English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සුනාමිය හා පාස්කු ප්‍රහාරය
සුනාමිය හා පාස්කු ප්‍රහාරය!



පාස්කු ඉරිදා දින දියත් වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය 2004 දි අප මුහුණ දුන් සුනාමිය වැනිය. 2004 දෙසැම්බර් 26 වන දිනට ප‍්‍රථම සුනාමියක් පිළිබදව ලංකාවේ ජීවත් වූ වැඩි දෙනෙකුට කිසියම්ම හෝ අවබෝධයක් නොතිබුනි. ශී‍්‍ර ලංකාවේ ජීවත් වූ බොහෝ දෙනෙකු සුනාමියක් ගැන ඉන් පෙර අසාවත් නොතිබුනි. රටේ එක් කොනක සිට ආරම්භ වූ සුනාමිය අනෙක් කොනට යාමට යම් කාලයක් ගත විය. එම කාලය අප හරිහැටි පාවිච්චි කළා නම් දේපළ කෙසේ වෙතත් ඉන් සෑහෙන ජීවිත ප‍්‍රමාණයක් බේරාගත හැකිව තිබුනි. නමුත් ඒ අවස්ථාවේ දී අප සැම තූෂ්නිම්භූතව කලබලයට පත්වී කටයුතු කළ නිසා අපට බොහෝ අවස්ථාවන් ඉන් මග හැරුණි. තවත් ජීවිත කිහිපයක් බේරාගැනීමට තිබූ අවස්ථාව කළබලය හා නොසැලැලකිල්ල නිසා අපට මග හැරුණි.

ඉස්ලාම් අන්තවාදින් විසින් පසුගිය අපේ‍්‍රල් 21 වන දින ස්ථාන හයක් වෙත එකවර මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරන තෙක් ඒ සම්බන්ධව කිසිම අවබෝධයක් බොහෝ දෙනෙකුට නොතිබුනි. මින් පෙර ලංකාවේ දකුණු ප‍්‍රදේශය තුළ තරුණ කැරලි දෙකක් නිර්මාණය විය. පසුව ඒවා ක‍්‍රමයෙන් ප‍්‍රචන්ඩත්වය දෙසට යොමු වන බවක් ක‍්‍රමයෙන් අපට පෙනෙන්නට තිබුනි. ඒ ආකාරයෙන් ම උතුරේ ආරම්භ වූ තරුණ කැරැුල්ල අවුරුදු කිහිපයකට පසුව පුද්ගල ඝාතණයන් සිදු කරමින් ක‍්‍රමයෙන් ප‍්‍රචන්ඩ වී අවසානයේ පුද්ගල නාශක බෝම්බකරුන් යොදා ගනිමින් නිරායුධ ජනයා ඝාතණය කරුනු ලබන රුදුරු ත‍්‍රස්තවාදී කණ්ඩායමක් බවට පරිවර්තනය විය. නමුත් ඒ සදහා දශකයට ආසන්න කාලයක් ගත විය.

නමුත් මෙම ඉස්ලාම් අන්තවාදීන් එදා එල්ල කළ ප‍්‍රහාරය තෙක්ම ඔවුන්ගේ පැත්තෙන් කිසියම්ම වූ ඉල්ලීමක්, යෝජනාවක් රජයට හෝ අනෙකුත් දේශපාලණ කණ්ඩායම් වෙත හෝ ඉදිරිපත් වූ බවක් මෙතෙක් ආරංචි නොවීය. මුස්ලිම් දේශපාලඥයින් තුළින් හෝ මුස්ලිම් ජන සමාජයෙන් හෝ එවැනි කිසිම ඉල්ලීමක් ඉදිරිපත් නොවීය. රාජ්‍ය ආරක්ෂක අංශයන් ද මේ සම්බන්ධව විශාල මැදිහත්වීමක් සිදු බවක් ද මෙම සිද්ධිය වන අවස්ථාවන වන තෙක් අපට නොපෙනුනි. ඉහත අත්දැකීම් අනුව මෙතරම් විශාල විනාශයක් සැලසුම් කරන බවක් අපගේ කිසිම මීටරයකට හසු නොවිනි.

නමුත් එක් දිනක් තුළ සිදු කෙරුණු මෙම ශනික හා කෲර ප‍්‍රහාරය නිසා, මින් පෙර දකුණේ ඇති වූ කැරලිත්, අවුරුදු 30ක් තිස්සේ උතුරු හා නැගෙනහිර මූලික කරගනිමින් ආරම්භ වූ යුද්ධය තුළ ඇති වූ හානියට වඩා වැඩි විශාල හානියක් සිදුව ඇති බව මසකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකා රජයේ එදිනෙදා පැවැත්ම හා කි‍්‍රයාකාරීත්වය කඩා වැටීම තුළින් දිස් විය.

එදා එල්ටීටීඊය විසින් මහ බැංකුවට හා දෙහිවල දුම්රිය බෝම්බය පිපිරවීමත්, දළදා මාලිගාවට හා අනුරාධපුර රුවන්වැලිසෑයට පහර දීමත්, කටුනායක ගුවන්තොටුපල වැනි ස්ථානය එල්ල කරමින් සිදුකළ ප‍්‍රහාරයන් තුළ දී වත් ජන සමාජය මෙතරම් භියටත්, කම්පණයටත් පත්ව කටයුතු නොකළේය. එදා එල්ටීටීීඊ ත‍්‍රස්තවාදීන් එල්ල කළ විවිධාකාරයේ ප‍්‍රහාරයන්ගෙන් පසුව දින කිහිපයක් තුළ රාජ්‍ය සමාන්‍ය ආකාරයට කි‍්‍රයාත්මක විය. මාස ගනනින් මෙසේ පාසැල් වසා නොතැබූ අතර, වෙළද ව්‍යාපාරයන් හා රාජ්‍ය කාර්්‍යාලයන් ද සමාන්‍ය අයුරින් කි‍්‍රයාත්මක විය.    
තවත් අතකින් බැලූ කළ මෙම පාස්කු ප‍්‍රහාරය 2001 සැප් 11 ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය  හා පෙන්ටගනයට එල්ල වූ ප‍්‍රහාරයට යම් කිසි සමාන කමක් දක්වයි. එකම දිනක ස්ථාන කිහිපයකට එදත් එකවර ප‍්‍රහාරයන් එල්ල වූ අතර, ඉන් ඇමරිකානුවන් විශාල කම්පනයකට හා භීතියකට පත්කරනු ලැබීය. එකවර ඇති කරනු ලබන මෙවැනි අනපේකෂිත ප‍්‍රහාරයන් තුළින් ත‍්‍රස්තවාදීන් බලාපොරොත්තු වන්නේ ද එවැනි ප‍්‍රථිචාරයකි.

ලංකාවට එල්ල කළ ප‍්‍රහාරයෙන් ඉස්ලාම් මූලධර්මවාදීන් බලාපොරොත්තු වූ ආකාරයටත් වඩා වැඩි ප‍්‍රථිපලයක් ලබා දීමට අපගේ සමහර කි‍්‍රයාකාරකම් හේතු විය. ඒ මෙරට සමහර මාධ්‍ය හා විපක්ෂ දේශපාලණයින් විසින් රට තුළ ඇති කරනු ලැබූ අනවශ්‍ය බිය ගැන්වීම් හා මුස්ලිම් විරෝධී ආකල්ප සමාජ ගත කරමින් ඔවුන් වෙත ප‍්‍රහාර එල්ල කිරීමත්, ඔවුන්ගේ දේපොල ගිනිබත් කිරීමට යොමු වීමත් නිසාය. මින් පෙර මෙවැනි ප‍්‍රහාර එල්ල වූ කිසිම රාජ්‍යයක මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවූ අතර, විශේෂයෙන් මාධ්‍ය ඉතා සදාචාර සම්පන්නව හා වගකීමෙන් යුතුව ඇති වූ කම්පණය හා ව්‍යසනය පාලනය කිරීම සදහා වගකීමෙන් කටයුතු කරනු ලැබීය. මිය ගිය හෝ තුවාල ලැබූවන් හෝ විනාශ වූ දේපල මාධ්‍ය හරහා පෙන්වීමෙන් ඔවුන් වැලකී සිටි අතර, බියවැදී සිටි මිනිසුන් ප‍්‍රකෝප ගන්වන ප‍්‍රකාශ මධ්‍ය තුළ පලකිරීමෙන් ද වැලකී සිටියහ.

එමෙන්ම, විපක්ෂ දේශපාලණඥයින් ආණ්ඩුව ඉල්ලා අස්වෙන ලෙස ද කීවේ නැත. ආණ්ඩු පක්ෂය ද වගකීම තවකෙකුට පවරා අත පිහදා ගන්නට ගියේ ද නැත. ආරක්ෂක අංශයන්ට තත්ත්වය පාලනය කිරීම සදහා මාධ්‍ය හා විවිධ පුද්ගලයන උපදෙස් ලබා නොදුන් අතර, ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කර ඇති බවට පුන පුනා කියා සිටිය දී රටේ ආරක්ෂාව තවමත් තහවුරු වී නැති බවටත් ලමුන් පාසැල් වලට නොයවන ලෙස මාධ්‍යහමු පවත්වමින් ප‍්‍රකාශ කර සිිටියේ ද නැත.   

මෙම සියලූ බාදක හමුවේ වුවත් මේ වන විට පැවති තත්ත්වය සෑහෙන දුරකට පාලනය කර තිබේ. මෙම ප‍්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ගෙන් 99% ක් පමණ මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. ක‍්‍රමයෙන් රටේ එදි නෙදා පැවැත්ම තහවුරු වී ඇති අතර, බියෙන් සැකෙන් තොරව එදිනෙදා ජීවිතයේ කටයුතු ආරම්භ වී තිබේ.

එමෙන්ම, ත‍්‍රස්තවාදීන්ගෙන් මෙන්ම, අප අතරම සිටිමින් ජාතිවාදී අදහස් වපුරවමින්, ජාතීන් අතර අසමගිය ගොඩනැගීමට භූමි පුත‍්‍රයන්සේ කටයුතු කරන අන්තවාදීන්ගෙන් ද අපි නිරන්තරයෙන් ආරක්ෂා විය යුතුය. ඔවුන්ගේ උපක‍්‍රමයන්ට හසු නොවී, ඔවුන් ගේ කි‍්‍රයාවන් හෙලිදරව් කිරීම සදහා ද අප කටයුතු කළ යුතුය.
මේ අස්ථාවේ අපි රටක් විදියට මුහුණ දී සිිටින මෙම බැරූම් තත්ත්වය අවබෝධකර ගත යුතු අතර, ඉස්ලාම් මූලදර්මවාදීන්ගේ දඩබිමක් බවට අපේ රට පත්වීම වැලැක්වීමට එක්ව කටයුතු කළ යුතුය. එමෙන්ම, අපේ රටේ ජීවත්වන සියලූ ජනකොටස් ආරක්ෂා කර ගනිමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් අප කටයුතු කළ යුතුයි. සියලූම මුස්ලිම් ජාතිකයින් ත‍්‍රස්තවාදීන් හෝ අපගේ වෛරකාරීන් ලෙස සලකල අප කටයුතු කලොත්, එය අන්තවාදීන්ට තවත් වාසිදායක වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ප‍්‍රහාරයෙන් පසුව ත‍්‍රස්තවාදීන් බලාපොරොත්තු වූ තවත් එක් අරමුණක් වූවෙත් එය විය හැක.

මෙම සංකීරණ තත්ත්වය අවබෝධ කර ගනිමින් අපේ තිබෙන විවිධ දේශපාලන වෙනස්කම්, කෝන්තර මොහොතකට හෝ පැත්තකට දමා ශී‍්‍ර ලංකිකයන් ලෙස හිතමින් කටයුතු කලොත් අපිට මින් ජයගත හැකියි. රජයට මෙන්ම ආරක්ෂක අංශයන් වෙත අප මේ අවස්ථාවේ මින් ගොඩඒම සදහා අවංකවම සාහාය දැක්විය යුතුයි.

එමෙන්ම මේ අවස්ථාවේ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය රාජ්‍ය වහුහයේ වෙනස්කම් මෙන්ම, නීති ව්‍යුහයේ ද වෙනසක්ම් ඇති කළ යුතුය. සියලූම ජාතීන් සදහා එක් නීතියක් කි‍්‍රයාත්මක කරවා ගැනීමත්, එක් අධ්‍යාපන ක‍්‍රමයක් සැකීමටත් මෙය අවස්ථාවක් කර ගත යුතුය.



පිලිප් දිසානායක




2019-05-30
Advertisement

Find us on Facebook