English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඬුවම එපා කියන්නේ උතුම් මිනිසුන්ය.!


මරණ දඬුවම එපා කියන්නේ උතුම් මිනිසුන්ය.!

එදා උදෑසන පවා ඇය අවදි වූයේ තම පුතුගේ ඝාතකයා එල්ලුම් ගසට යවනු බැලීමේ පරම චේතනාවෙනි. ඝාතකයා පුටුවක් මතට නංවා ඔහුගේ ගෙලට තොණ්ඩුවක් දමනු ලැබූ විට, පුටුව පෙරළා දමා ඔහු එල්ලීමට සැලැස්වීමෙන් පළිය ගැනීමට ඉරානයේ නීතියට අනුව ඇයට අවස්ථාව හිමි ය. ඇය ඒ පළිය ගැනීමට සූදානම්ව සිටියා ය. ඝාතකයාගේ ගෙලට තොණ්ඩුව දැමූ විට ඔහු අසලට ද ගියා ය. ඉන්පසුව සිදුවූයේ නොසිතූ දෙයකි. ඇය ඔහුගේ කම්මුලට වැරෙන් පහරක් ගසා, ඔහුගේ ගෙලෙන් තොණ්ඩුව ගලවා දමා අභයදානය ලබා දුන්නා ය.

පසුගියදා ඉරානයේදී ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට නියමිතව සිටි පුද්ගලයකුට ඔහු විසින් ඝාතනය කරනු ලැබූ පුද්ගලයාගේ අම්මා විසින් අභයදානය දෙනු ලැබීමේ කතාව ලොව පුරා ජනමාධ්‍යවල පළ වූයේ ඉනික්බිතිව ය. දෙනෝ දාහක් ඉදිරිපිටදී තම පුතු මැරූ ඝාතකයාට සමාව දුන් අම්මා ගේ මිනිස්කම ගැන කවුරුත් කතා කළහ.

ඇසට ඇස න්‍යායයෙන් පළිය නොගත් මේ ශ්‍රේෂ්ඨ අම්මා, සමීරියා අලිනෙජාඩ් ඉන් දින කිහිපයකට පසුව ‘ගාඩියන්’ පුවත් සේවයට කතා කළා ය. ඉරානයේ සිට එහි වාර්තාකරු සයීඩ් කහාලි සමඟ දුරකථනයෙන් කතා කරමින් ඇය කීවේ එදා ඒ අන්තිම මොහොත වන තුරුම පුතුගේ ඝාතකයාට සමාවදෙන්නට තම හිත හදාගන්නට බැරිවූ බවයි. එහෙත්, අන්තිම තත්ත්පරයේදී ඇයට ඇයගේ හිත දවා ලූ පළිගැනීම පරාජය කරන්නට පුළුවන් වූ බවත් වරදකරුට ජීවිත දානය දී ලොකුම ජය වූ සැනසිල්ල දිනා ගන්නට පුළුවන් බවත් ඈ කීවා ය.

සමීරියා ගේ පුතු අබ්දුල්ලා ඝාතනය වූයේ මීට අවුරුදු හතකට කලියෙනි. එවක ඔහු අවුරුදු දහ අටක තරුණයෙකි. වීදියක ඇති වූ කෝලාහලයක දී ඔහු පිහි ඇනුමකින් ඝාතනය විය. අබ්දුල්ලාට පිහියෙන් ඇන තිබුණේ ඔහුගේ ම වයස්වල සිටි තරුණයෙකි.

හේ බලාල් ය. වසර හතක ඇවෑමෙන් බලාල් මෙකී මිනීමැරුම සඳහා වරදකරු විය. ඉරාන නීතිය යටතේ ඔහු ප්‍රසිද්්ධියේ එල්ලා මැරීමට නියම විය. එල්ලා මරන දවස ළං වන විට, පුතුගේ වියොවෙන් දැවෙමින් සිටි ඕ ඝාතකයාට නිසි දඬුවම් ලැබෙන තුරු බලා සිටියා ය. උඩු සිත එසේ කීවත් ඇගේ යටි සිත යමින් සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ය. සමීරියා සිය මිය ගිය පුතු අබ්දුල්ලා නිතර සිහිනයෙන් දකින්නට පටන් ගන්නේ ඒ අනුව විය යුතු ය.

බලාල්ව එල්ලා මරන්න දවස් දහයකට කලින් මගෙ පුතා මට හීනෙන් පෙනිලා කිව්වා පළිගන්න එපා කියලා. ඒත් මට මගෙ හිත හදාගන්න බැරි වුණා, මිනිමරුවට සමාවදෙන්න.”

ඉරාන නීතියට අනුව ඝාතනයට ලක්වූ අබ්දුල්ලාගේ නීත්‍යානුකූල පියා සහ භාරකරු වන සමීරියාගේ සැමියාට වුවමනා නම් බලාල් මරණ දඬුවමෙන් නිදහස් කිරීමේ බලය තිබුණි. එහෙත් ඔහු ඒ තීරණය ගැනීම සිය බිරියට භාර කළේ ය.

තමන්ට කෙසේවත් පුතා මැරූ ඝාතකයාට සමාව දීමට නොහැකි බව සමීරියා ඊට දින දෙකකට කලිනුත් සැමියා හා කීවාය. ඔහු ඊට විරුද්ධව නොගියේ ය. “ඔයාගෙ වචනය තමයි අපි පිළි ගන්නෙ. ඔයා පුතාගෙ මරණෙ නිසා හුඟක් දුක් වින්දා.

අපි ඔයා කියන දෙයක් කරන්නම්.” එදා එල්ලා මැරීම සිදුවන ස්ථානයට යන විට සැමියා බිරියට කිවේ ය. පසුගිය අප්‍රේල් 15 වැනි අඟහරුවාදා බලාල් රඳවා සිටි නූර් බන්ධනාගාර පරිශ්‍රය අසලට යන විටත් සමීරියාගේ උඩු සිත බලා සිටියේ බලාල්ට නිසි දඬුවම ලැබෙන තෙක් ය.

එහි සෙනඟ පිරී සිටියහ. දෑස් බඳීනු ලැබූ බලාල් පුටුවක නංවා සිටියේය. කුරානය කියවනු ලැබිණි. අලුගෝසුවෝ, බලාල්ගේ ගෙලට තොණ්ඩුව දැමූහ. අන්තිම හුස්ම හෙළන්නට ඔන්න මෙන්නව තිබෙන බව දැන ගත් බලාල් සමාව ඉල්ලා කෑ ගැසුවේය.

අනේ කරුණාකරලා මට සමාවදෙන්න” ඔහු බැගෑපත් විය.

මගේ අම්මයි, තාත්තයි වෙනුවෙන් මට සමාවදෙන්න”

ඒ ඇසූ සමීරියාගේ සිතේ ඇවිල ගියේ කෝපයකි.

උඹ මගේ පුතාව මරන්න කලින් එයාගෙ අම්මයි තාත්තයි ගැන හිතුවද?” ඇය ද වේදනාවෙන් කෑ ගැසුවාය. රැස්ව සිටි පිරිස අතරින් හඬ නැඟී ආවේ ය. ඔවුන් කතා කළේ සමීරියාගේ සැමියා වූ අබ්දුල්ඝානිට ය.

ඝානි මාමේ ඔහුට සමාව දෙන්න” ඔවුහු කීවෝ ය. එහෙත් ඔහු නිහඬව බිරියට ඉඩ දී බලා සිටියේ ය. ඒ වන විටත් බලාල්ගේ ඉරණම වෙනස්ම ආකාරයකින් ලියැවෙන්නට යන බව සමීරියාවත් දැන සිටියා දැයි සැක සහිත ය. එක්වරම ඔහුගේ පුටුව තල්ලු කරනු වෙනුවට සමීරා ඒ අසල තිබූ බංකුවකට නැංගාය.

අත දිග හැර බලාල්ගේ කම්මුලට පහරක් එල්ල කළා ය. ඒ පුතා මැරීමේ වරද වෙනුවෙන් ය. ඊළඟට ඉන්පසු කෑ ගසා වැලපෙමින් තම සැමියාට කතා කර බලාල්ගේ හිසෙන් තොණ්ඩුව ගලවන ලෙස අයැද සිටියා ය. ඒ මිනිස්කම වෙනුවෙන් ය.

කම්මුල් පාර ගැහුවට පස්සෙ මට දැනුණා මගේ හදවතේ තිබුණු කෝපය නැතිවෙලා ගිය බව. මගේ ඇෙඟ් නහර දිගේ ලේ දුවන්න පටන් ගත්තේ එතකොටයි.” සමීරියා පසුව කීවා ය.

ඇගේ කීම ඇසූ සැමියා තොණ්ඩුව ගැලවූ පසුව බලාල්ට නිදහස ලැබුණි. (මරණ දඬුවමෙන් නිදහස ලැබුව ද ඔහුගේ සිර දඬුවම අත්හිටුවීමේ බලයක් සමීරියාට නැත.) මේ වෙලාවේ තවත් අනුවේදනීය දෙයක් සිදු විය. ඒ, සෙනඟ අතරට වී හඬමින් සිටි බලාල්ගේ අම්මා කොබ්රා, සමීරියා ඉදිරියට දිව ඒම ය. ඇය දිවැවිත් සමීරියාගේ දෙපා අල්ලා සිපගන්නට හැදුවාය.

ඒත් මං එයාට ඒක කරන්න දුන්නෙ නෑ. මං අත් දෙකෙන් අල්ලල ඒ අම්මව නැඟිට්ටෙව්වා. මොනව වුණත් එය’ත් මං වගේම අම්ම කෙනෙක්” ඉරානයේ සාමාන්‍ය ගෘහණියක වූ සමීරියාට එසේ සිතන්නට හැකි තරම් දියුණු මනසක් ඒ වෙලාවේ ඇති විය.

මරණයට කැපවූ පුතුගේ පණ බේරා දී ඒ අම්මාගේ හිතට සතුට ගෙනා සමීරියා ඊළඟට සිය කඳුළු විසිරුවා හැරීමට තම පුතුගේ සොහොන වෙත ගියා ය. වේදනාවෙන් බර වුවත් ඇගේ හිත වෙනදාට වඩා නිදහස් විය.

දරුවෙක් නැතිවෙනව කියන්නෙ තමන්ගෙ ඇෙඟන් කෑල්ලක් නැතිවෙනව කියන එක. මේ අවුරුදු ගාණටම මං හිටියෙ ඇවිදින මළ මිනියක් වගේ. ඒත් මං දැන් සන්සුන්. මගෙ හිතට සාමය ඇවිත්. පළිගැනීම මගේ හදවත හැර ගිහින් කියල මට දැනෙනව” ශ්‍රේෂ්ඨ අම්මලා පමණක් නොව ශ්‍රේෂ්ඨ මිනිසුන් වන්නට ද හැක්කේ ඒ ආකාරයට වෛරය හිතෙන් පලවා හරින අයට බව ඈ කියා දුන්නේ එහෙම ය.

( අවුරුදු පහකට පෙර විදෙස් පුවතක් ඇසුරින් ලියූ ලිපියකි) ........

(පුවත් සහ සේයාරූ මූලාශ්‍ර- The Guardian සහ Dailymail)

කත්‍යානා අමරසිංහ




2019-06-29
Advertisement

Find us on Facebook