English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතිවාදීන් මුස්ලිම් ජනතාව අන්තවාදීන්ගේ ඔඩොක්කුවට දානවා - ප‍්‍රසන්න විතානගේ


ජාතිවාදීන් මුස්ලිම් ජනතාව අන්තවාදීන්ගේ ඔඩොක්කුවට දානවා
ප‍්‍රසන්න විතානගේ
ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂක


ශී‍්‍ර ලාංකික ජාතියේ නොහැකියාව

අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවීම් නිසා එදා ලංකාවේ බෙදුම් රේඛාවක් සනිටුහන් වෙනවා. අනාගතයේදී 2019 අපේ‍්‍රල් 21 වෙනි දිනට පෙර ලංකාව හා අපේ‍්‍රල් 21 වෙනි දිනට පසු ලංකාව කියලා සලකුණු කරන්න වේවි. මම එහෙම කියන්නේ අපේ සමාජයේ තියෙන බෙදුම් රේඛා මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලිය හරහා සමාජයේ ඉස්මත්තට ගෙනල්ලා තියෙනවා. අපි ජීවත් වෙන සමාජය තුළ බියක් තියෙනවා. ඒ බිය අපි දකිනවා මේ වන විට වපුරවමින් තිබෙනවා මාධ්‍ය විසින්. ඒ වගේම ඒ බිය නිසාම, බියෙන්ම ප‍්‍රචණ්ඩත්වය ඉපදිලා තියෙනවා. ප‍්‍රචණ්ඩත්වය මතුවෙලා තියෙනවා. ඒ නිසාම මේ රටේ සෑම ජනකොටසක්ම මේ රටේ කිසියම් වූ ආකාරයකට තමන්ගේ ජීවිත පිළිබඳ, තමන්ගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ, බියකින් සැකයකින් පසුවෙනවා. මේ තත්ත්වය හැමෝම දකින තත්ත්වයක්. නැත්නම් මේක අපිට ඇහැට පේන්න තියෙන තත්ත්වයක්. තියෙන ප‍්‍රශ්නේ තමයි අපි කොහොමද මේ බියෙන් අත්මිදෙන්නේ කියන එක. බියෙන් අත්මිදෙන්න නම් මම හිතන්නේ මේ සිදුවීම් වලට පාදක වෙච්ච, සිදුවීම් පෙළක් අපි තේරුම් ගත යුතු වෙනවා. අපි දකිනවා අද ලෝකයේ, විශේෂයෙන්ම 21 වෙනි ශතවර්ෂයේ, ප‍්‍රධාන සමාජ ප‍්‍රපංචයක් බවට ජාතිකවාදය පත්වෙලා තියෙනවා. අනික් සියලූම ප‍්‍රපංචයන් අභිබවා ජාතිකවාදය මතුවීමට හේතුව කිසියම් ජනකොටසක් සිතන විට ඔවුන් ඔවුන් ලැබිය යුතු පිළිගැනීම නැහැයි කියලා, ලැබිය යුතු ගරුත්වය නැහැයි කියලා, ඔවුන් බොහෝ වෙලාවට තමන්ගේ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. අවසානයේ මේ පෙනී සිටීම, ඒ ගරුත්වය සඳහා කරන අරගල, අතිශය ප‍්‍රචණ්ඩ බෝම්බ බවට පත්වෙනවා. මෙය අදාල වෙන්නේ මුස්ලිම් අන්තවාදය සඳහා පමණක් නෙමෙයි. ඊට පසුව ලංකාවේ ඇතිවුනු සිදුවීම් වලිනුත් පේන්නේ ප‍්‍රචණ්ත්වයේ මූලය තිබෙන තැන පිළිබඳ චිත‍්‍රයයි. නමුත් මම විශ්වාස කරන්නේ, ජාතිකවාදයෙන් මොනව ආකාරයකටවත්, ඔවුන්ගේ මූලික ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් සමාජයේ අසමානතාවය, ජාතීන් අතර ඇතිවෙලා තියෙන බෙදීම් සහ ශී‍්‍ර ලාංකික ජාතියක් වශයෙන්, අපට ඉදිරියට යාමට තියෙන නොහැකියාව, යන කිසිම දේකට මේ ජාතිවාදය පිළිතුරක් නෙමෙයි.

ජාතියක බිය හා සැක

අපි අනෙකෙක් නිර්මාණය කරන හැම විටම සැකය අප තුළින් මතුවෙනවා. අපි විශ්වාස කරනවා අපේ ප‍්‍රශ්න වලට, හේතුව අනෙකෙක් කියලා. දෙමළා අපේ අනෙකෙක් කියලා අපි සලකනකොට, අපි හිතනවා දෙමළා නිසා තමයි අපේ ප‍්‍රශ්න ඇති වෙන්නේ කියලා. මුසල්මානුවා නිසා තමයි අපේ ප‍්‍රශ්න ඇති වෙන්නේ කියලා. අනික් පැත්තටත් එහෙමයි. මුසල්මානුවත්, දෙමළාත් එසේ සිතනවා විය හැකියි. සැකය නිසාම තමයි බිය ඇතිවන්නේ. සමහර ගම්මාන තියෙනවා, මුස්ලිම් ජනතාව බහුතරයක් සිටින නමුත් සිංහල ජනතාව සුළුතරයක් සිටින. මේ ගමේ සිංහල ජනතාව බියෙන් පසුවෙනවා ඔවුන්ට අනතුරක් වෙයි කියලා. මෙය ප‍්‍රයෝජනයට ගන්නා බලලෝභීන් සහ දේශපාලන අන්තේවාසියකයන් විසින් මේ සැකය ප‍්‍රයෝජනයට අරගනිමින් ප‍්‍රචණ්ඩත්වය දියත් කරනවා. අපි දැක්වා එය සිදුවෙනවා පහුගිය කාලේ. ඒ ප‍්‍රචණ්ඩත්වයට වැඩිපිරිසක් දායකවෙන්නේ, අනෙකා කෙරෙහි ඇතිවෙන්නාවූ සැකය, බියක් බවට පත් කරලා, ඒ බය නිසාම ඔවුන් ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙනවා. හරියටම නයෙක් අපිව සපා කන්න එන්නේ නැහැ. ඌ යනවා පැත්තකින්. නමුත් අපි හිතනවා, නයා අපිිට දෂ්ඨ කරන්නේ ඉන්නේ කියලා හිතලා නයා මරනවා වගේ වැඩක්.

ප‍්‍රචණ්ඩත්වය මුදාහැරීමේ තේරුම් නොගත් ජනතාවක්

මිනුවන්ගොඩ සිදුවීම ගත්තත්, ලංකාවේ වයඹ පලාතේ සිදුවීම් ගත්තත්, මේ සැකය උඩුදුවා ගිහින් ඇති වූ තත්ත්වයන් තමයි මේ කළකොළහාල බවට, මනුෂ්‍ය ඝාතන කිහිපයක් සහ කඩ කොල්ලකෑම් දක්වා පරිවර්තනය වෙලා තියෙන්නේ. නමුත් මෙතනදි මේ හැම එකක්ම පිටුපස තියෙන්නේ වෙනත් බලාපොරොත්තු පිරිසක් තමයි මේවා මෙහෙයවලා තියෙන්නේ. ආරංචි ලැබෙන විදියට මූණු වසාගත් පිරිස්, මේ සඳහා මිනිසුන් තුළ තියෙන්නා වූ බිය, උසි ගන්වමින්, සැකය වර්ධනය කරවමින්, මුළු සමස්ත සමාජයටම හානියක් කරලා තියෙනවා. අපි නොදන්නා දේ තමයි, අමතක කරන දෙයක් තියෙනවා අද අපි ප‍්‍රචණ්ඩත්වය මුදා හැරියොත්, වෙනත් ජනකොටසකට හෝ වෙනත් පුද්ගලයෙකුට, එහි ප‍්‍රථිඵලය අපිට දකින්න ලැබෙන්නේ, අනාගතයේ. සමහර වෙලාවට එල්.ටී.ටීඊ යට සම්බන්ධ වෙච්ච තරුණයන්ගෙන් ඇහැව්වොත්, ඇයි ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳෙන්න හේතුවුනේ කියලා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි, අපි කිසිම වැරැුද්දක් කළේ නැහැ, යාපනයේ අපේ ගම, අපි පාරේ ඇවිදිනකොට, ඉක්මනට ගෙවල් වලට පලයල්ලා කියලා හමුදාව අපිට කසයකින් ගැහැව්වා. ඉතින් මට හිතුනා මොකක්ද මම කරපු වැරැුද්ද මට කසයෙන් ගහන්න. ඇයි මට මෙහෙම වුනේ ? මෙතනදි තමයි ගරුත්වය පිළිබඳව ප‍්‍රශ්නය එන්නේ. ඒ ගරුත්වය සඳහා ඊළගට එම පුද්ගලයා, ප‍්‍රචණ්ඩත්වයට යොමු වෙනවා. ඔහු හිතනවා මගේ ප‍්‍රශ්නයට පිළිතුර තියෙන්නේ, මේ මගේ ජාතිය තුළයි කියලා. මේ ප‍්‍රචණ්ඩත්වය හරහා ඇත්තමට සිදුකරන්නේ මේ පිරිස්, මේ ජාති බෙදුම් රේඛා තවත් පුළුල් කරන එකයි. ඒකට දායකවෙනවා මේ රටේ දේශපාලඥයෝ. ඔවුන්ගේ ප‍්‍රකාශ හරහා මේ දේ සිදුවෙනවා. වැරදි කරන අයව පොලිසිවලට ගිහිල්ලා බේරගෙන, නැත්නම් ඔවුන් බේරලා යවන්න කියලා දුරතකන ඇමතුම් දෙමින්, ඔවුන් මෙයට දායකවෙනවා.

මුස්ලිම් අන්තාවාදයේ ගොදුරු වූ මුස්ලම් ජනතාව

සුප‍්‍රසිද්ධ ජනමාධ්‍යවේදිනියක් වන ඔරියානා පෙලිචි වරක් කිව්වා ”යුද්ධය මිනිසා කව්රුන්දැයි හෙළිකරයි” කියලා. මේ විදියේ අර්බුදයකදි තමයි සැබෑ මිනිසුන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම දකිනවා සංහිඳියාව තමන්ගේ ජීවිතය බවට පත් කරගෙන තියෙන නැත්නම් තමන්ගේ ජීවිකාව බවට පත් කරගෙන හිටපු මිනිසුනුත් මේ වෙලාවේ හැසිරෙන ආකාරය. ඔවුන්ට කිසිසේත් ලංකාවෙන් බාහිරව සිදුවන සිදුවීමුත්. ලංකාවේ දේශපාලන ඉතිහාසයෙ සිදුවීමුත් තුළින් ඔවුන් කිසිම දෙයක් ඉගෙනගන්නේ නැති බවයි පෙනෙන්නේ. මේ අයිසිස් නමින් හඳුන්වන සංවිධානය ඔවුන් හඳන්වන්නේ එය මුස්ලිම් සංවිධානයක් හැටියට. සියළු මුස්ලිම් මිනිස්සු අයිසිස් එකේ තමයි ඉන්නේ කියලා. නමුත් ඇත්තටම ඉරාකය ගත්තත්, සිරියාව ගත්තත් වැඩියෙන්ම ඔවුන් ඝාතනය කරන ලද්දේ මුස්ලිම් වැසියන්. සිරියාවේ ඔවුන්ගේ ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වෙලා සිරියානු වැසියන් දසදහස් ගණනක් තමන්ගේ ගම්බිම් හැරදා බෝට්ටුවල නැගී යුරෝපයටත්, වෙනත් රටවලටත් ගියා. ඒ ගිය දරුවන්ගේ සිරුරු වෙරළට පාවෙලා ආපු වෙලාවල් වල ගත්තු ඡුායාරූප තමන්ගේ ෆේස්බුක් පිටුවේ සරසපු අය, මේ මුස්ලිම් අන්තවාදය නිසා, ලංකාවේ සිටින සියළු මුස්ලිම් ජනතාව අයිසිස් සමාජිකයන් බවට පත් කරලා. මේක අපි කරන්නාවූ විශාල වරදක්. අයිසිස් වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මුස්ලිම් ජනතාවටයි.

ජාතිවාදීන් මුස්ලිම් ජනතාව අන්තවාදීන්ගේ ඔඩොක්කුවට දානවා

අයිසිස් සංවිධානය නිර්මාණ කළේ ඇමෙරිකාව විසින්. ඒ වගේම මුස්ලිම් ජනතාව සිරියාවේදීත්, ඉරාකයෙත්දීත් අයිසිස් සංවිධානයට විරුද්ධව සටන් කරලා තියෙනවා. කාන්තාවෝ සටන් කරලා තියෙනවා ආයුධ අරගෙන ඔවුන්ගේ ජීවිත පූජා කරලා තියෙනවා. නමුත් ඒ කිසිදු දෙයකින් අපි ඉගෙනගත්නේ නෑ. අපි කිසිම දෙයක් දන්නේ නැති ආකාරයට බොහෝ දෙනා ටැක්සිය පදවන්නේ මුස්ලිම් ජාතිකයෙක් කියලා ඒ රථය ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන්නේ, මේ ජනතාව තවදුරටත්, ඔවුන්ව අන්තවාදීන්ගේ ඔඩොක්කුවට පත් කරන එක හෝ ඔවුන්ව අන්තවාදීන් බවට පත් කරන එකයි.

ජනමාධ්‍ය විත්තිකරුවෙක්වීම

මේ තත්ත්වයට වගකිව යුතු ප‍්‍රධාන විත්තිකරුවෙක්ව මම දකිනවා. ඒ තමයි මේ රටේ ජනමාධ්‍ය. මේ රටේ ජනමාධ්‍ය තමයි අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවුනු බෝම්බ ප‍්‍රහාරය සහ ඉන් පසුව සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් වෙනදා පෙන්වන රියලිටි වැඩසටහනක බවට පත කරගත්තේ. තමන්ගේ නාලිකාව නරඹන ඇස්බෝල සංඛ්‍යාව වැඩි කරගන්න, තමන්ගේ දේශපාලන හාම්පුතාලාට නැවත බලයට පැමිණීමට සේවය සැපයීම හැර කිසිඳු ආකාරයක සත්‍ය ගවේශනයක් මේ මාධ්‍ය කරන්න අසමත් වෙලා තියෙනවා. පසුගිය දවස්වල සාමාන්‍ය ජනතාව කිව්වා බෝම්බයක් දානවනම් ගිහින් පාර්ලිමේන්තුවට දාන්න මේ 225ම නැති වුනත් කමක් නැහැ කියලා. මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගැන, එවැනි කළකිරීමකට පත් වලා තියෙන්නේ. මේ රටේ ජනතාව මේ රටේ මාධ්‍ය ගැන කළකිරීමට පත් වෙලා තියෙනවා. ඒ ඔවුන් කටයුතු කරන ආකාරය නිසා. ඔවුන් කටයුතු කරන්නේ සත්‍ය ගවේශනයට ද, එසේත් නොමැති නම් කිසිඳු සත්‍ය ගවේශනයකින් තොරව, හුදු සන්ත‍්‍රාසයක්, මතු කිරීමටද? ඒ වගේම, ඒ මතු කරන සන්ත‍්‍රාසය වාර්තාකරුවනුත් නොදන්නවා ඇති, ඒවා පාවිච්චි කරන්නේ, තමන්ගේ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් මේ ආයතන හිමියන්. මේ ආයතන හිමියන් බොහෝ දෙනෙකුට දේශපාලන අභිලාෂ තියෙනවා.

මානව හිමිකම් අර්බුදය

රටක ආරක්ෂාව මූලිකයි. අපිට පිළිගන්න සිද්ධ වෙනවා, අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවීම ආරක්ෂක වැඩ පිළිවෙළේ බිඳ වැටීමක් ලෙස. එය දැන දැනත් එසේවීමට, ඉඩ හැරියා කියන එක සත්‍යයක්. ඒ ගැන අපිට මඟහැර යන්නට බෑ. මොකද ඒ දේශපාලඥයින්ගේ අවධානය තිබුණේ වෙනත් දේවල් වලට. තමන්ගේ අනාගත දේශපාන බලය ගොනුකර ගැනීම වැනි න්‍යාය පත‍්‍රවල ඔවුන් යෙදිලා සිටියා මිසක, මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නය ඔවුන්ගේ ප‍්‍රශ්නයක් නෙමෙයි. එය ඔවුන් එසේ සැලකුවේ නෑ. ඒ නිසා අපිට හැම පැත්තෙන්ම පේන දෙයක් තමයි මේ ආරක්ෂාව ගැන කතා කළාම, කෝටි ගණනක් වටිනා වෙඩි නොවදින රථ, ගෙන්වන්න. අවසානයේදී පාලක පක්ෂ බලන්නේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න මිසක් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව, ඔවුන්ට වැදගත් ලෙස පෙනෙන්නේ නෑ. ජනතාවගේ ආරක්ෂාව දෙවෙනි තුන්වෙනි තැන. ඔවුන්ගේ ආරක්ෂාව දෙවෙනි තුන්වෙනි තැන. ඒ වගේම පාලක පක්ෂය හැම තැනම ලෝකයේ හැම තැනම මේ තත්ත්වයන් තමාගේ බලය තහවුරු කරගැනීමට භාවිතා කරනවා. ඇමෙරිකාවේ සැප්තැම්බර් 11 වෙනි දින ප‍්‍රහාරය හමුවේ කොහොමද එවකට හිටපු බුෂ් රජය, උප ජනාධිපති චේනි ඇතුළු පිරිස කොහොමද මර්ධන අනපනත්, නීති රෙගුලාසි ගෙනල්ලා, මුළු ඇමෙරිකාවේම සිටින සියළුම දෙනාගේ පෞද්ගලික ජීවිත වලට එබිලා බලලා තරමට, ඒ වගේම මූලික අයිතිවාසිකම් නැතිවෙන ආකාරයට නීති හදාගත්තා. එය ඔවුන් පාවිච්චි කරන්නේ කුමකටද? එය ඔවුන් පාවිච්චි කරන්නේ ඔවුන්ට විරුද්ධව, මහජනයා තුළ කැකෑරෙන, වෛරය පාලනය කරන්නයි. ජනතාව පාලක සන්ධානයන් සම්බන්ධයෙන් ඇති වෛරය ප‍්‍රකාශ කරන්න වීදියට බැහැලා සටන් කරන දවසකට ආවොත් එදාට තමයි මේ අණපනත් පාවිච්චි කරන්න මිසක් ඔවුන්ට මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව නෙමෙයි ගැටළුව තියෙන්නේ. ලංකාවෙත් අපි දකිනවා මේ තත්ත්වය. මේ තත්ත්වය හරහා කොහොමද නැවතත් මූලික මිනිස් අයිතිවාසිකම් වලට කොහොමද ඔවුන් අත තබන්න සූදානම් වෙන්නේ? පහුගිය කාලේ ගෙනෙන්න හදපු ප‍්‍රතිත‍්‍රස්ත පනත. ඒ වගේම දේශපාලන හා  හමුදා ප‍්‍රධානීන්ගේ ප‍්‍රකාශන. මේ වෙලාවේ ඔවුන් පාවිච්චි කරනවා පවත්නා නීතිය අභිබවා යන්න. නැත්නම් පවත්නා නීතිය යටතේ දඬුවම් ලැබිය යුතු අය නැවතත් ඔවුන්ව රාජකාරියේ පිහිටුවන්න. පවත්නා නීතිය යටතේ ඔවුන් සිවිල් වැසියන් පමණයි. දැන් ඔවුන් සියළුම දෙනා ප‍්‍රධාන නළුවන් බවට පත්වෙනවා. ඊට පස්සේ මේ අය ජනමාධ්‍ය ඉදිරියේ රඟපානවා. එසේ කරමින් පාලක පන්තියේ බලය තහවුරු කරනවා.

මේ ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ මේ රටේ සාමාන්‍ය දෙමළ,සිංහල, මුස්ලිම් ජනතාවගේ සහෝදරත්වයෙන්, එකමුතුවෙන් ඇති වෙන සන්ධානයකින්. රටේ ආරක්ෂාව ඇතිවෙන්නේ අපි එකිනෙකා කෙරෙහි ඇති කරගන්නා වූ අවබෝධය තුළින් තමයි මේ සඳහා මුහුණ දෙන්න සිදුවන්නේ. සිරියාවේ ඇති වුනා කණ්ඩායමක් වයිට් හෙල්මට් කියලා. අසාත් රජය විසින් සරේන් වායුව මුදා හැරලා, ඒ රටේ ජනතාව, කුඩා දරුවන්ගේ ජීවිත හානි කරද්දි පවා, රුසියානු හමුදාවන් බෝම්බ හෙලද්දි පවා, කොහොමද මේ අය පාරට බැහැලා, තමන්ගේ රැුකියා පැත්තකට දාලා, පොදු අය වෙනුවෙන් කැපවුනේ කියලා. අපි සියළු දෙනාම රට ව්‍යසනයකට පත් වුනු අවස්ථාවකදි අපගේ න්‍යාය පත‍්‍ර, අපගේ පෞද්ගලිකත්වය පසෙකලා මේ වෙලාවේ අනතුරට පත්වුනු, විපත්තියට පත් වුනු බියෙන් වෙසෙන පසුවන සියළු ජනකොටස් වලට ඔවුන්ගේ ඒ බය පහ කිරීමට මැදිහත්විය යුතුයි. 

නිර්මුක්තිය ජාතික ප‍්‍රතිපත්තියක් වූ විට

මේ ඇතිවෙච්ච තත්ත්වයන්වල උත්පත්තිය ශී‍්‍ර ලංකාවේ වගේම එහි උත්පත්තිය තියෙන්නේ ශී‍්‍ර ලංකාවේ දේශපාලනයෙන් පිටතයි. අපි අකමැති වුනත්, අපිට පිළිගන්නට සිද්ධ වෙලා තියෙනවා ආගම පදනම් කරගත්ත ජාතිකවාදය ප‍්‍රචණ්ඩ ත‍්‍රස්තවාදයක් බවට පත්වෙලා තියෙනවා. එය සැබෑවක්. අපිට 21 වෙනි සියවසේ අපිට ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. එය සමගයි. එක එක රටවල එය වෙනස් වෙන්න පුළුවන්. එය බුරුමයේ බෞද්ධ අන්තවාදයක් විය හැකියි. එය ඉරාකයේ හෝ සිරියාවේ මුස්ලිම් අන්තවාදයක් විය හැකියි. මෙතනදි ප‍්‍රචණ්ඩත්වයක් ඇති වෙන කොට, දකින පළමුවෙනි ප‍්‍රශ්නය තමයි, ලංකාවේ දේශපාලනය මෙහෙයවන අයට, නෛතිකව දඬුවම් නොලැබේ නම්, එම ප‍්‍රචණ්ඩත්වය නැවත නැවත ඇති වෙනවා. මේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සිදුවීම් වලින් පස්සේ ලංකාවේ ඒකට සම්බන්ධ වෙලා තියෙන අයව නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. ඒකට සම්බන්ධ වෙච්ච, සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීමට දායකවෙච්ච සියළුම දෙනා පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත සියළු දෙනා නීතිය ඉදිරියට පැමිණිය යුතුයි. ඔවුන්ට නීතියෙන් දඩුවම් දිය යුතුයි. නැත්නම් නැවත නැවතත් මේ තත්ත්වයන් ඇති වීමට ඉඩ නොදිය යුතුයි. නැවතත් මේ දඬුවම් නොදීම ( නිර්මුක්තිය * ලංකා රජයේ ස්වභාවයක්. 83 දී ආරක්ෂා කළා ඝාතකයන්ව, ඉන් පසුව වරින් වර ඇති වුනාවූ කළකෝළහාල වලදී, දිගන වේවා, අම්පාර වේවා, අලූත්ගම වේවා, මේ හැම තැනදීම ප‍්‍රචණ්ඩකාරීන්ව, ඝාතකයන්ව ආරක්ෂා කරලා තියෙනවා. මේ අයගෙන් කී දෙනෙක් නීතිය හමුවට පමුණුවලා තියෙනවද? නීතියෙන් ඔවුන් කී දෙනෙක්ට දඬුවම් ලබාදීලා තියෙනවද? රජය පළමුවෙන් කළ යුත්තේ එම කාර්යයයි. රජය මනුෂ්‍ය ජීවිත ගැන ගරුත්වයක් තියෙනවා නම්, මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ වුනු සියළුම දෙනාට නීතියේ දඬුවම හිමිවිය යුතුයි. එය ඉෂ්ට කරනවද කියලා අපි අවදියෙන් සිටිමු. එසේ නොවුනහොත් මේ සිදුවීම් නැවත නැවතත් ඇති වෙනවා. රටේ ජනතාවට ප‍්‍රචණ්ඩත්වයත් එක්ක, අපේ ජීවිත ගත කරන්නට සිදුවෙනවා.

කලාකරුවන්ගේ වගකීම යුගය ප‍්‍රතිනිර්මාණය කිරීමයි

මම නියෝජන කරන සිනමා සංස්කෘතිය ක්ෂේත‍්‍රය තූළ මම දන්නවා විශාල ආකාරයක කඩාවැටීමක් ඇතිවෙලා තියෙනවා. බිඳ වැටීමක් ඇතිවෙලා තියෙනවා. මේ රටේ ජනතාවගේ ප‍්‍රමුඛතාවය වෙලා තියෙන්නේ කලාව හෙහා් සිනමාව නෙමෙයි. ලංකාවේ සිනමා ශාලා තුළ චිත‍්‍රපට බලන පේ‍්‍රක්ෂයන් 75% කින් අඩුවෙලා තියෙනවා. ඒ කිසිම දෙයකින් අපි උකටලී විය යුතු නැහැ. අපි මෙවන් අර්බුද වලට මුහුණ දීලා තියෙනවා. 83 දී සිනමා ශාලා, චිත‍්‍රගාරය ගිනි තබද්දිත් අපි නැවතත් ගොඩනැගිලා තියෙනවා. යුද්ධ කාලෙත් විශාල බලපෑමක් වුනා. තත්ත්වය මෙසේ වුවත්, කලාව මොකටද? වැදගත් වෙන්නේ අපි ජීවත්වෙන යුගයත්, අපි ගැනත් මම හිතනවා හොඳින්ම තේරුම් ගත හැක්කේ, නැත්නම් හොඳින්ම තේරුම් බේරුම් කර හැගීමක් ලෙස ඉදිරිපත් කළ හැක්කේ කලාවටයි කියලා. අපිට එය කළ හැකිද? මම හිතන්නේ අපේ කාර්යභාරය සහ අපේ අනාගතය රැුඳිලා තියෙන්නේ, අපි ජීවත්වෙන මේ යුගය අපිට අපි කරන නිර්මාණ වලින් දැකිය හැකිද? නැත්නම් මේ තත්ත්වයන්ගෙන් අපි පස්සට යනවද? අපි මේ සම්බන්ධයෙන් පැස්බරු වගේ ඔලූව හංගගන්නවද? අපි එහෙම කරනවා නම් මම හිතන්නේ අන්න එතනයි කලාකරුවන්ගේ ප‍්‍රශ්නය තියෙන්නේ. කලාවේ හැමදාම කාර්යභාරය වූයේ එයයි. පළමුවන මහා යුද්ධ කාලයේදීත්, දෙවන මහා යුද්ධ කාලෙත්, සංගීතඥයන් සරණාගත කඳවුරුවල ඉඳගෙන ජිවත් වෙච්ච සංගීතඥයින් තමන්ගේ නිර්මාණය අත හැරියේ නැහැ. ඔවුන් හිට්ලර්ගේ සරණාගත කඳවුරේ ඉඳගෙන ජේලර් කෙනෙක් දුන්නු කොළ කිහිපයක තමන්ගේ සංගීතය ලියලා, එය එම සරණාගත කඳවුරේ සිටි තවත් වාදකයන් එකතු කරගෙන එය සංගීත කණ්ඩයක් විදියට ඉදිරිපත් කළා. එවැනි අවස්ථා ඉතිහාසයේ තියෙනවා. ඔවුන් එය සියළු සරණාගතයන්ට ඉදිරිපත් කළා. මේ රටේ මේ මොහොතෙදි අපි කලාකරුවන් හැටියට අපේ වගකීම වන්නේ සියළු ශී‍්‍ර ලාංකිකයන්ට අපි මේ ජීවත්වන යුගය, අපි එකිනෙකා සහ අපිව තේරුම් ගන්න කලාව කැඩපතක් ලෙස භාවිතා කිරීමයි.





2019-06-14
Advertisement

Find us on Facebook