English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආගමික ඇදහීම සහ රටට අයත් වීම, මුස්ලිම් උභතෝකෝටිකයක්


ආගමික ඇදහීම සහ රටට අයත් වීම, මුස්ලිම් උභතෝකෝටිකයක්!

උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප්‍ර​ජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින් සිටින අවස්ථාවක, මුස්ලිම් දේවස්ථාන සහ දහම් පාසල් කෙලසමින්, මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් සහ ගිනිබත් කරමින් ඒ ජන ප‍්‍රජාවට දඬුවම් කිරීමේ රාජකාරිය මාධ්‍යයේ යම් කොටසකගේ පිටුබලය ලැබූ මැර කල්ලි විසින්, කසාවත් හිංසකයන්, ජාතිවාදී ආරක්ෂක අංශ කොටස් සහ බල ලෝභී දේශපාලඥයන් විසින් තමන් අතට ගෙන සිටින අවස්ථාවක, පාස්කු ඉරිදා නීච ක‍්‍රියාවට බොහෝ කලකට පෙර සිට මෙරටේ ඇවිලෙමින් තිබූ මුස්ලිම්-විරෝධය පසුපස ඇති කරුණු කාරණා සොයා බැලීම කාලෝචිත ය.

ඒ ගැන සාකච්වඡාට මත්තෙන්, පාස්කු ඉරිදා ම්ලේච්ඡත්වයට අදාළව මුස්ලිම් ප‍්‍රජාව ඇතුළු විවිධ අංශ වෙතින් ලැබුණු තොරතුරු ප‍්‍රකාරව ක්ෂණික සහ ආරක්ෂාකාරී පියවර ගැනීමට අසමත් වූ ඉහළ පුටු හොබවන ලොකු ලොක්කන්ගේ අකාර්යක්ෂමතාව ගැන මේ වන විට කරුණු අනාවරණය වෙමින් තිබෙන බවත් කිව යුතුය. ඒ මිනිසුන් ඔය පුටුවලින් හැකි තාක් ඉක්මණින් බැස යතොත් එය රටටත්, ජනතාවටත් ඉමහත් සේවයක් වනු ඇත.

පහත සඳහන් සාකචඡාව, මුස්ලිම් ජනතාවගේ අනාගතය වෙනුවෙන් මෙන්ම රටේ ජාතික සංහිඳියාව වෙනුවෙන් ද සලකා බැලිය යුතුව තිබුණු මුත් දීර්ඝ කාලයක් තිස්සේ නොතකා හැරුණු මාතෘකාවක් වන්නේය.

න්‍යායික පසුබිම

අයි.එස්.අයි.එස්. ව්‍යපාරය විනාශකාරීව ලෝක කරළියට එන්නේ 2013 දී ය. එහි නායක අබුබකර් අල්-බග්ඩාඩි, ‘කැලිෆේට්’ නමින් හැඳින්වෙන, ‘මහම්මත්තුමාගේ රාජධානියක්’ ප‍්‍රකාශයට පත්කරමින්, සාමය සහ සමෘද්ධිය රජයන තමාගේ ඒ මනෝරාජික මිහිමත සුරපුරයට සංක‍්‍රමණය වන්නැයි ලෝක මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. එය, පැරණි ප‍්‍රශ්නයක් යළි ඉස්මත්තට ගෙන ආ අවස්ථාවකි. එනම්, ඉස්ලාමීය ඇදහිල්ල සහ එසේ අදහන ප‍්‍රජාව යම් රටකට අයත් වීම පිළිබඳ ප‍්‍රශ්නයයි. මෙය වඩාත් තියුණු ප‍්‍රශ්නයක් බවට පත්වුණේ, මුස්ලිම් නොවන රටවල සුළුතර ප‍්‍රජාවන් වශයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාවට ය.

දේවධර්මානුකූලව සහ ආගමික න්‍යායානුකූලව ගත් විට, ඉස්ලාම් ආගම අදහන සියල්ලන් අයත් වන්නේ ජාතික සීමාවන් ඉක්මවූ, පාර-ජාතීය උත්තරීතර ප‍්‍රජාවකටයි. එය මුස්ලිම් ‘උම්මා’ වශයෙන් හැඳින්වෙයි. එනම්, භූමි ප‍්‍රදේශයක් වශයෙන් නොව, ජන ප‍්‍රජාවක් වශයෙන් සලකා ජාතියක් නිර්ණය කිරීමයි. ඒ හේතුවෙන්, ‘ජාතික රාජ්‍යය’ නැමැති සංකල්පය ඉස්ලාමීය න්‍යායටත්, භාවිතයටත් නොපෑහෙන සංකල්පයක් විය. මහම්මත්තුමාගේ කාලයේ පටන්ම මුස්ලිම්වරුන්ගේ පක්ෂපාතීත්වය තිබුණේ ස්වකීය ආගමිකයන් වෙත ය. ඔවුන්ව පාලනය කරන අරාබි පාලකයෙකු වෙත ය.

අඩු වශයෙන් කුරාණයේ තැන් තුනක මෙය අවධාරණය කෙරේ. ‘‘(ඉස්ලාම්) ආගම අදහන්නන් සියල්ලෝ එක සහෝදරත්වයකට අයත් වෙත්’’ (21.92, 23.52, 49.10- කුරාණය*. මහම්මත්තුමාගේ සමුගැනීමේ දේශනාවේදීත් මේ අදහස තහවුරු කොට තිබේ. ‘‘සෑම මුස්ලිම්වරයෙකුම අනිත් සෑම මුස්ලිම්වරයෙකුගේම සහෝදරයෙකු වන බව, මුස්ලිම්වරු සියල්ලෝම එක සහෝදරත්වයක් වන බව දැන ගනු. කිසි අරාබි ජාතිකයෙක් තවත් අරාබි ජාතිකයෙකුට වඩා උසස් නැත. කිසි සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙකුට වඩා උසස් නැත.’’ මේ අනුව, ආගමික න්‍යායානුකූලව ගත් විට, පාර-ජාතීය ‘උම්මා’ දේශයකට අයත් වීම, භූමි ප‍්‍රදේශයකින් සීමා කෙරුණු රටකට අයත් වීමට වඩා වැදගත් ය.

මෙකී කුරාණ ඉගැන්වීම මත පදනම් වෙමින් මධ්‍යතන යුගයේ දේවධර්මාචාර්යවරුන් ලෝකය දෙස බැලූවේ එකී දෙබෙදුම ඔස්සේ ය. එනම්, ‘දරුල් ඉස්ලාම්’ හෙවත් ‘සාමයේ වාසස්ථානය’ සහ ‘දරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී වාසස්ථානය’ වශයෙන් ලෝකය වෙන්ව ගනිමිනි. ප‍්‍රායෝගික අර්ථයකින් ගත් විට, එකී දෙබෙදුම තුළ ලෝකය කොටස් දෙකකට බෙදා වෙන් කරගනු ලැබේ. එකක් වන්නේ, මුස්ලිම්වරුන්ගේ පාලනය යටතේ දැනටමත් පවතින දේශයයි. අනෙක වන්නේ, මුස්ලිම් පාලනය යටතට ඉදිරියේදී දිනා ගත යුතුව ඇති දේශයයි. මේ ධර්මාචාර්යවරු තවත් පියවරයක් ඉදිරියට ගියහ. එහිදී, අඩු වශයෙන් සෙසු දේශයන් මුස්ලිම් පාලනය යටතට දිනා ගන්නා තෙක්වත්, ‘දරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී වාසස්ථානය’ අත්හැර ‘දරුල් ඉස්ලාම්’ හෙවත් ‘සාමයේ වාසස්ථානයට’ තාවකාලිකව එන ලෙස ඔවුහූ සෙසු මුස්ලිම් ජනතාවට අනුබල දුන්හ.

ඉන් පසු කාලයක, ස්වෛරී ජාතික රාජ්‍යයන් වශයෙන් දේශසීමා වෙන් කොට ස්ථාපිත කර ගැනීමෙන් පසුව, මේ කියන සංක‍්‍රමණය දුෂ්කර කටයුත්තක් විය. එහිදී ඉහත කී දෙබෙදුම, තෙබෙදුමකට වර්ධනය විය. එනම්, ‘දරුල්මානා’ හෙවත් මුස්ලිම් ආගමිකයන් දැනට සිටින තැන්වලම සාමයෙන් සහ ආගම භක්තියට අනුරූපව ජීවත් විය හැකි බවයි. ශ‍්‍රී ලංකාව අයත් වුනේ එකී කොටසට ය.

කෙසේ වෙතත්, එම වර්ගීකරණය අද වන විට බොහෝ සෙයින් අවලංගු වී තිබේ. 2001 සැප්තැම්බරයෙන් පසු, (ඇමරිකාවට ත‍්‍රස්තවාදීන් එල්ල කළ මහා ප‍්‍රහාරයන් පසු) එම තත්වය විස්තර කරන අක්බාර් අහමඞ් මෙසේ ලියා තිබේ: ‘‘ලෝකය පුරා සිටින මුස්ලිම් ආගමිකයන් හතරවටින් තමන්ව වට කරනු ලැබීමේ හැඟීමකට මුහුණදී සිටී. කිසි තැනක් ආරක්ෂිත නැත.. ප‍්‍රචණ්ඩත්වය දෛනික කාරණයක් වී ඇත. මුළු ලෝකයම ‘දාරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී වාසස්ථානයක්’ බවට පත්ව ඇත.’’ දෙබෙදුම සහ තෙබෙදුම පමණක් නොව, ඔටෝමන් අධිරාජ්‍යය කඩා වැටීමෙන් පසු මුස්ලිම් රටවල්මත් වෙන් වෙන් ජාතික රාජ්‍යයන් වශයෙන් බිහි වී ඇති සන්දර්භය තුළ, මුස්ලිම් ‘උම්මා’ නැමැති පාර-ජාතීය උත්තරීතර රාජ්‍යයේ අදාළත්වයත් මේ වන විට නැති වී ගොස් තිබේ. එතැන් පටන්, මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල නායකයන් සහ ආණ්ඩු විසින් ගන්නා ක‍්‍රියාමාර්ග නිශ්චය කිරීමේ ප‍්‍රධාන සාධකය වී ඇත්තේ, ඇදහිල්ලක් මත පදනම් වන ‘උම්මා’ නැමැති පාර-ජාතීය උත්තරීතර රාජ්‍යයක් පිළිබඳ අවශ්‍යතාවට වඩා, ලෞකික ජාතිකවාදයෙන් සන්නද්ධ ජාතික-රාජ්‍යය පිළිබඳ අවශ්‍යතාවන් ය. එවැනි තත්වයක් තුළ, ‘දාරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී දේශයන්හි’ වෙසෙන සුළුතර මුස්ලිම් ප‍්‍රජාවන්ට, අලූතින් බිහි වූ ලෞකික ලෝක පරිසරය තුළ තම තමන් ගැන තනියෙන් බලාකියා ගැනීමට තල්ලූ කරනු ලැබුණි.

අයි.එස්.අයි.එස්. සංවිධානය අභියෝගයට ලක්කෙළේ, බටහිර ලෝකයා විසින් සැලසුම් කොට නිර්මාණය කරන ලද ලෞකික ජාතික-රාජ්‍යය පද්ධතියට යට වෙමින්, ආගමික ඇදහීමක් මත පදනම් කෙරෙන පාර-ජාතීය උත්තරීතර රාජ්‍ය (‘උම්මා’) ව්‍යායාමය (මුස්ලිම් රටවල් විසින්) අතහැර දමා තිබීම යන කාරණයයි. පළමු ලෝක යුද්ධය අතරතුරදී ඇති කර ගත් රහස් ගිවිසුමක් තුළ, ඔටෝමන් අධිරාජ්‍යය පරාජයට පත්කිරීමෙන් පසුව ඒ අධිරාජ්‍යය යටතේ එතෙක් පැවති ප‍්‍රදේශ ජයග‍්‍රාහකයන් විසින් බෙදා ගැනීමේ රහස් සැලැස්මක් තිබුණි. ඒ, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය අතර ය. යුද්ධයෙන් පසුව, එනම් ඔටෝමන් අධිරාජ්‍යය පරාජය කිරීමෙන් පසුව, ජාතික අරාබි නිජබිමක් ගොඩනගා දීමට මේ මහ බලවතුන් පොරොන්දු වී තිබුණි. මෙය හැඳින්වෙන්නේ, ‘සයික්ස්-පිකෝ’ ගිවිසුම වශයෙනි. එහෙත් යුද්ධය ජය ගැනීමෙන් පසු ඒ ගිවිසුම ප‍්‍රකාර පොරොන්දුව ඉටු නොකෙරුණි. එය මතක් කර දෙමින් අයි.එස්.අයි.එස්. සංවිධානය එකී ගිවිසුම අවසන් කොට, ‘කැලිෆේට්’ හෙවත් ‘මහම්මත්තුමාගේ රාජ්‍යයක්’ ප‍්‍රකාශයට පත්කෙළේය. එයින් ඔවුන් ලෝකයට දුන් පණවිඩය පැහැදිලි ය. අයි.එස්.අයි.එස්. සංවිධානය ප‍්‍රකාශයට පත්කළ ‘මහම්මත්තුමාගේ රාජ්‍යය’ (කැලිෆේට්) යනු, මුස්ලිම් ඇදහිල්ල සහ රටකට ඇති අයිතිය පිළිබඳ කාරණා දෙක යළි ඒකාග‍්‍ර කිරීමකි. මේ ‘කැලිෆේට්’ රාජ්‍යය, දැනට මුස්ලිම් රටවල ජීවත් වන සහ එම රාජ්‍යයන් පිළිබඳ අසහනයට සහ කළකිරීමට පත් මුස්ලිම් තරුණ තරුණියන්ගේ ආකර්ශනීය කේන්ද්‍රයක් බවටත්, නව ලෝක රාජ්‍ය පද්ධතිය තුළ උගුලට හසුව තිබූ පාර-ජාතීය උත්තරීතර රාජ්‍යය (උම්මා) සඳහා වන ආකර්ශනයක් බවටත් එක රැුයකින් පත්විය.

නබිතුමාගේ ආදර්ශය අනුව යමින්, මේ තරුණ තරුණියෝ, අයි.එස්.අයි.එස්. සංවිධානයේ එකී රාම රාජ්‍යයේ වාසය කිරීම සඳහා සංක‍්‍රමණය වූහ. පොදුවේ සියලූ මුස්ලිම් ආගමිකයන්ටත්, විශේෂයෙන් සුළු ජන ප‍්‍රජාවන් වශයෙන් වෙසෙන මුස්ලිම් ආගමිකයන්ටත්, එහිදී මේ කියන ආගම සහ රටකට අයත් වීම යන කාරණය බරපතල උභතෝකෝටිකයක් බවට පත්විය.


ශ‍්‍රී ලාංකීය රංගභූමිය

8 වැනි සියවසේදී වෙළෙන්දන්, වන්දනාකරුවන්, යෝගීන් සහ නැවියන් වශයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි මුස්ලිම් ආගමිකයෝ එය සිය නිත්‍ය වාසය කරගත්තෝය. ඉපැරණි බෞද්ධ රජවරුන් විසින් මේ අලූත් ප‍්‍රජාව කෙරෙහි දක්වන ලද ත්‍යාගශීලී භාවය, ආගන්තුක සත්කාරය සහ ඉවසීම, දකුණු ආසියා ඉතිහාසයේ වෙනත් තැනකින් සොයා ගැනීමට නොලැබෙන දෙයකි. ආචාර්ය ලෝර්නා දේවරාජා තමන්ගේ ‘‘ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු: 900-1915 දක්වා වසර දහසක වාර්ගික සමගිය’’ නැමැති කෘතියේ ඉදිරිපත් කරන තොරතුරු, ප‍්‍රජාවන් දෙකක සහ ශිෂ්ඨාචාර දෙකක -ඉස්ලාම් සහ බෞද්ධ- ප‍්‍රීතිමත් සහ ආදර්ශමත් මිශ‍්‍රණය පිළිබඳ කතාවේ එක කොටසක් පමණි. කතාවේ ඉතිරි කොටස ඉදිරියේදී ලියැවීමට තිබේ.

ඒ ඓතිහාසික සම්මිශ‍්‍රණය කඩා ඉහිරවන්නට සියවස් හතරකටත් වැඩි කාලයක් තිස්සේ පැවති යටත්විජිත පාලනයටවත් නොහැකි විය. ආගමක් ඇදහීම සහ රටකට අයත් වීම යන කාරණා දෙක ගැටුමකට ගිය, ප‍්‍රාග්-නිදහස් ලංකා ඉතිහාසයේ එකම හෝ අවස්ථාවක් වෙතොත්, ඒ 1915 දී පමණි. එහිදී සිදුවුණේ, 19 වැනි සියවසේදී ලංකාවට පැමිණි ඉන්දියානු මුස්ලිම් හෙවත් මරක්කල ජාතිකයන්ගේ ආර්ථික සහ වාණිජමය සූරාකෑමේ චර්යාවන්ට එරෙහිව බෞද්ධ ජාතිකවාදීන් පහර දීමයි.

ඒ ආශ‍්‍රයෙන් හටගත් ගැටුම් තුළදී දේශීය මුස්ලිම්වරුන් පක්ෂපාතීත්වය ප‍්‍රදර්ශනය කෙළේ සිය විදේශික සහෝදර මරක්කල ජනතාව වෙත ය. ඒ, ‘උම්මා’ හැඟීම් පෙරදැරිවයි. බෞද්ධ කෝපය එවිට ඔවුන්ටත් විරුද්ධව මතුවුණි. කෙසේ වෙතත්, ඒ අමිහිරි සිද්ධිය ඉක්මණින් අමතක කර දැමිය හැකි විය. කලින් සිටි තත්වයට ජාතීන් යළි අවතීර්ණ විය. දේශීය මුසලිම් ප‍්‍රජාව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ශ‍්‍රී ලංකාවේ මුල්බැස ගත්හ. ඔවුන්ට, තමන් අදහන ආගම සහ තමන් අයත් රට පිළිබඳ මොනම ප‍්‍රශ්නයක්වත් තිබුණේ නැත. ඔවුන්ගේ ඉස්ලාම් දහම තුළ තිබුණේ ශ‍්‍රී ලාංකීය ප‍්‍රතිරූපයකි.

කෙසේ වෙතත්, නිදහස ලැබීමෙන් පසු, බාහිරින් ගොඩනැගුණු ඇතැම් ආගමික සහ සංස්කෘතික බලවේග නිසා ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ ආගමික ඇදහීම සහ රටකට අයත් වීම අතරේ පැල්මක් නිර්මාණය කෙරුණි. දේශීය අනන්‍යතාවට උඩින් ඉන්පසු කෙමෙන් පැටවුණේ ඒ ‘උම්මා’ අනන්‍යතාවයයි.

තබ්ලිග් ජමාත්

සියවස් ගණනාවක් තිස්සේ ලංකාවේ පැවති මිශ‍්‍ර ඉස්ලාම් ධර්මය 1950 මැද භාගයේ තබ්ලිග් ජමාත් දර්ශනය පැමිණීමත් සමග වෙනසකට භාජනය විය. තබ්ලිග් ජමාත් යනු, සාමකාමී මුස්ලිම් ධර්ම¥ත ව්‍යාපාරයකි. එය, කුරාණයේ නියමය පරිදි, ‘යහපත වෙත යොමු වී, නපුර තහනම් කරන්නැ’ යි දොරට තට්ටු කොට මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටි ව්‍යාපාරයකි.

එය මුස්ලිම් නොවන ජනයා මුස්ලිම් ආගමට හරවා ගැනීමේ ව්‍යාපාරයක් නොව, නාමිකව මුස්ලිම් වී සිටි ජනතාව ක‍්‍රියාවෙන් ද මුස්ලිම් කරවන ව්‍යාපාරයකි. ඉස්ලාම් දහමේ අනිවාර්ය ‘කුළුණු පහට’ අනුගත වන ලෙස ඒ මගින් උදක්ම ඉල්ලා සිටියේය. (අර්ථය නොතේරුණත්) නිතිපතා කුරාණය කියැවීම, (නබිතුමාගේ දේශනා සහ භාවිතය* කියැවීම, ආදර්ශමත් ආකෘතියක් වශයෙන් ගෙන නබිතුමාගේ ජීවන මග අනුගමනය කිරීම සහ ඒ සියල්ලටමත් වඩා, ඊළඟ භවය සඳහා සූදානම් වීම ඒ අතර විය.

‘‘තබ්ලිග් ජමාත් දේශනා සහ පාඩම් තුළින් නිරන්තරයෙන් ඉස්මතු කෙරුණු තේමාවක් වුණේ, මේ ජීවිතයේ ස්වභාවයේ ඇති අස්ථිරත්වය සහ ක්ෂණභංගුර භාවයත්, ඊළඟ ආත්මය සඳහා කෙනෙකු සූදානම් වීමේ ඇති අවශ්‍යතාවත් ය.. මේ ව්‍යාපාරයේ නායකයන්ගේ ඉගැන්වීම්වල, මේ ලෝකය කෙරෙහි නොඇලී සිටින අතරේම, මේ ලෝකයට කැප වී නොසිටීමේ වැදගත් කමත් කියැවුණි.. කෙසේ වෙතත්, නොඇලී සිටීම සහ කැප නොවී සිටීම අතර වන සියුම් ඉර, ආගම අදහන්නන් විසින් හැම විටකම අවබෝධ කරගත්තේ නැත.. එය තබ්ලිග් ජමාත් ව්‍යාපාරයේ දේශනාවන්ගෙන් පැහැදිලිව සූත‍්‍රගත වුණේ ද නැත.’’ (‘‘තබ්ලිග් ජමාත් සහ හිස්බුල් තහිරීර්: එක්කාසු වන ඉලක්ක වෙත යන වෙනස් මාවත්’’- [ආචාර්ය අමීර් අලී- 20 වැනි වෙළුම- අංක 2 කලාපය: 2006]).

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තබ්ලිග් ජමාත් බැතිමත්තු ලෞකික දේවල් කෙරෙහි මුළුමණින් උදාසීන වූ අතර, ලෞකික කාරණා මගහැර සිටීමටත් වූහ. සති ගණන් සහ මාස ගණන් ඒ ශීලයේ රැුඳී සිටින විට ඉස්ලාම් වෘත්තිකයන් අතින් ඔවුන්ගේ රාජකාරි පැහැර හැරුණි. ශිෂ්‍යයන් අතින් ඔවුන්ගේ අධ්‍යාපනය නොතකා හැරුණි. සැමියන් විසින් ඔවුන්ගේ පවුල් නොතකා හැරුණි. වරක් පාකිස්තානු ක‍්‍රිකට් පුහුණුකරුවෙකු කී පරිදි, එරට ක‍්‍රීඩාවේ කණ්ඩායම් හැඟීම පවා පහළ වැටුණි.

තබ්ලිග් සාමාජිකයෙකුගේ දැක්ම යොමු වන්නේ මේ ලෝකයට වඩා ඊළඟ ලෝකයට වන බැවින් එවැනි සාමාජිකයන් රටට ඇති බැඳීම සහ එරටේ ප‍්‍රශ්න කෙරෙහි වන සංවේදී බව, එක්කෝ හීන වන්නේය. නැත්නම්, නැත්තටම නැති වන්නේය. සමහරවිට, 1970-77 ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙන් සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ශ‍්‍රී ලංකාව කෙරෙහි මුස්ලිම්වරුන්ගේ ඇති බැඳීම එළදෙන සහ තණකොළවලට සමාන කෙළේ එනිසා විය හැකිය.

තබ්ලිග් ජමාත් දර්ශනය තුළ, මුස්ලිම්වරයෙකු ඉස්ලාම දහම විශ්වාස කරන අතර නබිතුමාගේ උත්තරීතර ප‍්‍රජාව වන ’උම්මා’ රාජධානියට අයත් විය යුතු යැයි සැලකේ. ලෝකයේ ඕනෑම තැනක වෙසෙන වෙනත් මුස්ලිම්වරුන්ගේ දුක සහ විඳවීම වෙනත් තවත් තැනක වෙසෙන වෙනත් මුස්ලිම්වරයෙකුට දැඩිව දැනෙන්නේ මන්ද යන්න, ‘උම්මා’ කෙරෙහි වන මේ පාර-ජාතික බැඳීම මගින් පැහැදිලි කෙරේ. ජිහාඞ්වාදීන් (ඉස්ලාම් ආගම වෙනුවෙන් යුද වදින්නන්) බඳවා ගැනීම සඳහා මේ තබ්ලිග් ජමාත් දර්ශනය අගනා තෝතැන්නක් වී ඇත්තේ කෙසේද යන්න, ජෝන් කූලි සහ සියව්දීන් සර්දාර් නැමැති මාධ්‍යවේදීන් දෙන්නා තමන් ලියූ කෘති දෙකක් තුළින් මනාව පෙන්වා දී තිබේ. යමෙකු ආධ්‍යාත්මික ජිහාඞ්වාදය (තමන්ගේම අභ්‍යන්තරය සමග කරන යුද්ධය) කෙරෙහි යොමු විය යුතු බව තබ්ලිග් ජමාත් දර්ශනය තුළ උදක්ම ඉල්ලා සිටියත්, එය දේශපාලනික ගමනක් සඳහා යොදා ගැනීමේ ඊළඟ පියවරට ඈඳා ගැනීම සැදැහැවතෙුකට එතරම් අපහසු නැත.

තබ්ලිග් ජමාත් දේශනා ප‍්‍රධාන වශයෙන් ඉලක්ක කෙරුණේ ගැහැනුන්ට වඩා පිරිමින්ව ය. එබැවින් මුස්ලිම් පිරිමින්ගේ බාහිර ස්වරූපය පවා වෙනස් වීමට එය බලපෑවේය. ඒ අනුව, ඔවුන්ගෙන් බොහෝ දෙනා සරම සහ දිග ඉන්දියානු කපු කමිසය හැඳීමට වන්හ. සුදු කැප් තොප්පියක් හෝ තලප්පාවක් හැඳීමට වන්හ. 20 වැනි සියවසේ මුල් දශකවලදී මුස්ලිම් ප‍්‍රභූන් තොප්පිය වෙනුවෙන් අධිකරණයට ගොස් ජයග‍්‍රහණයන් දිනාගෙන තිබුණි. තබ්ලිග් ජමාත් බලපෑම් කරණකොටගෙන, එතෙක් භාවිතයේ පැවති කළු කැප් තොප්පිය භාවිතයෙන් ඉවත්ව ගියේය.

සමහර තබ්ලිග් ජමාත් බැතිමතුන් ශරීර ශෝධනය සඳහා පාවිච්චියට ගැනීමට කේතලයක්ද, දත් මැදීම සඳහා දැහැටි කෑල්ලක්ද යන එන තැන ගෙන යාමට පුරුදු විය. (නවීන දත් බෙහෙත් සහ බුරුසු නොතිබුණු කාලයේ නබිතුමා එවැනි දැහැටි පාවිච්චි කොට ඇති බව කියනු ලැබේ. එය එකල පැවති සෞදි සම්ප‍්‍රදායකි*. නිතර නිතර ඔළුව බිම තබා යාච්ඤා කිරීම නිසා පිරිමින්ගේ නළලේ කළු පැල්ලම්ද හටගත්තේය. 1970 දශකය අවසන් වන විට, තබ්ලිග් ජමාත් ක‍්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලෝක ප‍්‍රසිද්ධියට පත්ව තිබුණු අතර ස්වකීය ආගමික අනන්‍යතාව කැපී පෙනෙන ආකාරයෙන් ප‍්‍රදර්ශනය කිරීමට මුස්ලිම් පිරිමි පුරුදුව සිටියහ.

1980 දශකය සහ අරාබි බලපෑම

මුස්ලිම් ලෝකයේ ඉතිහාසය තුළ 1980 දශකය සන්ධිස්ථානයක් විය. එක පැත්තකින්, ‘අරාබි තෙල් අපනයනික රාජ්‍ය සංවිධානය’ හේතු කොටගෙන, අරාබි මුස්ලිම් ලෝකයේ එක් කොටසක් මුල්‍ය උල්පතක් බවට පත්විය. අනිත් පැත්තෙන්, අලූත් ඉස්ලාමීය ලෝක ක‍්‍රමයක් ස්ථාපිත කිරීමේ දැඩි උන්නතිකාමය හේතු කොටගෙන ආගමික පුනරුදයේ නව පිබිදීමක් ජනිත කොට තිබුණි.

මේ උන්නතිකාමයට සහ අධිකතර පිබිදීමට ජවය සැපයූ තවත් යුග විපර්යාසාත්මක සිදුවීම් දෙකක් මේ කාලයේ ඇති විය. ඉන් එකක් වුණේ, 1979 දී පූජක-තන්ත‍්‍ර විප්ලවයක් ඉරානයේ සාර්ථක වීම සහ එම භූමියෙන් ඇමරිකානුවන්ව පලවා හැරීමයි. දෙවැන්න වුණේ, ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදයේ අවසානයේ මූලාරම්භය වශයෙන් සැලකිය හැකි, සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමයි. 1980 න් පසු, ඉස්ලාම්වාදය නොහොත් දේශපාලනික ඉස්ලාමය ලෝක කරලියට පිළිපන්නේය.

මේ සිදුවීම්වලින් එකක්වත්, ලංකාවට හෝ ලංකාවේ වෙසෙන මුස්ලිම් ප‍්‍රජාවට හෝ සෘජු බලපෑමක් ඇති කෙළේ නැත. කෙසේ වෙතත්, 1977 න් පසු ලංකාවේ රාජ්‍ය ක‍්‍රමයේ පරිවර්තනයක් සිදු විය. එතෙක් පැවති වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ සිට සංකර විධායක ජනාධිපති ක‍්‍රමයකට රට මාරු විය. ඒ සමගම, රාජ්‍ය-පාලිත ආර්ථික මාදිලියක සිට විවෘත වෙළඳපොල ආර්ථික ක‍්‍රමයකට රට මාරු විය. මෙය, ශ‍්‍රී ලංකාව තුළට ඉස්ලාම්වාදී බලවේග පස්ස දොරෙන් ඇතුලූ වීමේ අවකාශ සැලසුණු අවස්ථාවක් විය.

මේ දේශපාලනික වෙනස්කම් තුළින්, ප‍්‍රථම වරට, ලංකාවේ මුස්ලිම් ජාතික දේශපාලන පක්ෂයක් බිහි විය. එනම්, ‘ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයයි.’ එය, දේශපාලනික ඉස්ලාම්වාදය පැත්තට බර පක්ෂයක් විය. මේ අතර, විවෘත ආර්ථිකය හරහා රටේ ඇති වූ වෙනස්කම් ඔස්සේ ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ශ‍්‍රමය සඳහා මැද පෙරදිග මුස්ලිම් රටවල දොරටු විවර වූ අතර, අරාබි ආගමික සහ සංස්කෘතික වටිනාකම් සමග ගැට ගැසුණු අරාබි මුදල් ලංකාව තුළට කාන්දු විය. මේ ද්විත්ව ප‍්‍රවාහය පිළිබඳ විස්තරාත්මක විග‍්‍රහයක් සඳහා, ‘‘මුස්ලිම් ජාතිකයන් සඳහා ආරක්ෂිතම ස්ථානයක්ව පැවති ශ‍්‍රී ලංකාව අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වීම’’ නැමැති ලිපියත් (කලම්බු ටෙලිග‍්‍රාෆ්- 2018 මැයි 6, 9 සහ 14), ‘‘ඉස්ලාම්වාදී අපකීර්තියක ව්‍යුහවේදය’’ නැමැති ලිපියත් (කලම්බු ටෙලිග‍්‍රාෆ්- 2019 මැයි 5, 6, 9) කියවන ලෙස පාඨකයන්ට ඇරියුම් කරමි.

අරාබි බලපෑම් හේතු කොටගෙන මුස්ලිම් ජාතිකයන්ගේ ‘උම්මා’ අනන්‍යතාව (එක ජාතියකට අයත් නැති, පාර-ජාතීය උත්තරීතර රාජ්‍ය අනන්‍යතාව* ශක්තිමත් කෙරුණු අතර, ඒ හේතුවෙන්, නොසිතූ ආකාරයේ ස්වයං-පරාරෝපණයක් (තමන් විසින්ම සමාජයෙන් පිටස්තර වීමක්* ද මුස්ලිම් ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදු විය. තග්ලිත් ජමාත් බලපෑම් හේතුවෙන් ලංකාවේ මුස්ලිම් පිරිමින්ගේ ඇඳුම් වෙනස් වන අතරේ, අරාබිය සමග 80 දශකයේ ගොඩනැගුණු සම්බන්ධතාව නිසා එම ඇඳුම් විපර්යාසය ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට ද බෝ විය. මේ ආකාරයෙන්, ගැහැනු-පිරිමි සමස්ත බාහිර පුද්ගල ස්වරූපය තුළ ඇති වූ වෙනස්කම්, මනාව සැලසුම් කොට නිර්මාණය කෙරුණු යෝධ මුස්ලිම් පල්ලි සහ ආගමික පාසල් (මද්‍රසා* ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යාම සහ ‘හලාල්’ කෑම සම්බන්ධයෙන් ‘සමස්ත ලංකා ජමියාතුල් උලමා’ සංවිධානය රට පුරා ගෙන ගිය ප‍්‍රබල ව්‍යාපාරය වැනි කරුණු ආශ‍්‍රයෙන් සිදු වුණේ, ඉතා තීරණාත්මක අවස්ථාවක, එනම් දෙමළ වාර්ගික ප‍්‍රශ්නය විසින් ලංකාව දෙකඩ කරමින් තිබුණු අවස්ථාවක, ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව ස්වයං-පරාරෝපණයකට (තමන් විසින්ම සමාජයෙන් පිටස්තර වීමකට) ලක්වීමයි.

ආරබිකරණය ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තුළට මෙසේ කාන්දු වීම, අවුරුදු දහසක් තිස්සේ ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය සහ වටිනාකම් සමග මුස්ලිම් ප‍්‍රජාව ඇති කරගෙත සිටි සමීප අනන්‍යතාවට මුළුමණින් ප‍්‍රතිවිරුද්ධ සංසිද්ධියක් විය. මේ හුදෙකලාවාදී ප‍්‍රවණතාව හඳුනාගෙන එය මැඩලීමට සහ ආපසු හැරවීමට මුස්ලිම් දේශපාලනික සහ ආගමික නායකත්වය අපොහොසත් වීම නිසා, එම ප‍්‍රජාව තුළ මෙන්ම ඉන් පිටස්තර ප‍්‍රජාවන් තුළ ද සිටි ඇතැම් නිරීක්ෂකයන් වෙතින් නැගෙන ප‍්‍රශ්නයකට පරිසරය සකස් කෙරුණි. එනම්, මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික ඇදහීම සහ රට කෙරෙහි ඔවුන්ට ඇති අයිතිය පිළිබඳ ප‍්‍රශ්නයයි.

මේ මුස්ලිම් ජාතිකයන්, ලංකාවේ ජනතාව හෝ ලංකාවේ පුරවැසියන් ද? මේ ප‍්‍රශ්නය, රටේ වෙසෙන මුස්ලිම් බහුතරයක් ජනයාට බරපතල ප‍්‍රශ්නයක් නොවුණත් ඔවුන් අතරේ සිටි නාහෙට නාහන සුළු පිරිසක් එම ප‍්‍රශ්නයට වැරදි පිළිතුරක් දීමට ලකලෑස්ති වෙමින් සිටියහ. ඒ පාපිෂ්ඨ පියවර ගැනීමට එකී සුළු පිරිසට හේතුකාරක වුණේ කුමක් ද?

බෞද්ධ අන්ත-දක්ෂිණාංශයේ නැගීම

දේශපාලනික අන්ත-දක්ෂිණාංශය මතු වීම 21 වැනි සියවසේ ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබුණු ප‍්‍රපංචයකි. එසේ මතුවීමට හේතු සෙවිය යුත්තේ, එක පැත්තකින් සීතල යුද්ධ සමය අවසානයේ මාක්ස්වාදී, සමාජවාදී, කොමියුනිස්ට් ආර්ථික අත්හදාබැලීම් කඩා වැටීමත්, අනිත් පැත්තෙන්, ඊට විකල්පයක් වශයෙන් උඩ දැමුණු සහ ලෝකය පුරා පැතිරුණු ලිබරල් ආර්ථික මාදිලිය පිළිබඳ අපේක්ෂා භංගත්වයත් පිළිබඳ සංසිද්ධීන් තුළ ය. 1977 න් පසු ශ‍්‍රී ලංකාව මේ ලිබරල් ලෝකය සමග උඩ පැනගෙන එක් විය. එහි ප‍්‍රාරම්භකයා වුණේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ය. ඔහු ශ‍්‍රී ලංකාව තවත් සිංගප්පූරුවක් කිරීමේ සිහින දැක්කේය. එහෙත් අවසානයේ ඔහු කෙළේ, ඉතා විනාශකාරී සිවිල් යුද්ධයකට රට ඇද දැමීමත්, රටේ පැවති වාර්ගික සමගිය ළඟපාතක නොපෙනෙන සිහිනයක් බවට පත්කර ගැනීමත් ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 දී හමුදාමය වශයෙන් පරාජයට පත්කිරීමත් සමග, ශ‍්‍රී ලංකාවේ අන්ත-දක්ෂිණාංශික බෞද්ධ කණ්ඩායම් කිහිපයක් ඉස්මත්තට ආවේය. ලබා ගත් හමුදාමය ජයග‍්‍රහණයේ ජවය, රටේ සෑම අංශයක්ම බෞද්ධකරණයට ලක්කිරීමේ ආක‍්‍රමණශීලී සහ අධිකාරීවාදී මෙහෙයුමක් බවට පත්කර ගැනීමට ඔවුන් සියල්ලන්ට අවශ්‍ය විය. ඔවුන් ශ‍්‍රී ලංකාව දැක්කේ සිංහල බෞද්ධයන්ට පමණක් අයිති රටක් වශයෙනි. එබැවින්, ඔවුන්ට අනුව, මෙරටේ වෙසෙන සෙසු සියලූ වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් සිංහල බෞද්ධයන්ට යටත් පිරිසක් වශයෙන් විසිය යුතු විය. යුද්ධය තුළින් දෙමළ ජනතාව හමුදාමය වශයෙන් පරාජය කරනු ලැබ තිබුණු තත්වයක් තුළ ඊළඟට දෙවැනි සුළුතරය වූ මුස්ලිම් ප‍්‍රජාවත් යටපත් කර ගැනීම ඔවුන්ගේ අභිලාෂය විය.

මුස්ලිම් ප‍්‍රජාව දෙමළ ප‍්‍රජාවට වඩා වෙනස් ය. සිවිල් යුද්ධයට කලින් දෙමළ ප‍්‍රජාවේ ප‍්‍රධාන සාර්ථකත්වය තිබුණේ අධ්‍යාපනය තුළ ය. මුස්ලිම් ප‍්‍රජාව ඊට වෙනස්ව, ඓතිහාසිකවම ව්‍යාපාරික පරිචයක් ඇති ජනතාවක් විය. ඒ නිසාම, යටත්විජිත සමයේ උපහාසයෙන් යුතුව ඔවුන්ව හැඳින්වුණේ ‘බිස්නස්කාරයන්’ වශයෙනි. මේ නිසා, දෙමළ සහ සිංහල ප‍්‍රජාව මෙන් නොව, මුස්ලිම් ප‍්‍රජාව අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පිවිසියේ බොහෝ ප‍්‍රමාද වී ය. සිංහල හමුදාව යාපනේ සුප‍්‍රකට පුස්තකාලය ගිනි තැබීම එදා වඩාත් රිදුම් දුන්නේ එම ප‍්‍රජාවේ ගර්වයට ය. ගරුසරු සුරුවමක් සේ සැලකිය හැකි එවැනි ක්ෂේත‍්‍රයකට හිමිකම් නොකී මුස්ලිම් ප‍්‍රජාවට තිබුණේ, පල්ලි සහ ව්‍යාපාරික ආයතන පමණි. දකුණේ අන්ත-දක්ෂිණාංශිකයන්ගේ ප‍්‍රහාරවල ඉලක්ක බවට පත්වුණේ ඒවා ය. මුස්ලිම් ව්‍යාපාරවලට පහර දීමෙන් ඔවුන් අපේක්ෂා කෙළේ එම සමස්ත ජනතාව දිළින්දන් බවට පත්කිරීමයි.

2009 ට කලින් පවා, 1970 දශකයේදීත්, මුස්ලිම්-විරෝධී හිංසාකාරී ක‍්‍රියා තැනින් තැන ඇති වුණි. එහෙත් රාජ්‍ය බලධාරීන් වහා ක‍්‍රියාත්මක වීම නිසා එවායේ පැතිරීම වැළැකුණි. කෙසේ වෙතත්, 2009 න් පසු එවැනි මුස්ලිම්-විරෝධී ප‍්‍රහාර රටේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්විය. ඒ කාලයේ බලධාරීන් ඒවා මැඩලීමට පස්ස ගැසුවා පමණක් නොව, විටෙක ඒවා යුක්ති සහගත කිරීමටත් කටයුතු කළ බව පෙනුණි. 2014 අලූත්ගම සිද්ධීන්, 2017 දී ගිංතොට සිද්ධීන්, 2018 දී අම්පාර, දිගන සහ නුවර ප‍්‍රදේශවල ඇති වූ සිද්ධීන් එහිදී කැපී පෙනේ. කොළඹ නගරයේ සහ තදාසන්න පානදුර වැනි පෙදෙස්වල මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දී අවස්ථා කිහිපයකදීම ගිනිබත් කෙරුණි.

එහිදී සිදු වූ භෞතික අලාභහානිවලට වඩා මුස්ලිම් ජනතාව ප‍්‍රකෝපයට පත්කෙළේ ඒ කලහකරුවන් මැඩලීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැක්වූ ඇල්මැරුණු පිළිවෙතයි. මේ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමහරෙකු ද වැඩසිටීම මගින් පෙන්නුම් කෙළේ මුස්ලිම් ප‍්‍රජාවට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ආණ්ඩුව මුළුමණින් අසමත් වූ බවයි.

ලෝකයේ වෙනත් තැන්වල, විශේෂයෙන් යුරෝපයේ, මේ මොහොතේ අන්ත-දක්ෂිණාංශය පසුවන්නේ ජයග‍්‍රාහී ලීලාවක ය. මන්ද යත්, වාම-මාධ්‍යමික සහ දක්ෂිණ-මාධ්‍යමික සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ තමන්ට බලයට පැමිණිය හැකි එකම ක‍්‍රමය අර අන්ත-දක්ෂිණාංශික බලවේග සමග සභාගගත වීම බව වටහාගෙන සිටින බැවිනි. ඒ අදහස, ශ‍්‍රී ලංකාවේදී වඩාත් මැනවින් පෙන්නුම් කෙරේ. ජනාධිපතිවරයාගේ පක්ෂය ඇතුළු කිසි ප‍්‍රධාන ප‍්‍රවාහයේ පක්ෂයක්, මේ වන තෙක්, බොදුබල සේනාව, සිංහ ලේ, මහසෝන් බලකාය වැනි අන්තවාදී කල්ලි මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව මුදාහරින තිරශ්චීන හිංසනය හෙලාදැකීමට හෝ විවේචනය කිරීමට මෙතෙක් ඉදිරිපත්ව නැත. හිරේට නියමව සිටි භික්ෂුවක් ජනාධිපතිවරයාම මේ මෑතකදී සමාව දී නිදහස් කෙළේය. නිදහස ලබා ආපස්සට හැරුණු සැණින් ඒ භික්ෂුව කෙළේ සිය මුස්ලිම්-විරෝධී ව්‍යාපාරය නැවත දියත් කිරීමයි.

අයත් වන්නේ කොහේට ද?

පාස්කු ඉරිදා තිරශ්චීනත්වයේ මහ මොළකාර, ජාතික තව්හීඞ් ජමාත් සංවිධානයේ නායක, මද්‍රසා පාසලෙන් දොට්ට වැටුණු සහරාන් හෂීම් නැමැත්තා, ආගමික ඇදහිල්ලක් දරණ අතරේම කෙනෙකු රටකටත් අයත් වීම යන ප‍්‍රශ්නය නැවත වරක් ඉස්මත්තට ගෙනාවේ, මුස්ලිම් ජනතාව අරභයා ඉහත කී ආකාරයේ අනාරක්ෂිත වටාපිටාවක් රටේ ඇතිව තිබූ තත්වයක ය. ශ‍්‍රී ලංකාව මිසදිටුවන්ගේ වාසස්ථානයක් වශයෙන් මුල් වරට හඳුන්වමින්, එරටේ ජීවත් වීම මුස්ලිම් ජාතිකයන්ට ‘හරාම්’ (තහනම්* යැයි කී එක් පටිගත කළ කතාවකදී, මේ රටේ ජීවත් වූ මුළු මහත් ජන ප‍්‍රජාවකගේ සාමකාමී සහජීවනයක සමස්ත ඉතිහාසයම ඔහු කටුගා දමා, ‘උම්මා’ නාමයෙන් තමාගේ පක්ෂපාතිත්වය අයි.එස්.අයි.එස්. වෙත පූජා කෙළේය.

සහරාන් සහ ඔහුගේ ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයට මූලික වශයෙන් වැදගත් වන්නේ ජීවත් වන රට නොව, මීට පෙර මේ ලිපියේ විස්තර කොට ඇති, ‘උම්මා’ වශයෙන් හැඳින්වෙන, (තනි රටකට අයත් නැති) උත්තරීතර ‘පාර-ජාතීය රාජ්‍යයයි’. ඒ සඳහා මේ සංවිධානය තම කෝපය සංසිඳුවා ගැනීම සඳහා ඕනෑම අන්තවාදී ඉස්ලාමීය ජාත්‍යන්තර සංවිධානයක් සමග එක්කාසු වනු ඇත. මේ වෙලාවේ ඒ ආරයෙන් කැපී පෙනෙන සේ කරලියේ සිටින්නේ අයි.එස්.අයි.එස්. සංවිධානයයි. ‘කැලිෆේට්’ නමින් ඔවුන් හඳුන්වා ගන්නා ‘නබිතුමාගේ රාජධානිය’ ඊනියා ‘කුරුස යුද්ධකාරයන්’ ඉදිරියේ (ඉරාකය සහ සිරියාව වැනි රටවල්වල* පරාජය වී සිටින අවස්ථාවක අයි.එස්.අයි.එස්. සංවිධානයත් සොයමින් සිටියේ ස්වකීය භීෂණය මුදාහැරිය හැකි කරලියකි. ලංකාවේ සිදු වෙමින් තිබූ මුස්ලිම්-විරෝධී හිංසනය වෙනුවෙන් පලිගැනීමට ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයට තිබූ පිපාසයත්, සිරියාවේ ලද පරාජයේ පලිය ගැනීමට අයි.එස්.අයි.එස්. සංවිධානයට තිබූ පිපාසයත්, ඒ ඉරණම්කාරී පාස්කු ඉරිදාවේ ඒකාබද්ධ විය. ඉන් පසු දිග හැරුණු කතාව අපි කවුරුත් දනිමු.

1980 දශකයේ සිට ලංකාවේ මුස්ලිම් දේශපාලනය ඉස්ලාම්කරණය වීමේ සහ ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය අරාබිකරණය වීමේ ප‍්‍රවණතාව නිසා ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, සෙස්සන් වපර ඇසින් බලන, සැකමුසු ජන කොටසක් බවට පත්කරනු ලැබ තිබුණු බව, මුස්ලිම් නායකත්වය පිළිගත යුතුව ඇති තිත්ත ඇත්තකි. ඒ හා සමානවම, මුස්ලිම් සුළුතරයේ එකී ප‍්‍රමාදයෙන් උපරිම දේශපාලනික ලාභ ලැබීමට බෞද්ධ අන්ත-දක්ෂිණාංශය අදිටන් කරගෙන සිටින බවත් නිරනුමාන ය. එබැවින්, මුස්ලිම් සහ බෞද්ධ නායකත්වයන් දෙකම ඉදිරියේ අද තිබෙන ප‍්‍රශ්නය වන්නේ, මේ අසිරිමත් රටේ පැවති ඒ සාමකාමී සහජීවනයේ ස්වර්ණමය උරුමය යළි අත්පත් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි.

මුස්ලිම් අනන්‍යතාව, ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව තුළ සංයුක්ත විය යුතුය. මන්ද යත්, එම ප‍්‍රජාව අයත් වන්නේ මේ රටට වන බැවිනි. මේ රට ‘ස්වර්ණ භූමියක්’ කළ ඒ බෞද්ධ කරුණා-දයාව යළි සමාජගත කළ යුතුව තිබේ. ඒ තත්වය තුළ, සෑම පාර්ශ්වයක් වෙතින්ම, බරසාර ආත්ම-පරීක්ෂාවක් සහ නිර්මාණාත්මක නායකත්වයක් අවශ්‍ය කරන්නේය. අවාසනාවකට, මේ මොහොතේ නැත්තේ ද එයම ය.

    ආචාර්ය අමීර් අලී

2019 ජුනි 10 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ  පළවූ “Believing & Belonging: A Muslim Dilemma” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

උපුටා ගැනීම - colombotelegraph




2019-06-25
Advertisement

Find us on Facebook