English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දණ්ඩනය එපා!


මරණ දණ්ඩනය එපා!

සමාජ කි‍්‍රයාකාරීන් පිරිසක් විසින් සංවිධානය කරන මරණ දඩුවමට විරුද්ධ වූ විරෝධතා ව්‍යාපාරයක් ජූනි 28 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී සිදුවිය. ඒ සඳහා සිවිල් කි‍්‍රයාකාරීහූ රැුසක් සහභාගි වී සිටියහ. රටපුරා නැගී එන මරණ මඩුවමට එරෙහි විරෝධතාවයෙහි පළමු පියවර මෙය ලෙස සැලකිය හැකිය. දැනටමත් විවිධ සංවිධාන සිවිල් ව්‍යාපාරයන් විසින් විරෝධතාවයන් සංවිධානය කරමින් සිටියි. පහත දැක්වෙන්නේ ඔවුන් විසින් මරණ දඩුවම සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයයි.

පසුගිය ජූනි 26 වන දින, ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදි කරුවන් වූ සතර දෙනෙකුව ඉදිරි දෙසතිය තුල එල්ලා මැරීමට තමන් විසින් ලිඛිත අනුමැතිය ලබා දුන් බවයි. මරණ දණ්ඩනයට එරෙහි සාමූහිකය වන අප, ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශයෙන් බරපතල කැළඹීමකට පත්ව සිටින අතර ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය තරයේ හෙලා දකිමු.  රටේ ජනතාව විසින් දැන සිටිය යුතු හා ඉතා බැරෑරුම් දෙයක් මෙසේ රහසිගතව සිදුකිරීම පිළිබඳව අපට කිසි සේත්ම එකඟ විය නොහැකි අතර, කිසිඳු විනිවිද බවකින් තොරව සිදු කිරීමට යන මෙම එල්ලා මැරීමෙන්, මරණ දණ්ඩනය පිළිබඳ මෙතෙක් සිදු වෙමින් පැවති ජනතා කතිකාව පීලි පැනීමකට ලක් වී ඇත. ජනාධිපති වරයා පවසන ආකාරයට මෙම එල්ලා මැරීම සිදු කරනු ලබන්නේ ජනතා ශුභ සිද්ධිය උදෙසා නම් එය ප්‍රශ්ණ කිරීමට අප ඇතුළු ලාංකික ජනතාවට අවස්ථාවක් තිබිය යුතුමය.

1976 සිට ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කොට නොමැත. ඉදිරි දින වල සිදුකිරීමට සැළසුම් කොට ඇතැයි කියනා මෙම එල්ලා මැරීම් සිදු වුවහොත්,  මරණ දණ්ඩනය ප්‍රතික්ෂේප කෙරෙනා වත්මන් ලෝක ප්‍රවණතාවයන් හමුවේ, අප රට ආපස්සට යනු ඇත. එසේම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ලංකාව විසින් එකඟතාවය පළ කරනා ලද ජාත්‍යන්තර සම්මුතීන්ට එරෙහිව යාමක් බවද පෙන්වා දිය යුතය.


මත්ද්‍රව්‍ය උවදුරට පිළියම් යෙදිය යුතු බව අප ද දැඩි ලෙස විශ්වාස කරන නමුදු, වැරදිකරුවන් වූ පුද්ලයන් එල්ලා මැරීමෙන් එම උවදුර මැඩලිය හැකි බවට කිසිඳු සාක්ෂියක් අපට සොයා ගත නොහැකිය. ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර, අනෙකුත් සමාජීය, දේශපාලන හා ආර්ථික ගැටළූ සමඟ ගැටෙනා ඉතා සංකීර්ණ ප්‍රශ්ණයක් වන අතර, පුද්ගලයින් කිහිප දෙනෙකු එල්ලා මැරීමෙන් එවැනි සංකීර්ණ ගැටළුවකට විසඳුම් ලැබේය යන්න අපට කිසි සේත්ම  විශ්වාස කළ නොහැක.  මත්ද්‍රව්‍ය උවදුරේ මූල හේතූන් හඳුනාගනිමින්, ඊට  පිළියම් යෙදීමට කැප කරන ලද සමාජ හා ආර්ථික වැඩසටහන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කරන  සේවා හඳුන්වා දෙමින්, මත්ද්‍රව්‍ය අලෙවිය හා සංසරණය වැළැකීමේ ක්‍රියා මාර්ග ගනු ලැබුවහොත් මිස, මෙම උවදුර නිවාරණය කිරීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත.

ලංකාවේ යුක්තිය පසිඳලීමේ අසංතුලිත ක්‍රමවේදය දෙස බැලීමේදී පෙනී යන්නේ වරදක් නොකරන ලද අහිංසක පුරවැසියන්ද මරණ දණ්ඩනයට නියම වීමට ඉඩක් ඇති බවය. එමෙන්ම ලංකාවේ යුක්තිය පසිඳලීමේ මෑත කාලීන ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යන්නේ එම ක්‍රමවේදය තුල නොයෙකුත් අභූත චෝදනා ගොනු කිරීම්ද, වධහිංසා පැමිණවීම් හරහා පාපෝච්චාරණ ලබා ගැනීම්ද, අභියාචන වලදී දණ්ඩනයන් නිෂ්ප්‍රභා කිරීම් ද නිරන්තරවම සිදු වෙන බවයි.  එමෙන්ම ලංකාවේ දඬුවම් වලට යටත් වූ වරද කරුවන් බොහොමයක් ඉහල අධිකරණයකට අභියායචනා ඉදිරිපත් කිරීමට තරම් වත්කමක් නැති වැසියන් බවද පෙනී යයි. මේ නිසා අපට ඒත්තු යන්නේ මරණ දණ්ඩනයෙන් වැඩි වශයෙන්ම පීඩා විඳීමට ඉඩ ඇත්තේ ලංකාවේ දුගී සහ පහළ සමාජීය මට්ටමේ පුද්ලයින් මෙන්ම සුළු වාර්ගික කණ්ඩායම් බවය.


 මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මගින් අපරාධ මර්ධනය කළ හැකි බවට පැහැදිළි සාක්ෂි නොමැත. අනෙක් අතට තමන් නොකළ වරදකට කෙනෙකු  එල්ලා මැරීමේ දඬුවම විඳීමට ඉඩ ඇති අතර එවැනි අභූත වූ දණ්ඩනයක් කිසි සේත්ම නිවැරදි කළ නොහැකිය. හෘද සාක්ෂියක් ඇති සමාජයක් මරණ දණ්ඩනය කොහෙත්ම අනුමත කරන්නේ නැත. 

මරණ දණ්ඩනයට එරෙහි සාමූහිකය


 




2019-06-29
Advertisement

Find us on Facebook