English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හබ බහුල ඌවේ මැතිවරණය ආරම්භකර ඇත !

ඌවේ පළාත්සභා පරිපාලන කටයුතු සඳහා සභිකයින් 32දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු 7 ට ආරම්භකළේය. මෙම ඡන්දය ප‍්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 942,730 දෙනෙකු ලියාපදිංචි වී ඇත. ඒ අතර බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා ඡන්ද දායකයින් 609,966 ක් ද මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා ඡන්ද දායකයින් 332, 764 ක් ද සුදුසුකම් ලබා ඇත.  

මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඡුන්ද මධ්‍යස්ථාන 318 කදී සහ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516 ක දී මේ මොහොතේ ඡන්ද විමසීම් කටයුතු සිදුවෙමින් පවතියි.

මෙම සියලූම ඡන්ද මොණරාගලට සභිකයින් 14 දෙනෙකු පත්කර ගැනීම සඳහාත් , බදුල්ලට සභිකයින් 18 දෙනෙකු පත්කර ගැනීම සඳහාත් වනු ඇත.

මේ සඳහා, මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් දේශපාලන පක්‍ෂ 12ක් හා ස්වාධීන කණ්ඩායම් 07ක් ද බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් දේශපාලන පක්‍ෂ 10ක් ද ස්වාධීන කණ්ඩායම් 04ක් ද තරග කරනු ලබයි.

අද දින පැවැත්වෙන මැතිවරණ කටයුත්තේ දී ද යම් හෙයකින් කිනම් හෝ දේශපාලන පක්‍ෂයක් විසින් මැතිවරණ නීතිය උල්ලංඝණය කළහොත් එනම් වාහාන පෙළපාලි යාම සහ යම් යම් ද්‍රව්‍ය බෙදා දීම සිදුකළහොත් අනිවාර්යයෙන්ම එම ප‍්‍රදේශයේ සහ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද නිෂ්ප‍්‍රභා කරනු ලබන බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි. එමෙන්ම මැතිවරණ නීති රිතී සමගින් අද දින සීරුවෙන් සිටින ලෙසද අවශ්‍ය වු විට මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මැඩපැවැත්විම සඳහා දැඩි ලෙසට නීතිය ක‍්‍රියාත්මක කරවන ලෙසට පොලීසියට ද නියෝගකොට ඇත.


අද දින පැවැත්වෙන මෙම මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා නිල වශයෙන් කැෆේ, පැෆරල් ඇතුළු නිරීක්‍ෂණ කණ්ඩායම් 05කට අවසර ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කරයි.

ස්ථීර මාර්ග බාධක 57ක් ඌව පළාත පුරා යොදවා ඇතැයි සඳහන් කරන ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ, මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළදි දිස්ත‍්‍රික්ක දෙක තුළ ජංගම සංචාර 232ක් සිදුකරන බවද කැරළි මර්දන කණ්ඩායම් 11ක් සීරුවෙන් තබා ඇති බව සඳහන් කරයි. මැතිවරණ නීති උල්ලංඝණය කරන කවර හෝ පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බවක් ද ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරයි.  

මේ අතර, ඌව පළාත් සභාවේ මැතිවරණ රාජකාරිවල නිරත රජයේ නිළධාරීන්ගෙන් අවංකව හා ස්වාධීනව සිය මැතිවරණ රජකාරිය ඉටුකරන ලෙසට ට‍්‍රාන්ස්පෙයරන්සි ශ‍්‍රි ලංකා ආයතනය ඉල්ලා සිටින අතර එසේ ක‍්‍රියාත්මක වීමේදි බලපෑම් හෝ තර්ජන එල්ලවුවහොත් නීතිමය පියවර ගැනිම සඳහා අවශ්‍ය නීති ආධාර නොමිලේ ලබාදෙන්නට තම ආයාතන සුදානම් බව ට‍්‍රාන්ස්පෙයරන්සි ශ‍්‍රි ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක සුදත් රනුග්ගේ පවසා ඇත. 

ඡායාරූප  -  අන්තර්ජාලයෙන්
-MMP





2014-09-20
Advertisement

Find us on Facebook