English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දැලි පිහියෙන් කිරි කෑම හෙවත් ආගමික අනන්‍යතාව තුළින් සංස්කෘතික අනන්‍යතාව දැකීම


පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ ශොචනීය සිද්ධීන්වලින් පසු ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ජන කණ්ඩායම් වල සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සාකච්ඡාව වඩාත් උණුසුම්වී ඇත. සිංහල කාන්තාවගේ සාරිය පිළිබඳව තිබුණු සාකච්ඡාව, මුස්ලිම් කාන්තාවගේ බුර්කාව, නිකාබ් සහ අබායා ඇඳුම වෙතට තරමක් දුරට හැරී ඇත. මෙම කෙටි ලිපියෙන් මම සංස්කෘතික අනන්‍යතාව පවත්වා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවවත් අවසාන නිගමන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි. සංස්කෘතික අනන්‍යතාව පිළිබඳව අපට සම්මුතිවලට එළඹිය හැකි වුවත්, එතුළින් පරම සත්‍යයක් ලෙස ගත හැකි සූත්‍රයකට එළඹිය හැකි යැයි මම විශ්වාස කරන්නේ නැත. මන්ද සංස්කෘතිය නිරන්තර වෙනස්වීමට ලක්වන්නක් බැවිනි. ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාව ආයතනගත ආගම් හා දැඩිව බද්ධ වී ඇති බැවින් එය සංකීර්ණ ස්වරූපයක් ගන්නා බව පෙන්වා දීමත්, එමගින් සිදුවිය හැකි අනර්තකාරී ක්‍රියාවලින් මිඳීමට බුද්ධිමතුන් විචාරාත්මක දුරස්ථබවකින් කටයුතු කළයුතු බව යොජනා කිරීමත් මෙම ලිපියේ අරමුණයි. 

ආගම සහ ජාතික ඇඳුම

විවිධ සංස්කෘතින් ජාතික ඇඳුම තමන්ගේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස භාවිත කරයි. විවිධ ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ ජාතික ඇඳුම් කලින් කලට වෙනස්කම්වලට ලක් වුවත් ඒවා නිර්මාණය කර ගැනීමේදී ඒ ඒ ආගමික ආයතනවල නිර්ණායක ඒවාට දැඩිව බලපා ඇත. 

දහනවවැනි සහ විසිවැනි සියවස්වල දී  කාන්තා ඇඳුම සම්බන්ධ වික්ටෝරියානු සදාචාර අදහස් ධර්මපාල වැනි බෞද්ධාගමික- සංස්කෘතික ප්‍රතිසංස්කරණවාදීන් හරහා සිංහල සමාජයට දායාද විය. මහාචාර්ය ගනනාත් ඔබේසේකර එම ප්‍රතිසංස්කරණවාදී බෞද්ධාගම හඳුන්වා ඇත්තේ “ප්‍රොතෙස්තන්ත බෞද්ධාගම” ලෙසයි. එයට හේතුව ධර්මපාලගේ  ආගමික-සංස්කෘතික ප්‍රතිසංස්කරණවලට දර්ශනය සහ උත්ප්‍රේරණය සපයා ඇත්තේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම වීමයි. සිංහල බෞද්ධාගම සිංහල සංස්කෘතිය හා බද්ධකළ ප්‍රධානම සාධකයක් ලෙස ධර්මපාලගේ ප්‍රතිසංස්කරණ දැක්විය හැකිය. වර්තමානයේ දී විවිධ සංස්කෘතික අඩවි බෞද්ධයාගේ ඇඳුම් සම්බන්ධ නිර්ණායක පැනවුවත් මේ සංස්කෘතික අඩවි අතරින් වඩාත්ම ප්‍රබල අඩවිය වන්නේ පන්සලයි. මේ අනුව පන්සලට ඇඳගෙන යා හැකි ඇඳුම් සහ නොහැකි ඇඳුම් ලෙස නිර්ණායක සැකසී ඇත. සිංහල ජාතික ඇඳුම බෞද්ධ විහාරයට ඇදගෙන යා හැකි ඇඳුමක් ලෙස නිර්මාණය වී ඇත්තේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතික කාන්තා ඇඳුම තීරණය කිරීමේදී ද බලපා ඇත්තේ ආගමයි – ඉස්ලාම් ආගමයි. ඇතැම් මුස්ලිම් භක්තිකයන් විශ්වාසකරන පරිදි තම බිරිඳගේ ඇඳුම තමාගේ ගෞරවයට බලපානවා පමණක් නොව ඉස්ලාම් ආගමේ කියැවෙන් මරණින්මතු ජීවිතයටත් සම්බන්ධය. ශ්‍රී ලාංකික මුස්ලිම් ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය අමිර් අලී දක්වන පරිදි 1980 ගණන්වලින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය අරාබිකරණ රැල්ලකට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අරාබි ඉස්ලාම් ආගමික චාරිත්‍ර සහ ඇඳුම් බහුල වන්නට පටන් ගෙන ඇත. 

ආගමිකසංස්කෘතික අනන්‍යතාව සහ විශ්වවිද්‍යාලය 

මා ඉහතදී සඳහන් කළ පරිදි මෙම ලිපියේ මගේ එක් උත්සාහයක් වන්නේ ආගමික අනන්‍යතාව වැළඳ නොගෙන සංස්කෘතික අනන්‍යතාව පමණක් වැළඳ ගැනීමට ශ්‍රී ලාංකික අපට නොහැකි වී ඇති බව පෙන්වාදීමයි. මේ සම්බන්ධ මගේ අදහස් මෙසේ ලියන්නට බලපෑ ආසන්නතම සිදුවීම මම මීළඟට පැහැදිලි කරන්නම්.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වැඩ කරන යම් ආචාර්යවරුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල පරිපාලනයට යැවීම සඳහා සකස් කරන ලද පෙත්සමක් ආකාරයේ ලිපියක් මා වෙත ලැබුණි. එහි කරුණු හා මා එකඟනම් මාගේ නම ද එයට යෙදීම සඳහායි මගේ සගයෙකු එය මා වෙත එවා තිබුණේ. වර්තමාන රටේ තත්වය යටතේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන මුස්ලිම් ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, ආචාර්යවරුන්ටත් වරියන්ටත් නිදහසේ තම කටයුතු කරගෙන යා හැකි වාතාවරණයක් විශ්වවිද්‍යාල තුළ ඇති කළ යුතු බව එම පෙත්සමෙහි මූලික හරයයි. එය කියවා බලා සෑහෙන වෙලාවක් කල්පනා කොට අවසානයේ එයට මගේ අත්සන යෙදීමට මම තීරණය කළෙමි. නිදහසේ අධ්‍යාපනය කිරීමටත් තම රැකියාව කිරීමටත් මුස්ලිම් ජාතිකයන්ට (හෝ ඕනෑම පුරවැසියෙකුට) අවස්ථාව දිය යුතු යැයි ප්‍රගතිශීලී යෝජනාවක් කෙරෙන ප්‍රපෙත්සමකට අත්සන් කිරීම ගැන මේ තරම් කල්පනා කළ යුත්තේ කුමක් දැ යි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. එම පෙත්සමට මම සම්මාදම් වනවාදැයි ප්‍රශ්න කරන්නට සහ ආගම හා සංස්කෘතික අනන්‍යතාව අතර ඇති සම්බන්ධය ගැන මෙම ලිපිය ලියන්නට හේතු වූයේ එම පෙත්සමේ තිබුණු එක් කරුණකි. 

ඉහත කී පෙත්සමෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට ප්‍රකාශ කර සිටි කරුණු අතර එකක් වූයේ අනෙකුන්ට සහ නීතියට හානියක් නොවනතාක් මුස්ලිම් ජාතික ශිෂ්‍යයන්ට සහ ආචාර්යවරුන්ට “තමන් කැමති ඇඳුම් පැළඳුම් ඇඳීමට” හැකි ආරක්ෂා සහිත වටපිටාවක් ගොඩනැගිය යුතු බවයි. මුස්ලිම් ජාතික ශිෂ්‍යයන්ට සහ ආචාර්යවරුන්ට “තමන් කැමති ඇඳුම් පැළඳුම් ඇඳීමට” අවස්ථාව දිය යුතු යැයි විශ්වවිද්‍යාල පරිපාලනය ට අප ප්‍රකාශ කර සිටියත්, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඒ එකිනෙකා කැමති ඇඳුම් පැළඳුම් අඳීමක්ද? නැත්නම් ඉස්ලාම් ආගමික දෘෂ්ටිවාද මගින් යෝජනාකෙරෙන “කැමති ඇඳුමක්” ද යන්නය. යම් සංස්කෘතියක් නියොජනය කරමින් හෝ පුද්ගලික කැමැත්ත මත තමන් කැමති ඇඳුමක් ඇඳීමේ අයිතිය පුරවැසියන්ට තිබිය යුතුය. මම එය පිළිගනිමි. එහෙත් අපගේ “කැමැත්ත” ලෙස පිළිගැනෙන සංස්කෘතික නිෂ්පාදන පිටුපස ඇති දෘෂ්ටිවාදයන් අපි විචාරයට ලක්කළ යුතුය. තමන්ගේ ඇඳුම කෙරෙහි ඉස්ලාම් ආගම මගින් කෙරෙන බලපෑම පිළිබඳව විශ්වවිද්‍යාලයේ මුස්ලිම් ජාතික ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් කොතරම් විචාරාත්මකද යන්න පෙත්සම අත්සන් කිරීමට පෙර මම කල්පනා කළ එක් දෙයකි. මෙවැනි කාරණා පිළිබඳව විචාරාත්මක සංවාදයක යෙදෙන මුස්ලිම් ජාතික ආචාර්යවරුන් ඉතාම අතලොස්සක් විශ්වවිද්‍යාලවල සිටින බවද මෙහිදී සිහිපත් කළ යුතුය. 

ඇඳුම සංස්කෘතිය හා ආගම බද්ධ කරන මෙම ප්‍රශ්නය ඉස්ලාම් ප්‍රශ්නයක් පමණක් නොවේ. විශ්වවිද්‍යාලයේ පොදු අවකාශයන්හිදී ඇඳීමට සුදුසු ඇඳුම් මොනවාදැයි ගන්නා තීරණ පිටුපස සිංහල බෞද්ධ ආගමික දෘෂ්ටිවාද ද ප්‍රබලව පවතී. අතීතයේ බෞද්ධ ආගමික ස්ථානවලට ඇද ගෙන යා හැකි ඇඳුම සම්බන්ධයෙන් සැහැල්ලු ප්‍රතිපත්ති පැවතුනද වර්තමානයේ දී ඒවා දැඩි මතධාරී නිර්ණායක බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස අද කෙනෙකුට කොට කලිසමක් ඇඳගෙන මහනුවර දළදා මාළිගාවට ඇතුළුවීමට අවසර නොලැබෙන අතර එසේ කිරීම සිංහල බෞද්ධ සංස්කෘතියට පටහැනි දෙයක් ලෙස සමාජයේ අර්ථකථනය වී ඇත. අතීතයේ නොපැවතුනත් කොට කලිසමක් ඇඳ කකුල් පෙන්වීමෙන් පූජනීය ස්ථානයට අගෞරවයක් වේ යැයි අදවනවිට අදහසක් ගොඩ නැගී ඇත. 

ආගම, සංස්කෘතිය සහ ඇඳුම සම්බන්ධ මේ දැඩි මතධාරී අදහස් අවාසනාවකට විචාරාත්මක චින්තනය වෙනුවෙන් විවෘත විය යුතු විශ්වවිද්‍යාලය තුළත් දක්නට ඇත. මා සේවය කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී කොට කලිසං ඇඳගෙන ඒමේ වරද නිසා විවිධ පුද්ගලයන් අවස්ථාවන් ගණනකදී ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම්වල වාචික සහ ශාරීරික ප්‍රහාරවලට ලක් විය. මෙයින් අපට පෙනෙන්නේ විශ්වවිද්‍යාල අවකාශය බෞද්ධ ආගමික ස්ථානයකටත් වඩා ආගමික වී ඇති බවදැයි අප අසිය යුතු ප්‍රශ්නයකි.

ආගමික අනන්‍යතාව වැළඳ නොගෙන සංස්කෘතික අනන්‍යතාව පමණක් වැළඳ ගත හැකිද?

ශ්‍රී ලංකාව වැනි බහු සංස්කෘතික ජන කණ්ඩායම් ජීවත්වන රටකට අවශ්‍යවන්නේ ආගමික අනන්‍යතාව සමඟ යම් විචාරාත්මක දුරස්ථබවක් සහිත සංස්කෘතික අනන්‍යතාවක් බවයි මගේ අදහසයි. දැලි පිහියෙන් කිරිකෑම භයානකය වන්නාසේම විචාරාත්මක දුරස්ථබවකින් තොර ආගමික-සංස්කෘතික අනන්‍යතාව භයානක විය හැකිය. ආගම සමඟ එවන් විචාරාත්මක දුරස්ථබවක් පවත්වාගැනීමට ඒ ඒ සංස්කෘතීන් නියෝජනය කරන බුද්ධිමතුන්, ශාස්ත්‍රඥයින්, කලාකරුවන් ආදිය සක්‍රීයව ක්‍රියාත්මක විය යුතුය. ආගම සමඟ විචාරාත්මක දුරස්ථබවක් සහිතව අඛණ්ඩව කටයුතු කරන බුද්ධිමතුන් සුළු පිරිසක්හෝ අප අතර සිටීම සතුටු දායකය. ඔවුන්ගේ වගකීම වන්නේ සංස්කෘතික අනන්‍යතාවට ආගමෙන් සිදුවන දායකත්වය සහ හානිය යන දෙකම අවබෝධකර ගැනීමයි. එය සමාජයට පෙන්වා දීමයි. මෙය ඉස්ලාම්, බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි යන සෑම ආගම් හා බද්ධ සංස්කෘතීන් ආශ්‍රයෙන් බුද්ධිමතුන් සිදුකළ යුතු විචාරයකි. ඕනෑම ආගමක් හරහා එන අන්තවාදයට අප විරුද්ධ විය යුතුය. එම විචාරයට අනෙකුත් සංස්කෘතින්ගේ මෙන්ම මුස්ලිම් ශිෂ්‍ය සහ ආචාර්ය ප්‍රජාවත්, අනෙකුත් බුද්ධිමතුනුත් එක සේ දායක විය යුතුය. මා ඉහත දැක්වූ මා ද අත්සන් කළ පෙත්සමේ අන්තරගත මුල්ම ඉල්ලීම වූයේ මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, ආචාර්යවරුන්ටත්, වරියන්ටත් “ශාස්ත්‍රීය/ අධ්‍යයන නිදහස” (academic freedom) ක් සහිතව වැඩ කටයුතු කරගෙන යාමට වටපිටාවක් තිබිය යුතු බවයි. ඉදිරි අනාගතයේදී එම ශාස්ත්‍රීය නිදහස භාවිත කරමින් මුස්ලිම් ආගමික අන්තවාදයටත් එය නිර්මාණය කරන භීෂණකාරී සහ පීඩාකාරී සංස්කෘතියටත් විරුද්ධවන ශිෂ්‍ය සහ ආචාර්ය ප්‍රජාවක් වැඩි වැඩියෙන් දකින්නට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය සුදේශ් මන්තිලක

උපුටා ගැනීම - colombotelegraph.com





2019-05-28
Advertisement

Find us on Facebook