English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහේස්ත‍්‍රාත්වරුන්ගේ රාජකාරියේ ඇති සාමාජීය වැදගත්කම - බැසිල් ප‍්‍රනාන්දු


ලංකාවේ අධිකරණ පද්ධතියේ යටින්ම පිහිටන්නේ මහේස්ත‍්‍රාත් අධිකරණයන්ය. මේ නිසා සමහරුන් හිතන්නේ මහේස්ත‍්‍රාත්වරුන් අතින් සිදු වන කාර්යය අධිකරණ වලින් සිදුවන කාර්යයට වඩා අඩු වැදගත්කමකින් යුතු බවය. එහෙත් එය සත්‍යයෙන් තොරය. ඇත්තෙන්ම ජනතා ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිම බරක් පැටවෙන්නේ මහේස්ත‍්‍රාත් අධිකරණ වලටය. එම නිසා මහේස්ත‍්‍රාත් වරුන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් සලකා බැලීම ජනතා ආරක්ෂාව සඳහා රාජ්‍යය මත පැවරෙන වගකීම් පිළිබඳ සාකච්ඡුාවේදී ඉතා වැදගත් තැනක් ගත යුතු තේමාවකි.

ජනතා ආරක්ෂාවේ ප‍්‍රශ්න වලදී එම ප‍්‍රශ්න මුලින්ම අධිකරණයක් ඉදිරියට එන්නේ මහේස්ත‍්‍රාත් අධිකරණයක් තුළදීය. මහේස්ත‍්‍රාත් අධිකරණයක ගන්නා තීරණ තුලින් සමාජය තුළ ස්ථාවරත්වයක් පවත්වා  ගෙන යාම සඳහා විශාල සේවයක් කළ හැකිය. ප‍්‍රශ්නයක් මුල් වතාවට අධිකරණයක් ඉදිරියට ආ විට ඒ පිළිබදව ගත යුතු නෛතික පියවර නිසි ලෙස ගැනීම තුළින් ජනතාවට මෙන්ම රාජකාරි කරන නිළධාරින්ට ද ඉතා පහසු තත්වයක් ඇති කර ගත හැකිය. එම පහසුකම ඇති කර ගැනීම තුළ වඩාත් දුරදිග ගියොත් විශාල ප‍්‍රශ්න බවට හැරිය හැකි බොහෝ දේ මුල් අවධියේදීම සමහන් කර ගැනීමට හැකි වේ. එමෙන්ම ජනතාවගේ විශ්වාසය ද තහවුරු වේ. ජනතාවට අවශ්‍ය ආත්ම විශ්වාසය අධිකරණයක් තුළින් ගොඩනැගෙන්නේ එම ජනතාව තුළ තමන්ට මතු විය හැකි ගැටලූවක් නිසි ආකාරයෙනුත් එමෙන්ම ඉක්මන් ආකාරයෙනුත් සිදු කර ගැනීමට හැකි වනු ඇත යන්න නිර්මාණය වූ විටය.

එමෙන්ම මහේස්ත‍්‍රාත් වරයෙකුගේ බල ප‍්‍රදේශය තුළ ඇති පොලිස් ස්ථාන වල විනය හා සංයමය මෙන්ම නීතිගරුක භාවය ද තහවුරු කිරීම මහේස්ත‍්‍රාත් වරුන්ගේ කාර්යය තුළින් සිදු වේ. අපරාධ පිළිබද සියලූම තොරතුරු මුල් අවධියේ සිටම වාර්තා කළ යුතු වන්නේ මහේස්ත‍්‍රාත් අධිකරණයටය. එම තොරතුරු මත මහේස්ත‍්‍රාත් තුමා විසින් කරනු ලබන නියෝග මගින් පොලිසියේ සියලූ කටයුතු නෛතික රාමුවක් තුළ කෙරෙන බවට වගබලා ගත හැකිය. යම් දේවල් නිසි ආකාරයට නොකෙරෙන්නේ නම් හෝ යම් අකාර්යක්ෂමතාවයක් හෝ නොසැලකිල්ලක් දක්වන්නට පටන් ගතහොත් ඒ පිළිබඳව අවශ්‍ය අණකිරීම් තමන්ගේ බලය යොදා ගනිමින් ඉටු කිරීම තුළින් මහේස්ත‍්‍රාත් වරයා පොලිසිය සීරුවෙන් තබා ගැනීමේ කටයුත්තට හවුල් වේ.

මෙවැනි ඉතා වැදගත් රාජකාරියක් සිදු කරන මහේස්ත‍්‍රාත්වරුන්ට පසුගිය දශකයන් වලදී විිවිධාකාර ප‍්‍රශ්න වලට මුහුණ දීමට සිදු වූ  අතර ඒ මගින් මහේස්ත‍්‍රාත්තුමන්ලා විසින් ඉටු කළ යුතු ඉතා වැදගත් සමාජීය යුතුකම් වලට තර්ජන එල්ල වී ඇත. මේ නිසා එයට හේතු වූ සමහර කරුණු සාකච්ඡා කිරීම වටී.

වැඩ ප‍්‍රමාණය අධික වීම

වැඩ ප‍්‍රමාණය අධික වීම සිදුවන්නේ පොලිස් ස්ථාන වලින් ගොනු කරනු ලබන නඩු වාර්තා ගණනාවක් නොකඩවාම අධිකරණය තුළට ගලා ඒම නිසාය. පවතින අධිකරණ වල ඇති සීමාව නිසා මෙසේ විශාල නඩු ප‍්‍රමාණයක් ගොනු වීම වැලැක්විය නොහැකි කරුණක් සේ පවතී. මෙම කරුණට මුහුණ දිය හැකි ක‍්‍රම දෙකක් නම්, අධිකරණ වල ප‍්‍රමාණය වැඩි කිරීම  හා පවතින අධිකරණ තුළම හෝ සේවය කරන මහේස්ත‍්‍රාත්වරුන්ගේ ගණන වැඩි කිරීම මගිනි.  මේ මාර්ගයෙන් සිදුවන වැඩ බෙදා ගැනීමක් ඔස්සේ දිනපතා නඩු එකතු වීම තුළින් ඇති වන ආතතිය වළක්වා ගත හැකිය.

එමෙන්ම නූතන තාක්ෂණය යොදා ගැනීම තුළින්ද එන නඩු ඉක්මනින් වර්ගීකරණය කිරීමටත් ඒවා පිළිබඳ අවශ්‍ය තීන්දු ඉක්මනින් ලබා දීමටත් හැකිය. අද ලෝකයේ බොහෝ රටවල් දෙස බලන කළ පැහැදිළිව පෙනී යන්නේ අධිකරණයේ ගැටලූ විස`දා ගැනීම සඳහා නූතන තාක්ෂණය වෙත යොමු වී ඇති ආකාරයයි. පරිගණක භාවිතය ඉතා සුලභ අත්දැකීමක් බවට පත්වී ඇති ලෝකයක මේ ආකාරයට මහේස්ත‍්‍රාත් අධිකරණ තුළද තාක්ෂණය යොදා ගැනීම තුළින් මහේස්ත‍්‍රාත් වරයාගේ කාර්යය පහසු වනවා පමනක් නොව අදාල වෙනත් නිළධාරීන්ගේත්, නීතිඥවරුන්ගේ මෙන්ම පොදුවේ අධිකරණය වෙත නඩු සදහා පැමිණෙන අයගේත් පහසුව විශාල වශයෙන් ඇති කළ හැකිය.

මෙම තාක්ෂණ දියුණුව ඇති කිරීම විශාල වශයෙන් මුදල් වැය කළ යුතු කාර්යයක් නොවේ. ඊට අවශ්‍ය වන්නේ අදාළ පරිගණක ආදී තාක්ෂණික මෙවලම් ලබා දීමට යන වියදමත් අනිත් අතින් මෙම තාක්ෂණය භාවිතා කිරීම සඳහා විධික‍්‍රමයන් ගොඩ නගා ගැනීමත්ය. දැන් බොහෝ රටවල අධිකරණ තුළ වෙනමම තාක්ෂණ අංශ පිහිටුවා ඇත. පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම හා අත්දැකීම ඇති අයවලූන් විසින් එම තාක්ෂණ රාමුව පවත්වා ගෙන යනු ලැබේ. එවැනි සේවයට යොමු කර ගත හැකි බොහෝ දෙනා දැන් ලංකාවේ සිටිති. එසේ වූයේ පසුගිය දශකයන් තුළ ලොකයේ ඇති වූ තාක්ෂණික දියුණුව තුළින් ලංකාවේ ද විවිධ තාක්ෂණ ආයතන තුළින් එම දක්ෂතා ප‍්‍රගුන කර ගත් පිරිසක් බිහිවීම නිසාය.

තාක්ෂණය පිළිබඳව බලපාන ගැටලූව නම් මහේස්ත‍්‍රාත්වරයා ඇතුලූව අධිකරණය තුළ සේවය කරන නිළධාරීන් ද මෙම තාක්ෂණය පාවිච්චි කිරීමට පුහුණු කිරීම එය විනය පිළිබඳ ප‍්‍රශ්නයක් සේ සැලකීම අවශ්‍යය. අතීතයේදී යම් අධිකරණ වලට පරිගණක ලබා දීම සිදු කර තිබුණත්  ඒවා පාවිච්චි කිරීමක් සිදු නොවන බව දැනගන්නට ඇත. එය සමහරවිට  දැනට පවතින පුරුදු නිසා ඇති වන්නට ඇත.

දැනට ලියවිලි පවත්වා ගෙන යාම පිළිබඳව වෙනසක් ඇති කිරීමට උනන්දුවක් අත්‍යවශ්‍ය කරුණක් සේ පවතී.  ඕනෑම නව අදහසක් ක‍්‍රියාත්මක වන්නේ ඒ පිළිබඳව උනන්දුවක් අදාල නිළධාරීන් තුළ ඇති කරනතාක් පමණි.

මෙම අධිෂ්ඨානය ඇති කර ගැනීමට බාධා වන සුලූ ප‍්‍රශ්න ඇත. ඒවානම්, දැනට පවතින අඩු වේතන ක‍්‍රමයන් නිසා යතුරුලියන භාවිතය තුළින් යම් සුලූ ආදායමක් වැඩිපුර ලබා ගැනීමට සමහර ලිපිකරුවන් හා වෙනත් එවැනි නිළධාරීන් පෙළඹවීමට ඇති ඉඩකඩ තිබේ. මෙය අධිකරණයේ ගාමක බලය ඉක්මන් කිරීමට ඇති බාධාවක් යැයි බොහෝ නීතිඥයෝ පෙන්වා දෙති. මෙම කරුණ පිළිබඳව ඉහළ නිළධාරීන්ගේ අවශ්‍ය අවධානය යොමු වුවහොත් ඉතා කෙටි කාලයක් තුළ තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය වන උනන්දුව හා අධිෂ්ඨානය ඇති කළ හැකිය.

මේ මාර්ගයෙන් නඩු ගොනු කිරීම හා ඒවා පිළිබඳ අවශ්‍ය සියලූ තොරතුරු කෙටිකාලයක් තුළ ලිඛිතව ලබා ගැනීම තුළින් අදාළ මහේ්ස්ත‍්‍රාත් වරයාට ඒ පිළිබ`දව නෛතිකව ගත යුතු තීන්දු ඉක්මනින් ගැනීමට හැකියාවක් ඇති වන අතර එය අධිකරණයක් තුළ නඩු ගොනු වීම මගින් නඩු කල් යාමට ඇති ප‍්‍රවණතාවය අඩු කර ගත හැකිය.

එම ගාමක ශක්තිය ඇති කර ගැනීමට සමහර නීතිඥයන් තුළ ඇති පළපුරුදුකම් ද වෙනස් කිරීම සඳහා ඔවුන් උනන්දු කළ යුතුව ඇත. එය ලෙහෙසියෙන් කළ හැකි දෙයකි. තාක්ෂණය දක්ෂ ලෙස පාවිච්චි වන වෙනත් රටවල දක්නට ඇත්තේ තාක්ෂණය පිළිබඳ අදාළ විධිවිධාන යොමු කිරීම මගින් නීතිඥයන්ට මෙන්ම අනෙක් අයටද එයට හැඩ ගැසීමට සිදුවේ. එය ස්වභාවික දෙයකි. කරත්තයක ගිය අයෙකුගේ ඇති ගතිගුණ නූතන රථවාහනයක් පාවිච්චි කරද්දී වෙනස් වේ. අලූත් වාහනය තුළ ඇති ගාමක ශක්තියට අනුව හැඩ ගැසීමට බැරි වුවහොත් එම වාහනය පාවිච්චි කර ගැනීමට බැරි වේ. අපේ අධිකරණ පද්ධතිය තුළද මෙම ගැටලූව පවතී. එය නිරාකරණය කර ගැනීම සඳහා ඉහළ නිළධාරීන් තුළ තාක්ෂණය යොදා ගැනීම සඳහා දැඩි උනන්දුවක් ඇති කිරීම මෙන්ම මේ පිළිබඳව ඇතිවන සමාජ කතිකාවක් තුළින් ජනතාව මෙය ඉල්ලා සිටින තත්වයක් ඇති කළ යුතුය.

මහේස්ත‍්‍රාත්වරුන්ගේ බලය පිළිබඳ ප‍්‍රශ්න

මහේස්ත‍්‍රාවරයෙකු සතු යුතුකම් අතර ප‍්‍රධාන යුතුකම වන්නේ යම් අයෙකු අත්අඩංගුවට ගැනීම නීති්‍යානුකූලද එමෙන්ම ඔහු රඳවා ගැනීමට පොලිසිය මගින් කරන ඉල්ලීම කොතෙක් දුරට නෛතික පදනමක් ඇත් ද කොතෙක් දුරට ඒවා සාධාරණ ද යන්න පිලිබඳව නිසියාකාර නෛතික තීන්දු ගැනීමෙනි. මෙසේ තීන්දු ගැනීමට බාධක වන කරුණු රාශියක් රටේ පසුගිය දශකයන් තුළ සිදු වූ කලබලකාරී තත්වයන් නිසා උද්ගත විය. අධිකරණයත් පොලිසියත් අතර පැවතුනු සම්බන්ධය තරමක් දුරට ලිහිල් වීමක් සිදු විය. ඊට හේතුව නම් අධිකරණයේ නියෝග නොතකා හැරීමේ විවිධ උපක‍්‍රමයන් අදාල පොලිස් නිළධාරීන් තුළ වර්ධනය වීම නිසාය. රාජ්‍ය තන්ත‍්‍රය තුළ වැඩි බලය ඇත්තේ මහසේත‍්‍රාත්තුමාට බවත් මහේස්ත‍්‍රාත්වරයා ගේ රාජකාරියට සහාය දීම පොලිසියේ ඉතා වැදගත් කාර්යයක් බවත් එම කරුණ පිළිබ`දව තිබූ සම්ප‍්‍රදායක අදහස් පසුගිය කාලය තුළ යම් ගැටලූ වලට භාජනය විය. විශේෂයෙන්ම ආරක්ෂාව පිලිබඳ ප‍්‍රශ්න වලට පොලිස් නිලධාරීන් යොදවා ගැනීම නිසා ඇති වූ එක් පුරුද්දක් නම් අධිකරණයේ කර්තව්‍යයට සහාය දීමට වඩා ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න කරා යොමු වීම වැඩි වැදගත්කමක් ඇතැයි යන අදහසක් සමහර පොලිස් නිළධාරීන් තුළ ඇති වීමත් ඒ මගින් තමුන් විශේෂ රාජකාරියකට යනවාය යන කරුණ අධිකරණයට වාර්තා වීමට සලස්වා එම අවස්ථා වලදී ඔවුන් අධිකරණයට නොපැමිණෙන තත්වයක් ඇති වීමත්ය. මෙම මහේස්ත‍්‍රාත් වරයෙකුගේ යුතුකම් ඉටු කර ලීමට අත්‍යාවශ්‍ය කොන්දේසිය නම් මහේස්ත‍්‍රාත්වරයාගේ තනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් දරන අදහස් නීතිය මත පදනම් වූ ඒවා විය යුතු අතර එම මහේස්ත‍්‍රාත් තුමාගේ නියෝග පිළිපැදීම නිතරම සිදුවිය යුතුය. එසේ නොවුවහොත් ඒ තුළින් විශාල අසහනයන් නඩු වලට පැමිණෙන පුද්ගලයන්ට පමණක් නොව සමාජය තුළද පැතිරේ. මහේස්ත‍්‍රාත්තුමාට පොලිසියෙන් සලකන ආකාරය තුළින් එතුමාගේ නිළය හා බලතල පිළිබඳව අදහස් රෝපනය වේ. මහේස්ත‍්‍රාත්තුමාගේ බලය නොතකා හරින තත්වයක් රජයේ නිළධාරීන් තුළින් සිදුවීම පටන් ගතහොත් එය සමාජයේ විනයට ඉතා ගැටලූ ඇති කරයි.

ඇප දීම පිලිබඳ ප‍්‍රශ්න

පසුගිය දශකයන් තුළ විවිධ අපරාධ ක්ෂේත‍්‍රයන් පිළිබඳව ඇප දීමේ බලය මහේස්ත‍්‍රාත්වරයාගෙන් පැහැර ගැනීමට නීති වෙනස් කිරීමක් සිදු වී ඇත. එවැනි නීති තුළින් කියැවෙන්නේ මෙම අදාළ අපරාධය සම්බන්ධයෙන් ඇප ගැනීම සිදු විය යුත්තේ මහාධිකරණයකින් යනුවෙනි. මෙය බොහෝ දුරට පදනම් විරහිත නෛතික සම්ප‍්‍රදායක් ඇති කරයි.

මහාධිකරණයක විනිසුරුකරුවෙකු වාගේම මහේස්ත‍්‍රාත්තුමෙකුට ද යමෙක් රඳවා ගැනීම නෛතික වශයෙන් සුදුසු ද නැතහොත් නුසුදුසු ද යන්න පිළිතුරු දීමට හැකියාවක් ඇත. මහේස්ත‍්‍රාත් වරුන් පත් කරනු ලබන්නේ ඔවුන්ගේ නීතිමය අධ්‍යාපනය හා ඔවුන් ලබා ඇති පළපුරුද්ද යන පදනම මතය. මේ නිසා යම් අයෙකුට ඇප දීම සුදුසු ද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාව මහේස්ත‍්‍රාත්වරයා තුළින් ගෙන මහාධිකරණයකට පැවරීමෙහි නෛතික සාධාරණත්වයක් ඇත්තේ නැත.

මෙසේ මහාධිකරණයකින් ඇප ලබා ගත යුතුය යන්නට පදනම වෙන්නේ එක්තරා කාලයක් යම් බරපතල යැයි කියනු ලබන අපරාධයක් සිදු කළ විට එසේ සිදු කළා යැයි සැක කරන පුද්ගලයා රිමාන්ඞ් භාරයේ තබා ගැනීමට මාවතක් සැලසීම සඳහාය. අපරාධය කොතරම් බරපතල වුවත් එම අපරාධය නඩු විභාගයකින් සැකයෙන් තොරව ඔප්පු කරන තුරු  ඕනෑම පුද්ගලයෙකුගේ අහිංසකභාවය පිළිගැනීම අපේ නීතික‍්‍රමයේ මූලික පදනමක් වේ. මෙම පදනම නොතකා පුද්ගලයන් දීර්ඝකාලීනව රිමාන්ඞ් භාරයේ තබා ගැනීමට අවශ්‍ය නම් ඒ බව නීතිගත කළ යුතු අතර එය වක‍්‍රාකාරයෙන් සිදු කර ගැනීම අධිකරණ පද්ධතියට ගැටලූ ඇති කරයි. සමහර අවස්ථා වලදී ත‍්‍රස්තවාදය පිළිබඳව ප‍්‍රශ්න කරන විට එවැනි දේ සඳහා පුද්ගලයන් රඳවා ගැනීමේ කාලය සාධාරණ ආකාරයකින් දිග්ගැස්සීම අවශ්‍ය විය හැකිය. මෙවැනි අපරාධ පරීක්ෂණ පැවැත්වීම ඉතා අපහසු කාර්යයක් වන නිසාත් එවැනි පුද්ගලයෙක් සමාජයේ නිදැල්ලේ හැසිරීම තුළින් තවත් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට ඔහු යොමු විය හැකි නිසාත් සමහර අවස්ථා වලදී මෙවැනි විශේෂ විධිවිධාන යෙදීම සිදු විය හැකිය. ඒවා නෛතික වශයෙන් ඉතා පැහැදිළිව කළ යුතු ඒවා මිස වක‍්‍රාකාරයකින් මෙම අධිකරණයෙන් නොව ඊට වඩා ඉහළ අධිකරණයකින් ඇප ගත යුතුය යන නියෝග පැනවීම තුළින් ගැඹුරු නෛතික ගැටලූ ඇතිවේ. එමෙන්ම මහේස්ත‍්‍රාත්වරයාගේ බලය පිළිබඳවද ව්‍යාකූලත්වයක් පැන නගී.

සාමාන්‍ය නීතිය තුළ ඇප නොදී සිටීම සඳහා පිළිගත් සමහර කරුණු ඇත. ඒවා නම් යම් අයෙකුට ඇප දුනහොත් ඔහු හෝ ඇය මගින් ඔවුන්ට විරුද්ධව පැමිණිලි කළ අයට හා සාක්ෂිකරුවන්ට බරපතල තර්ජන කිරීමට හැකියාවක් ඇත යන කරුණ ඉන් එකකි. මෙය  ඕනෑම අපරාධයක් පිළිබඳව බලපායි. මෙහිදී ඔහුගෙන් ඇත්තෙන්ම එවැනි තර්ජනයක් ඇත යන්න ඔප්පු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම පොලිසියේ යුතුකමකි. එම ඉදිරිපත් වන කරුණු සළකා බලා මහේස්ත‍්‍රාත්වරයා ඒ අනුව අදාල පියවර ගනී.  ඇත්තවශයෙන්ම එවැනි තර්ජනයක් නොමැති අවස්ථා වලදී පොලිසිය යම් අයෙකු ටික කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීම සඳහා කරන ඉල්ලීම් වල නීත්‍යානුකූලභාවය සලකා බැලීමේ වගකීමද පැවරෙන්නේ මහේස්ත‍්‍රාත්වරයාටය.

මහේස්ත‍්‍රාත්වරයෙකුගේ ප‍්‍රධානම යුතුකම වන්නේ තමන් ඉදිරියට එන සැකකරුවාගේ අයිතිවාසිකම් සීමා කිරීමක් කරන්නේ නම් එය පිළිගත හැකි නෛතික පදනම මත කළ යුතු බවය. මහේස්ත‍්‍රාත්වරයෙකු විසින් සැකකරුවකුගේ අයිතිවාසිකම් රැුකීමත් ඔහු අදාළ නෛතික කාර්යය සඳහා අධිකරණයකට පැමිණෙනවා ය යන්න තහවුරු කිරීමත් කළ යුතු ප‍්‍රධාන යුතුකමකි. මෙය බැ?රුම් තීන්දු ගැනීමකි. මේ සඳහා අවශ්‍ය නිදහස මහේස්ත‍්‍රාත්වරුන්ට තිබිය යුතු අතර එම නීති කටයුත්තට සහයෝගය දීම සියලූ දෙනාගේම යුතුකමකි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳුම් ලැබූ යම් නඩු වලදී පවා මෙම කරුණු පිළිබඳව සාකච්ඡාවට භාජනය වී ඇත. හුදෙක්ම පොලිසියෙන් හෝ පැමිණිලි කරුගෙන් කෙරෙන ඉල්ලීම මත පමනක්ම ඇප පිළිබඳ තීන්දු නොගත යුතු බවත් අදාළ කරුණු සළකා බලා ඒ පිළිබඳව තීන්දු ගත යුතු බවත් මෙම නඩු තීන්දු වලින් තහවුරු කොට ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ආරක්ෂා කිරීම

යමෙකු අත්අඩංගුවට ගත යුත්තේ ඒ පිළිබඳ සාධාරණ හේතු පවතින තාක් දුරට පමනි. හුදෙක්ම යම් අයෙක් විසින් පැමිණිල්ලක් කළ පලියට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත. අදාළ පැමිණිල්ල භාරගන්නා පොලිසිය විසින් සිදු වුනා යැයි කියන අපරාධයත් ඒ අපරාධයට සැකකරුවාගේ ඇති සම්බන්ධයත් එයට සම්බන්ධ සාක්ෂි එකතු කොට ඇත්තෙන්ම මෙම සැකකරු ගැන සැක කිරීමට තරම් කරුණක් ඇද්ද යන්න නිගමනය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ගත යුතුය. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගන්නා තීන්දු වල නිවැරදි භාවය අදාළ සහකාර පොලිස් අධිකාරීවරුන් විසින් විමර්ශනයට නිතරම භාජනය කළ යුතුය. කිසිවකු නිකරුනේ අත්අඩංගුවට නොගැනීම අපරාධ පිළිබඳ නීතියේ ඉතා තදින් ස්ථාවර කර ඇති පදනමකි.
 
අදාළ සාක්ෂි තාක්ෂණය මගින් ලිඛිතව ලබා ගැනීම සඳහා කටයුතු යෙදීම තුළින් මහේස්ත‍්‍රාත් තුමෙකුට තමන් ගන්නා තීන්දුවට අදාළ සියලූම කරුණු කෙටි කාලයක් තුළ ගොනු කර ගත හැකිය. එමෙන්ම බරපතල ප‍්‍රශ්න සම්බන්ධයෙන් නීතිඥවරුගේ මැදිහත්වීම් බොහෝ දුරට ලිඛිතව කිරීමට මාවත සැලසීම මගින්ද අනවශ්‍ය ලෙස නඩු පිළිබඳ වාචික සාකච්ඡුා පැවැත්වීම අඩු කළ හැකිය. වාචිකව කරුණු දැක්වීමේ අයිතිය නීතිඥ වෘත්තියට අයිති වරප‍්‍රසාදයකි. එහෙත් එහි අවශ්‍යතාවය අතීතයේ පැවතුණු ආකාරයෙන්ම කර ගෙන යාමට අවශ්‍යතාවයක් නැත. අද තාක්ෂණය මගින් අදාළ දේශන වලට අදාල වන මූලික කරුණු හා අදාල නීතිය මෙන්ම නඩු තීන්දු වලදී දී ඇති තීන්දු අධිකරණයට ඉදිරියට ගෙන ඒම ඉතා පහසු කාර්යයක්ව පවතී. මේ මාර්ගයෙන් මහේස්ත‍්‍රාත් තුමා ඉදිරියට අදාල සියලූම කරුණු කෙටි කාලයක් තුළ ගොනු කර ගත හැකි වන අතර ඒ මගින් අත්අඩංගුවට ගැනීම සාධාරණ ද නැද්ද තවදුරටත් රඳවා ගැනීමට තරම් හේතුවක් තිබේද නැද්ද ආදී කරුණු පිළිබඳව නිසි පියවර ගැනීමට හැකි වේ.

අත්අඩංගුවට ගන්නන් පිළිබඳව මහේස්ත‍්‍රාත්වරුන් සතු තවත් වගකීමක් නම් අත්අඩංගුවට ගත් කාලය තුළදී ඔවුන්ට වධහිංසා කිරීමක් සිදු වී තිබේද නැද්ද යන්න පිළිබඳව සලකා බැලීමය. විශේෂයෙන්ම ලංකාව පුරා පැතිරී පවතින වධහිංසාව ඉතා සුලභ සිද්ධියක් වන හෙයින් එය නැති කිරීම සඳහා මහේස්ත‍්‍රාත්තුමන්ලාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍යම කොන්දේසියක් වේ. නිසිලෙස පහරදීම් පිළිබඳව මෙන්ම අදාළ කාලයට වඩා වැඩි කාලයක් යමෙකු පොලිස් ස්ථානයක් තුළ රඳවා ගෙන තිබේද යන්න සලකා බැලීම ආදිය සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඒ පිළිබඳව අවශ්‍ය තීන්දු ගැනීම තුළින් අදාළ පුද්ගලයාට පමනක් නොව පොලිස් නිළධාරීන්ගේ විනය දියුණු කිරීම සඳහාද සමාජ සාමය දියුණු කිරීම සඳහාද මහේස්ත‍්‍රාත් තුමෙකුට කළ හැකි සේවය ඉමහත්ය.

සමාජය තුළ මහේස්ත‍්‍රාත්වරුන්ගේ කාර්යය පිළිබඳව ඉතා ප‍්‍රබල මහජන මතයක් ඇති කළ යුතුව ඇත. ඒ මගින් එතුමන්ලාගේ කාර්යයේ ඇති ඉතා බරපතල ස්වභාවය හා වැදගත්කම මහජනයා තුළට ඒත්තු කර දීමට හැකි වනු ඇත. එහෙත් අවසාන වශයෙන් එම ඒත්තු ගැන්වීම සිදු වන්නේ කොතෙක් දුරට මහේස්ත‍්‍රාත්වරුන් මෙම යුතුකම් ඒ ආකාරයෙන්ම ඉටු කරනවාද යන කරුණ ද දෙවනුව මහේස්ත‍්‍රාත් වරුන්ගේ බලය සීමා කිරීම සඳහා  ඇති නීති අවලංගු කර දැමීම තුළය. රටේ සියලූම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා මෙය ආධාරකයක් වෙයි.

විශේෂයෙන්ම ප‍්‍රකාශනයට ඇති අයිතිය හා සංවිධානය වීමට ඇති අයිතිය තහවුරු වන්නේ අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් නැති කර ගැනීමට තරම් නීති ක‍්‍රමය තුළ ශක්තියක් පවතින බව ජනගත කිරීමෙන් පමනි.

මහේස්ත‍්‍රාත් අධිකරණයක ජනතාව වෙනුවෙන් තිබිය යුතු පහසුකම් පවතිනවාද යන්න සොයා බලා ඉහළ නිළධාරීන් විසින් ගත යුතු පියවරය. උදාහරණයක් වශයෙන් රිමාන්ඞ් භාරයේ සිට ගෙන එන සැකකරුවන්ට මෙන්ම නඩු සඳහා එන පුද්ගලයන්ටද අවශ්‍ය වැසිකිළි හා වෙනත් පහසුකම් පවතිනවාද යන්න සොයා බැලිය යුතුය. මේ සියල්ල අධිකරණයේ ගරුත්වය පිළිබඳ ප‍්‍රශ්නයකි. බාහිර වශයෙන් පවා අධිකරණය ඉතා හොඳින් පවත්වා ගෙන යන සමාජ සංස්ථාවක්ය යන්න ජනගත කිරීම අවශ්‍ය වේ. එමෙන්ම නඩු වලට පැමිණෙන්නට අවශ්‍ය පහසුකම් හා පිරිසිදු කමද රැුක ගැනීම අධිකරණ පද්ධතියක් කෙරෙහි ජනතාවගේ පැහැදීම මෙන්ම කීකරුකම ලබා ගැනීම සඳහා ද අත්‍යවශ්‍ය කරුණකි. මෙම කරුණු අද ලෝකයේ බොහෝ අධිකරණ පද්ධති වල පවත්වා ගෙන යනු ලබයි.



     බැසිල් ප‍්‍රනාන්දු













2019-07-02
Advertisement

Find us on Facebook