English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රට ලෝකයට ණය වෙලා.., රට්ටු එකිනෙකාට ණය වෙලා ....,




රට ලෝකයට ණය වෙලා.., රට්ටු එකිනෙකාට ණය වෙලා ....,

විවිධ මතවාදයන් පිළිබද රටේ ආතතියෙන් යුතු සාකච්ඡා පවත්වන නමුත් රට තුළ කළ හැකි, නොහැකි දේවල් තීන්දු කරන අවසාන සාධකය ලෙස පවතින්නේ රට මුහුණ දී තිබෙන අති බරපතල ණය ගැතිභාවයි. ජාත්‍යන්තර ආයතන වලට හා රට වලට ලංකාවේ ඇති ණය ප‍්‍රමාණය බිලියන 56 යැයි කියනු ලබයි. එම මුදල් සඳහා සාමාන්‍යයෙන් වාර්ෂිකව ගෙවිය යුතු පොළිය 7% ක ප‍්‍රමාණයකි. රටේ ජනතාවගේ අවශ්‍යතාවන් පිරිමැසීමට වඩා බලයට පත්වන  ඕනම ආණ්ඩුවක මූලික ප‍්‍රශ්නය වන්නේ මෙම ණයගැති භාවයට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

එම ණයගැතිභාවය තුළින් ජනතාව පත්වී ඇති තත්වය නම් සෑම කෙනෙක්ම ජීවත් වන්නේ වෙනත් අයගෙන් ලබා ගන්නා ණය මතය. විශේෂයෙන්ම ගම්බද පළාත් වල රටේ වැඩි කොටසක් වන දුගී ජනතාව අතර එදිනෙදා ප‍්‍රශ්න විසදා ගැනීම සඳහා ණය ලබා ගැනීම සිදු වේ. සමහර වෙලාවට යම් මවක් ණය ලබා ගන්නේ දරුවන්ට හා පවුලට එදිනෙදා ආහාර සපයා දීමටය. මෙසේ ගන්නා ණය වලටඩද ඔවුන්ට පොළි ගෙවීමට සිදු වේ. එහෙත් මේ ණය ගෙවා දැමීමට තරම් ආදායමක් ඔවුන්ට අත්පත් කොට ගත නොහැකිය. යම් විදිහකින් එකතු වන මුදලක් දැනට පවතින ණය ගෙවා දැමීමට යෙදු කළ ඊළගට ජීවත් වීමට නැවත ණය ගැනීමට සිදු වේ. මේ ආකාරයෙන් වර්ෂය පුරාම හා ජීවිත කාලය පුරාම ණය ලබා ගැනීමේ චක‍්‍රයක් ඔවුන්ගේ ජීවිත තුළට ඇතුල් වේ. එම ප‍්‍රශ්නයට විසදුමක් සොයා ගැනීම සදහා මාවත් සෙවීම ඔවුන්ගේ මොළයට වද දෙන ප‍්‍රධාන කරුණක් වුවත් එසේ සොයා ගත හැකි මාවත් රට තුළ පවතිනවා නම් එසේ ඇත්තේ ද අල්ප වශයෙනි.
 
පිටරටින් ණය ගන්නා රජය වැටී සිටින්නේද ඒ තත්වයටය. ගත් ණයට පොළී ගෙවීම සඳහා රටට එන විදේශ සම්පත් වැය කරන අතර එසේ වැය කරන සම්පත් එම ණය සඳහා පොළී ගෙවීමට කෙසේවත් සෑහෙන්නේ නැත. මේ නිසා රජයන් වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් හා රටවලින් තවත් ණය ගනී. ඒ ණය නිසා සමස්ථ ණය ප‍්‍රමාණය තවත් වැඩි වනවා පමනක් නොව ගෙවිය යුතු පොළියද අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වී යයි.


 
අතීතයේදී ගැමියන් කෙරෙහි මේ ප‍්‍රශ්නය බලපෑ ආකාරය ලෙනාඞ් වුල්ෆ් නමැති ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියට පත් ලේඛකයා විසින් රචිත බැද්දේගම යනුවෙන් පරිවර්තනය වී ඇති නවකතාව තුළින් හෙළි කර ඇත. එම කතාව සිනමා චිත‍්‍රපටයක් හැටියට ද පටිගත කර පෙන්වන ලද්දේ දැනට දශක ගණනාවකට පෙරය.

එහිදී පෙන්නුම් කරන්නේ ගමක හිරිමල් තරුණයෙකු දියුණු වීමේ අදහසින් යම් ඉඩම් කොටසක් වෙන් කරවා ගෙන එය වවන්නට ගන්නා උත්සාහයය. එම ඉඩම් කොටස වෙන් කරවා ගැනීම සඳහා රාජ්‍ය නිළධාරීන්ට හා ප‍්‍රාදේශීය බලවතුනට ගැතිභාවයක් ඇති කර ගැනිමට ගැමියන්ට සිදුවේ. ඉන්පසු වැවීම සඳහා අවශ්‍ය වී ණයට ගැනීමට සිදු වූයේ පළාතේ සැරිසරන මුදලාලිගෙනි. වැවීම අවසන් වී අස්වැන්න ලැබෙන කාලය වන විට එම මුදලාලි ගමට පැමිණෙන්නේ ඔහුගෙන් ගත් ණයත් ඊට අදාළ පොළියත් අය කර ගැනීමටය. ඒ සඳහා ඔහුට රජයේ නිළදරන්නන්ගෙන් හා ගමේ ප‍්‍රබලයන්ගෙන් ආධාර ලැබේ. ගැමියා තමන් විසින් වවා වැඩිදියුණු කරන ලද කුඹුරේ අස්වැන්න මුදලාලිට ණය හා පොළී ගෙවීමට දීමට සිදුවේ. එසේ දීමෙන් පසු නැවත වගාව ඊළඟ වාරයේදී කිරීමට නැවත ණය ගැනීමට සිදුවේ. මේ ආකාරයෙන් ණය චක‍්‍රයේදී ගොවියාගේ ජීවන මාර්ගය මෙන්ම ජීවිතයේ තේරුම ද අකාමකා දමනු ලැබේ.

ණය බරින් පිරුණු ගොවියා ඇත්තෙන්ම ගෙවන්නේ එක් ආකාරයක වහල් ජීවිතයකි. මෙයින්ද ප‍්‍රයෝජන ගැනීමට මුදලාලි උත්සාහ කරයි. තමන්ගේ ලිංගික වුවමනාවන් සඳහා ගොවියාගේ බිරිඳ පවා ඉල්ලා සිටීමේ තත්වයක් ඔහු තුළ නිර්මාණය වේ. එසේ ඉඩ නොදීමට තරම් තවමත් මානසික ධෛර්්‍යයක් පවතින ගොවියෙකු එම අශිලාචාර ඉල්ලීම් වලට විරුද්ධ වූ විට ඔහුට විරුද්ධව බොරැ නඩු දමා ඔහු සිරගත කරන තත්වයක් ද බලවතුන්ගේ මාර්ගයෙන් නිර්මාණය කිරීමට හැකිවේ. අවසානයේදී ධෛර්යෙන් වැවිල්ලක් කරගත් තරුණයාට සිදු වන්නේ සිරගෙදරට යාමත් ඉන්පසු එහිදී ජීවිතය නැති කර ගැනීමටත්ය.
 
මේ සියලූ දේ දැක ඒවායින් තදබල කළකිරීමට හා තරහට පත්වන එම තරුණයාගේ මාමණ්ඩිය කරන්නේ අවසානයේදී  එම මුදලාලිවත් ඔහුට අනුබල දුන් ගමේ ප‍්‍රධානීන්වත් මරා දැමීමත්ය.

ඉහත සඳහන් කෙරෙන ක‍්‍රියාවලින් හා ඒ තුළින් මතුවී ඇති ප‍්‍රශ්න දැන් නැති වී තිබේද ?

රටේ සිදුවන විවිධ සිදුවීම් සුපරික්ෂාකාරීව බලන කළ ඉතා පැහැදිළිව ප‍්‍රකාශයට පත් වන්නේ එම තත්වයන් හා එය නිර්මාණය කරන මානසික තත්වය රට පුරා තවමත් පැතිරී පවතින බවය. බොහෝ විට වර්ගවාදී ප‍්‍රශ්න හෝ ජාතිවාදී හෝ ආගමික ප‍්‍රශ්න වශයෙන් එළි දකින්නේ සමාජ ගර්භය තුළ ඇති මෙම ගැඹුරු ආර්ථික ගැටලූය. ණය ගැති බවේ ප‍්‍රතිඵල රටතුළ පවතින අරාජික බවේ හා අස්ථාවරත්වයන්ගේ මූළාශ‍්‍රයන් වී පවතී.

එදා මුදලාලි හා ගම්මුලාදෑනි ගෙන ගිය දුෂිත සූරාකෑම අද රාජ්‍ය තන්ත‍්‍රය තුළටම පැතිරී ගොස් ඇත. ලැබෙන සෑම අවස්ථාවකදීම පගාවක් සඳහා යොමු කර ගන්නා මානසික තත්වය රට පුරාම පවතී. මෙම මානසික තත්වය තුළින් හා එම දුෂිත කි‍්‍රයාවන් තුළින් ඇතිවන මන්දගාමීත්වයද එලෙසම රටපුරා පැතිරී පවතී.

අකාර්යක්ෂම හා බුද්ධිගෝචර භාවයෙන් තොර සමාජයක් සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරෙන්නට පටන් ගනී. එදා ගම්මුලාදෑනියන්ගේ අතින් සිදු වූ කාර්යය ඊට වඩා හොඳින් කර ගෙන යන්නේ දේශපාලනඥයන් විසිනි. 225 ම ඒපා යනුවෙන් රටපුරා  දැන් ප‍්‍රකාශයට පත්වන විවිධ කතා හා ලියවිලි තුළ ගැබ්ව ඇත්තේ මහජනතාව තමන්ගේ දේශපාලනඥයන් කරන කර්තව්‍යය ඉතා ගැඹුරින්ම වටහා ගෙන ඇති බවය. දේශපාලනඥයා හොරෙකි, බොරු කාරයෙකි හා වංචාකරුවෙකි හා දෙඩවිලිකාරයෙකි යන මතය ජනතාව තුළ ඇති සමස්ථ මතයන් වේ.
 
එමෙන්ම දරුවන්ගේ මන්ද පෝෂනය හා ළගදී ප‍්‍රකාශයට පත් වූ සාගින්න නිසා දරුවෙකු මියගියේය යන ප‍්‍රකාශය ණය බර ලංකාවේ වැඩි කොටසක් වන දුගී ජනතාව තුළ පැතිර පවතින්නේ කෙසේද යන්න පිළිබිඹු කරයි. විසදුමක් නැති බරපතල ප‍්‍රශ්නයකට මුහුණ දෙන ජනතාව අවසානයේ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දෙති.

ණය බර භාවය තුළින් නිර්මාණය කරගත් දේශපාලන ක‍්‍රමය තුළ කි‍්‍රයාත්මක වන රාජ්‍ය ආරක්ෂකයන් තුළද ඇත්තේ අකර්මන්‍යතාවය හා මන්දගාමී මානසික තත්වයයි. එම තත්වයෙන් ප‍්‍රයෝජන ගැනීමට ඉදිරිපත් වන්නේ අන්තවාදී ත‍්‍රස්තවාදීන්ය. අන්තවාදී ත‍්‍රස්තවාදීන් ලංකාව ඉතා ලෙහෙසියෙන් තමන්ගේ අරමුණු ඉටු කර ගත හැකි තැනක් සේ හඳුනාගෙන තිබේය යන්න මේ අවුරුද්දේ පාස්කු ඉරිදා දින සිදු වූ සිදුවීමෙන් හෙළිදරව් වී ඇත. තමන්ගේ දුෂ්ඨ ක‍්‍රියාකලාපයන් වැඩි අමාරුවකින් තොරව ඉටු කර ගත හැකි තැනක් සේ යම් ප‍්‍රදේශයක් දුටු කළ එයින් ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ ත‍්‍රස්තවාදීන් මෙන්ම සියලූම වර්ගයේ අපරාධකාරයින්ය. කුඩු ජාවාරම, දරුවන් හා ගැහැණුන් වෙළඳාම් කිරීමේ ප‍්‍රයත්නය, සියලූම භාණ්ඩ ගුණාත්මකභාවයෙන් අඩු කර  විකිණීම ආදී දහසකුත් ප‍්‍රශ්න වල මූල බීජයන් වී පවතින්නේ ලංකාව මුහුණ දී ඇති සමස්ථ තත්වයන් යටතේ දීය.

එහෙත් දැනට ජනතා පිබිදීම් ඇතැයි කියන නමුත් ඒ පිබිදීම් සිදු වී තිබෙන්නේ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී දිශාවන්ට මිස මෙම සියල්ලටම පසුබිම සලසන ණය පිළිබඳ ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා ගැඹුරු කතිකාවක් ඇති කර ගැනීම සඳහා නොවේ. රටේ ප‍්‍රධාන අවශ්‍යතාවය ආර්ථික ගැටලූ පිළිබඳව ඇති කර ගත යුතු මහා කතිකාවකි. එම කතිකාව තුළින් යම් සහනයක් උදා වේ නම් ඒ තුළින් දැනට පවතින වෙනත් ගැටලූ බොහෝ දුරට අඩු කර ගැනීමට හෝ සමහන් කර ගැනීමට හැකි වනු ඇත.



- බැසිල් ප්‍රනාන්දු





2019-06-25
Advertisement

Find us on Facebook