English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පති අත්ඩංගුවට


හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පති අත්ඩංගුවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා බලපෑම් අඩුකර ගැනීමට කි‍්‍රයා නොකිරීමේ චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ජූලි මස 02 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර පොලිස් රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, හේමසිරි ප‍්‍රනාන්දු කොළඹ, ජාතික රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත පූජිත ජයසුන්දර සහ හේමසිරි ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා පසුගිය 27 වෙනි දින නියෝග කර තිබිණි.

එහෙත් ජූලි 02 වෙනි දින වනතෙක් එම නියෝගය කි‍්‍රයාත්මක කිරීමක් සිදු නොවූ අතර, මෙම දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශ ලබා දෙන ලෙස දන්වා යවා තිබූ බව ද වාර්තා වේ.

නීතිපති දප්පුල ද ලිවේරා විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්නට නියම කර තිබූ අතර, පසුගිය 27 වැනිදා ලබා දුන් උපදෙස්වලට අනුව කටයුතු නොකිරීම පිළිබඳ හේතු දක්වන ලෙසත් නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන බව ද වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබාගන්නා හේමසිරි ප‍්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් භාරයේ ප‍්‍රතිකාර ලබාගන්නා බවත්, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර පොලිස් රොහල තුළ ප‍්‍රතිකාර ලබාගන්නා බවත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

මෙම දෙදෙනා පිළිබඳ තොරතුරු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කරන බව ද හෙතෙම පවසා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ණය යටතේ රෝහල් දෙකකට කණ්ඩායම් දෙකක් යවා රෝහලේ වෛද්‍යවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ජූලි 02 වන දින සවස පොලිසියේ ඉල්ලීම සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, හේමසිරි ප‍්‍රනාන්දු හා පූජිත ජයසුන්දර ජූලි 03 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළාය.

මෙම දෙදෙනා සම්බන්ධයෙන් අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය උපදෙස් ලබාදී තිබෙන අතර, ඔව්හූ මේ වන විට බන්ධනාගාර නිලධාරීන්භාරයේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙති.

ශ‍්‍රී ලංකාවේ පොලිස්පතිවරයෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ බවට වාර්තා වු පළමු අවස්ථාව මෙයයි.




2019-07-03
Advertisement

Find us on Facebook