English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසාවට එරෙහි ශ‍්‍රී ලංකා එකමුතුව- ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය


ජනතාවගේ කම්පාව සහ ශෝකය දේශපාලන වාසියකට හරවාගැනීම් අප පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

වධහිංසාවට එරෙහි ශ‍්‍රී ලංකා එකමුතුව- ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

වධහිංසාවට එරෙහි ශ‍්‍රී ලංකා එකමුතුව පසුගිය පාස්කු ඉරුදින එනම්, අපේ‍්‍රල් 21 වන දින ජිවිත 259කට ආසන්න ප‍්‍රමාණයක් අහිමි කරමින් තවත් සියගණනකට තුවාල සිදුකරමින් සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙළාදකින අතරම, මෙම මිලේච්ඡු ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් විපතට පත් වූ පවුල් සහ ජන සමාජයන්ට අපගේ බලවත් ශෝකය මෙයින් පුද කරන්නෙමු.    

ත‍්‍රස්ත ප‍්‍රහාරයට ගොදුරු වූ සහෝදර ජනතාව වෙනුවෙන් අපගේ සහයෝගීතාවය ලබාදෙන අතරම, ප‍්‍රහාරයෙන් පසුව ජාතිවාදීන්ගේ  වධහිංසනයට ලක්වන සහෝදර මුස්ලිම් ප‍්‍රජාවට ද අපගේ සහයෝගය ලබාදීමට කැමැත්තෙමු. සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින් පවා මෙම ජන සමාජය ජාතිවාදී ප‍්‍රහාරයන්හි ගොදුරක් බවට පත්විය. ඇඳිරි නීතිය පවතින අවස්ථාවන් හි පවා ඔවුන්ගේ නිවාස, ව්‍යාපාර ආදියට මහා මාර්ග වල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් විසින් පහර දී හානි සිදුකර ඇත. හදිසි නීති රෙගුලාසි යටතේ පුළුල් බලයක් ආරක්ෂක අංශයන්ට ලබාදී තිබුණද මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශයන්ට හැකියාවක් නොවීය.

අප රටෙන් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය නීත්‍යානුකුල ක‍්‍රියාමාර්ගයන් ගැනීම සම්බන්ධව අප ජාලයක් වශයෙන් එක`ග වනු ලබයි. එක සමාන වගවීමක් සහිතව ජනමාධ්‍ය හරහා හෝ මහාමාර්ගයේදී වුවද සිදු වන අන්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් වලට එරෙහිව ක‍්‍රියාත්මක විය යුතුය. වගවීම තහවුරු කිරීම, එසේම සුළු ජන කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ නැවත ප‍්‍රහාරයක් ඇතිවීම වළක්වා ගැනීමේ වගකීම පවතින්නේ රජය සතුවය. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප‍්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද රජය වගකිව යුතුය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව මසක් ගත වු තැන ජේ්‍යෂ්ඨ මට්ටමේ දේශපාලන නායකයන් හා පරිපාලකයින් ද ඇතුළුව ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය මගින් හෝ වගකීමෙන් කටයුතු කිරීමට අසමත්වීම එවැනි ප‍්‍රහාරයක් සිදුවීමට ඉඩ සලසා ඇති බැවින් මෙහි වගකීම භාර ගන්නා ලෙස අප රජයට බල කරන්නෙමු.

ප‍්‍රබල දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරමින් මෙහි වගකීමෙන් රජය ඉවත් කිරීම සඳහා අහිංසක මුස්ලිම් ප‍්‍රජාව ලේබල්කර, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් සඳහා ඇති කැමැත්ත සීමාකර, ඔවුන්ගේ මුහුණු ආවරණ තහනම් කිරීම හා මෙම රජයේ මර්ධනය හා ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව නිරන්තරයෙන් හඬ නගනු ලබන මානව හිමිකම් ක‍්‍රියාකාරිකයින් ඉලක්ක කිරීම සඳහා සිදු කරනු ලබන සියළු ප‍්‍රයත්නයන් අප විසින් ප‍්‍රතික්ෂේප කරන්නෙමු. සාමාන්‍ය පුරවැසියන්ගේ ජන ජීවිතයට, විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්ට ආරක්ෂක පියවරයන් හේතුවෙන් රාජ්‍ය අංශය සමග කටයුතු කිරීමේදී හා රජයේ සේවාවන් ලබා ගැනීමේදී හිරිහැර හා වෙනස්කම්වලට ලක් වූ බව අප දනිමු.



රජය විසින් හදිසි නීතිය දීර්ඝ කිරීම සහ හදිසි නීති රෙගුලාසි මගින් අවම අධිකරණ මැදිහත් වීමක් සහිතව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට අවශ්‍ය බලය සැලසීම පිළිබඳව අප ඉතා දැඩි අවධානයකින් සිටින්නෙමු. මෙම හදිසි නීති තත්වය තාවකාලික පදනම මත අවශ්‍යතාවය සඳහා පමණක් භාවිතා කරන ලෙසට අප රජයට ප‍්‍රකාශ කරන අතරම, මෙම හදිසි නීති රෙගුලාසි යටතේ ලැබී ඇති බලය වගකීමක් සහිතව, කාර්යක්ෂමව සහ සියළු තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන ආකාරයට හා විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව වන වධහිංසාවෙන්, අමානුෂික සහ අවමන් සහගත සැළකීමෙන් ආරක්ෂා වීමට යටත්ව ක‍්‍රියාවේ යොදවන ලෙසටද නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයන්ගෙන් ඉල්ලා සිටිමු.  

මෙම භීෂණකාරී කාලසමය තුළ සාක්ෂි නොමැතිව අහිංසක සිවිල් වැසියන්ව නීත්‍යානුකුල නොවන ආකාරයට අත්අඩංගුවට ගැනීම, රඳවාතබා ගැනීම හා සම්බන්ධව අප විශේෂ අවධානයෙන් කටයුතු කරමු. මානව හිමිකම් සංවිධාන සහ ක‍්‍රියාකාරිකයන් බිය ගැන්වීම, තර්ජනය කිරීම සහ ත‍්‍රස්තවාදීන් ලෙස ලේබල් කිරීම පසුගිය අඳුරු පාලන යුගය අපගේ සිහියට කැඳවන්නකි. පසුගිය පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසුව තෙවතාවක් ආරක්ෂක අංශ විසින් වටලනු ලැබූ අපගේ සහෝදර සංවිධානයක් වන ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයට ( NAFSO ) අපගේ සහයෝගය පළකරමින් ඔවුන්ට ශක්තියක් වන්නෙමු.

තිස්වසරක යුද්ධයෙන් පසුව ශක්තිමත්ව සංහිඳියාවෙන් යුක්තව නැගීසිටීමට ශ‍්‍රී ලංකාව තවමත් අපොහොසත් වී ඇත. විපතට පත්වූවන් සහ ඔවුනගේ ජනසමාජය සමග අවංක වීමට දැක්වූ අසමත්භාවය හේතුවෙන් ජනවාර්ගික අර්බුද සහ අසත්‍ය ප‍්‍රචාරයන් රටපුරා පැතිර යමින් පවතී. පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසුව සහ විශේෂයෙන්ම සුළුජන කොටස් වලට ඉන් පසුව මුහුණදීමට සිදුවූ ප‍්‍රතිවිපාක අනුව සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් අප එක්ව ක‍්‍රියා කළ යුතු බව අවධාරණය කර සිටිමු. සියගණනක් වූ අහිංසක ජනතාවගේ කම්පාව සහ ශෝකය දේශපාලන වාසියකට හරවාගැනීමට ගත් සියළුම උත්සාහයන් අප පිළිකුලෙන් යුතුව හෙළාදකිමු. ප‍්‍රහාරයට ලක්වූ සහ ප‍්‍රහාරයෙන් පසුව පීඩාවට පත්වූ ජනසමාජයන්ගේ ආරක්ෂාව සහ ගෞරවය වෙනුවෙන් අප පෙනී සිටිමු.   


අත්සන් කිරීම:
1.රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
2.රයිට්ස් නව් - ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා වූ සාමූහිකය
3.ඉන්ෆෝම් ආයතනය
4.සියළු වර්ගවාදයට හා වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය
5.නීතියේ ආධිපත්‍ය සඳහා වූ සංසදය
6.ඩාබිඳු සාමූහිකය
7.ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
8.සමාජය හා සාමයික කේන්ද්‍රය
9.නීතිය හා සමාජ භාරය
10.ජාතික සාම මණ්ඩලය
11.ඌව ශක්ති පදනම
12.සුය ශක්ති පදනම
13.හම්බන්තොට දිස්ත‍්‍රික් මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථානය
14.මානව හිමිකම් සුරක්ෂිත නිවහන
15.පවුල් පුනරුත්ථාපන කේන්ද්‍රය
16.අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කමිටුව
17.නීතීඥ ඩිඈන් උයන්ගොඩ
18.නීතීඥ එර්මිසා ටීගල්
19.උදය කළුපතිරණ
20.ශාන්ත පතිරණ
21.ගෞරවනීය අශෝක් ස්ටීවන් පියතුමන්
22.ෂෙනාලි ද සිල්වා
23.ඇන්තනී විනෝත්
24.නීතීඥ දුලාන් දසනායක




2019-05-31
Advertisement

Find us on Facebook