English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආරක්ෂාව යනු කුමක්ද ? නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු


2019 අපේ‍්‍රල් 21 වන දින සිදුවුනු බෝම්බ පිපිරීම් නිසා සිදුකළ විශාල ජීවිත හා දේපල හානියත්, තවදුරටත් එවැනිම දේ කිරීම සඳහා සැලසුම් පවතින බවට විවිධාකාර දේ මගින් හෙළිදරව් වීමත් සමගම රට පුරාම මතු වු ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයයි. දරුවන් පාසල් යවා ගැනීමට පවා බැරි තත්වයකුත්, බොහෝ දෙනෙකුට තමන්ගේ රැකියා වලට යාමට බැරි තත්වයකුත්, බොහෝ ව්‍යාපාර පවත්වා ගෙන යාමට බැරි තත්වයකුත්,  මූල්‍ය හා වෙනත් ආයතන පිළිබඳව යම් විශ්වාසයක් තිබුණා නම් ඒ විශ්වාසය ප‍්‍රබලව පළුදු වීම ආදී බොහෝ කරුණු මෙම අනාරක්ෂිත තත්ත්වය පිළිබිඹු කළේය.

මෙහිදී රාජ්‍යක් විසින් සිදුකළ යුතු යුතුකම් මොනවාද යන්න පිළිබඳවත් ඒ එසේ යුතුකම් ඉස්ට කිරීමට පදනම් වන දේශපාලන විද්‍යා න්‍යාය හා නෛතික න්‍යායන් මොනවාද යන්නත් වටහා ගැනීම දැන් පවතින තත්වය වෙනස්කර ගැනිමට විශාල රුකුලක් වනු ඇතැයි සිතමි.

රජයක් මිනිසුන් විසින් පිහිටුවා ගන්නේ මූලික වශයෙන්ම තමන්ගේ ආරක්ෂාව සඳහාය යන මතය දේශපාලන විද්‍යාව තුළ හොඳින් ස්ථාවර වී ඇති න්‍යායකි. තෝමස් හෝප්ස් නමැති ප‍්‍රබල චින්තකයා විසින් 17 වන ශත වර්ෂයේදී එම න්‍යාය ඔහු අතින් බිහි වුනු ප‍්‍රධාන කෘතියක් වන ලබායතන් නමැති පොතෙන් දීර්ඝව විස්තර කර ඇත. මිනිසුන් වෙන් වෙන්ව ජීවත් වන තුරු රාජ්‍යයක අවශ්‍යතාවක් නැත.

රාජ්‍යයක අවශ්‍යතාව ඇති වන්නේ මිනිසුන් පොදුවේ ජීවත් වීමට පටන් ගැනීමත් සමඟ ඇති වන සමාජයන් තුළය. එසේ් ඇතිවීමට හේතුව වන්නේ සමාජයේ සෑම කෙනෙක්ම තම තමන්ගේ වාසිය සඳහා වැඩ කිරීමට පෙළඹෙන නිසාත්, ඒ නිසා ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැකි නිසාත්, එම ගැටීම් ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් බවට පරිවරත්නය වී ඒ මගින් ජීවිත හා දේපල හානි සිදුවීම ස්වාභාවිකවම සිදුවනවාය යන අවබෝධය රාජ්‍යයක් පිහිටුවා ගැනීම කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකයක් බව ඔහු කියා සිටියේය. රාජ්‍ය ගොඩනගා ගැනීම තුළින් මිනිසුන් තමන් එකිනෙකාගෙන් ආරක්ෂා වීම කරවා ගැනීම සඳහා රජයට ඒ සඳහා අවශ්‍ය එකගතාවය ප‍්‍රකාශ කොට ඒ සඳහා බලය රජයකට පවරයි. රජය මෙම යුතුකම බාරගැනීම සමාජයක් බවට පරිවර්තය වීමේ ප‍්‍රධානම සාධකයක් බවට පත් වේ.

මින්පසු ශතවර්ෂ ගණනාවක් තුළ මෙම මූලික අදහස තවදුරටත් විවිධාකාරයෙන් වර්ධනය විය. බි‍්‍රතාන්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය, ප‍්‍රංශ විප්ලවය, ඇමරිකානු නිදහස් අරගලය හා ව්‍යවස්ථාව ගොඩගැනීම ආදී අවස්ථාවන් රජයක කාර්යය පිළිබඳව නිර්චනය කර ගැනීමත්, ඒ අනුව රජය විසින් ජනතාවගේ ආරක්ෂාව සලසා දීමට බලතල පැවරීම මෙන්ම, එම බලතල අනිසි ආකාරයකින් පාවිච්චි කිරීම වළක්වා ගැනීමේ ක‍්‍රම ආදිය පිළිබඳව ඉතා දීර්ඝ සාකච්ඡාවක් සමස්ථ ලෝකය පුරාම පැතිර ගියේය. මේ අනුව විශාල මතවාදයක් ලෝකය පුරාම පැතිරී මුල්බැසගෙන ඇත.

මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ගොඩනැගෙන රාජ්‍යයට ස්වෛරීභාවය පදනම් වූ රාජ්‍යයක් යැයි කියනු ලබයි. ස්වෛරීභාවය පවතින්නේ ජනතාව තුළය. ලංකාවේ 1978 ව්‍යවස්ථාවද මෙම පදනම මත ලියවී ඇත. එය ප‍්‍රකාශ කරන ආකාරයට රාජ්‍ය රදා පවතින්නේ ජනතාවගේ ස්වෛරීභාවය යන පදනම මතය.

ස්වෛරීභාවය හා ආරක්ෂාව යන කරුණු දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි සේ බද්ධ වී ඇත. ආරක්ෂවකින් තොර ජනතාවකට ඇති ස්වෛරීභාවයක් නැත. විවිධාකාර හේතූන් මත යම් දේශයක මිනිසුන් තුළින් තමන්ට ආරක්ෂාව නැත යන අදහස ප‍්‍රකාශයට පත් වීමට පටන් ගත්තොත් එයින් ඉතා තදබලව කියැවෙන්නේ තමන්ට කිසිදු ස්වෛරීභාවයක් නැති බවත් තමන් වෙනත් බොහෝ දෙයට යටත් වුනු ජීවිතය කෙටි ඉතා රළු එකක් බවට පත් වූ මිනිසුන් කණ්ඩායමක් බවය.

මිනිසුන්ගේ ආරක්ෂාව නැති වීමට එක් ප‍්‍රධාන සාධකයක් වන්නේ යුද්ධයයි. තවත් රටක් විසින් තවත් දේශයකට ආක‍්‍රමණය කොට එම දේශය ඔවුන්ගේ බලය යටතට ගෙන ඉන්පසු ඔවුන්ගේ වුවමනාවන් සඳහා එම දේශයත් එහි සිටින මිනිසුනුත් නතු කර ගැනීම යුද්ධයක අරමුණු වේ. මේ ආකාරයේ යුද්ධ ලෝකයේ සෑම ප‍්‍රදේශයකම අතීතයේ සිට ඉතා තදබල ආකාරයකින් පැවතී ඇති අතර එවැනි අවස්ථාවේදී දුර්වල වූ ජන කණ්ඩායම පරාජයට පත්වී බොහෝ විට වහලූන් බවට පවා හැරවීමේ පිළිබඳ වෘත්තාන්තයන් ඉතිහාසයේ ලියවී ඇත. මේ නිසා යුද්ධයක් ඇති වන අවස්ථාවක තමන්ට එම යුද්ධයට මුහුණ දීමට හැකියාව ගොඩනගා ගැනීමත් ඒ මාර්ගයෙන් වෙනත් රටකට හෝ ජාතියකට යටත් වීම වළක්වා ගැනීමත් රජයක පරම යුතුකමක් වේ.

තවත් රටක පවතින යුද්ධය මෙන්ම සිවිල් යුද්ධයද ජනතාව තුළ අනාරක්ෂිත බාවයක් ඇති කරන ප‍්‍රධාන  සිදුවීම් මාලාවකි. මෙහිදී ජීවිත නැතිවීම මෙන්ම ජීවිත විශාල වශයෙන් අවතැන් වීමත්, දේපල අවතැන් වීමත්, සාමාන්‍ය ජීවිතය ගෙනයා නොහැකි වීමත් , ආර්ථිකයක් ගොඩනගා ගැනීමට නොහැකි වීමත් ආදී විශාල ගැටලූ සිවිල් යුද්ධයක් තුළදී රටක් තුළ පැන නගී. එවැනි අවස්ථාවක රජයේ යුතුකම වන්නේ එවැනි අනාරක්ෂිත භාවයක් ඇති වීම වළක්වාලීම හා එවැනි තත්වයක් ඇති වුවහොත් වහාම ක‍්‍රියාත්මක වී එම තත්වය නැති කොට සමාජය සාමාන්‍යයෙන් පවත්වා ගෙන යාමට හැකි ආකාරයට නැවත වරක් ඇති කොට ඒ මගින් ජනතාවගේ ආරක්ෂාව සලසා දීමය.

යුද්ධ හෝ සිවිල් යුද්ධ නැති සමාජයක් පවත්වා ගෙන යාම රජයේ පරම යුතුකමකි. එසේ පවත්වා ගෙන යාම කරනු ලබන්නේ රජය විසින් මහජන සාමය පවත්වා ගෙන යාමට ගොඩනගනු ලබන්නා වූ ආයතන මාලාවක් තුළිනි. මේ ආයතන මාලාව එදිනෙදා වැඩ කරන ආකාරය තුළින් රටේ ජනතාවගේ ආරක්ෂාව සලසා දීම සිදු කරයි.

ආරක්ෂාව සාදා ගැනීමටත් ඒකාබද්ධ සමාජයක් සේ එකට ජීවත් වීමටත් මුල් වන ප‍්‍රධාන කරුණ නම් පොදුවේ පිළිගත් නීතියක් හා නීති ක‍්‍රමයක් යම් දේශයක් තුළ ගොඩනගා ගැනීමයි. ආරක්ෂාව පිළිබද මූලෝපායේත්, සමාජයේ ස්ථාවරත්වය පිිළිබ`ද මුලෝපායේත් එකිනෙකා අතර ගැටීම් වලක්වා ගැනීමේ මූලෝපායේත් ප‍්‍රධානම කරැුණ වන්නේ මෙසේ පොදුවේ පිළිගත් නිතීමාලාවක් හා එය ක‍්‍රියාත්මක කරවා ගන්නා නීති ක‍්‍රමයක් රටක් තුළ පැවතීමය. මේ අනුව ආරක්ෂාවේ කොඳුනාරටිය වනාහී පොදුවේ පිළිගත් නීති ක‍්‍රමයක් හා ඒ නීතිය ක‍්‍රියාත්මක කරවාගත හැකි සංස්ථාවන්ගේ පැවැත්මයි.

මෙම නීති ගොඩනගා ගැනීමේදී ජනතාවගේ ස්වෛරීභාවය ඉහළින්ම ප‍්‍රකාශයට පත් කරයි. කිසියම් බලධාරියෙකුට හෝ බලධාරී සංස්ථාවකට (පාර්ලිමේන්තුව වැනි* මෙම බලය ජනතාව විසින් දෙනු ලබන අතර එය ක‍්‍රියාත්මක වීමේදී ජනතා අභිමතය අනුව හා එකඟත්වය අනුව එම නීති ගොඩනගා ගැනීම තුළින් ජනතාවගේ අභිවෘද්ධිය හා පරමාර්ථයන් ඉටුවේය යන්න මූලික සිද්ධානත්යකි. මේ අනුව පොදුවේ පිළිගන්නා නීති ක‍්‍රමයක් ගොඩ නගා ගැනීමේ යුතුකම  නීතිය සෑදීමේ බලය පවරනු ලබන සංස්ථාව මත පැවරේ.

වර්තමාන යුගයට පිවිසීමට පෙර මෙම බලය පැවතුනේ රජවරුන් සතුවය. රජවරු නීති පැනවූ අතර එම නීති ක‍්‍රියාත්මක කළේද තමන් වටා ඇති ප‍්‍රභූවරුන්ගේ මාර්ගයෙනි. එම කාලය තුළ රජතුමාගේ අභිමතය නීතිය බවට පත්විය. එම නීතිය කඩන්නන්ට මරණ ද`ඩුවම පවා පැවරීමේ බලය රජුට පැවරී පැවතුනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිබඳ යුගයට අවතීර්ණ වීම වනාහි රජු සතු බලය ජනතාව විසින් පත් කර ගන්නා නියෝජිතයන් මත පැවරිණ. රටට අවශ්‍ය වන්නා වූ නීතිය සකස් කිරීම එම නියෝජිතයන් මත පැවරෙන ප‍්‍රධානම කාර්යය වේ. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ ඔවුන් එම කාර්යය කරනු ලබන්නේ හුදෙකලාව නොවේ. එය ඔවුන් කළ යුතු වන්නේ නිරන්තරයෙන්ම ජනතාවත් සමඟ ඇති කර ගන්නා වූ එකඟතාවයන් මාර්ගයෙනි. ප‍්‍රකාශනයේ අයිතිය, ලිවීමේ අයිතිය, සංවිධානය වීමේ අයිතිය, සාකච්ඡුා කිරීමේ අයිතිය ආදී අයිතීන් වැදගත් වන්නේ මෙම ජනතාවත් රටේ නීති සාදන සංස්ථාවත් අතර පවතින සම්බන්ධය ඉතා ජීවමාන එකක් බවට පත් කර ගැනීම සඳහාය.

නීති සෑදීමේ කාර්යය යම් එක පුද්ගලයෙකුට පමණක් පැවරෙන තත්ත්වයක් ඇති වූ විට හා ඔහු හෝ ඇය එම කාර්යය තමන්ගේ හිතුවක්කාර ආකාරයට කරන තත්වයක් තුළ ඇති වන රාජ්‍යය ක‍්‍රමයට ඒකාධිපති රාජ්‍යය හෝ හිතුවක්කාර පාලනය යන නම් වලින් හඳුන්වනු ලබයි. ප‍්‍රජාත්නත‍්‍රවාදී පාලනය හිතුවක්කාර පාලනයක් නොවේ. එය ජනතාවගේ කැමැත්තත් අනුදැනුමත් නිරන්තරයෙන්ම ගොනු කර ගනිමින් ඒ අනුව රට තුළ පාලනය ගෙන යාමකි. මේ හිතුවක්කාර  පාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය අතර නිරන්තර ගැටීමක් පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ග වලින් බලයට පත්වූවන් පවා බොහෝ විට තමන්ගේ අභිමතය පරිදි රටේ නීතිය සාදා ගැනීමත් එම නීති ක‍්‍රියාත්මක කිරීම කරන සංස්ථාවන් පලානය කිරීමත් කර ගැනීමට උත්සාහ කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ මෙම හිතුවක්කාර භාවය දෙආකාරයකින් නැති කර දමයි. මුලින්ම නීති සෑදීම ජනතා නියෝජිතයන් විසින් කරන අතර එම නියෝජිතයන් ඒ පිළිබඳව දැනුවත්කමකින් හා වගකීමක් ඇතිව කරනවාය යන විශ්වාසය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකම පදනමකි. එම නියෝජිතයන් තමන් සතු බලය එක් පුද්ගලයෙකුට පවරන්නේ නම් හෝ යම් පුද්ගලයෙකුට එම බලය ඔහුගේ අතට ගෙන ජනතා නියෝජිතයන් යටපත් කර ගැනීමට හැකි වන්නේ නම් එතැනද ඇති වන්නේ හිතුවක්කාර පාලනයකි.

හිතුවක්කාර පාලනයක ගැඹුරුම අගතිය වන්නේ රජයේ මුලිකම යුතුකම වන ජනතා ආරක්ෂාව පිළිබඳ යුතුකම මගහරිමින් බොහෝ දුරට පාලකයාගේ ආරක්ෂාව හා පාලකයාගේ වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා රටේ ජනතාව මෙන්ම සම්පත් හසුරුවීමක් සිදු වන නිසාය. මේ නිසා හුදෙක්ම ඡුන්දයෙන් පත්කරගත් නියෝජිතයන් සිටි පමණින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති නොවේ. එම පත් කර ගැනීම සැබෑ කර ගැනීම සඳහා සැබෑ සහභාගිත්වයකින් යුතුව මෙම නියෝජිතයන් රටේ නීතින් ගොඩනැගීම හා එම නීතීන් ක‍්‍රියාත්මක වන ආකාරයන් අධීක්ෂණය කිරීම මෙන්ම ඒවා කර ගෙන යාමට අවශ්‍ය වන්නා වූ මූල්‍ය හා වෙනත් සම්පත් ලබා දීමට කරන සාමූහික උත්සාහය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමය පවතී.



 නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු



2019-06-07
Advertisement

Find us on Facebook