English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වේගයෙන් යන අපරාධ රැල්ලේ ඉබි ගමනේ යන වධහිංසා නඩු !


වේගයෙන් යන අපරාධ රැල්ලේ ඉබි ගමනේ යන වධහිංසා නඩු !


පිලිප් දිසානායක
ශී‍්‍ර ලංකා වධහිංසා එකමුතුවේ කැඳවුම්කරු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ

1994 සිට වධහිංසා පනත කි‍්‍රයාත්මක වුවත් එම පනත යටතේ නඩු පැවරීමක් සිදුවන්නේ 2000 වසරේ දීයි. මේ වන විට මේ පනත කි‍්‍රයාත්මක වෙලා අවුරුදු 25 වේ. පනත යටතේ නඩු පැවරීමේ බලය තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ලබාගත් තොරතුරු අනුව පසුගිය අවුරුදු 25 තුළ නඩු 115 ක් පමණක් පවරා තිබෙනවා. දැනට නඩු 33 ක පමණයි තීන්දු ලබා දී තියෙන්නේ. එම නඩු තීන්දු ලබා ගැනීම සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටී. වධහිංසා නඩු 14 ක තීන්දු ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වධහිංසා පනත අනුව ලංකාව තුළ වධහිංසාව අපරාධමය වරදක් බවට පත් වී තිබීම ඉතා වැදගත්. එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව අනුව වධහිංසාව මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස සලකනු ලැබේ. මානව හිමිකම් කොමිසම පසුගියදා ඉදිරිපත් කරන ලද වාර්තාවන්ට අනුව 2015 වර්ෂයට පෙර වඩා තිබුණු තත්ත්වයට වඩා වධහිංසාවන් සිදුවීම් වාර්තාවීමේ යම් අඩුවීමක් දක්නට ලැබේ. 2016 සිට 2018 යන අවුරුදු වල ප‍්‍රතිශතයේ සියයට 30 ක පමණ අඩුවීමක් සිදුවී තිබෙන බව වාර්තා වී තිබේ. නමුත් සම්පූර්ණයෙන් අඩුවීමක් සිදුවී නැත.

ශී‍්‍ර ලංකාව රජයක් වශයෙන් වධහිංසාව අහෝසි කිරීමේ, තුරන් කිරීමේ ජාත්‍යයන්තර සම්මුතීන් ගණනාවකට අත්සන් කර තිබේ. රජය මේ සම්මුතීන් රැුකීමටත්, කි‍්‍රයාත්මකවීමටත් බැඳී සිටියි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය අධ්‍යයනය කරන නඩු 14 න් නඩු 10 කම ලබා දී ඇති තීන්දුව වන්නේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමයි. නීතිපතිවරයා දෝෂ සහිතව නඩු පැවරූ බව නිරීක්ෂණය කළ හැකියි. ඉදිරිපත් වූ නඩුවල වලදී අවශ්‍ය තරම් තොරතුරු හා සාක්ෂි ඉදිරිපත් වී නැති බව පෙනී යනවා. සාක්ෂි ඇති වී තිබූ පරස්පරතාවය සහ අදාළ පුද්ගලයන් ඒ වධහිංසාව කළාද යන්න අධිකරණයේ ඔප්පු නොවීම මත, මෙම නඩු තීන්දු ලැබී තිබේ. විත්තිකරුවන් වරදට පත්වූ නඩු තිබෙන්නේ හතර දෙනෙක් පමණයි. පනතට අනුව අවුරුදු 10 ක සිර දඩුවමක් සහ රුපියල් 50,000 කට නොඅඩු දඩයකට ඔවුන් යටත් වේ. ලබා දුන් නඩු තීන්දු 04 දී එය කි‍්‍රයාත්මක වී නැත. රුපියල් 1500ක රජයේ ගාස්තුවක් සහ අත්හිටවූ සිරදඬුවම් පමණක් ලබා දී තිබේ.



ජාත්‍යයන්තර නීති සම්මුතීන් උඩ ඇති කරගන්නා නීති, ඒ සම්මුතීන්වල ගැබ්ව තිබෙන හරයාත්මක ගුණයන්  තුළ කි‍්‍රයාත්මක නොවෙයි. වධහිංසාව පොලිසිය බරපතල අන්දමින් භාවිතා කරනු ලබයි. පොලිසිය පමණක් නොව පාසැල් වල, රජයේ ආයතනවල ද වධහිංසාව සිදුවෙයි. ශාරීරික වධහිංසාවට අමතරව මානසික වධහිංසාව ගැනත් අවධානය යොමු විය යුතුයි. නමුත් ලංකාව තුළ තවමත් මානසික වධහිංසාව අධිකරණයක් තුළ ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබී නැත.

වධහිංසාව සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුවක් ඉදිරිපත් කිරීමේදී විශාල අර්බුද රැසක් මතු වෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවකදී වෛද්‍ය වාර්තාවට අමතරව, ඡුායාරූප, වීඩියෝ හා වෙනත් විධිමත් සාක්ෂි විනිසුරුවන් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ තිබෙන නීතිමය රාමුව තුළ වධහිංසාවක් අධිකරණයේ ඉදිරියේ ඔප්පු කිරීම ඉතාමත් අපහසු වී තිබේ.

ලංකාවේ නීති පද්ධතියට එක් වූ වැදගත් සම්මුතියක් වන්නේ 2007 සම්මුත වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතයි. මෙම පනත අනුව නඩු පැවරීමේ බලය අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට පැවරෙයි. පහුගිය දිනවල මේ පනත යටතේ විවිධ නඩු පැවරුනි. ඒම නඩු වලින් කිහිපයක්ම පැවරුණේ විශේෂයෙන්ම විවිධ නිර්මාණවල යෙදෙන නිර්මාණ ශිල්පීන්ටයි. ඒ නඩු පැවරීම් සිදුවී තිබෙන්නේ සිවිල් හා දේශපාලන සම්මුති පනතේ හරයට එරෙහිවයි. නමුත් සිවිල් හා දේශපාලන සම්මුති පනතට අදාල අරමුණු හා මූල ධර්ම වලට අනුව මෙම නඩු පැවරීම සිදුවී නැත.

මෙම පනතට අනුව නඩු පැවරීමේ දී  ඇප ලබා ගැනීමට මහේස්ත‍්‍රාත් අධිකරණයකින් ඇප ලබාගැනීමට නොහැකි වීම නිසා ගැටළු රැසක් පැන නඟියි.  ඇප ලබාගැනීමට සිදුවන්නේ මහාධිකරණයක් හරහා ඉදිරිපත් කරනු ලබන පෙත්සමකින් පමණයි. මෙම පනත නිර්මාණය වී තිබෙන්නේ ලෝකය පිළිගත්ත ජාත්‍යයන්තර සම්මුතීන් මතය.





ශී‍්‍ර ලංකා වධහිංසා එකමුතුවේ කැඳවුම්කරු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ, පිලිප් දිසානායක මේ අදහස් පවසන ලද්දේ ,2019 ජූනි මස 19 වෙනි දින ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී හිංසනය, ප‍්‍රචණ්ඩත්වය හා අන්තවාදය මැයෙන් පැවති මාධ්‍ය හමුවකදීය. 2019 වසරේ ජූනි 26 වෙනි දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන් වෙනුවෙන් වූ ජාත්‍යයන්තර දිනය සැමරුම් වෙනුවෙන් පවත්වන වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස මෙම මාධ්‍ය හමුව පැවැත්විනි. මෙම මාධ්‍ය හමුව වධහිංසාවට එරෙහි ශී‍්‍ර ලංකා එකමතුව විසින් සංවිධානය කරන ලදි. ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සහ ශී‍්‍ර ලංකා වධහිංසාව එකමුතුවේ කැඳවුම්කරු පිලිප් දිසානායක,  රයිට්ස් නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ ප‍්‍රබෝධ රත්නායක,  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීති අංශයේ නීතිඥ දුලාන් දසනායක, ඩාබිඳු සංවිධානයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි යන නියෝජිත පිරිසක් සහ මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි විය.





2019-06-21
Advertisement

Find us on Facebook