English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වෛද්‍ය සාෆිගේ සිද්ධියෙන් රෙද්ද ගැලවී ගිය අපේ වෛද්‍ය සේවය


කුරුණෑල රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජේෂඨ නේවාසික වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය සාෆි මහතා නීති විරෝධී අයුරින් රෝගීන්ට නොදන්වා වන්ද්‍යාකරණ සැත්කම් 4000ක් කර ඇති බවට දිවයින පුවත්පත විසින් කරණු ලැබූ හෙලිදරව්වක් නිසා සිංහල බෞද්ධ ජන සමාජය කුපිත වී පාස්කු ප‍්‍රහාරයෙන් පසුව වර්ධනය වූ මුස්ලිම් විරෝධය දෙගුණ තෙගුණ වී මේ වන විට ගිණියම් වී තිබේ.

වෛද්‍ය සාෆිගේ සිද්ධිය හරහා ලෝකයේ තිබෙන ඉහලම හා ගරු කටයුතු වෘත්තීයක් ලෙස සැලකෙන වෛද්‍ය වෘත්තීය ගැන ශී‍්‍ර ලංකාව තුල නැවතත් විශාල සැකයක්, අවිශ්වාසයක් හා නොසන්සුන් තාවයක් මෙන්ම, වෛද්‍ය වෘත්තීය ඇතුලූ, අනෙකුත් වෘත්තීකයන් ගැන විශාල සංවාදයක් ද මින් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් වෛද්‍යවරු සම්බන්ධ මෙම සාකච්ඡාව අද ඊයෙක සිට ඇති වූවක් නොවන අතර, සමහර වෛද්‍යවරුන් විසින් කාලයක සිට තම වෘත්තීය අවභාවිතා කිරීම මත ඇති වූ තත්ත්වයක් ලෙස සැලකිය හැක.

විටෙක මීගමුව රෝහලට පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවක් වූ සිත්ති නසීරා මහත්මියගේ වම් පාදය වෙනුවට දකුණු පාදය කපා ඉවත්කර දැමීම, ඉන් පසුව එම රෝහලටම ප‍්‍රථිකාර සදහා පැමිණි 22 හැවිරිදි අවිවාහක තරුණියක් වූ චමිලා දිසානායක මෙනවිය එම රෝහලේම නේවාසික වෛද්‍යවරයෙකු විසින් ඔහුගේ නේවාසිකාගාරයට ගෙන ගොස් ඇයව දුෂණය කිරීමෙන් පසුව 6 වන මහලින් බිමට ඇද දමා ඝාතණය කිරීම, වත්තල පොලීසිය විසින් අල්ලාගත් සැකකරුවෙකු මෙහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට පෙරාතුව අධිකරණ වෛද්‍යවරයාට නොපෙන්වා, අදල සැකකරු පොලිස් ජීප් රථයේ සිටිය දී වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කළ බවට අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා ඔහුගේ වෛද්‍යභාවය වසර කිහිපයකට අහෝසි කිරීම, පසුගිය කාලය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විවිධ කි‍්‍රයාකාරකම් වැනි කාරණා නිසා විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය සේවයේ වෘත්තීමය භාවය ගැන විශාල කතාබක් පසුගිය කාලය තුළ නිර්මාණ විය.

මෙහි දී විශේෂයෙන් අධිකරණවලට ඉදිරිපත් කෙරෙන ප‍්‍රභූ සැකකරුවන්ට විවිධාකාරයේ බරපතල රෝග තත්ත්වයන් තිබෙන බවට අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තා සම්බන්ධවත්, අදාල වෛද්‍යවරුන් නිකුත් කරනු ලබන එම වාර්තාවන් හා සහතික මත අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව ඉතා අසාධ්‍යව ගිලන් රථවලින් පැමිණි සැකකරුවන් එම මොහොතෙම සිනාසිසී අධිකරණයෙන් බොහොම සැහැල්ලූවෙන් පිටව යන ආකාරයත් නිසා මෙම වෛද්‍යවරුන් පිළිබදව ගැටලූව තවත් උග‍්‍ර විය.



රජයේ රෝහලේ රාජකාරී වෙලාවන් හි දී පවා තම පුද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පිළිබදව පසුගියදා වාර්තා වූ අතර, ඒ සදහා ක‍්‍රමවේදයක් ගොඩනැගීමට යාම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල විවේචන එල්ල විය. පැමිණීමේ පිටවීමේ ලේඛණයක් නොමැති ශී‍්‍ර ලංකාවේ එකම රාජ්‍ය සේවය වෛද්‍ය සේවය වන අතර, ඔවුන්ගේ අතිකාල දීමනා ගෙවනු ලබන්නේ ද ඔවුන් විසින් සකසා ඉදිරිපත් කරනු ලබන ලේඛණයන් පදනම් කරමින් බව ද වාර්තා වේ.

එමෙන්ම, රජයේ හෝ මුදල් ගෙවා සේවා ලබාගන්නා පුද්ගලික අංශයේ දී පවා වෛද්‍යවරුන්ගේ සේවය පිළිබදව කිසිදු ප‍්‍රශ්ණයක් විමසීමට නොහැකි අතර, විශේෂයෙන් පුද්ගලික රෝහල් සදහා පැමිණෙන වෛද්‍යවරුන් රෝගියාට ලබා දුන් වෙලාව පසුවී පැය 4ක් හෝ 5ක් ප‍්‍රමාද වී පැමිණියත් ප‍්‍රශ්ණ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම ලියුම්කරු විසින් එක් අවස්ථාවක දී එවැනි විෂේශඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ පැය 3කට ආසන්න ප‍්‍රමාදය ගැන ඉතා සුහද ශීලීව ඇසු එක් අවස්ථාවක, අදාල විශේෂඥ වෛද්‍යවරයා නුරුස්සන හඩින් ප‍්‍රකාශ කල සිටියේ හදිසි ලෙඩෙක් හිටියා ඔහු ගැන බලන්න වුනා ඒ නිසා ප‍්‍රමාද වූ බවත්, ඔබට ටිකක් ඉවස්න බැරි නම් ඉදිරියේ දී ඔහු හමුවීමට නොපැමිණෙන ලෙසත් දන්වා සිටිනු ලැබීය. මම එන හැමදාටම ඔබට මෙහෙම හිදිසි ලෙඞ්ඩු ඉන්නේ දැයි කියා අසන්න හිතුනත් මා නිහඩව සිටියේ එය ඇසුවා නම්, ඔහු ඒ අවස්ථාවේ සිටි නොසන්සුන් තත්ත්වය මත මට ස්ථිරව ඔහුගෙන් ශාරිරික ප‍්‍රථිකාරයක් ලැබීමට නියමිතව තිබු හෙයිනි.

පසුගිය කාලය තුළ අප වෙත වාර්තා වූ වෛද්‍යවරුන්ගේ නොසැකිලිමත්භාවයන් පිළිබදව ලැබුනු පැමිණිලි අනුව, අප මෙම වෛද්‍යවරුන්ගේ කාර්යන් පිළිබදව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමට උත්සාහ කරනු ලැබුවත් ඉන් පලක් නොවීය. වෛද්‍යවරු සම්බන්ධ ඇති පැමිණිලි වෛද්‍ය සභාව වෙත යොමු කල හැකි වුවද, වෛද්‍ය සභාව ද හරියට කටයුතු කරනු ලබන්නේ අපගේ පොලිස් කොමිෂන් සාභාව මෙනි. පැමිණිල්ලක් කළ සැනින් වෛද්‍යවරයාගේ නම තනතුර ඉල්ලා සිටී. රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ නම් පැලද නැති නිසා, රජයේ රෝහලට ප‍්‍රථිකාර සදහා පැමිණෙන තැනැත්තෙකුට අදාල වෛද්‍යවරයාගේ නම සොයා ගැනීම විශාල ගැටලූවකි. අවසානයේ එය සොයාගෙන යවනු ලැබුවත් අදාල පරීක්ෂණය හෝ මේ සම්බන්ධව වාර්තා ගෙන්වා ගැනීම බොහෝ විට එම රෝහලේම වෛද්‍යවරුන් හරහා සිදු කරනු ලබයි. වෛද්‍ය සභාවට වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් කි‍්‍රයාවන් සම්බන්ධව කටයුතු කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් තිබෙනවා දැයි මා නොදනිමි.

බොහෝ රජයේ රෝහල්වල්වල වාට්ටු සදහා එක් විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ ඊට වැඩි ගනනක් සිටී. මෙම විශේඥ වෛද්‍යවරුන් වෙනුවෙන් රජය සැලකිය යුතු වැටුපක් ලබා දෙන අතර, වාහන සදහා තීරුබදු සහන පර්මිට්, ඔවුන්ගේ දුවා දරුවන් සදහා ප‍්‍රමුඛ පාසැල් ලබා දීම ඇතුලූ විශාල පහසුකම් රාශියක් රජය විසින් සපයයි. නමුත් මේ වෛද්‍යවරුන් කොපමණ වේලාවක් රෝහලේ රැදී සිටිමින් අවශ්‍ය කටයුතු කරනවා ද යන්න ගැටලූවකි. බොහෝ රෝහල්වල ඔහුගේ කාර්්‍ය සිදු කරනු ලබන්නේ ඔහුගේ වාට්ටුවේ සිටින ජේෂ්ඨ නේවාසික වෛද්‍යවරු විසිනි.
රජයේ රෝහලවල සිදු කෙරෙන සැත්කම් වලින් බොහෝ සැත්කම් ප‍්‍රමාණයක් සිදු කරනු ලබන්නේ ද මෙම ජේෂ්ඨ නේවාසික වෛද්‍යවරන් විසිනි. සමහර විට එම ප‍්‍රමාණය 90% ක් පමණ විය හැක. ඉතාම බැරූරුම් අවස්ථාව ජේෂ්ඨ නේවාසික වෛද්‍යවරයා දුරකතනයෙන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගනු ලබන අතර, අමාරු අවස්ථාවක පවා ඔහු ගෙන්වා ගැනීම ජේෂ්ඨ නේවාසික වෛද්‍යවරයාගේ දුර්වලකමක් ලෙසට අර්ථ ගැන්වී තිබේ. මේ අර්ථ ගැන්වීම මත ජේ්‍යෂ්ඨ නේවාසික, නේවාසික වෛද්‍යවරු යන්ත‍්‍රමෙන් තම වාට්ටුවේ ඇති ලයිස්තු අවසන් කිරීමට උත්සාහ ගනු ලබයි. මෙසේ ඔරොත්තු දිය නොහැකි ප‍්‍රමාණයට විශාල ශල්‍යකර්ම ප‍්‍රමාණයක් සිදු කිරීමේ දී අදලා වෛද්‍යවරුන් අතින් යම් අතපසුවීමක් හෝ නොසැලකිලි කි‍්‍රයාවක් සිදු වුවහොත් අදාල විශේෂ්‍ය වෛද්‍යවරයා මැදිහත් වී අදාල වෛද්‍යවරුන් බේරාගන්නා බවද ඔවුන් දනී. මෙම ක‍්‍රමය හරියට තම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රගේ අතින් යම් වැරුද්දක් සිදු වූ විට අදාල ඇමතිවරයා මැදිහත් වී බේරාගන්නා ක‍්‍රමයට සමාන අපේ දේශපාලණ ක‍්‍රමයේම තිබෙන සුලභ ලක්ෂණයකි.    

විශේඥෂ වෙද්‍යවරයාගේ මූළිකත්වයෙන් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ පැවැත් විය යුතු විශේෂයෙන් ශල්‍යකර්ම හෝ විශේෂ පරීක්ෂණ සිදු කිරීමේ දී වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම, අමාත්‍යංශ චක‍්‍ර ලේඛනයන් හෝ චර්යාධර්මයන් අනුව කිසිවෙකු කටයුතු කරන බවක් නම් අපට නොපෙනේ.

කුරුණෑගල රොහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සිදුව ඇතැයි කියන මෙම අපරාධය සැබෑවක් නම් ඒ සදහා වෛද්‍ය සාෆිට අමතර, මෙම සැත්කම් 8000ට සම්බන්ධව මූළික වගකීම ඇති ප‍්‍රසාව හා නාරි වෛද්‍ය, විශේෂ්‍ය වෛද්‍යවරු, සාමානයෙන් මෙවැනි ශල්‍යකර්මයක් සදහා සහභාගීවන නිර්වින්දන වෛද්‍ය, වෛද්‍ය සාහායක, ජේෂ්ඨ හෙදි, හෙදි සාහායක, ජේෂ්ඨ රෝහල් සහායක (ඇටෙන්ඩන්ට්) ඇතුලූ හය දෙනෙකු හෝ 8 දෙනෙකුගෙන් සමන්විත ශල්‍ය කණ්ඩායම් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්ණ කළ යුතු වේ.

වෛද්‍ය සාෆිට සීසේරියන් සැත්කමක් අතර තුරදී වන්දීකරණ සැත්කමක් සිදු කිරීමට නම් ඉහත කණ්ඩායමෙන් අවම වශයෙන් දෙදෙනෙකුගේ හෝ සහාය ලබා ගත යුතු වේ. ඔවුන්ගේ ඇස්වලට වැලි ගසා මෙවැන්නක් සිදු කළ හැකි නම් ඔවුන් අනිවාර්යෙන් අන්ධයන් විය යුතුය. සාමන්‍යයෙන් සීසේරියන් සැත්කමට භාවිතා කරන උපකරණ මොනවාද යන්න ලේඛන ගතව ඇති අතර, එම උපකරණ සටහන් කර රැගෙනයාමත්, නැවත ගෙනවිත් භාරදී සටහන් තැබීමත්, ශල්‍යකර්ම කණ්ඩායමේ ජේෂ්ඨ හෙදියගේ වගකීම වේ. එම ශල්‍යකර්මයට අමතර වෙනත් ශල්යයකර්යමක් සදහා උපකරණයක් ගෙන යන්නේ නම් ඒ සදහා අනුමැතියක් අවශ්‍ය වන අතර,  එය සටහන් තබා රැගෙන යා යුතුව තිබේ.

කෙසේ වුවත් මෙම සිද්ධියේ දී මෙම ශල්‍යකර්මයන් හි ප‍්‍රධාන වගකීම පැවරෙන විශේෂඥ වෛද්‍යවරන් තවමත් හැසිරෙන්නේ ගොලූ බෙහෙත් බී සිටින්නන් ආකාරයෙනි. මෙතරම් ගැටලූ සහගත සංකීරණ තත්ත්තවයක් නිර්මාණය වී තිබිය දී වෛද්‍ය කවුන්සිලය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුලූ මෙකී කී නොකී අට අනුවක් පමණ වු සංගම් නිහඩව සිටින්නේ කුමන කරුණක් අරභායාද යන්න සිහි බුද්ධියක් ඇති පුරවැසියන් අවබෝධකර ගත යුතුව ඇත.



පිලිප් දිසානායක                            





2019-06-02
Advertisement

Find us on Facebook