English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ICCPR පනතින් මහේස්ත‍්‍රාත් තනතුර බාල්දු වෙලා.
ICCPR පනතින් මහේස්ත‍්‍රාත් තනතුර බාල්දු වෙලා.



ශී‍්‍ර ලංකාවේ දැනට කි‍්‍රයාත්මක ICCPR පනත පිළිබදව විශාල සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. එම සාකච්ඡාවේ මූලික අරමුණ වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට පටහැනිව මෙම ICCPR  පනත ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වන්නේද යන්නයි. නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා විසින් මේ පිළිබදව අවබෝධය වැඩි කරගැනීම සදහා මනංකල්පිත සාකච්ඡාවක් අයිතිය වෙත එවා තිබේ. පහතින් පලවන්නේ එම සාකච්ඡාවයි.   

රටවැසියෙක් :-    මොකක්ද ඔය ICCPR  කියලා කියන්නේ...?

ICCPR  කතෘවරයෙක් :-    ICCPR  කියලා කියන්නේ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියන ප‍්‍රඥප්තියටයි. එම ප‍්‍රඥප්තිය ඇති වුනේ මෙහෙමයි. 1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත් කෙරුනා. ඒ මගින් සෑම මිනිසෙකුට හා    ගැහැණියකටම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වගේම ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් රැසක් ජාත්‍යන්තර වශයෙන් මුල් වතාවට ප‍්‍රකාශයට පත් වුනා. ඒ ප‍්‍රකාශයට පත් වුනේ ලෝකයේ වැඩිම රටවල් ගණනක් සම්බන්ධ වී කාලයක් පුරා කරන ලද සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙසයි.
 
රටවැසියා :- ඉතින් හිටපු ගමන් එහෙම සාකච්ඡාවක් ඇති වුනේ ඇයි ?

ICCPR  කතෘවරයෙක් :-     එය ඇති වුනේ දෙවන ලෝක යුද්ධය අවසාන වුනාට පස්සේ. ඉස්සෙල්ලා පලමුවන ලෝක යුද්ධය පැවතුනා. මේ නිසා මහා පරිමාණයෙන් ජීවිත විනාශයක් මෙන්ම දේපල විනාශයකුත් මහා පරිමානව මිනිසුන් අස්ථාන ගත වීමත් ආදී ඉතා බරපතල ප‍්‍රශ්න විශේෂයෙන්ම යුරෝපය තුළ ඇති වී තිබුනා. මේ යුද්ධ දෙකම මුලික වශයෙන් යුරෝපා යුද්ධ. මේ විදිහට මිනිසුන්ගේ ජීවිත හා දේපල විනාශ වීම නැවත සිදු නොවිය යුතුය යන්න විශාල කතිකාවක් ඇති වුනා. එයට විවිධ අය සම්බන්ධ වුනා. ලෝකයේ ප‍්‍රධාන දේශපාලන නායකයින්. නීතිය පිළිබඳව විශාරදයන්, මානව හිතවාදී පදනමක සිට ලෝකයේ තිබුනු ප‍්‍රශ්න දෙස බැලූ විවිධ නායක නායිකාවන්, ලේඛකයන්, කලා කරුවන් හා විද්‍යාඥයින් ආදී වශයෙන් සියලූ දෙනා අතර මෙම කතිකාව ඇති වුනා. එයට හේතුව සියලූ දෙනාගේම ජීවිත මෙම  ලෝක යුද්ධ දෙක මගින් හොඳටම කම්පනය කඑ තිබුනු නිසයි.

රටවැසියා:- ඉතින් ලෝක යුද්ධ දෙකයි මේ විශ්ව ප‍්‍රකාශනයයි අතර ඇති සම්බන්ධය මොකක්ද ?

ICCPR  කතෘවරයෙක් :-    මූලික අදහසක්ව පැවතුනේ සියලූ දෙනාටම සමාන අයිතිවාසිකම් පවතිනවා නම් එම අයිතිවාසිකම් වලට හානි කිරීමට කිසිවෙකුට බලය නැත යන්න අදහස තහවුරු කර ගැනීමට විශ්ව ප‍්‍රකාශනය වැනි එකඟතාවයක් ප‍්‍රයෝජනවත් වේය කියා තිබූ අදහසයි. මෙයින් අදහස් වුනේ කවුරු මොනවා කළත් එය මානව අයිතිවාසිකම් හැටියට පොදුවේ පිළිගත් අදහස් වලට විරුද්ධ නම් එම ක‍්‍රියාව කිරීමට සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නැත යන අදහස ලෝකය පුරා තහවුරු වීමයි. අයිතිවසිකම් යන්නෙහි අර්ථය එය කිසිවෙකුට නැති කිරීමට බැරි දෙයක්ය යන්න අදහසයි. එය හරියට මායිමක් වගේ. යම් ඉඩමකට මායිමක් තියෙනවා කියන්නේ එම ඉඩම හෝ ප‍්‍රදේශය කිසියම් පුද්ගලයෙකුට හෝ පවුලකට අයිතිය යන අදහසයි. එම මායිම තුළට පැමිණිය හැක්කේ මායිම් ඉඩමේ අයිතිකරුවනගේ කැමැත්ත හා දැනුවත්කම මත පමනයි. කවුරුවත් තමන්ගේ වත්ත විනාශ කිරීමට එන අයෙකුට ඇතුලූ වීමට ඉඩ දෙන්නේ නැත. තමන්ට යහපතක් කිරීමට එන අයෙකුට පමනයි අවසර ලැබෙන්නේ. මානව අයිතිවාසිකමක් කියන්නෙත් ඒ වගේ දෙයක්. එවැනි අයිතිවාසිකමක් නැති කිරීමේ අයිතිය රාජ්‍යයකටවත් ඇත්තේ නැත. රාජ්‍යය මෙම අයිතිවාසිකම් රැක දෙනවා මිසක් ඒවා විනාශ කිරීම සඳහා පවතින බලධාරිත්වයක් නොවෙයි.

රටවැසියා :-     ඉතින් විශ්ව ප‍්‍රකාශනය කියන එක ප‍්‍රකාශයට පත් වුනාට පස්සේ තවදුරටත් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් කියන ප‍්‍රඥප්තිය අවශ්‍ය වුනේ ඇයි ?

ICCPR  කතෘවරයෙක් :-     මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය බොහෝ දුරට සදාචාරාත්මකපදනමක් උඩ පිහිටවූ දෙයක්. එය ලෝකයේ සම්ප‍්‍රදායික නීතියකට යටත් යැයි කිව හැකිව තිබුනා. නමුත් එය නීතියක් හැටියට ක‍්‍රියාත්මක කළ හැකි ප‍්‍රඥ්ප්තියක් නෙවෙයි. එය නීතියක් හැටියට කි‍්‍රියාත්මක කිරීමට නම් එක එක රටවල් වල පනත් හදන ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන පනතක් එනම් ජාත්‍යන්තර නීතියේ කොටසක් හැටියට මානව අයිතිවාසිකම් ඇතුල් කර ගැනීමට. මේ සඳහා 1964 දී පමණ ප‍්‍රඥප්ති දෙකක් සාදා වැඩි රටවල් ගණනක් විසින් එය පොදුවේ පිළිගත්තා. එකක් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය හෙවත් ICCPR  කියන එක. දෙවැන්න වන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියයි. එයින් ප‍්‍රකාශයට පත් වුනේ ජීවිතයට ඇති අයිතිය, අධ්‍යාපන, සෞඛ්‍යය, සංස්කෘතිය හා විවේකය සඳහා ඇති අයිතිය ආදී වශයෙන් පවතින ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වුවමනාවන් අයිතිවාසිකම් හැටියට ප‍්‍රකාශයට පත් කිරීමයි. යමක් නීත්‍යානුකූලව ප‍්‍රකාශයට පත් කළ විට එය යමෙක් කඩනවා නම් ඔහුට හෝ ඇයට එසේ නැතහොත් එවැනි කඩවීම් කරන රාජ්‍යයට දඩුවම් කිරීමේ අයිතියත් පවතිනවාය යන්නයි. නීත්‍යානුකූල අයිතියක් , එය කඩන්නන්ට විරුද්ධව දඩුවම් කිරීමේ අයිතිය නැත්නම් එය තේරුම් විරහිත දෙයක් බවට පත්වේ. මේ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යම් රාජ්‍යයක් විසින් හෝ යම් පුද්ගලයෙකු විසින් කඩ කළ විට එයට දඩුවම් ලැබිය යුතු බව මෙය ජාත්‍යන්තර සම්මුතියක් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමෙන් සිදු වේ.

රටවැසියා :- ඉතින් දැන් ඔය ලංකාවේ ඇති කරල තියන ICCPR  පනතෙන් එහෙම දෙයක් සිද්ධ වෙනවාද ?

ICCPR  කතෘවරයෙක් :-    මේ පනතෙන් එහෙම දෙයක් සිද්ද වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සම්මුතියක් රටක් තුළ නීතියක් බවට පත් කර ගැනීම කරන්නේ එම ප‍්‍රඥප්තිය ගංකාවේ නීතියට ඇතුලූ කිරීම මගින්. එය කරන්නේ පනතක් හෝ ව්‍යවස්ථාව තුළන්. ඒ වගේම ඒක කරන්න පුළුවන් අධිකරණ තීන්දු තුළිනුත්. ලංකාව තුළ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ අඩංගු සියලූම කරුණු ලංකාවේ පනතක් හැටියට පත් කළ නීතියක් ඇත්තේ නෑ. ICCPR  පනතෙන් කෙරෙන්න තිබුනේ ඒකයි. එයින් ප‍්‍රකාශයට පත් කරන්න තිබුන ජාත්‍යන්තර සම්මුතියේ ඇති අයිතිවාසිකම් ලංකාවේ නීතියට ඇතුල් කරන බවත් ඒ මගින් ඒවා කඩන පුද්ගලයන්ට අපරාධ නීතිය යටතේ දඩුවම් කරන බවත් යන මූලික අදහසයි.  එහෙත් එහෙම දෙයක් සිද්ද වෙලා නෑ.

රටවැසියා:-     එහෙමනම් ICCPR  පනත කියලා ලංකාවේ තියෙන එක මොකක්ද ?

ICCPR  කතෘවරයෙක් :-
ඇත්තෙන්ම වෛරී ප‍්‍රකාශ හෝ ද්වේශසහගත ප‍්‍රකාශ එනම් Hate Speech  කියලා කියන වර්ගයේ ප‍්‍රකාශ කිරීමට විරුද්ධ පනතක් හැටියටයි.

රටවැසියා:- ඉතින් එහෙම කරන එක හොඳ නැද්ද ?

ICCPR කතෘවරයෙක් :-
එකිනෙකා කුපිත කරවා ප‍්‍රචන්ඩ ක‍්‍රියා වලට පොළඹවන ප‍්‍රකාශ නැති කිරීම සඳහාත් ඒවා නැති කිරීම සඳහාත් පියවර ගැනීම හොඳ දෙයක්. නමුත් එවැනි හොඳ දෙයකට මුවා වී වෙනත් අරමුණක් ඉටු කර ගැනීමට යාම ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතියටම විරුද්ධ කි‍්‍රයාවක්.

රටවැසියා :- එහෙම වෙනත් අරමුණක් ලංකාවේ පනතේ තියෙනවාද ?

ICCPR කතෘවරයෙක් :-
ඔව්. එහි අදහස නම්  ඕනෑම ආකාරයක මතභේදාත්මක ප‍්‍රකාශයක් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන කාලයක් ඔවුන් රිමාන්ඞ් භාරයේ තබා ගෙන සිටීම පිළිබඳව ඇති වී තිබෙන තත්වයයි.

රටවැසියා :- ඉතින් ඔය ICCPR ජාත්‍යන්තර සම්මුතිය යටතේ එහෙම කරන්න පුළුවන්ද ?

ICCPR කතෘවරයෙක් :-
ICCPR ජාත්‍යන්තර සම්මුතිය යටතේ කිසියම් කෙනෙකුට වෙනස් ආකාරයෙන් සැලකීම වරදක් කොට සලකනවා. ඒ නිසා යම් අයට වෛරයක් හෝ ද්වේශයක් ඇතිකරන ප‍්‍රකාශ පිළිබදව පියවර ගැනීමේ අයිතිය රාජ්‍යයකට පවතිනවා. නමුත් එය කළ යුත්තේ අනෙක් කරුණු වලට අදාළවයි. එනම් ජාත්‍යන්තර සම්මුතියේ ප‍්‍රධානම කරුණක් වන්නේ හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා ඇති  එකගතාවය හා උනන්දුවයි. හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම අතීතයේ සිට ලෝකයේ පැවතී ඇති ඉතා දරුණුම කි‍්‍රයාවක්. රජරුන්ගේ කාලයේදී යුරෝපයේ හා ලෝකයේ අනෙකුත් රටවලත් රජතුමාට කැමති ආකාරයට මිනිසුන් අත්අඩංගුවට ගැනීමටත්, සිරගත කිරීමටත්, මරා දැමීමටත් හැකියාව තිබුනා. මේ නිසා ලෝක යුද්ධ වලින් නැසී ගිය මිනිසුන්ට වඩා වැඩි ප‍්‍රමාණයක් නැති වී ගොස් ඇති බව ජාත්‍යන්තර නීතිවේදීහු ඔවුන්ගේ පොතපතින් පෙන්වා දී තිබෙනවා. මේ නිසා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම ඉන්පසු ඇප නොදී කාලයක් රඳවා ගැනීම ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තියට මුළුමනින්ම පටහැනියි.

රටවැසියා:- ඉතින් ඒ ගැන කරන්න පුළුවන් මොකක්ද ?

ICCPR කතෘවරයෙක් :-
ඒ ගැන පළමුවෙන්ම කළ යුතු වන්නේ ප‍්‍රඥප්තියේ එන යුද්ධයට පෙළඹවීම, ජාතිවාදී, ආගම්වාදී පෙළඹවීම් නිර්වචනය කිරීමයි. එසේ නිර්වචනය කිරීම මගින් එවැනි චෝදනාවක් කිරීමට සීමා පැනවීම, හිතුවක්කාර ලෙස චෝදනා කිරීමට ඇති අයිතිය ඒ මගින් අහෝසි වී යාමයි. දෙවැන්න වන්නේ ඇප පිළිබඳව නීතිය ඇප දීමට මහේස්ත‍්‍රාත් වරයෙකුට බලය නැතැයි කියා නීතියට ඇතුළත් කිරීම ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට ඉතා බරපතල ප‍්‍රහාරයකි. ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ පදනම වෙලා තියෙන්නේ මහේස්ත‍්‍රාත් වරුන්ගේ බලය මතයි. යම් අත්අඩංගුවට ගැනීමකදී එය හරිද වැරදිද, අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් රඳවා ගැනීමේ අවශ්‍යතාවයක් පවතිනවාද නැද්ද ආදී වශයෙන් තීන්දු කළ යුත්තේ මහේස්ත‍්‍රාත් වරයා විසිනි. මහේස්ත‍්‍රාත් තනතුරම ඇති වී තිබෙන්නේ මෙම කාරණාව වටාය. බලහත්කාරයෙන් හා හිතුවක්කාර ලෙස මිනිසුන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන ප‍්‍රබලම බලවතා මහේස්ත‍්‍රාත්වරයායි. එමනිසා මහේස්ත‍්‍රාත්වරුන්ගේ ඇප දීමේ අයිතියට පහර දීම සම්පූර්ණ අපරාධ නීති ක‍්‍රමයම අර්බුධයට හෙලනවා. මහේස්ත‍්‍රාත් තනතුර බාල්දු කරනවා. නීතිඥයන්ගෙන් ඉටු විය යුතුකම් යම් අත්අඩංගුවට ගැනීමක මුල් අවධියේම කිරීම නැති කර දමනවා. මේ ආකාරයෙන් ICCPR පනත මගින් ඉතා බලවත් ලෙස ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර දමා තිබෙනවා.

රටවැසියා :- ඉතින් මහාධිකරණයකට එම ඇප දීමේ බලය තියෙනවා නේද ?

ICCPR කතෘවරයෙක් :-
එම බලයෙන් ප‍්‍රයෝජන ගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. යමෙකු අත්අඩංගුවට පත්වූ විට මුලින්ම ඉදිරිපත් කරන්නේ මහේස්ත‍්‍රාත්වරයෙකු වෙතයි. ඔහුට ඇප දිය යුතු ද නැද්ද යන්න තීන්දු කළ යුත්තේ මහේස්ත‍්‍රාත් වරයාය. ඒ මගින් වැරදි සහගත අත්අඩංගුවට ගැනීමක් වළක්වා ලීම මුල් අවධියේම සිදු වන නිසයි. ඒ නිසා පදනම් විරහිතව මිනිසුන් රිමාන්ඞ් භාරයේ තැබීම නැති කළ හැකියි. මහාධිකරණයක් වෙත ඇප නඩුවක් දමා එයට උත්තර බැදීම් වලින් පසු අවසානයට තීන්දුවක් ලැබීමට දීර්ඝ කාලයක් ගත වන කි‍්‍රයාවකි. මේ නිසා මෙම බලය මහේස්ත‍්‍රාත්වරයාට පැවරිය යුතු අතර ඔහු නීතිය මත පමනක් පදනම් වී  ඕනෑම රටවැසියෙක්ගේ නිදහස ආරක්ෂා කිරිමේ යුතුකම ගැන තදින් හිතට ගෙන කළ යුතු තීන්දුවක් දීමට අයිතිය ඔහුට පැවතිය යුතුය. සාමාන්‍යයෙන් වෙනත් අපරාධ සම්බන්ධයෙන් එම අයිතිය ඇත්තේ මහේස්ත‍්‍රාත්වරයාටයි. ඇප නොදී සිටීම සඳහා පොදුවේ පිළිගත් යම් සීමාවන් පවතිනවා. යම් පුද්ගලයෙක් සාක්ෂිකාරයන්ට හිරිහැර කරාවිය හෝ රටින් පැනලා යාවිය යන කාරණා පවතිනවා. රටින් පැන යාම වැනි ප‍්‍රශ්නයක් ඇත්නම් ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍ර තහනම් කිරීම මගින් බොහෝ දුරට ඉටු කර ගත හැකිය. සාක්ෂිකරුවෙකුට හිරිහැර කිරීම සඳහා යම් පුද්ගලයෙකුට හැකියාවක් තිබේද යන්න තීන්දු කිරීම කළ යුත්තේ ඒ ඒ නඩුවට අදාළ කරුණු මතයි. පොදුවේ අහවල් වරදට මහේස්ත‍්‍රාත්වරයෙකුට ඇප දිය නොහැකි යැයි පවතින සීමාව විශාල අසාධාරණයට මගපාදන මාවතක්.

රටවැසියා:- මේ ගැන කරන්න පුළුවන් කුමක්ද ?

ICCPR කතෘවරයෙක් :-
මුලින්ම කළ යුත්තේ මෙම පනත සංශෝධනය කිරීමයි. ඒ මගින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ අයිතිවාසිකම් ලංකාවේ අපරාධ නඩු විධිවිධාන පනතේ ඇති සීමාවන් තුළට ගෙන ආ යුතුය. එනම් යම් අයෙක් පොලිසියට පැමිණිල්ලක් කළ පමණින්ම කෙනෙකු අත්අඩංගුවට ගැනීම නොකළ යුතුය. අත්අඩංගුවට ගත හැක්කේ පැමිණිල්ල මත පරීක්ෂණයක් පවත්වා පරීක්ෂනය මගින් යම් අපරාධයක් කර ඇත්දැයි හඳුනා ගත් පසුවයි. පොලිසිය විසින් මෙසේ කරන පරීක්ෂනය මුළුමනින්ම ලේඛනගත කළ යුතුය. මෙම අපරාධය කළ බවට තිබෙන සාක්ෂි මොනවාද ? එම සාක්ෂි වලට විරුද්ධව ඇති සාක්ෂි මොනවාද ? එම සියලූම කරුණු පරීක්ෂා කළාට පසු ඇත්තෙන්ම අපරාධයක් සිදුවුණා යැයි කියන්න තරම් තීන්දුවක් පරිණත හා වගකිව යුතු නිළධාරියෙක් හැටියට ගත්තේ ඇයි කියන කාරණයත් ඔහු අදාළ පොත් වල සටහන් කළ යුතු වේ. මේ සියල්ල අධිකරණයට වාර්තා කළ යුතුය. තුන්වනුව ඉතා පැහැදිළිව ඇපදීමේ අයිතිය නැවත වරක් මහේස්ත‍්‍රාත් වරයා සතු කළ යුතුය. මහේස්ත‍්‍රාත්වරයා දෙපාර්ශවයේම කරුණු අසා ඒවා නිසි ලෙස සටහන් කොට ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතු අතර ඔහු එම තීන්දුව ගත්තේ ඇයිද යන්න ප‍්‍රකාශයට පත් කළ යුතුය. එවිට එස තීන්දුව වැරදි නම් ඒ පිළිබඳව වහාම අභියාචනයක් කිරීමේ හැකියාව පවතිනවා. අඩුම වශයෙන් එම කරුණු සංශෝධනය කරන එක අත්‍යවශ්‍යය. ඒ වගේම අදාල සියලූම මූලික වචන නිර්වචනය කළ යුතු අතර මෙම අපරාධය කුමක්ද යන්න පැහැදිළි කිරීමට හැකි වෙනවා. මෙසේ කිරීම ව්‍යවස්ථාවේ යුතුකමයි. මා ඉහත සඳහන් කළේ වහාම කළ යුතු සංශෝධන පමනයි. එහෙත් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප‍්‍රයත්නයක් වශයෙන් ICCPR පනතක් රටට ගෙනඑනවා නම් එය කළ යුත්තේ කෙසේද යන්න ජාතික කතිකාවක් අවශ්‍ය වෙනවා. එයට හේතුව මෙය සියලූ දෙනා කෙරෙහිම බලපාන ඉතා ප‍්‍රබල දෙයක් වන නිසයි. එය පොදු යහපත සඳහා යම් වර්ධනයක් ඇති කර ගත හැකි අවස්ථාවක්. එම වර්ධනය වෙනුවට ආපස්සට යෑමක් හා මානව නිදහසට විශාල ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම පනත භාවිතා කරනවා නම් එය රටට කරන යහපතක් නොව ඉතා විශාල අයහපතක්.  

 




2019-07-04
Advertisement

Find us on Facebook