English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හෙදියගේ ඔලුව පැලූ වෛද්‍යවරයාට ඒරෙහි පෙත්සම විභාගයට අවසර


කුරැණෑගල මහරෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත්කමක් අතරතුරදී ඔහු සමග සේවයේ සිටි හෙදියකට සැත්කම් සදහා භාවිතා කරන උපකරණයකින් සිදු කළ පහරදීමක් මත ඇයගේ හිස පැලීමෙන් සිදු වූ හානිය සම්බන්ධව පැණවූ මූලික අයිතිවාසිකම් නඩුව පිළිගත් ශ්‍රෙෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 11 ව්‍යවස්ථාව යටතේ විභාගය සදහා ඊයේ (26) අවසර ලබා දෙන ලදී.   

වාරියපොල ප්‍රදේශයේ පදිංචි මාධවී බුද්ධිකා රාජගුරු මහත්මිය වෘත්තීයෙන් හෙද නිලධාරිනියක් වන අතර ඇය කුරුණෑගල මහරෝහලට අනියුක්තව වසර හතරකට අධික කාලයක් ශල්‍යාගාර කටයුතු වලට සහාය වෙමින් සේවය කරයි. මාර්තු 12 වන දින සුපුරුදු පරිදි ඇය ශල්‍යාගාරයේ තමන්ට නියමිත සේවා මුරයට වාර්තා කළ අතර එම අවස්ථාවේ සැත්කම කිරීමට නියමිතව සිටි වෛද්‍යවරයා වුයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජේමාන්න මහතාය.

කකුලේ තුවාලයක් තිබුණු රෝගියෙක් එම අවස්ථාවේ සැත්කමට භාජනය කිරීමට නියමිතව තිබුණු බැවින් මාධවී මහත්මිය ඊට අදාළ මූලික කටයුතු සුදානම් කිරීමෙන් අනතරුව වෛද්‍ය අශෝක එම ස්ථානයට පැමිණ සැත්කම ආරම්භ කර ඇත. ඒ අතරතුර ඊට අවශ්‍ය උපකරණ සැපයීමට භාර වුයේද මාධවීට වන අතර අය වෛද්‍යවරයාගේ ඉල්ලීම මත Bone Cutter නමැති උපකරණය ලබාදී ඇත. එය භාවිතයෙන් අනතුරුව නැවත හෙදියකට ලබා නොදී රෝගියාගේ කකුල අසලින් තබා වෛද්‍යවරයා සැත්කම කරගෙන යාම නිසා මාධවී එය නැවත ගෙන ට්‍රොලිය මත තබා ඇත.

එයට උරණ වූ වෛද්‍යවරයා එම උපකරණය රැගෙන ක්ෂණයකින් මධවීගේ හිසට පහරදී ඇත. ඒ හේතුවෙන් තුවාල ලැබූ හෙදිය වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව කුරුණෑගල රෝහලේම 5 වන වාට්ටුවට ඇතුලත් කර ඇති අතර ඇයව CT පරීක්ෂණයක් සඳහා සහ HIV හා Hepatitis රෝග නිර්ණයට රුධිර පරීක්ෂාවක් සඳහාද යොමු කර ඇත.

මෙම වෛද්‍යවරයා මීට පෙර අවස්ථාවලදීත් හෙදියන්ට පරුෂ වචනයෙන් සහ අපහාස වන ආකාරගෙන් කටයුතු කර ඇති බවත්, සමහර අවස්ථාවලදී හෙදියන්ට සුළු පහරදීම් සිදු කර ඇති බවත්, වෙනත් හෙදියන් පවසයි. ඉහත සිදුවීම සම්බන්ධයෙන් සිද්ධිය වූ දිනයේම පැමිණිල්ලක් කුරුණෑගල පොලීසියට කර ඇති අතර මාර්තු 15 වන දින වෛද්‍යවරයාට ඒරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇත.

නඩු අංක 190/19 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු වී ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 26 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුනි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ අර්මිසා ටීගල් මහත්මිය සහ නීතීඥ ශලෝමි ඩැනියෙල් මෙනවිය පෙනී සිටිමින් කරුණු දක්වන ලදි. මෙහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉදිරියේ විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව වන සෑම තැනැත්තෙකුටම වධහිංසාව, කෲර අමානුෂික අවමන්සහගත සැලකිල්ලකට හෝ දඩුවමකට ලක් වීමෙන් වැළකී සිටීමේ අයිතිවාසිකම තිබෙන්නේය යන මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදනය යටතේ නඩු විභාගය ඉදිරියට ගෙන යාම සඳහා පෙත්සම්කාර පාර්ශවයට මූලික අවසරය ලබා දෙන ලදි. ඊට අමතරව මෙහි පළමු වන වග උත්තරකරුට සති 06ක් ඇතුළත මෙම පෙත්සම සම්බන්ධයෙන් පවතින මූලික විරෝධතා ගොනු කරන ලෙස නියෝග කරන ලදි. මීළගට මෙම නඩුව දෙපාර්ශවයේ විවාදය සඳහා 2020 මාර්තු මස 11 වන දින දක්වා කල් තබන ලදි.



 




2019-06-27
Advertisement

Find us on Facebook