාධ මර්දනයත් එම මර්දනයේ ඇති වැදගත් කම පිළිබඳව ගැඹුරු අවබෝධයකුත් රටතුළ ඇති මානසික තත්වයන්ට හා සිරිත් විරිත් වලට ඇතුල් කර ගැනීමට හැකි තත්වයක් උදා වන තුරු අපරාධ පිළිබඳ දැන් රටේ පවතින තත්වය නිරාකරණය කර ගැනීමට හැකි වන්නේ නැත.

කවුරැන් හෝ ටික දෙනෙකු එල්ලූම් ගසකට යවා මේ ප‍්‍රශ්නය විසඳන්නට බැරිය. එසේ සිතීම පවා විහිළු සහගතය. එසේ සිතීමෙන්ම පවා පෙනෙන්නේ යල් පැනගිය අදහස් මත පදනම් වූ මානසික සිරිත් විරිත් තවමත් බලවත්ව පවතින බව පමනකි.



බැසිල් ප‍්‍රනාන්දු




2019-07-10
Advertisement

Find us on Facebook