English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සාෆි අත්අඩංගුවට ගත් පැමිණිල්ල ගැනත් වංචාවක් CD විමර්ශනයෙන් හෙළිවෙයි


සාෆි අත්අඩංගුවට ගත් පැමිණිල්ල ගැනත් වංචාවක් CD  විමර්ශනයෙන් හෙළිවෙයි


වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි 24 වනදා කුරුණෑගල රෝහලේදී එහි වෛද්‍යවරුන් හතර දෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශ මත පදනම් වෙමින් බව කුරුණෑගල පොලිසිය ප්‍රකාශ කළත් එයත් බොරුවක් සහ වංචාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයෙන් හෙළිවී තිබේ. 

කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ තොරතුරකට අනුව දිවයින පුවත්පත විසින් "තව්හිද් ජමාත් වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම්වලින් පසු සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ කරලා" මැයෙන් නම් ගම් රහිත පුවතක් පළ කර තිබුණේ මැයි 23 වනදාය. අදාළ වෛද්‍යවරයා යනු සහාබ්දීන් සාෆි බව හැඟවෙන පරිදි මහාචාර්ය චන්න ජයසුමන විසින් ෆේස්බුක් සටහනක් එදිනම සවස තබන අතර වෛද්‍යවරයා අත් අඩංගුවට ගනු ලැබුවේ මැයි 25 වනදා අළුයම වන විටය. 

කුරුණෑගල පොලිසිය වෙත ප්‍රකාශ ලබාදුන් බව කියූ වෛද්‍යවරුන් හතරදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රශ්න කිරීමේදී ඔවුන් ද මුලින් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම ප්‍රකාශ කුරුණෑගලදී මැයි 24 වනදා පොලිසිය වෙත ලබාදුන් බවයි. 

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකථන දත්ත වාර්තා ඔවුන් හමුවේ තැබීමෙන් අනතුරුව පාපොච්ඡාරණය කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් එම ප්‍රකාශ ලබා දුන්නේ සාෆි වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමෙන් දින දෙකකට පසුව ගම්පහ ප්‍රදේශයේදී බවය. 

මේ අනුව සාෆි වෛද්‍යවරයාව කුරුණෑගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මොනම ආකාරයේවත් පැමිණිල්ලකින් තොරව හුදෙක් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ වුවමනාව අනුව බවත් පසුව එය වසන් කිරීම සඳහා අධිකරණය ඇතුළු සමස්ත නීති පද්ධතියම නොමඟ යවන ආකාරයෙන් ව්‍යාජ දින සහ ස්ථාන යොදා පැමිණිලි සකස් කරගෙන ඇති බවත් ඔප්පු වී තිබේ. 

ප්‍රශ්නය වන්නේ මෙවන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු තවදුරටත් තනතුරේ හිඳිනවා පමණක් නොව මේ සියල්ලෙන් පසුවත් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික්කයට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය ද පවරා දී තිබීමය. 

www.lankanewsweb.net/sinhala





2019-06-30
Advertisement

Find us on Facebook