English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පාස්කු ප‍්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගැනීමට එරෙහිව තෙවෙනි නඩුවත් පවරයි


පාස්කු ප‍්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගැනීමට එරෙහිව තෙවෙනි නඩුවත් පවරයි  
 
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය වලක්වා ගැනීමට අදාල බලධාරීන් කටයුතු නොකිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ තවත් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුනි. එම පෙත්සම මගින් අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා නීතිපති ඇතුලූ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව කතෝලික පූජකයන් තිදෙනෙක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙම නඩුව පවරා ඇත්තේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ ගරු අශෝක් ස්ටීවන්, ගරු ෂෙරාඞ් ජයවර්ධන, ගරු සරත් ඉද්දමල්ගොඩ යන පියතුමන්ලා විසිනි. මෙලෙස පැවරූ තුන්වෙනි නඩුව මෙම නඩුව වන අතර, මීට පෙර ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල හා වැල්ලම්පිටියේ සිංහල දරුවන් දෙදෙනෙකු අහිමි වූ පියෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු දෙකක් පවරා තිබුනි. එම පියාගේ දරුවන් දෙදෙනොම කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ බෝම්බය නිසා මිය ගියේය. එහි විශේෂත්වය වන්නේ එම දරුවන් දෙදෙනාම බෞද්ධ දරුවන්වීමයි. කසුන් විසින් පවරන ලද නඩුවේ චෝදනාව වන්නේ පෙර දැනුවත්ව තිබියදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් මනුෂ්‍ය ඝාතනයන් 321කට හා 500 කට අධික පිරිසක් තුවාලවීමටත්, සියලූම පුරවැසියන්ව ඉන් චේතාන්විතව පීඩාවට ලක්වීමට ඉඩහැර තම වගකීම රාජකාරිය හා නෛතික බැඳීම අත්හරින ලද වගකිව යුත්තන් පිළිබඳ කරනු ලබන මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලයි.



මැයි 21 වෙනි දින ඉහත සඳහන් පියතුමන්ලා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමින් ප‍්‍රධාන චෝදනාව ලෙස ඉදිරිපත් කර සිටින්නේ මහජන සුබසිද්ධිය සඳහා කටයුතු කිරීමට, ජාතික එක්සත්කම ඇති කිරීමට  නිසා, ඒ නිසාම රටේ පුරවැසියන් වෙනුවෙන් ප‍්‍රජාතන්ති‍්‍රක සමාජයක මූලික ලක්ෂණයක් වන නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අපොහොසත්වීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය හා නිලධාරීන් අපොහොසත්වීම නිසා මෙම නඩුව ගොනු කරන බවයි.



මෙම අවස්ථාවේදී ප‍්‍රධානතම චූදිතයා වන ජනාධිපතිවරයා නමින් නම් කර නැති මුත් ජනාධිපති ලේකම්වරයා හා නීතිපතිවරයා නම් කර ඇත. මේ නිසා අනියමින් ජනාධිපතිවරයා ද එහි විත්තිකරුවෙකු වේ. මේ සඳහා බලපා ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ පහත සඳහන් වගන්තියයි.

”35 (1 )යම් තැනැත්තෙකු ශී‍්‍ර ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරණ අවස්ථාවකදී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේය; එසේ වුවද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තෙකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක් කියවා තේරුම් නොගත යුත්තේය.

126 වන ව්‍යවස්ථාව යනු මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය සහ ඒ බලය කි‍්‍රයාත්මක කිරීම වේ.”

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා යන අසීරු ගමනේදී මෙවැනි අභියෝග විධායකටත්, ව්‍යවස්ථාදායකටත් එල්ල විය යුතුවේ. මේ නිසා මෙම නඩු තීන්දු ලැබෙන අවස්ථාවකදී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගමන් ගම ගැන සමාජයට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.
 






2019-05-22
Advertisement

Find us on Facebook