English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යාපනයේ හදවතට ගිනිතබා වසර 38 යි


යාපනයේ හදවත ගිනිතබා වසර 38 යි 

උතුරට ගිය ගමනකදී දුටු, යුද සමයේ හානියට පත් වූ කෝවිලක් ගැන මා හිතවත් දෙමළ ලේඛකයෙකු සමග දවසක්දා කතාබහ කරමින් සිටියෙමි. ඒ කෝවිල කැඩී බිඳී ගොස් ඇති අාකාරය දෙස බලන විට මට මහත් වේදනාවක් දැනෙන බව මම ඔහුට කීවෙමි.

අප සමාජ ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩ හුවමාරු කරගනිමින් සිටි අතර, මා ලියා යැවූ ඒ පුවතට ඔහුගෙන් නිතරම සිදුවන්නාක් මෙන් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ටික වෙලාවකට පසු ඔහු මට මෙවැනි පණිවිඩයක් එව්වේය.

" පුස්තකාලය තමයි මගෙ කෝවිල. 1981 දි යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බ දවසෙ නම් මට දරා ගන්න බැරි තරම් දුකක් දැනුණා"

ඒ වචන මිය ගිය මොහොතකි. යාන්තම්, වචන ගැටගසා ගැනීමට පුළුවන් වූ හැටියේම මම ඒ ගැන මගේ සිත තුළ ඇති කම්පනයත්, වේදනාවත් පළ කෙරෙන පණිවුඩයක් යැව්වා මතකය.

එහෙත් ඉන් ඔහුගේ සිත සැනසුණේ නැති බව හොඳාකාරව දැන සිටියෙමි.


ඊට එහා දෙයක් ඔහුගේ සිත පාරවමින් ඇසීමට මට හයියක් තිබුණේ නැත. එය එතරම්ම දරුණු වේදනාවක් බව, තේරුම් ගැනීම, විශේෂයෙන් අද මෙන් පොත් පත් සපයා ගැනීම අතිශයින් සරල කාරණාවක් නොවූ කාලයක් වූ අවුරුදු තිස් අටකට පෙර එවැන්නක් සිදු වීම, පොත පතට පෙම්බඳින්නකුගේ හදවත දෙකඩ කරවන අත්දැකීමක් බව තේරුම් ගන්නට මට අපහසු වූයේ නැත.

අනෙක එය තම ජාතියට එරෙහිව එල්ලවූ අධිපතිවාදී ප්‍රහාරයක් බව දැනෙන විට, දෙමළ ජාතිකයකු වූ ඔහුට දැනෙන වේදනාවත් කලකිරීමත් තේරුම් ගන්නට මට අමාරු නැත.

ඊට අවුරුදු දෙකකට පසු ඇති වූ කළු ජූලියේ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමෙන් පසු ඔහු රට හැර ගියේය. අවුරුදු තිස් හයක් ගත වී ඇති මුත්, ඉන්පසු ඔහු තවමත් මව්බිමට ඇවිත් නැත.! " කවද හරි එන්න ඕනෑ" යි කීවත් ඒ කවදාදැයි ඔහු තවමත් නොකියයි. ජාතිවාදී ගින්නෙන් පසු ඇතිවූ තුවාල ඒ තරම් ගැඹුරුය!.

එසේ තිබියදීත්, ඔහු මට "නංගී" යැයි සහෝදරත්වයෙන් ඇමතයි. එය, ඔහු දැන සිටින සිංහල වචන දෙක තුන අතරින් එකක් බව දනිමි.

බලයේ සිටි දේශපාලකයන්ගේ අනුග්‍රහය ලැබූ ජාතිවාදී මැරයන් විසින් යාපනයේ දෙමළ ජනතාව වෙත පමණක් නොව මුළු දකුණු ආසියාවටම තිබූ වටිනාම පුස්තකාලයක් ගිනි දළුවලින් වනසා දමා පසුගිය මැයි 31 වැනිදාට අවුරුදු 38ක් සපිරුණේය.

එදා ඒ පුස්තකාලයේ ඇසුර ලැබූ තරුණයා නවරත්නම් ගිරිදරන්, අද දෙමළ සාහිත්‍යය පෝෂණය කරන ලේඛකයෙකු බවට පත්ව ඇති අතර, ඊයෙ පෙරේදා ඔහු ගිය එකම කෝවිල වූ යාපනයේ පුස්තකාලය ගැන යළිත් මට ලියා එව්වේය.

මම ඔහුගේ හද පාරවන සිතිවිලි නැවත කියවමින් සිටියෙමි.

" ඒක නිකම්ම පුස්තකාලයක් නෙමෙයි නංගී. පුස්තකාලෙ තමයි ඒ දවස්වල මගේ හොඳම මිත්‍රයා. මං ඒ පුස්තකාලෙ තිබිල හුඟක් පොත් කියෙව්වා. ඒ මං යාපනේ හින්දු කොලේජ් එකේ ඉගෙන ගන්න කාලෙ. මං ආස කරන සාහිත්‍යයි, අජටාකාශ භෞතික විද්‍යාව ගැන පොතුයි මං කියෙව්වෙ යාපනේ පුස්තකාලෙන්. මට මතකයි තෝල්ස්තෝයිගෙ යුද්ධය හා සාමය පොතේ දෙමළ පරිවර්තනය මං මුලින්ම කියෙව්වෙ යාපනේ පුස්තකාලෙ තිබිල. පොත්වලට විතරක් නෙමෙයි, ඒ පුස්තකාලෙ තිබ්බ වටපිටාවටත් මං හරිම කැමතියි. සනීප හුළං එන සුන්දර පරිසරයකයි පුස්තකාලෙ තිබිබෙ. එතනට යන එකම මනස සැහැල්ලු කරන අත්දැකීමක්. මට අද හුඟක් දේවල් ගැන ලියන්න පුළුවන් වෙලා තියෙන එක හේතුවක් තමයි ඒ පුස්තකාලෙ ඇසුර. යාපනේ පුස්තකාලෙ කියන්නෙ මගෙ හොඳ ගුරුවරයෙක්. හොඳ මිත්‍රයෙක්. පුස්තකාලය තමයි මං ගිය එකම කෝවිල"

ඔහුගේ දෙවියන් වැඩ සිටි, ඒ පුස්තකාලය ගිනිබත්වූ විට දැනුණු වේදනාව ගැන ඔහු කතා කර තිබුණේ නැත. !

එය වචනයට පෙරළන්නට උත්සාහ නොකිරීම ම, ඔහුගේ වේදනාවේ ගැඹුර ගැන කියාපෑවේය.


මේ වේදනාවේ ගැඹුර යාපනයේ අනෙකුත් හිතවතුන් වෙතින්ද දැක ඇත්තෙමි. එය සංකේතාත්මකව ප්‍රදර්ශනය වන ඡායාරූපයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබියදී ඒ අතර මගේ ඇස ගැටිණි. පුවත්පතක පළවූ ඉපැරණි කළු සුදු ඡායාරූපයක් වූ එහි දැක්වුණේ සාරියකින් සැරසුණු කාන්තාවක් පුටුවක වාඩිවි හිස් බැල්මෙන් බලා සිටින හැටිය. ඇය අවට කම්මුලෙහි අත තබා ගත් පිරිමින් කිහිපදෙනෙකි. ඒ ඡායාරූපයෙහි සිටින්නේ යාපනය පුස්තකාලය ගිනි තබන විට එහි පුස්තකාලාධිපතිනියව සිටි රූපා නඩරාජා මහත්මිය බව දැන ගන්නට ලැබිණි. ඇය 1974 වර්ෂයේ සිට යාපනය පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය වූ අතර මේ ඛේදනීය සිදුවීමෙන් ටික කලකට පසු රට හැර ගිය බවත්, දැනට ඇය එංගලන්තයේ පදිංචි බවත් මට කීවේ ගිරිදරන්ය. යාපනය පුස්තකාලය ගැන ඇය ලියූ කෘතියක් පසුගිය පළමු වැනිදා ලන්ඩන් නුවරදී එළි දැක්වූ බවත් දැන ගන්නට ලැබිණි.

යාපනය පුස්තකාලය ගිනි තබන විට එහි ඉතා දුර්ලභ ලිපි ලේඛන සහිතව පුස්තක 97 000ක් පමණ තිබූ බව කියැවේ. පසුව ප්‍රතිසංස්කරණය කළත් එය කෙදිනකවත් පෙර තිබූ තත්ත්වයට පත්කිරීම පහසු වූයේ නැත.

එහෙත් ඒ ගිනිවැදුණු මතකයන් සමඟ මව්බිමෙන් පිටවූ ගිරිදරන් වැනි සාහිත්‍යකාමීහු අන්තර්ජාලය ඔස්සේ තවමත් දෙමළ සාහිත්‍යය සුරක්ෂිත කරමින් සිටිති. වරෙක ඔහු හැට ගණන්වල පුවත්පතක පළවූ දෙමළ නවකතාවක කොටසක් හැකි නම් ලේක්හවුස් පුස්තකාලයෙන් සොයා ස්කෑන් පිටපත් කොට එවන්නැයි මගෙන් ඉල්ලා සිටියේද, අතීතයේදී පාඨකයන් අතර ජනප්‍රිය වූ එම නවකතාවේ සම්පූර්ණ කොටස් සිය වෙබ් අඩවියේ පළ කර සුරක්ෂිත කළ යුතු යැයි සිතමින් සිටි නිසාය. ඊට වඩා පුළුල් ලෙස, එවක යාපන පුස්තකාලයේ තිබූ වටිනා දෙමළ ග්‍රන්ථ, සාහිත්‍ය කෘති, පුවත්පත් වාර ප්‍රකාශන ආදිය ස්කෑන් පිටපත් කොට, ඩිජිටල් පුස්තකාලයක් ඇරඹා ඇති නූලහම් ( Noolaham) ව්‍යාපෘතිය යාපනයේ පුස්තකාලය දවාලූ වේදනාව සහ පාඩුව නැති කරගැනීමට දමිළ සාහිත්‍යකාමීන් ගත් ඩිජිටල් යුගයේ උත්සාහයකි.

ලොව පුරා විසිර සිටින යාපන පුස්තකාලයේ අතීත මතකයන්ට පෙම් බඳින්නන් විසින් ලියන ලද සටහන් මේ මොහොතේත් කියවමින් සිටිමි.

මේ සටහනෙහි, ඒ හැඟීම් කිසිවක් වචනයට නැඟිය නොහැකි බව පමණක් දනිමි. ! අර ඡායාරූපයේ දුටු පුස්තකාලාධිපතිනියගේ හිස් බැල්ම හදවත ගිනි තබන්නාක් මෙන් මට දැනේ!

කත්‍යානා අමරසිංහ  - මුහුණු පොතෙනි






2019-06-05
Advertisement

Find us on Facebook