English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කලා සංස්කෘතික ජීවිතයට අතදාන්න එන්න එපා!!ශක්තිකට ශක්තියක් වනු පිණිස

කලා සංස්කෘතික ජීවිතයට අතදාන්න එන්න එපා.
ශක්තිකට ශක්තියක් වනු පිණිස


අද දින ( ජූනි 17 ) කොළඹ, කොටුවේ, දුම්රිය පොළ ඉදිරියට එක්වුනු කෙටිකතාකරුවන්, ලේඛකයන්, තරුණ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්, සමාජ කි‍්‍රයාධරයින් රැසක් විසින් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් තරුණ ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර තව දුරටත් සිරබාරයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි. මෙම විරෝධයේ විශේෂ ලක්ෂණයක් වූයේ සම්මානලාභී රටේ සිටින විශිෂ්ඨයයි සම්මත ජේෂ්ඨ නවකතාකරුවෙකු හෝ නවකතාකාරියක ඒ අතරේ සොයා ගැනීමට අපහසුවීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හෝ රටේ ගැටළුවක දී ඉදිරියට එන පරිවර්තකයන්, නවකතාකරුවන් සිටියත්, වෙනත් ජේෂ්ඨ කලාකරුවන් සිටියත්, ඔවුන් ශක්තිකගේ ක්ෂේත‍්‍රය නියෝජනය කරන්නන් නොවීය. නමුත් තරුණ බව ඉක්මවමින් සිටින, දක්ෂ තරුණ ලේඛක ලේඛිකාවන් රැසක් එහිදී දක්නට ලැබිණි.

දැනගැනීමට ලැබුණු කරුණු අනුව ඔවුන්ගෙන් සමහරුන් ශක්තික සත්කුමාරගේ නිර්මාණශිලීභාවයේ ඇති දුර්වලතා නිසා ඉදිරිපත්වීමට නොහැකි යයි පවසා තිබිණි. නමුත් ඔවුන් නොදන්නා දේ නම් ඉතාම මෑතදී ඔවුන්ටද මේ ඉරණම අත්වීමට ඉඩ ඇති බව පසක් වනු ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ ජේෂ්ඨ ලේඛක කුසල් පෙරේරාටද සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ නඩු පැවරීමට හා අත්අඩංගුවට සැරසීමට පවතින උත්සාහයක් ගැන තොරතුරු පළවීමයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ වෙන ප‍්‍රකාශයන්හී ඒ පනත යටතේම අත්අඩංගුවේ පසුවන ශක්තික ගැන කිසිඳු සඳහනක් නොතිබීමයි. එම ලිපියට බොහෝ විද්වතුන් ලේඛකයන් ද අත්සන් තබා තිබිණි.

ශක්තිකගේ නොමේරු නිර්මාණශිලී බව හෝ කුසල් පෙරේරාගේ තියුණු දේශපාලන දැනුම ගැන ගැටළුවක් නැතත්, ලේඛකයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ අයුරින් කි‍්‍රයා කිරීම ගැටළු සහගතය. නිර්මාණකරුවන්ට, ලේඛකයන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ නඩු පැවරීමේ  ඇති භයානකකමත් එය කිසිඳු බේදයකින් තොරව ඉදිරියේදී සිදුවිය හැකි බවත් අවබෝධ කරනොගැනීමේ පාපය අද අප ගෙවමින් සිටිමු. එය දේශපාලනඥයන්, පරිපාලකයන්, නීතිය හා සාමය රකින්නන් අවබෝධ කරනොගැනීම සිතා ගැනීමට හැකි වුවත්, එය ජේෂ්ඨ ලේඛකයන් හා නිර්මාණකරුවන් අවබෝධ කර නොගැනීම සිතා ගැනීමට නොහැක.

කෙසේ වුවත් අද දින විරෝධතාවයට සහභාගි වූ පිරිස ශක්තිකගේ බිරිඳට, ශක්තික වෙනුවෙන් නීතිමය කි‍්‍රයාමාර්ගයන් සඳහා වෙහෙසවෙන්නාවූ පිරිසට ධෛර්යයක් ශක්තියක් වන්නට ඇත. මෙම විරෝධතාවය සඳහා සහභාගි වූ පිරිස අවංකවත්, අධිෂ්ඨාශිලීවත් ඊට සහභාගි වනු දක්නට ලැබිනි.

”අපි ආවේ අද කොටුවට - කියලා යන්න - හරි විදියට - ලියන කියන - හිතන උන්ට - එන්ඩ එපා - අත තියන්න- නැති කරන්න - නිදහස - දෙයියෝ බුදුන් - විකුණගන්න - ධර්මයන්ව අපට එපා - ආගමිකේ අන්තවාදේ - අපේ කරෙන් තියන්නෙපා”

වැනි සටන් පාඨ කියමින් ඔවුන් තමන්ගේ හදවතින් නැගෙන විරෝධතාවය ගෙනහැරපෑය.



යනූෂා ලක්මාලි - ශක්තිකගේ බිරිඳ - ලේඛිකා


”මේ වෙන කොට ශක්තික අත්අඩංගුවට ගෙන දවස් 78 ක් ගෙවිලා තියෙනවා. කෙටි කතාවක් ලිව්වා කියලා අසාධාරණ විදියට තමයි මහත්තයා හිරකරගෙන ඉන්නේ. බිරිඳක් විදියට,දරුවෝ ඉන්න මවක් විදියට. පුතාට අවුරුදු 04 යි. පුතාට අවුරුදු 1 1/2 යි. ඒ දරුවෝ දෙන්නයි මායි ලොකු මානසික පීඩාවකට ලක්වෙලා ඉන්නවා.පුතා මේ වෙනකොට මානසිකව ගොඩක් වැටිලා ඉන්නවා. ඊට අමතරව මම රජයේ රැුකියාවක් කරන කෙනෙක්. මට කාර්යාලයට යන්න විදියක් නෑ. මිනිස්සු බලන්නේ එක එක විදියට. ඒ විදියට ලේඛිකාවක් විදියට අද මහත්තයට වුනු දේ හෙට මට වෙන්න පුළුවන්. අපේ අනික් ලේඛක, ලේඛිකාවන්ට වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ, මහත්තයා හිරකරගෙන හිටියා ඇති මහත්තයට ඇප දෙන්න. එයා කායිකවත්, මානසිකවත් ලොකු දුකක් විඳිනවා. සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මගේ මහත්තයට ඇප ලබාදෙන්න. මවක් විදියට ලේඛිකාවක් විදියට, බිරිඳක් විදියට, සාහිත්‍යකාරියක් විදියට මම ඒ දේ ඉල්ලා සිටිනවා.”



විමල් කැටපේආරච්චි - ජනමාධ්‍යවේදී/ සමාජක්‍රියාකාරි


ශක්තික සත්කුමාර සහෝදරයව අසාධාරණ විදියට සිරගත කරලා තියෙන්නේ, කෙටි කතාවක් ලිව්වා කියලා. ඔහු වෙන වරදක් කරලා නෑ. ශක්තික සත්කුමාර සුදුවෑන් වලින් මිනිස්සුන්ව උස්සලා, මොරුන්ට කන්න දාලා, හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා මුහුදට දාලා නෑ. ශක්තික සත්කුමාර සහෝදරයා බැදුම්කර වංචාවට සම්බන්ධ නෑ. ඔහු අධිවේගී මාර්ග වල ටෙන්ඩර් වලින් ගසාකාලා නෑ. ඔහු කරලා තියෙන එකම වරද තමයි මේක. ඒ කියන්නේ කෙටි කතාවක් ලියන එක. ඒ කෙටි කතාවට පාදක කරගෙන තියෙනවා පැරණි ආගමික සාහිත්‍යයේ යම් කිසි ප‍්‍රතිනිර්මාණය කිරීමක්. ඒකද වරද? කෙටි කතාවක් ලියලා මිනිහෙක්ව හිරේ දානවා නම් අසාධාරණ විදියට, ඒකට අපි සහමුලින්ම විරුද්ධයි. ඒක ප‍්‍රකාශනයේ නිදහසට සහමුළින්ම විරුද්ධයි. අන්න ඒ විරුද්ධතාවය ප‍්‍රකාශ කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ආගමික අන්තවාද පෝෂණය කරන, ආගමික අන්තවාද හුරතල් කරන, කාට කාටත් අපි කියන්නේ, මේ සෙල්ලම් කරන්න එන්න එපා. මේක සමස්ත මිනිස්සුන්ගේ නිදහස උල්ලංඝණය කිරීමක්. කලින් රේඩියෝ නාට්‍යයක් ලිව්වා කියලා මාලක දේවපි‍්‍රය කියන නිර්මාණකරුවට විරුද්ධව නඩුදාලා. ඒ නඩුව තාම යනවා. කුසල් පෙරේරා කියලා ලේඛකයෙක්ට තර්ජනය එල්ල වෙමින් පවතිනවා. නීතියේ යම් යම් වගන්ති වලින් රිංග රිංග ප‍්‍රකාශනයේ නිදහසට අත තියන්න යම් යම් පාලකයෝ ලෑස්තිවෙනවා නම්, ඒ පාලකයන්ට උඩ ගෙඩි දෙන්න ආගමික බලාධිකාරීන්ට කිසිම අයිතියක් නෑ. ආගමික බලාධිකාරිය තමන්ගේ ආගමික වැඩ කරගෙන ඉන්න. මිනිස්සුන්ගේ ලෞකික ජීවිතයට අතදාන්න එන්න එපා. මිනිස්සුන්ගේ කලා සංස්කෘතික ජීවිතයට අතදාන්න එන්න එපා. ඒ විරෝධය පළ කරන්න තමයි අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ.



නදී වාසලමුදලිආරච්චි - ලේඛිකා සහ සමාජ ක්‍රියාකාරිනි


ශක්තික නිදහස් කරගැනීම පමණක් නොවෙයි අපේ අරමුණ, ප‍්‍රකාශනයේ නිදහස ස්ථාපිත කිරීම. ප‍්‍රකාශනයේ නිදහස කියලා කියන්නේ, මූලිකම අයිතිවාසිකමක්.  ඕනෑම මනුෂ්‍යයෙක්ගේ. මේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වෙනවා කියන්නේ, එයට සියළුම ශී‍්‍ර ලංකිකයන් එළියට බැසිය යුතුයි. සියළුම ශී‍්‍ර ලාංකිකයින් එයට එරෙහි විය යුතුයි. ශක්තික වෙනුවෙන් ද එහෙම නැත්නම් කුසල් වෙනුවෙන් ද,  වෙනත් කවුරු හරි වෙනුවෙන් ද කියන එක අදාල නෑ. ප‍්‍රකාශනයේ නිදහස තමයි අපි ඉල්ලා සිටින්නේ. ඊට අමතරව අපි ශක්තික නිදහස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද ශක්තික ඇතුළේ ඉන්න ඉන්න, ප‍්‍රකාශනයේ නිදහස හීන වෙනවා. ඒ නිසයි අපි කියන්නේ ශක්තිකව නිදහස් කරන්න කියලා. ශක්තික ඇතුළේ තියාගෙන ඉන්න කිසිම හේතුවක් නෑ. මොකද ප‍්‍රකාශනයේ නිදහස ස්ථාපිත කරලා තියෙනවා නම් රටක, ශක්තික කොහොමද ඇතුළේ ඉන්නේ. ඒ නිසයි අපි කියන්නේ ශක්තික නිදහස් කරන්න කියලා.





2019-06-18
Advertisement

Find us on Facebook