English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨා වෙනුවෙන් විශ්‍රාමික අගවිනිසුරු පෙනී සිටියි. - අධිකරණ සේවයට තවත් කලු පැල්ලමක්ද?


අශෝක ද සිල්වා අධිකරණ සම්ප්‍රදාය බිඳ හෙලයි!

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම කැලිෆෝනියාවේ බටහිර කලාප දිසා අධිකරණයේ පවරා ඇති සිවිල් නඩුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ලේකම් වරයා වෙනුවෙන් පෙත්සමක් ශ්‍රී ලංකාවේ හිටපු 42 වන අගවිනිසුරුවරයා වන අශෝක ද සිල්වා මහතා විසින් ගොනු කරනු ලැබ ඇති බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.

එකී වෙබ් අඩවියේ වාර්තාවට අනුව මෙම පෙත්සම වර්ෂ 2019 ජූනි 27 වන දින ගොනු කොට ඇති අතර එම පෙත්සමේ අශෝක ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ 42වන අගවිනිසුරුවරයා ලෙස වර්ෂ 2009 ජූනි මස සිට වර්ෂ 2011 මැයි මස දක්වා කටයුතු කල බවත් විශේෂයෙන් සඳහන් කර ඇති බවද දැක්වෙයි.

මෙලෙස ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයෙක් විශ්‍රාම ගිය පසු තවත් පුද්ගලයෙකු වෙනුවෙන් නඩු කටයුත්තක් සඳහා පෙනී සිටින්නේ අපගේ දැනීම නිවැරදිනම් ප්‍රථම වතාවටය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට උක්ත නඩු කටයුත්තට විරෝධතා ඉදිරිපත් කිරීමට ඇති අයිතියට අප ගරු කරන නමුත් එකී විරෝධතා පෙත්සම හිටපු අගවිනිසුරුවරයකු මගින් ඉදිරිපත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම ශතවර්ශයකට අධික කාලයක් විවිධ හැලහැප්පිලි මැද රැකගත් අධිකරණ සම්ප්‍රදාය බරපතළ කම්පනයකට ලක් කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 (3) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ මෙසේයි.

 “ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් හෝ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් ස්ථිරව ධූරය දැරූ කිසිම තැනැත්තකු, ජනාධිපතිවරයාගේ ලිඛිත කැමැත්ත නොමැතිව කවර වූ හෝ අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක නීතිඥවරයකු වශයෙන් පෙනී සිටීම, උත්තරවාද ඉදිරිපත් කිරීම, ක්‍රියා කිරීම හෝ වෘත්තියෙහි යෙදීම නොකළ යුතුය.”

අප දන්නා තරමින් ජනාධිපතිවරයකු හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාට ඉහත කී ලිඛිත කැමැත්ත ප්‍රදානය කර නොමැත. ඒ අනුව නම් හිටපු අගවිනිසරුවරයාට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥයකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් නොමැත. හිටපු අගවිනිසුරුවරයාට මේ සම්බන්ධයෙන් යම් නෛතික පිළිතුරක් තිබිය හැකි වුවත්, මෙම පෙනී සිටීම මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ සම්ප්‍රදාය බරපතළ කම්පනයකට ලක් කරයි.

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික අගවිනිසුරුවරයකු මෙලෙස වෙනත් රාජ්‍යයක පහළ අධිකරණයක විනිසුරුවරයකු ඉදිරයේ පෙනී සිටීම මගින් ශ්‍රි ලංකා රාජ්‍යයත් එහි අධිකරණ පද්ධතියේ ධූරාවලියත් යම් හෑල්ලු කිරීමක්ද සිදු වෙයි. අනෙකුත් හිටපු අගවිනිසුරුවරුන්ද, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ද මෙලෙස පෙනී සිටීම ආරම්භ කලහොත් තත්වය කුමක් වනු ඇතිද?

--දුලාන් දසනායක




2019-07-02
Advertisement

Find us on Facebook