English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එළඹෙන ජනාධිපතිවරණයට ඌව මැතිවරනයන් පාඩම්

ආන්ඩු විරෝධී සියලු ජන්ද දායකයින් ජන්ද පොළට පැමිණය හොත් රාජපක්ෂ ආන්ඩුව පරාද කළ හැකි යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා තිබුණි. සහතික ඇත්ත ය. වැදගත් වන්නේ එම ප්‍රකාශයේ පේළි අතරින් කියැවෙන දෙය යි. එනම්  රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි කළකිරී සිටින සියලු පුරවැසියන් ජන්ද පොළට ගන්වා ගැනීමේ අභියෝගය ජය ගැනීම  තවමත් සම්පූර්ණ වි නැති බවයි. පැහැදිලිවම ඌව මැතිවරණ සටනෙහි අවසන් ප්‍රතිපළයට බලපානු ඇති වැදගත්ම සාධකය වනු ඇත්තේ එය ම ය.

එම අවස්ථාවේදී ම ටිල්වින් සිල්වා මහතා තවත් තීරනාත්මතක කරුණක් සඳහන් කොට තිබුණි. එනම් මෙම මැතිවරණය මැතකාලීන මැතිවරණයන් අතරින් ප්‍රචන්ඩතම මැතිවරණය වන බවයි. එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති තරඟකරුවන හරීන් ප්‍රනාන්දු ද එවැනිම ප්‍රතාශයක් කරමින් කියා තිබුණේ මෙම පළාත් සභා මැතිවරණයෙහි රාජ්‍ය සම්පත් අනිසි ලෙස ආන්ඩු පක්ෂය විසින් යොදා ගැනීම අතිශය ඉහළ මට්ටමක පවතින බවයි.

අප ඉහත කී මුල් ප්‍රකාශය, එනම් සියලු ආන්ඩු විරෝධී ජන්ද දායකයින් ජන්ද පොළට ගෙන්වා ගැනිමේ ප්‍රශ්ණය කියවිය යුත්තේ දෙවැනි ප්‍රකාශයන් ද සමඟ ය. එනම් අතිශය ප්‍රචන්ඩකාරී සහ දූෂිත මෙන්ම අනේක අලලස් මගින් ජන්ද දායකයා බියට සහ මෝහනයට පත් කරන මැතිවරණයක දී ආන්ඩු විරෝධී ජන්ද දායකයා ජන්ද පොළට ගෙන්වා ගන්නේ කෙසේද යන ප්‍රශ්ණය යි.

ඇත්ත වශයෙන්ම නම් මෙම සමීකරණයට එක් කල යුතු තවත් එක් තිරණාත්මක සාධකයක් තිබේ. එනම් බෙදී ගිය සහ පැහැදිළි විකල්පයක් බව තවමත් නොපෙන්වන විපක්ෂයක් උදෙසා ආන්ඩුව කෙරෙහි කළකිරී සිටින ජන්දදායකයා ජන්ද පොළට පැමිණිය යුත්තේ ඇයි ද යන කාරණය යි.

එනයින් ශ්‍රී ලංකාවේ අද පවත්නා මානව සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අති දූෂිත අර්ධ ඒකාධිපති රාජපක්ෂ පාලනය පරාජය කිරීම අපේක්ෂා කරන අප හමුවේ ඌව මැතිවරණය ඇසුරෙන් තීරණාත්මක ප්‍රශ්ණ තුනක් පැන නගී.
 

1.    රාජපක්ෂ පාලනය කෙරෙහි කළ කිරී සිටින මහා ජනයා මැතිවරණයක සක්‍රීය සහභාගිත්වයකට ගෙන ඒම

2.    ප්‍රචන්ඩ සහ දූෂිත එමෙන්ම පෙර කිසිදා නොවූවිරූ අන්දමින් ජන්දදායකයා බියගන්වන සහඅල්ලසට නමා ගන්නා රාජපක්ෂ තන්ත්‍රයට සහ ජන්ද මැෂිමට මුහුණ දීම

3.    රාජපක්ෂ පාලනයට වඩා යහපත් සහ විශ්වසනීය විකල්ප ආන්ඩුවක හැඩ රැව පෙන්නුම් වැඩ සටහනක් මත පදනම් වූ  ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගීම

පෙනෙන අන්දමට ජනතා විමුක්ති පෙරමුණ අමතක කරන කාරණය වන්නේ ප්‍රථම ප්‍රශ්ණය ආමන්ත්‍රණය කිරීම පිණිස දෙවැනි සහ තුන්වැනි ප්‍රශ්ණයන්ට පිළිතුරු සෙවිය යුතු බව ය.  එමෙන්ම දෙවැනි ප්‍රශ්ණයට එනම් සමහර විට ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමේ දූෂිත සහ ප්‍රචන්ඩ මැතිවරණය විය හැකි එලඹෙන කවර හෝ ජාතික මට්ටමේ මැතිවරණයකට මුහුණ දීම පිණිස තෙවැනි ප්‍රශ්ණය ආමන්ත්‍රණය කළ යුතු බවයි. මේ වනාහී හුදෙක් ජවිපෙ විසින් පමණක් අමතක කරන කාරණයක් නොවේ. ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂ ද මේ තාක් මේ අරභයා ඉදිරිගාමී දැක්මක් පෙන්වා නැත.

දෙවැනි කාරණය විස්තරාත්මකව විමසා බැලීම තෙවැනි කාරණය කරා ගමන් කිරීමට අවකාශය විවාත කරයි.

රාජපක්ෂ ජන්ද මැෂිම එසේ මෙසේ එකක් නොවේ. එය රදා පවතින්නේ 18වන සංසෝධනය විසින් ඇති කරන ලද විධායක ජනාධිපති (රාජපක්ෂ) ඒකාධිපතිත්වය මතය. එමෙන්ම බියගැන්වීම සහ යටතට ගැනීම මගින් පාලනය කරනු ලබන ජනමාධ්‍ය විසින් නිරිමාණය කරනු ලබන මිත්‍යවන් මත ය.

ඌව මැතිවරණය විසින් පිහිටුවන ලද භයානකම පුර්වා දර්ශය වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා අබිභවා ආන්ඩු පක්ෂයේ වාසිය දේශපාලනකරණය කර ඇති අධිකරණය පාවිච්චි කිරීමට ඇති හැකියාවයි.

මොනරාගල දිස්ත්‍රික්කය ඉලක්ක කර ගෙන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ නියං සහනාධාර යැයි කියා රුපියල් 2,500 බැගින් බෙදාදීම මැතිවරණය අවසන් වනතුරු දෙසතියක් කල් දැමීමට මැතිවරණ කොමසාරිස්වරයා දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කලේ එම තීරණය ගැනීමට තුඩු දුන් හේතු සාධක හෝ විමසන්නේ නැතිව ය. පෙරදින පවරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක් වහාම අප්‍රසිද්ධියේ විභාගයට ගෙන එක් දිනකින් තීන්දුවක් දීම මෑත කාලීන අධිකරණ ඉතිහාසයේ වාර්තාවකි. ශ්‍රී ලංකාවේ නියඟයට හසුව සිටින අනෙක් දිසාවන්ට එවැනි සහනාධාරයක් නොදී මැතිවරණය පැවැත්වෙන මොනරාගලට පමනක් ගෙවන්නේ ඇයි ද යන්න අධිකරණය සැලකිල්ලට ගත් බවක්වත් නොපෙනේ. එමෙන්ම දෙසතියක් සහනාධාරය පමා කිරීමෙන් මොනරාගල ජනයා හදිසි විපතකට ලක්වනු ඇතැයි අධිකරණය තීරණය කළේ කුමන හේතු මත දැයි  කිසිවකු දන්නේ ද නැත. අධිකරණයේ මෙම තීන්දුව මගින් සිදු වූ අනෙක් විපාකය වූයේ මැතිවරණ කොමසාරිස්වරයාගේ බලාධිකාරය හැල්ලුවට ලක් කිරීමයි. ඇත්ත වශයෙන්ම නම් එය අනාගතය සදහා දෙන ලද සඥාවකි.

පොලීසිය අද රාජපක්ෂ ජන්ද මැෂිමේ ලොකු ම ලොකු දැතිරෝධයකි. එය ඌව මැතිවරණයේ දී ක්‍රියාවෙන් ම පෙන්වුයේ එය රාජපක්ෂවාදී උපාංගයක් බවයි. මැතිවරණ අතරතුර පොලිස් නිලධාරීන්ට ස්ථානමාරු ලබා දීම තහනම් වුව ද මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීමෙන් දෙන ලද සංඥාව වූයේ නීතිය ක්‍රියාත්මක කිරීම දඩුවම් ලැබීමට වරදක් වන බවයි.

විපාක්ෂික දේශපාලන පක්ෂ කාර්යාල පනහකට අධික ප්‍රමාණයකට ප්‍රහාරයන් එල්ල වුව ද පොලීසිය කළේ නිදි වැද සිටීම පමණ ය. නිසි අංක තහඩු නැති රාජපක්ෂවාදී ඩිපෙන්ඩර් රථ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනු ජයාරෑපමය සාක්ෂි මගින් තහවුරු කර තිබියදීත් බදුල්ල නියෝජ්‍ය පොලිස්පති කීවේ තමන්ට නම් එවැනි වාහන හමු වී නැති බවයි. මැර තන්ත්‍රය වැඩට බැස තිබූ අන්දම ද විපාක්ෂික දේශපාලන පක්ෂ මත එල්ල වූ භීෂණයෙන් දැක්ක හැකි විය. එයට ආවරණය සැපයූයේ බොහෝතන්හි ම පොලීසිය යි.

ඌව මැතිවරණය යුද හමුදා පිරිස් ආන්ඩු පාක්ෂික දේශපාලන බලවේගයක් ලෙස යොදා ගැනීම ද තවත් වටයකින් ඉහළට ගෙන ආවේ ය. යුද හමුදා පිරිස් ජන්ද ව්‍යාපාරයේ යෙදෙන බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ගණනාවක්ම  චෝදනා කළහ.

රාජපක්ෂ ජන්ද මැෂිම අල්ලස් දීම ඉහළට ම ගෙනැවිත් තිබේ.  ශ්‍රී ලංකාවේ මෑත කාලීන මැතිවරණ ඉතිහාසයෙහි බත් ගොට්ටා යන නම පටබැඳ තිබුණේ එක්සත් ජාතික පක්ෂය අනුගාමිකයින්ට ය.  ඒ යූඇන්පිය බෙදාදුන් බත් ගොටුවට ජන්දය දෙන්නේය යන අර්ථයෙනි. ජන්ද ලබා ගැනීම පිනිස මුදල් බෙදා දුන් අපේක්ෂකයින් සිටියේ ද දශක ගණනාවකට පෙර ය. නමුත් අද රාජපක්ෂවරුන් විසින් පිහිටුවා ඇත්තේ අත් ටැක්ටර්වල සිට සිල් රෙදි සහ වතුර බෝතල් දක්වා වූ කී නොකී විවිධාකාර අල්ලස් බෙදා දෙන මහා පරිමාණ දූෂිත ජන්ද මැෂිමකි. මේ සඳහා පාවිච්චි කැරෙන්නේ ද මහා ජනයාගේම සම්පත් වන රාජ්‍ය අරමුදල් ය.

රාජපක්ෂ ජන්ද මැෂිම සෑම අස්සක් මුල්ලක් ම සිය ග්‍රහණයට ගනිමින් සිටින බව පෙන්වන තවත් උදාහරණයක් වූයේ ජන්ද පත්‍රිකා මුද්‍රණය වැනි අතිශය ආරක්ෂාකාරී කාර්යන් කැරෙන රජයේ මුද්‍රණාලයේ අධිපති වශයෙන් රාජපක්ෂවාදී දේශපාලන ගැත්තකු පත් කර ගැනීමයි.
 

හාත්පස මසා ගත් බූවල්ලකු වැනි මෙම ජන්ද මැෂිමට සහ මැර තන්ත්‍රයට මුහුණ දී මැතිවරණ ජයක් අත් කරගැනීම මහා පරිමාණ අභියෝගයක් බව ඌව මැතිවරණය යලිත් වරක් සනාථ කර තිබේ.

තනි තනිව තම තමන්ගේම වූ වැඩ සටහන් මත සටන් කරන විපක්ෂකට ශ්‍රී ලංකාවේ මේතාක් බිහිවූ  මෙම බියකරුම නපුරුතම ජන්ද මැෂිමට මුහුණ දිය හැකි ද ?

එවැනි තනි තනි මැතිවරණ වැඩ සටහන් මගින් ඒවා කොතරම් සිත් අඳගන්නා සුළු වුවත් ආන්ඩු විරෝධී සියලු ජන්ද දායකයා සක්‍රීය පුරවැසියකු බවට පත් කළ හැකි ද?

නැතහොත්  භීෂනයෙන් සහ දූෂණයෙන් පවත්වා ගැනෙන මෙම අර්ධ ඒකාධිපතිවයෙන් පීඩා විදින සියල්ලන්ටම එකඟවිය හැකි මහා පොදු සාධකය සොයා ගෙන ඒ වටා ගොනු කැරෙන මහා බලවේගයක් ඒ සඳහා අවශ්‍ය නොවන්නේ ද?

2014 සැප්තැම්බර් ඌව පළාත් සභා මැතිවරණය විසින් අප අභියසට ගෙනැවිත් ඇති අභියෝගය එය යි. සියල්ලටම ඇත්තේ තෙමසක් වැනි කාල පරිච්ජේදයක් විය හැකි ය. අප ඊට නිසි ආකාරයෙන් මුහුණ දෙන්නේ ද නැත් ද යන ප්‍රශ්ණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මුහුණ දෙන තීරණාත්මකම ප්‍රශ්ණ යි.



සුනන්ද දේශප්‍රිය



2014-09-22
Advertisement

Find us on Facebook