English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රවේසම් වන්න......ජනාධිපතිගේ හැංගිමුත්තම් තවමත් අවසන් නැත.

ප්‍රවේසම් වන්න......ජනාධිපතිගේ හැංගිමුත්තම් තවමත් අවසන් නැත.


ජනාධිපති සිරිසේන විසින් නැවත නැවතත් පවතින පාලනය අවුල් සහගත තත්ත්වයකට පත් කිරීම සඳහා ගෙන යනු ලබන වැඩපිළිවෙළෙහි අවසානයක් නැති බව ගත වෙන මේ අවසන් මාස කිහිපයෙහි දී වත් වෙනසක් නැති බව තව දුරටත් විද්‍යාමාන කරමින් සිටියි.

මේ බව පැහැදිලි වන්නේ පසුගිය දා ඉවත්වූ මුස්ලිම් ඇමතිවරුන් වූ රාවුෆ් හකීම්, කබීර් හෂීම්, රිෂාද් බදියුදන්, අබ්දුල් හලීම්, වෙනුවට, රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමතිවරුන් ද එම අමාත්‍යංශවල වැඩ බැලීමට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත යවන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි.

නමුත් එය ප්‍රතික්ෂේප කරන ලද ජනාධිපතිවරයා ජූනි මස 10 වෙනි දින කර්මාන්ත, වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ වැඩ බලන, කර්මාන්ත හා වානිජ, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමතිවරයා ලෙස ද,  ලකී ජයවර්ධන, වැඩ බලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ද, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, වැඩ බලන මහාමාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරිය ලෙස ද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි.

මෙම පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීම නිසා නැවතත් රජය අර්බුදයකට යනු ඇත. දේශපාලන සම්බන්ධතාවය බිඳ වැටෙනු ඇත. පසුගිය දිනවල කැපී පෙනුනු දේ නම් රජයට ජනාධිපතිවරයා කෙතරම් කෙනෙහිළිකම් කළද, අගමැතිවරයා ප්‍රමුඛ රජය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන බවයි. ඒ නිසාම ඔවුන් ජනතාවගේ සහ සහය දක්වන ප්‍රගතිශිලී කොටස් වල අපවාදයට ලක්ව සිටියි.  ජනාධිපතිවරයා දිගින් දිගටම මෙසේ හැසිරීම කෙසේ වත් අනුමත කළ නොහැකිය. එසේම මේ අවස්ථාවේදී රජය කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයාගේ අප්‍රසාදයට ලක්ව සිටින රාජිත සේනාරත්න හා මලික් සමරවික්‍රම වෙනුවට වෙනත් අයගේ නම් යැවීමයි. නමුත් එසේ වුවත් ජනාධිපතිවරයා සමග විශේෂ ගැටුමක් නැති රංජිත් මද්දුම බණ්ඩාර වැනි අයකු පත් නොකිරීමෙන් පෙනී යන්නේ පක්ෂය කුමන නමක් යැවූවද ජනාධිපතිවරයා විරුද්ධවීමේ මානසික තත්ත්වයක සිටින බවයි. එසේම එක්සත් ජාතික පෙරමුණ අතර බේද ඇති කිරීමට, සැක සංකා ඇති කිරීමට ඔහු මෙසේ කළාද යන්න ගැනද විමසිල්ලෙන් බැලිය යුතුය.

ඉදිරි මාස කිහිපයද මෙම අර්බුදය දිගටම යන බවක් පෙනේ. මේ නිසා ජනාධිපතිවරයාගේ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහු කිසි ලෙසකින් පසු නොබසින බවයි. ඔහුට මේ වනවිට අප්‍රේල් 21 වෙනි දින ප්‍රහාරයෙන් පසුව එල්ල වන අපවාදයන් නිසා ඔහු යම් තරමකින් හෝ සහනදායී තත්ත්වයක් රජය වෙත ලබා දෙනු ඇති බව බොහෝ දෙනෙක්ගේ අදහස විය. නමුත් එවැනි තත්ත්වයක් දැනට නම් සිදුනොවනු ඇති බවක් පෙනේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන් කැමති අපේක්ෂයාට සහය දැක්වීමට කුමණ්ත්‍රණය කරමින් සිටින අවදියක මෙලෙස ක්‍රියා කිරීම ගැන රජය ප්‍රවේසම් විය යුතුවා සේම, උපක්‍රමශිලී විය යුතුය. නොඑසේ නම් එක්සත් ජාතික පෙරමුණ කඩා ඉහිරවීමට ඔහු ක්‍රියා කරනු ඇත.




2019-06-13
Advertisement

Find us on Facebook