English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අවුරැදු 16කට පසු පැමිණි යුක්තිය! : ජෙරාඩ් නඩුව


අවුරැදු 16කට පසු පැමිණි යුක්තිය!

2002 වසරේ දී සිදු වු පහරදීමක් සම්බන්ධව ඒවකට වත්තල පොලීසියේ සේවයේ සිටි උප පොලීස් පරීක්ෂක සුරේෂ් ගුණසේන හා නලීන් චන්දිමාල් යන අයට 1994 අංක 22 දරණ වදහිංසාවට ඒරෙහි පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවන්ට වැරදිකරැ කරමින් මීගමුව මහාධිකරණයේ අද (28) පැවති නඩුවක් දී අවුරැදු 10ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් හා රැපියල් 50,000 බැගින් වූ දඩයකට යටත් කරන ලදී.

කොළඹ වරාය ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ජෙරාජ් මර්වින් පෙරේරා යන අයව 2002 ජුනි මස 03 වන දින දී වත්තල පොලීසිය විසින් අත්තනෝමතිකව අත්තඩංගුවට ගෙන  කෲර හා අමානුෂික වධහිංසනයට ලක්කිරීම හේතුවෙන් බරපතල ලෙස අසාධ්‍ය තත්වයට පත්ව කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකයේ දින 19ක් තිස්සේ ප්‍රතිකාර ලබා දීමට සිදුවිය.

මෙම කෲර පහරදීමට ඒරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඇතුළු වධහිංසනයට එරෙහි ජන සංධානය ඒක්ව ශ්‍රේෂ්ඨාධිකරයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට හා 1994 අංක 22 දරන වධහිංසා පනත වගඋත්තරකරුවන්ට විරුද්ධව නඩුපැවරීමට නීතිපතිට නියෝගකරන ලෙසට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබීය.

ඒ අනුව 2003 අප්‍රේල් මස 4 දින එහි තීන්දුව ලබාදෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව යටත් කෲර, අමානුෂික වධහිංසාවක් සිදුවී ඇති බවත් 13(1) හා 13 (2) ව්‍යවස්ථාව අනුව අත්තනෝමතික ලෙස අත්තඩංගුවට ගැනීමත් රඳවා තබාගැනීමත් සිදුවී ඇති බවයි. ඒ අනුව වගඋත්තරකරුවන් විසින් රුපියල් ලක්ෂ 15කට ආසන්න වන්දියක්  පෙත්සම්කරුට  ගෙවිය යුතු බවටත්, 1994 අංක 22 දරන වදහිංසා පනත යටතේ මහාධිකරණයේ වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පවරන ලෙසට නිර්දේශයක්ද නීතිපති වෙත ලබා දී තිබුනි .

ශ්‍රේෂ්ඨාධිරකණයේ නිර්දේශය පරිදි  නීතිපති විසින් 2003 වසරේ වත්තල පොලිසියේ සේවයේ නිරතව සිටි  සුරේෂ් ගුණසේන ඇතුළු නිලධාරීන් හයදෙනෙකුට ඒරෙහිව 1994 අංක 22 පනත යටතේ මීගමුව මහාධිකරණයේ නඩු අංක HC 326/2003 යටතේ නඩු පවරන ලදී.

නමුත් මෙම නඩුව ආරම්භ වී ජෙරාඩ් පෙරේරා සාක්ෂි ලබාදීමට ප්‍රථම මෙහි ප්‍රධාන චුදිතයෙකු වන පොලිස් උප පරීක්ෂක  සුරේෂ් ගුණසේන යන අයගේ සැලසුමක් මත වර්ෂ 2004 නොවැම්බර් මස 21 ජෙරාඩ් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. පසුව මේ සම්බන්ධයෙන් මීගමුව මහාධිකරයේ නඩු අංක HC 445/2005 යටතේ මිනීමැරුම් වරදට නඩු විභාගයක් ආරම්භ වූ අතර වර්ෂ 2015 ජුනි මස 22 දින ඝාතනයට සම්බන්ධ වූ සුරේෂ් ගුණසේන සහ වෙඩි තැබීම සිදු කළ  අජිත් නිශාන්ත නමැත්තන්ට මීගමුව මහාධිකරණය විසින්  මරණ දඬුවම නියම කරන ලදී.

ඊට පෙර 2008 වසරේ දී මීගමුව මහාධිකරණයේම විභාග වූ වධහිංසා පනත යටතේ පවතී නඩුවේදී ජෙරාඩ් මර්වින් පෙරේරා යන අයව වධහිංසනයට ලක් කර ඇති නමුත් අදාළ විත්තිකරුවන් විසින්ම එය සිදුකර ඇති බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව දක්වමින් J.M.T.M.P.U. තෙන්නකෝන් නැමති විනිසුරුතුමිය අදාළ විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදුනි.

මේ තීන්දුවට එරෙහිව ජෙරාඩ්ගේ බිරිඳ වන පද්මා වික්‍රමරත්න අගතියට පත් පාර්ශවයේ අභියාචක ලෙස ඉදිරිපත් වෙමින් අභියාචනාධිකරණය වෙත නඩු අංක CA 05/2008 යටතේ අභියාචනයක් ගොනු කරන ලදී. එය සලකා බලු අභියාචනාධිකරණය 2012 ඔක්තෝම්බර් 18 දින තීන්දුව ලබාදෙමින් අදාළ මහාධිකරණ තීන්දුව දෝෂ සහගත එකක් බව නිරීක්ෂණය වන හෙයින් නැවත එම නඩුව මහාධිකරයේ මුල සිට විභාග කලයුතු බවට ප්‍රකාශ කරන ලදී.

මෙම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කර අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයේ තීරණය නැවත තහවුරු කරනු ලැබීය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කලේ මෙම නඩුව නැවත මුලසිට මීගමුව මහාධිකරණය ඉදිරියේ විභාග කලයුතු බවත් මේ වන විට නඩු විහාගයට දීර්ග කාලයක් ගතවී ඇතිබැවින් 2014 දෙසැම්බර් 31 ට පෙර මෙම නඩුව අසා නිමකළ යුතු බවයි.

ඒ අනුව මීගමුව මහාධිකරයෙදී නඩු අංක HC 326/03 යටතේ මෙම වධහිංසා නඩුව නැවත මුල සිට විභාග කිරීම විනිසුරු  R.A රාගරාජ මහතා ඉදිරියේදී වර්ෂ 2014 ආරම්භ විය. මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව මෙහි මුල් නඩුවේදී අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමේදී චුදිතයන් 6 නම්කර තිබුණි. එහෙත් නැවත විභාග කරන විට එම චුදිතයන්ගෙන් දෙදෙනෙකු ඉවත් කොට චුදිතයන් 4 දෙනෙක්ට එරෙහිව පමණක් අධිචෝදනා ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මෙම නඩුවේ චුදිතයන් ලෙස සුරේෂ් ගුණසේන, නලීන් චන්දිමාල්, H.A.P.D පෙරේරා හා H.M.A.K හේරත් යන අයව නම් කර තිබේ.

මේ නඩුව 2019 මැයි මස 21 වන දින කැඳවු අවස්ථාවේ නඩුවේ තීන්දු ප්‍රකාශය 2019 ජුනි මස 28 වන දින ඒනම් අද දින ඉදිරිපත් කරන බව අධිකරණය ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව අද මෙම නඩුව කැදවූ අවස්ථාවේ දී මෙම නඩුවේ ප්‍රධාන චුදිතයන් ලෙස සුරේෂ් ගුණසේන, නලීන් චන්දිමාල් යන අයට 1994 අංක 22 දරණ වදහිංසාවට ඒරෙහි පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවන්ට වැරදිකරැ කරමින් අවුරැදු 10ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම වූ අතර රැපියල් 50,000 බැගින් දඩයකටද යටත් කරනු ලැබීය.

තව අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව කටයුතු කළ ජෙරාඩ් මර්වින් පෙරේරා ඔහුට කෲර ලෙස පහරදුන් විත්තිකරැවන් විසින්ම ඝාතණය කරනු ලැබුවත්, ඔහු විසින් ඉල්ලා සිටි යුක්තිය නඩු තීන්දු කිහිපයක් හරහා  ලබා දී තිබේ. නමුත් ජෙරාඩ් වෙත ඒම යුක්තිය ලබා දීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය හැර අනෙකුත්  අධිකරණයන් විසින් ලබා ගත් කාලය පිළිබදව  නම් කිසිසෙත් සෑහීමකට පත් විය නොහැක.     

 

 




2019-06-28
Advertisement

Find us on Facebook